Skip to main content
Monthly Archives

December 2015

නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව

By සිරි සදහම් ( Dhamma) 4 Comments


අයින්ස්ටයින්ගේ නිවුන් විරුද්ධාභාෂය පිළිබඳව ඔබ හැමදෙනාම අසා ඇතැයි සිතනවා. මොකද සරලව කිව්වොත් නූතන විද්‍යාවේ තියන වඩාත්ම ජනප්‍රිය මෙන්ම වඩාත් ආකර්ශනීයම විරුද්ධාභාෂය ඒක නිසා. දන්නෙ නැති අයට දැනගන්නත් අමතක අයට මතක් වෙන්නත් එක්ක මම ඒක කෙටියෙන් කියන්නම්. ඔන්න එහෙනං අහගන්න…

එක පවුලක නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නීතීඥයෙක්. අනිත් එක්කෙනා අභ්‍යාවකාශගාමියෙක්. මේ දෙන්නම ඉන්නෙ වයස විසි ගණන් වල. දැන් මේ අභ්‍යාවකාශගාමියා අභ්‍යාවකාශ සංචාරයක් සඳහා පිටත්වෙල යනවා. ඔහු යන්නෙ එසේ මෙසේ අභ්‍යාවකාශ යානයක නෙවෙයි. ආලෝකයේ වේගයට (ප්‍රවේගය නෙවෙයි) ආසන්න වේගයකින් ගමන් කරන අභ්‍යාවකාශ යානයක..! ඔන්න ඉතින් ඔහොම ගිහිල්ල එයා එනව කියමුකෝ. දැන් ඔහු තමන්ගෙ නිවුන් සහෝදරය බලන්න යනවා. මොකක් වෙල කියලද හිතන්නෙ? දෙන්නම තාම එක වගේද? නෑ, නීතීඥය හොඳටම වයසට ගිහිල්ල. රස්සාවෙ හොඳකම නිසාද? එහෙමත් නෙවෙයි. ඇත්තටම ඔලුවෙ කෙස් පැහිල කාලයත් එක්කම වයසට ගිහිල්ල. නමුත් අභ්‍යාවකාශගාමියා නම් හිටිය වගේම කොල්ල වගේ ඉන්නව. අවුරුදු කීපෙකින් වයසට ගිහිල්ල විතරයි.

ඔන්න ඕක තමයි අපේ සියවසේ මිනිසා, ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු නිවුන් විරුද්ධාභාෂය. නමුත් මොකද්ද ඇත්තටම මේකට හේතුව?

Read More

අපේ ජාතික කොඩිය …

By සිරි සදහම් ( Dhamma) No Comments

අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු

1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම
2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ.
3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා – රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා – දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා – සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා – නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව)

Read More

දැයම පුබුදුවාලූ පූජනීයගංගොඩවිල සෝම හාමුදුරුවෝ …

By සිරි සදහම් ( Dhamma) No Comments

ගංගොඩවිල සෝම හිමි (24 අප්‍රේල් 1948 – 12 දෙසැම්බර් 2003) ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන් ග්‍රාමය වනගංගොඩවිල නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින් බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.
සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.

සෝමහිමිගේ චරිතය
පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයට අවට ප්‍රදේශයක පිහිටි අර්ධ නගරයක් වන ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකාරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංඝයානන් වහන්සෙලාගේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිළිබඳව ලියවුණු පාඨ ග්‍රන්ථයන් අධ්‍යයනය කරන ලද අතර බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳව සොයා බැලීමට මෙන්ම නොයෙකුත් සොයා ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්විය. තරුණ පරම්පරාවේ ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය.මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු “තරුණ සවිය” නැමැති සංවිධානය සදහන් කළ හැකිය. හුදකලා ප්‍රදේශයන් තෝරා ගනිමින් භාවනාවේ නිරතවුනු සෝම තෙරුණුවෝ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය උන්වහන්සේ භාවනාව පිළිබඳව වැදගත් කරුණු එක් කර “බුද්ධාස්ථුප” නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

