November 2014 - Page 2 of 13 - IFBC Organization | Dhamma

ලෝකයට සුදුසු බෞද්ධ අර්ථක්‍රමය …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

පෙරදිග පඬිවරු මනුෂ්‍ය ශබ්දය විවිධාකාරයෙන් විග්‍රහ කළහ. එයින් බෞද්ධ පඬිවරු මනස්ස උස්සන්නතාය මනුස්සා” දියුණුවන මනසක් ඇත්තේ මිනිසාට යැයි විග්‍රහ කළහ. බුද්ධ ධර්‍මය අනුව සියලු සත්ත්වයන් අතර මිනිසා සැමට වඩා උතුම් වෙයි. ශ්‍රේෂ්ඨ වේ. එසේ වන්නේ ද දියුණු වන මනස නිසා ම ය. මිනිස්කම හැමට වඩා උසස් වස්තුව යි, ධනය යි.

අභ්‍යන්තර දියුණුව යැ, බාහිර දියුණුව යැයි දියුණුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. අභ්‍යන්තර දියුණුව නම් මනසේ හෙවත් මිනිස්කමේ දියුණුවයි. බාහිර දියුණුව නම් මිනිසා විසින් නුවණත් උත්සහයත් යොදා ඇතිකරන ධනය ආදී බාහිර සම්පත් ය. එයිනුත් මුල්තැන දුන්නේ මනසේ දියුණුවටයි.

පාලි භාෂාවට අයත් “අත්‍ථ” ශබ්දයේ මුඛ්‍යාර්‍ථය දියුණුව ය. එය අත්‍ථ – දියුණුව යැ, උත්‍ථමත්‍ථ – උතුම් දියුණුව යැයි දෙකට බෙදා දේශනා කළහ. එයිනුදු උත්‍ථමාර්‍ථය ම – මනසේ හෙවත් මිනිසා පිළිබඳ ගුණ – නුවණ දෙකෙහි දියුණුවට මුල්තැන දුන්හ. ඒ උත්‍ථමාර්‍ථය කුළුගැන්වෙන්නේ රහත් බැවිනි.

බුදුරජාණන් වහන්සේ “අත්‍ථ” ශබ්දයෙන් ප්‍රකාශ කෙළේ පිටට පෙනෙන්නට තිබෙන සමාජය පිළිබඳ ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික, සෞඛ්‍යය, අධිකරණය හා සදාචාරාදී විවිධ දියුණුවයි. මෙයින් අධිකරණය හැරුණු විට අනෙක් විෂයන් පිළිබඳ එකට ගොනු කොට විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් හැටිය‍ට කළ සූත්‍රයක් හෝ දහම් කොටසක් හෝ නැත. එහෙත් එ‍් එ‍් ස්ථානයන්හි දී දේශනා කළ සූත්‍රයන් හා ධර්‍මකොට්ඨාසයන් ගොනු කොට ගත්විට ඒ ඒ විෂයයන් පිළිබඳ විද්‍යාවන් හා ශාස්ත්‍රයන් ගොඩනැංවීම ඉතා පහසු කාර්යයක් වේ. Read More

අපේ රටටත් ශාසන මණ්ඩලයක් …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

2500 බුද්ධ ජයන්තිය නිමිති කැරැගෙන බුරුමයෙහි ධර්මසංගායන‍ාවක් පැවැත්විණි. 1954 සිට 1956 දක්වා පැවැත්වුණු ඒ ධර්මසංගායනාව සංවිධානය කිරීමට ශාසනමණ්ඩලයක් පිහිටුවන ලදී. ධර්මසංගායන‍ාවේ කටයුතු ඉතා මැනවින් සිදු කැරිණි. එයින් සතුටට හා ප්‍රබෝධයට පත් ශාසනමාමක ගිහි පැවිදි උතුමන් ඉදිරි ශාසනික කටයුතු සඳහා ස්ථිර ශාසන මණ්ඩලයක් පිහිටුවා ගන්නට බලාපො‍ෙරාත්තු වුවත් පසුව ඇති වූ රාජ්‍ය පෙරළිය නිසා එය වැළැකිණි. එහෙත් අවුරුදු 24 කට පසු 1980 මැයි 22 වැනි දා ලක්ෂයකට අධික භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රැස්වූ දහසක් පමණ භික්ෂූන් වහන්සේ දින හතරක් සාකච්ඡා කොට “මධ්‍යම සංඝ පාලක සභාව” නමින් ශාසන මණ්ඩලයක් පිහිටුවා ගෙන ඇත.

