ශ්රී ලංකාවට බුදු සමය හඳුන්වා දීමෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාරීරික හා පාරිභෝගික ධාතූන් රැසක්ම ලබාදීමට කි‍්‍රයා කළහ. ගැඹුරු දහමට වඩා ඉක්මනින් ඔවුනගේ සිත් සතන් තුළට බුදු දහම පිවිසීමට මෙම පූජනීය වස්තු උපකාරී වන බව අවබෝධ කර ගත්හ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ප‍්‍රධාන ශාරීරික ධාතූන් වහන්සේලා රැසක් ද පාරිභෝගික වස්තූන් වන ශ‍්‍රී මහා බෝධීය හා පාත‍්‍ර ධාතුව ද වැඩමවා ගත්හ. ධාතු පූජා විෂයෙහි ජනතාව තුළ පවත්නා ගෞරවය හා උනන්දුව නිසා ඉන් අනතුරුව දළදා වහන්සේද කේස ධාතූන් වහන්සේද ලංකාවට වැඩම වූ පුවත් වංශ කථාවල විස්තර වශයෙන් දැක්වේ.
මෙම ධාතූන් වහන්සේලා ශ‍්‍රී ලංකා ජාතික සංස්කෘතිය හා ජන විඥානය තුළ මොන තරම් පිබිදීමක් ඇති කිරීමට සමත් වූයේද යත් එම ධාතූන් අරබයා විවිධපොත පත සම්පාදනයට ද ශිල්ප කලාවන් නිර්මාණය කිරීමට ද පටන් ගත්තෝ ය. පුද පූජාවේ පමණක් නොව රාජ්‍ය පරිපාලනයේ ද විශාල පෙරළියක් ඇති කළේ ය.බෝධීන් වහන්සේගේ අගය පූජනීයත්වය විස්තර කෙරෙමින් සිංහල භාෂාවෙන් හා පාලි භාෂාවෙන් බෝධි වංශ සාහිත්‍යයක් ද බෝධිඝර නම් වූ ගෘහ නිර්මාණ කලාවක් ද ශාරීරික ධාතු නිධානයෙන් ස්තූප කලාවක් හා ධාතු වංශ සාහිත්‍යයන් ද ධාතු ඝර හා වටදා ඝර නම් වූ නව ගෘහ නිර්මාණ කලාවක්ද ජාතියට දායාද කෙරිණි.
Read More