පාත්‍රය ගැන ඔබ නොදත් දේ …

By සිරි සදහම් ( Dhamma) No Comments

පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. වර්තමානයේ පාත්‍රය යන වචනය ශාසනික ව්‍යවහාරයක්ම පමණක් වුවද ආදී ජම්බුද්වීප වැසියන් ආහාර අනුභවයට භාවිත කළ භාජනයට පාත්‍රය යන්න ව්‍යවහාර කළ බවට සාධක තිබේ. සිඟමන සඳහාත් පාත්‍රය භාවිත කළ බව ‘සිඟන්නාගෙ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ’ ආදී කියමන්වලිනුත් තහවුරු වේ.
පැවිද්දා පිණ්ඩපාතයෙන් යැපීමට දිවි හිමියෙන් උත්සාහ කටයුතුයි කියලා විනය මහාවග්ගයෙහි සඳහන් වෙනවා. පාත්‍රය දැරීම බුදු, පසේ බුදු, මහරහත් මෙන්ම ශ්‍රාවක බුද්ධ පුත්‍රයන් වහන්සේලා සියලු දෙනාටම යෝග්‍ය බවයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ.

බෝසතාණන් වහන්සේ පැවිදි වෙස් ගනිද්දී පෙර ජාතියක ඝටීකාර නම් මිතුරකුව හිටපු මහා බ්‍රහ්මයා පැමිණ උන්වහන්සේට පා සිවුරු පූජා කර බව කියැවේ. ඒත් සුජාතා සිටු දේවිය කිරිපිඬු පිළිගන්වන මොහොතේ ඒ පාත්‍රය උන්වහන්සේ සතුව නොතිබූ බව දකුණු අතපා පැන් පිළිගැනීමට සිදුවීමෙන් තහවුරු වේ.

අට්ඨ කතාව කියන්නෙ ඝඨීකාර බ්‍රහ්මයා පූජා කළ මැටි පාත්‍රය ඒ අවස්ථාවෙ අතුරුදන් වූයේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ දී ලක්ෂ්‍යක් අගනා රන් බඳුනක් ලැබිය යුතු නිසා බවයි. කෙසේ නමුත් සුජාතාව කිරිපිඬු පිදූ අගනා රන් පාත්‍රය බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පෙර නිමිති විමසීම සඳහා නේරංජනා නදියේ උඩුගම් බලා යන ලෙස අධිෂ්ඨාන කොට පාකර හැරිය බවයි පොත පතෙහි සඳහන් වෙන්නෙ.

Read More

පරිසර හිතවාදී බුදුදහම …

By සිරි සදහම් ( Dhamma) No Comments

ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශ කොට ඇත්තේ ඉතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් බුදු දහම මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදු දහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සම්බන්ධතාවයක් පැවතීමයි.
බුදුරජාණන් වහන්සේ හා තම ශ්‍රාවකයන් වහන්සේලා ස්වභාවික පරිසරයත් සමඟ ජීවත් වීමට වැඩි කැමැත්තක් දැක්වූහ. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට වදාළේ මෙවැනි අදහසකි.

“ඒතානි භික්‍ඛවේ රුක්ඛ මූලානි, ඒතානි
සුඤ්ඤාගාරානි, ඣයථ, මා පමාදත්ථ
මා පච්ඡා විප්පටිසාරිනෝ අනුවත්ථ…..”

මහණෙනි, මේ රුක්‍ෂ මුල ඇත. මේ සුන්‍යාගාර තිබේ. ඒ තැන් වලට ගොස් ධ්‍යාන වඩව්. පමා නොවව්. පසුව විපිළිසර, පසු තැවුලට පත් නොවව්. මේ අපගේ අනුශාසනාව වෙයි.
සම්මා සම්බුද්ධ චරිතය පිළිබඳව සලකා බැලීමේ දී සිදුහත් කුමරුන්ගේ උප්පත්තියත්, සම්බුද්ධත්වයත්, සම්බුදුපරිනිර්වාණයත් යන බුද්ධ චරිතයේ එන ප්‍රධානතම සිද්ධීන් තුනම සිදු වී ඇත්තේ තුරුලතා සෙවණේ බව සුප්‍රකට කරුණකි.