සියමේ “ගණසංඝ පාලක සභාව” නමින් ශාසන මණ්ඩලයක් පිහිටුවා ගන්නා ලද්දේ බුද්ධ වර්ෂ 2484 වැන්නෙහි ය. එනම් මීට අවුරුදු 51 කට පෙර ය. සියමේ සංඝරාජ මාහිමියන් වහන්සේ රාජ වන්දන – ම‍ානන – පූජා ලබමින් මහත් ගෙ‍ෟරවයෙන් වැඩ සිටිති. රාජ්‍ය සභාවේ පනතකින් සම්මත වූ මේ ශාසන මණ්ඩලය ඉතා ප්‍රබල ය. සියලු ශාසනික කටයුතු දහයකට බෙදා ගණසංඝ මන්ත්‍රී භික්ෂු ඇමතිවරුන් දස නමක් පත් කොට ඇත. ඒ අමාත්‍ය සංඝ සභාවේ මූලාසනය ගන්නේ සංඝනායක මාහිමිපාණන් වහන්සේ ය. රටෙක පාලනය පහසුවට මහ නගර සභා, නගර සභා හා සුළු නගර සභා තිබෙන්නාක් මෙන් ශාසනික කටයුතු මැනැවින් කිරීම සඳහා ප්‍රදේශ අනුව පළාත් සංඝ සභා පිහිටුවා ඇත. මේ මනා වැඩ පිළිවෙළ නිසා තුන් ලක්‍ෂයකට අධික භික්ෂූන් වහන්සේත් විසිපන් දහසකට අධික විහාරාරාමත් මැනැවින් පාලනය වේ. මේ සංඝ සභාව ගන්නා තීරණ රජය හිස නමා පිළිගනී. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ශාසන දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඇත. Read More

දෙමළ ජනයාට උතුර හා නැගෙනහිර පාරම්පරික මාතෘ භූමියක් තුබුණා ද? තිබේද?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

ද්‍රවිඩ ජනයා සඳහා “ඊළාම්” නැමැති වෙන ම රාජ්‍යයක් ඇති කිරීමේ පදනම ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දක්වා සිටින්නේ උතුර හා නැගෙනහිර ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික මාතෘ භූමිය වූ බව ය. මැතිතුමනි, ද්‍රවිඩ ජනයා සඳහා එවැනි “පාරම්පරික මාතෘ භූමියක්” නොවූ බවට මම කරුණු දක්වනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාව ගැන සලකන විට එය සිංහල ජනයාට මෙන් ම බර්ගර්, යෝනක, මැලේ යන මේ දිවයින තුළ වෙසෙන අනෙකුත් සියලු ජාතීන්ට ද පාරම්පරික මාතෘ භූමියක් වූවා සේ මැ දෙමළ ජනයාට ද මුළු මහත් ශ්‍රී ලංකාව පාරම්පරික මාතෘ භූමිය වෙයි. රටේ නොයෙක් පෙදෙස්වල සුළු ජාතීන් කේන්ද්‍ර ගත වැ සිටින පමණින් රටට අයත් එම කොටස ඔවුන් වෙසෙන කොටස පාරම්පරික මාතෘ භූමියක් ලෙස හැඳින්විය නොහැකි ය. එකිනෙකට සම්බන්ධ වූ, එක් බඳු අපේක්ෂා හා එක් බඳු ආගම් ඇති ජන කොටස් එකට එකතු වූ පිරිස් සමූහ බිහිවීම සාමාන්‍ය ස්වාභාවික සිද්ධියෙකි. මේ අනුව කල්මුණේ, මඩකලපුව, බේරුවල, මල්වාන, තිහාරිය යන වෙනත් ස්ථානවල වෙසෙන යෝනක (මුස්ලිම්) ජනතාවට ඔවුන්ට ම ඇරුණු ජනාවාස ඇත. එබඳු ජනාවාස බිහි කළ ඔවුහු බොහෝ සෙයින් ම මෙරටට පැමිණි අරාබි වෙළෙඳුන්ගෙන් පැවැතෙන්නෝ ය. එපමණකින් ඒ තැන් යෝනක ජනයාගේ “පාරම්පරික මාතෘ භූමි” යැයි කිව හැකි ද? එක් කාලයක දී බම්බලපිටියේ හා වැල්ලවත්තේ බර්ගර් ජනයා විශාල සංඛ්‍යාවක් විසූහ. එහෙයින් ඒ තැන් බර්ගර් ජනයාගේ පාරම්පරික මාතෘ භූමියැයි යමෙකුට කිව හැකි ද? සැබවින් ම යාපනය තම “පාරම්පරික භූමියක්” ලෙස පිළිගැනීමට අකමැති ද්‍රවිඩයන් සිටිනවා සේ ම තමන් සඳහා වූ එබඳු මාතෘ භූමියක් ප්‍රතික්ෂේප කරන බර්ගර් ජනයා ද වෙති. මැලේ ජනයා බෙහෙවින් ම කොම්පඤ්ඤවීදියෙහි දක්නට ලැබෙති. එහෙත් කොම්පඤ්ඤවීදිය තම පාරම්පරික මාතෘ භූමිය යැයි ඔවුහු නො කියති. එහෙයින් “පාරම්පරික මාතෘ භූමිය” යනු වැරදි ව්‍යවහාරයෙකි. Read More