Read More

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.

By සිරි සදහම් ( Dhamma) No Comments

(මෙය උපුටා ගැනීමක් වේ. සමහර ස්ථානයන් පිළිබද විශ්වාස කිරීම පවා අපහසු වේ. එහෙත් මෙය උපුටාගත් කඨිනානිසංස පොත පරිශීලනය කල හැකිනම් ඒ සියලු තොරතුරු ඔබට නිවැරදිව දැන ගත හැකිය. කෙසේ උවද බුදු පසේබුදු මහ රහත් උතුමන් පැන් පහසුව ලද අනවතප්ත විල පිහිටි මිමාලය ගැන දැනගන්න.)

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේ ඉදිරියේ දී නාගිත මහ රහතන් වහන්සේ විසින් කථිනානිසංස දේශනාව පවත්වනු ලැබුවේ අනවතප්ත විලේදීය. අනවතප්ත විල පිහිටියේ හිමාලයේය. හිමාලය ලෝකයේ උසම කන්ද වශයෙන් සැලකේ. නාගාදිධිරාජ යයිද කියයි. භාරතයෙහි උතුරු දිශාවෙහි හිමාලය පිහිටා ඇත්තේ. එය මහ පොළව මනින දණ්ඩක් වශයෙන් සාහිත්‍ය කෘතීන්හි විස්තර කෙරේ.
“ අසත්‍යුත්තරස්‍යාං දිශි දේවතාත්මා
හිමාලයෝ නාම නාගාධිරාජහ්
පූර්වාපරො තොය නීධීවගාහ්‍ය
සථිත්ථහ් පෘථිව්‍යා ඉව මානසණ්ඩහ්”
(කුමාර සම්භව 1.1. )
යනුවෙන් කාලිදාසයන් දක්වන අයුරින් නැගෙනහිරින් හා බටහිරින් මුහුදට යොමු වී ඇති එම හිමාලය දෙවියෙකු වශයෙන් සැලකේ. භාරතයේ ශීර්ෂය වැනි වූ හිමාලය සත්පුරුෂ වූ ධර්මයෙහි යෙදෙන්නා වූ මුණිවරයන්ගේ පුණ්‍යකරමයන්ට අග්‍රස්ථානයක් වන බවද දැක්වේ. පුරාණ කාලයේ සිට හිමාලය දෙවියන්ගේ වාසස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධය. දෙවියන්ගේ නිබද වාසයෙන් පිවිතුරු වූ ස්ථානයක් වශයෙන්ද දැක්වේ. මෙහිම,
@ තපෝ වනය
@ නන්දන වනය
@ ව්‍යාස ගුහාව
@ ගණේශ ගුහාව
@ සගරාශ්‍රමය
@ දිග හා පළල
ශීත හා උෂ්ණ
දිය වළවල් හෙවත් විල්
@ වසූධා ආදී වූ ප්‍රපාත

Read More

ලෝකය හා‍ ලෝක විනාශය …

By සිරි සදහම් ( Dhamma) No Comments

මානව ඉතිහාසය තුළ උපන් සියලු ආගමික චින්තාවෝ ප්‍රධාන වශයෙන් දෙයාකාර වෙති. ඒ දේවවාදී හා අදේවවාදී යනුවෙනි. විශ්ව නිර්මාතෘ සර්වබලධාරී දෙවියකු, ඊශ්වරයකු කේන්ද්‍රකොටගෙන දේව ධර්මය යන සිරස්තලයෙන් ජීවිතයත් ලෝකයත් අරභයා කරුණු දක්වනුයේ දේවවාදී ආගමික චින්තාවන් තුළය. එබඳු දෙවියකු බ්‍රහ්මයකු ඊශ්වරයකු කේන්ද්‍රකොට නොගෙන කිසියම් ආචාර්යවරයකු, ශාස්තෘවරයකු විසින් ප්‍රකාශිත ධර්මය අනුව ජීවිතය, ලෝකය පිළිබඳ කරුණු දක්වනු ලබන්නේ අදේවවාදී ආගමික චින්තාවන් තුළය.