සිංහලයනට බෙ‍ෟද්‍ධයනට විරුද්ධ ව ගෙන යන බොරු ප්‍රචාර වැළැක්විය නො හැකි ද?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

1985 දෙසැම්බර් 5 වැනිදා රෑ 8 ට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිළිබඳ වැ රූපවාහිනී වැඩ සටහනක් ප්‍රචාරය වන බව ලංඩන් බෞද්ධ විහාරයෙහි දී දැනගන්නට ලැබී සිල්වැරෝ පුවත්පත්හි කර්තෘ සූරිය ද සිල්වා මහතාගේ නිවසට ගොස් එය බැලීමි. පැය බාගයක වැඩ සටහනෙකි. එසේ ම ඉතා අසාධාරණ වැඩ සටහනෙකි.

ප්‍රසිද්ධ ප්‍රකාශක සමාගම් සමහර විට නමගිය දක්‍ෂ ලේඛකයකුට ටිකැට් අරන් දී විශාල මුදලකුත් ගෙවා ලංකාවට ගොස් බුද්ධාගම පිළිබඳ වැ පොතක් ලියා දෙන්නැයි කියා සිටිති. ඔහු ලංකාවට ගොස් හොඳ හෝටලයක නැවැතී හොඳින් කමින් බොමින් බුද්ධාගම පිළිබඳ වැ එලෙසින් ම ලියන ලද පොත් කිහිපයක් කියවා උගතුන් කිහිප දෙනෙකුන් සමඟත් කතා කොට බෙ‍ෟද්ධ විහාරස්ථාන කිහිපයකටත් ගොස් ආපසු පැමිණ පොතක් ලියා දෙනවා. පොත මුද්‍රණය කරවනවා. නමගිය ලේඛකයා, ප්‍රසිද්ධ පොත් ප්‍රචාරක සමාගම, එහෙයින් ඉක්මනට විකිණෙනවා. මුදල් ගලා එනවා. මේ රූපවාහිනී චිත්‍රපටිය පිළිබඳ ව ද කිවයුත්තේ එය ම යි. වෙනසකට තිබෙන්නේ ප්‍රතිඵලය පමණයි. පෙ‍ාතෙන් ලැබෙන්නේ විශාල මුදලෙකි. මෙයින් ලැබෙන්නේ සිංහලයනට හා බෞද්ධයනට විරුද්ධ ව බොරු ප්‍රචාරයෙකි. ඒ අතර ම අනාථයනට පිහිට වන්නට ය කියා ලොකු සම්මාදමකි.