අප ජීවත්වන මේ පෘථිවියත් අප වටා ඇති අනන්ත වූ විශ්වයත් පිළිබඳ මැවීම, ඊශ්වර නිර්මාණය අනුව කරුණු දැක්වීම දේවවාදී ආගම්වල දක්නට ලැබේ. බුදුදහම අදේවවාදීය. ජීවිතයත් ලෝකයත් එහිලා විවරණය කරනුයේ සංඛත ධර්ම නම් වූ මානව අත්දැකීම් මත හසුවන යථාර්ථය කේන්ද්‍ර කොටගෙනය. හේතු ප්‍රත්‍ය ඇති කල ඇති වන, හේතු ප්‍රත්‍ය නැති කල නැති වන, ආධ්‍යාත්මික වූත් භෞතික වූත් මූල සාධකයෝ සංඛත ධර්ම, එනම් සංස්කාර ධර්ම නම් වෙති. එකී ධර්ම සියල්ල අනිත්‍යය, විපරිණාමීය, පෙරැළෙන සුළුය. එබැවින් දුක් සහිතය; අසාරය; අතෘප්තිකරය; අපරිපූර්ණය; එබැවින් අනාත්මය. මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි සලකාගත නොහැකිය යනු බුද්ධ වචනයයි. සත්වයා, ලෝකය යන සම්මුති ව්‍යවහාරයන්ගෙන් අර්ථවත් කෙරෙනුයේ අන් කිසිවක් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බුදුදහම විසින් හඳුන්වනු ලබන හේතු ප්‍රත්‍යාකාරයෙන් යුත් අනිත්‍යාදී ලක්ෂණ ඇති සංඛත ධර්මයන්ගේ සමවායයි; සංයෝගයයි. එකී ධර්මයන්ගේ අන්‍යෝන්‍ය උපකාරයෙන් යුත් සක්‍රීයත්වයයි. සචේතනික වූත් අචේතනික වූත් සජීවී, අජීවී, බාහිර, අභ්‍යන්තර සියල්ල සංඛත ධර්ම සමවායක්, සංයෝගයක් ලෙස බුදුසමය දක්වයි. විශ්වයද එසේය. එයද සංඛත ධර්ම හෙවත් හේතු ප්‍රත්‍යාකාරය, එනම් හේතු ඵල ධර්මය අනුව ඇතිවන, නැතිවන මූල සාධක සංයෝගයකි. එකී මූල සාධකයෝ, අන්‍යෝන්‍ය උපකාරිත්වයෙන්, අන්‍යෝන්‍ය සාපේක්‍ෂකත්වයෙන්, අන්‍යෝන්‍ය බලපෑමෙන් පවතිත්. එසේම එම මූල සාධක සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය. මේ වූකලී බුදුදහමෙහි කේන්ද්‍රීය ඉගැන්වීමයි.

Read More

දැන් අරුමයක් වූ එදා ගම …

By සිරි සදහම් ( Dhamma) No Comments

නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.

ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී. වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත් පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ දෙහි, දොඩම් ගස් විය.

ගම ආසන්නයේ හේනේ කුරක්කන්, අමු, වැනි ධාන්‍ය වර්ග සහ වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්ඤොක්කා, බතල සහ උක් ගස් ද විය. සෑම ගෙදරක ම අල පාත්ති කීපයක් ද බුලත් පාත්ති කීපයක් ද විය. හිඟුරල, රට අල, බතල, කිරිඅල, කුකුළල එහි වගා කරන ලදී. මේ අතර කිරි එළදෙනක් ද ඇති කළෝ ය. සමහර ගෙවල කුකුල් කොටුවක් ද විය. කුඹුර ආසන්නයේ දෙනිකඩේ එළවළු කොටුවකි. තමාට අවශ්‍ය එළවුළු එහි විය. කෙසෙල් පඳුරු කීපයක්, කහ, ඉගුරු පාත්ති සහ බෙහෙත් පැළෑටි ද ඒ අතර විය.

Read More

බෞද්ධ ස්තූපයේ ආරම්භය …

By සිරි සදහම් ( Dhamma) No Comments

බෞද්ධ ස්තූපයේ ආරම්භය පිළිබඳ විවිධ මත හා අදහස් ගොඩනැගෙන්නට පටන් ගත්හ. 18 වන සියවසේ පෙරදිග අපරදිග ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාස ගවේශකයන් ඉදිරි පත්කර ඇති සාධක අතිශයින් වැදගත් වේ. ක්‍රි. පූ. 6 වන සියවසේදී බුදුන්වහන්සේගේ පහළවීමත් සමඟ බෞද්ධ ස්තූ®පය හා එහි සම්භවය පිළිබඳ ඉතා වැදගත් සාධකයන් සඳහන්ව තිබේ.

01. බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රවලත්
02. ජෛන සාහිත්‍ය මුලාශ්‍රවලත් සඳහන් වේ.

එකල සමාජය තුළ ගෞරවය ලැබිය යුතු පුද්ගලයන් සඳහා ‘සුසාන’ හෙවත් සොහොන් ගෙවල් සාදා ඇති බවත් ඒවායේ ස්භාවය කෙබඳුද? යන්න ඉතා පැහැදිලි සාධක මගින් පෙන්වා දී තිබේ. බුද්ධ කාලීන සමාජය තුළ ගුප්තමය ආගමික විශ්වාසයන් දක්නට ලැබුණු අතර ස්තූප හෙවත් චේතිය වන්දනා කිරීම පිළිබඳව ඇත. අතීතයේ පටන් ම දක්නට ලැබෙන බවත් සඳහන් වේ.

Read More

බුදුසමිදු දැකගනිමු …

By සිරි සදහම් ( Dhamma) No Comments

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.

පින්වතුනි බෞද්ධයන් හැටියට ඔබ බුදුරජාණන් වහන්සේ පිලිබද සිටින්නේ මොනතරම් අවබෝධයින් දැයි මොහොතක් සිතුවාද? අද බොහෝ දෙනෙක් බුදුවරයෙක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ. සමහරු නිර්දය ලෙස අපහස කරනව උන්වහන්සේට. බුදු හිමියන් කවුරුන්දැයි උන්වහන්සේ හදුන්වා දුන් අවස්ථාවක්‌ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ චක්‌ක වර්ගයේ “ද්‍රෝණ ලෝක සූත්‍රයේ”සදහන්වනව. බුදුරජාණන් වහන්සේ දිනක් උක්කට්ඨා සහ සෝතව්‍යා නගර මැදින් වඩිමින් සිටියා. එහි දී ද්‍රෝණ නම් බමුණා බුදුරජාණන් වහන්සේ ගේ පා සටහන් දැක මේ නම් ඒකාන්තයෙන් ම මනුෂ්‍යයකු ගේ පා සලකුණු නොවන්නේ යැයි කල්පනා කළේය. උපශාන්ත ඉරියව්වෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක මෙසේ විමසන්නේ ය.

“ඔබ වහන්සේ දෙවියෙක් ද?”
“බමුණ මම දෙවියෙක් නොවෙමි.” බුදු හිමියෝ පිළිතුරු දුන්හ.
“ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද?”
“මම ගාන්ධර්වයෙක් ද නොවෙමි.”
“ඔබ යක්ෂයෙක් ද?”
“බමුණ මම යක්ෂයෙක් ද නොවෙමි.”
“එසේ නම් ඔබ මනුෂ්‍යයෙක් ද?”
“බමුණ මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.”

Read More

error: Content is protected by www.ifbcnet.org.