මේ රූපවාහිනී දර්ශනය දුටු සිංහලයනට බෞද්ධනට ඇති වූයේ සිංහලකමට හා බෙ‍‍ෟද්ධකමට ද කැරෙන බලවත් නින්දාව හා නිග්‍රහය පිළිබඳ වැ බලවත් වේදනාවෙකි, කෝපයෙකි. මේ රටවාසීනට වැටහෙන්නේ සිංහලයන් බෞද්ධයන් මහා ම්ලේච්ඡ පිරිසක් හැටියට ය. ඒ අතර ම ලක්රජය ධාර්මිෂ්ටකම කටින් කියතත් ක්‍රියාවෙන් ඉතා අධර්මිෂ්ට අසාධාරණ පාලකයන් හැටියට පෙන්නා දෙයි. Read More

තොණ්ඩමන් මහතාගේ යෝජනාවලියෙන් ජනවාර්ගික ප්‍රශ්නය විස‍ෙඳ් ද?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පත් කැර ඇති පාර්ලිමේන්තු කමිටුවට සෙ‍ෟම්‍යමූර්ති තොණ්ඩමන් ඇමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පුවත්පත් මඟින් ප්‍රසිද්ධියට පත් කැර ඇත. ඒවා එතුමාගේ යෝජනා වශයෙන් ඉදිරිපත් වුව ද ඇතුළතින් දිස් වන්නේ ද්‍රවිඩ කොටි සංවිධානයේ ඉල්ලීම්වල ස්වරූපයෙකි. ඒවා ගොඩනැංවී ඇත්තේ ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික නිජභූමියක් ඇත, ද්‍රවිඩ ජනයාට තමන්ගේ කටයුතු පිළිබඳ ස්වයං තීරණ ගැනීමේ පූර්ණ නිදහසක් තිබිය යුතු ය යන පදනම මත ය. මෙම යෝජනා ඊළාම් රාජ්‍යයක් සඳහා සාමයේ නාමයෙන් දැරෙන කූට ප්‍රයත්නයක් බව මැනැවින් ම පැහැදිලි ය. අමුත්තකට ඇත්තේ “ඊළාම්” යන වචනය ඒ තුළ නොයොදන්ට සියුම් ලෙස වග බලා ගැනීම පමණි. දමිළ නිජභූමි සංකල්පය ඉන්දු – ලංකා ගිවිසුමෙහි රුවාගත් හාස්‍යජනක අමූලික ප්‍රලාපයෙකි. ස්වයං තීරණ පිළිබඳ අයිතිය කොටි සටන්කාමීන්ගේ ප්‍රධාන ඉල්ලීමෙකි.

මේ රටට ආදරයක් ඇති, තමන්ගේ දියුණුවටත් තමන්ගේ සීමිත වූ ජාතික අභිවෘද්ධියටත් වඩා මුළු මහත් රටේ ම අභිවෘද්ධිය උන්නතිය පතන හැම කෙනෙකු ම කවර බලය පැවැරීමක් වුව ද ශ්‍රී ලංකාවේ ඒකීයභාවයත් ස්වාධිපත්‍යයත් භෙ‍ෟමික අඛණ්ඩතාවයත් සහතික කළ යුතු බව පිළිගෙන ඇත. කොණ්ඩමන් මහතාගේ යෝජනා මේ පිළිවෙතට මුළුමනින් ම පටහැනි ය. Read More

අකාලිකො – අටුවාචාර්‍ය්‍ය මතය නිවැරැදි ද?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

වචනාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලො = කාලයක් නැත්තේ අකාල යි, අකාලොයෙව අකාලිකො = අකාලය ම අකාලික යි. ස්වාර්‍ථයෙහි ණික ප්‍රත්‍යය යි. ධර්‍මාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලන්තරෙන ඵලදායකො = කල් නො යවා පල දෙනුයේ අකාලික යි. මග්ගානන්තරං ඵලූප්පත්තිතො = මඟසිතට අනතුරු වැ පලසිත ලැ‍බනු‍යේ අකාලික යි. මේ අර්‍ථකථා විග්‍රහය යි.

ධර්‍මයෙහි ගුණ විස්තර කරන බුදුරජාණන් වහන්සේ, ස්වාක්ඛාතො හගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි යී එහි ගුණ සයක් දැක්වූ හ[1]. බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් දෙසන ලද බැවින් ස්වාක්ඛාත යැ, තම නුවණැසින් දැකගත යුතු බැවින් සන්දිට්ඨික යැ, කල් නො යවා පල- විපාක දෙන බැවින් අකාලික යැ, එව බලව කියනට නිසි බැවින් එහිපස්සික යැ, සිය සිත්සතන්හි පිළිවිදීම් වශයෙන් එළවාගත යුතු බැවින් ඔපනයික යැ, නුවණැත්තන් විසින් වෙන වෙන ම පිළිවිදිය යුතු බැවින් පව්චත්තං වෙදි තබ්බො විඤ්ඤුහි යැ යි ප්‍රකාශ කළ හ.

දහම් ගුණයන් අතරැ අකාලික යනු එක් ගුණයකි. ත්‍රිපිටකයෙහි අකාලික වචනය සඳහන් වන තැන් රාශියෙකි. විශුඬිමාර්ගය ආදි අටුවා නයින් අකාලික වචනය විස්තර කැරැදෙන්නට පෙරැ චිත්ත = සිත පිළිබඳ හැඳින්වීමක් කිරිම තේරුම් ගැනීම පහසු වනු ඇත.

චිත්තාංගයෝ හෙවත් චෛතසිකයෝ චිත්ත = මනස පෙරදැරි කොට යන්නාහු යැ, මනස ශ්‍රෙෂ්ඨ කොට ඇත්තාහු යැ, මනසින් නිපන්නාහු යැ යි[2] කළ ප්‍රකාශයන් ගෙන සිත මුල් බව සෙට බව පැහැදිළි වේ. ඒ චිත්තයෝ කාමාවචර – රූපාචර – අරූපාවචර – ලොකුත්තර යි භූමි වශ‍යෙන් සතර ආකාර වන අත කුශල – විපාක – ක්‍රියා වශයෙන් තුන් වෑදැරුම් වෙති. කුශල හා විපාක සිත් සිවු භූමීන්හි ම පහළ වන අතර ක්‍රියා සිත් පහළ වන්නේ ලොකොත්තර භූමියෙහි හැරැ ඉතිරි භූමියෙහි ය. හෙද රහතන් වහන්සේට පමණි.

කුශල හා විපාක චිත්තයෝ ලෞකික ලොකොත්තර වශයෙන් දෙකට බෙදෙති. ලෞකික කුසල් සිත් විපාක දීමට පැය ගණන් දින ගණන් මාස – වර්ෂ ගණන් ජාති හා කල්ප ගණන් ගත විය හැකි වේ. ලොකොන්තර කුසල් සිත් විපාක දීමට එ බඳු කාලයක් ගත නො වේ. එ හෙයින් අකාලික . ලෞකික කුශල හා විපාක සිත් එ නමින් ම හදුන්වන අතර ලොකොත්තර කුසල් සිත් මග්ග = මාර්ග= මග නමින් ද විපාක සිත් ඵල = පල නමින් ද හඳුන්වනු ලැබේ. එ හෙයින් සොතාපත්ති – සකදාගාමි- අනාගාමි – අරහත්ත යන මාර්ග සිත් සතර ලොකොත්තර කුසල් සිත් ලෙසත් සොතාපත්ති ආදි ඵල සිත් සතර ලොකොත්තර විපාක සිත් ලෙසත් සැලැකේ.

අකාලික – අරුත් විවරණ

අකාලික යන දහම් ගුණ පදය විශුද්ධිමාර්ගය ආදි අටුවාවන්හි විග්‍රහ වන්නේ මෙ සේ ය: “අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිහෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලං දෙති” – තමන් ගේ හෙවත් තමන් විසින් කරන ලද කුශල කර්‍මයාගේ ඵලදානය හෙවත් විපාක දීම සඳහා බැලිය යුතු කාලයක් නැත්තේ නු යි අකාල නම් වේ. අකාලය ම අකාලික යි. ලෞකික කුශලයනට මෙන් විපාක දීමට පස් දින සත් දින ආදි හෙද ඇති කාලය ගෙවා පල නො දේ. තමන් ගේ හෙවත් ලොකොන්තර කුශල කර්‍මයාගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ.[3]

අකාලිකං = මග්ගානන්තරං ඵලූප්පත්තිතො න කාලන්තරෙ පත්තබ්බ ඵලං” – මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙනුයෙන් කාලාන්තරයෙකින් පත් විය යුතු පලයක් නො වන්නේ අකාලික යි.[4]යො එත්‍ථ අරියමග්ග ධම්මො සො අත්තනො සමනන්තරමෙව ඵලං දෙතීති අත්‍ථො”- මෙහි යම් ආර්යමාර්‍ග ධර්‍මයෙක් වේ ද ඒ ආර්යමාර්‍ගධර්‍මය තමන් ගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ යනු අර්ථ යි.[5] මඟසිතට අනතුරු වැ ම පලසිත ලැබේ කී සේ යි, “ඉදං මග්ගමෙව සන්‍ධාය වුත්තං”- මේ අකාලික පදය මාර්‍ගය ම සඳහා කියන ලදී.[6] මෙ තෙක් කළ විස්තරයෙන් ප්‍රකාශ වන්නේ අකාලික යනු සෝවාන් ආදි ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ම ය.

“යම්බුද්‍ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තෙන සමො න විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු”

“බුද්‍ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්තරිශුද්ධ වූ යම් මාර්‍ගසමාධියක් වර්‍ණනා කෙළේ ද බුද්‍ධාදීහු ආනන්තරික (අනතුරු ව ම පල දෙන) සමාධිය යැ යි යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේ වා.” [7]

මෙහි ප්‍රකාශ වුණු ආනන්තරික සමාධියද අර්‍ථකථාචාර්යයන් වහන්සේ, “යං ව අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලප්පදානතො ආනන්තරිකසමාධීති ආහු” – තමන් ගේ හෙවත් මාර්‍ගචිත්තායා ගේ පැවැත්මට අනතුරු වැ නියමයෙන් ම පල දෙන හෙයින් ආනන්තරික සමාධි යැ යි කියති [8] යි මගසිතට අනතුරු වැ ම පලසිත ලැබෙන බව පැහැදිළි කළ හ. පට්ඨානප්පකරණයෙහි ප්‍රත්‍යයන් විස්තර කරන තැන මාර්‍ග ඵලයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ යනුවෙන් මගසිතට අනතුරු වැ ම පලසිත ලැබිම ප්‍රකාශ කළ හ.

මෙ තෙක් පළ වුනු කරුණු අනු වැ අකාලික නම්, කල් නො යවා පල දෙන හෙවත් මගසිතට අනතුරු වැ (චිත්තක්‍ෂණ මාත්‍රයෙකින් වත් අතර නැති වැ) පල දෙන හෙයින් ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ය. මෙය අටුවා ඇදුරුපාණන් ගේ කාලයේ පටන් අද දක්වා සිටින ධර්‍මාචාර්ය වරුන් ගෙන් සියයට අනූනවයක පිළිගත් මතය යි.

මේ අතරැ බම්බලපිටියේ වජිරාරාමවාසී සොම හා ඛෙමින්‍ද තෙරුන් වහන්සේ දෙ නම අකාලික වචනය ගැන පරීක්‍ෂණයක් කළ හ. ඛෙමින්‍ද තෙරුන් වහන්සේ බුද්‍ධවචනය අනුවැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මාර්ගය ලැබී පැය ගණන් දිග ගණන් මාස ගණන් අවුරුදු ගණන් පසු වීත් ඵලය ලැබිය හැකි බව පෙන්වා දෙති. මෙ බඳු කරුණුවල දී එක වර පිළිගන්නේත් නැති වැ එක වර ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැති වැ බුද්ධොපදෙශය අනුවැ සුපරීක්‍ෂ්‍යකාරීවැ සොයා බැලිය යුතු වේ.

බුද්ධාගම ප්‍රඥාවට මුල් තැන දෙනවා විනා අන්‍ධවිශ්වාසයට තැනක් දෙන්නේ නැත. එ හෙයින් අන්‍ධවිශ්වාසයට ලොකු තැනක් දී තුබුණු කාලයෙකැ පහළ වූ බුදුරජාණන් වහන්සේ, “නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති” – නො සිතන තැනැත්තේ විශෙෂ දියුණුවකට නො පැමිණේ යි වදාරමින් ශ්‍රාවකයන් සිතන්නට පුරුදු පුහුණු කළ හ.

මානව නිදහසක් නැති වැ නොයෙක් ආගමික නීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳතුබුණු කාලයෙකැ උපන් බුදුරජණන් වහන්සේ අන් කිසි ම ශාස්තෘවරයකු නො දුන් තරමේ මානව නිදහසක් කාලාම සූත්‍රයෙන් දී වදාළ හ.

“කාලාමයෙනි, එව, 1. අනුශ්‍රව‍‍යෙන් වත් හෙවත් මුඛ පරම්පරාවෙන් අසාගෙනැ එන ආරංචි මාත්‍රයෙන් වත්, 2. පරම්පරාගත කථාවෙන් වත් හෙවත් මෙය අපේ පිය මුතුන් මිත්තන් ගේ උපදෙශ පරම්පරාවෙන් ගෙනැ එන ලද්දෙකැ යි කියා වත් 3. යමකු කී පමණින් මෙය මෙ සේ විය යුතු යැ යි පිළිගැනීමෙන් වත්, 4. පිටක සම්ප්‍රදායෙන් වත් හෙවත් තමා උගත් පොතට එකඟ යැ යි කියාවත් 5. තර්‍කානුකුල යැ යි ගැනීමෙන් වත් හෙවත්, සෑහෙන කරුණු නැති ශුෂ්ක තර්‍ක මාත්‍රයෙන් වත්, 6. න්‍යායානු කුල යැ යි සෑහෙන හේතු නැති වැ අනුමානයෙන් ගැනීමෙන් වත්, 7. ආකාර පරිවිතර්‍කයෙන් වත් හෙවත් මෙය මේ ආකාරයෙන් විය යුතු යැ යි තමා ම හදාගත් විතර්‍කයන් ගෙන් වත්, 8. තමා ම සිතා ඇතුළෙහි රඳවාගත් දෘෂ්ටිය හා සැසැඳේ ය කියා වත්, 9 යමක් කියන තැනැත්තා ගේ උසස් බව සැලැකීමෙන් වත්, 10. මෙය කියන ශ්‍රමණයා උත්තමයෙකැ ගුරුවරයෙකැ යි කියා වත් යමක් පිළිගත යුතු නො වේ. මේ දහම්හු කුසල් හ, මේ දහම්හු නිවැරදි ය, මේ දහම්හු නුවණැත්තන් විසින් පසස්නා ලද්දාහු ය, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු පිළිපදිනු ලබන්නාහු සුව පිණිස පවතින්නා හ යි තෙමේ ම දැනගන්නේ නම් පිළිගත යුතු වේ”.[9]

‘මහාපදෙස’ ධර්‍මන්‍යාය

මෙ සේ ශ්‍රාවකයන් හිතන්නට උන්නදු කළ, පුරුදු පුහුණු කළ, චින්තන ශක්තිය දියුණු කළ බුදුරජණන් වහන්සේ සිතීමේ කලාවත්, අක්‍රමවත් වැ සිතීමෙන් වන විනාශයත්, ක්‍රමවත් වැ සිතීමෙන් වන ශාන්තියත් දේශනා කළ හ. සිතීමෙ පලවත් හා ක්‍රමවත් කිරීමට මහාපදෙස ධ‍ර්‍මොපදෙශය දුන් හ.

“ඉධ භික්ඛවෙ හික්බු ඵවං වදෙය්‍ය, සම්මුඛාමෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො අයං සත්‍ථුසාසනන්ති. තස්ස භික්ඛවෙ භික්බුනො භාසිතං නෙව අභිනන්‍දිතබ්බං න පටික්කොසිතබ්බං, අනහිනන්‍දිත්‍වා අප්පටික්කොසිත්‍වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්‍වා සුතෙන ඔතාරෙතබ්‍බානි විනය සන්‍දස‍්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරත්ති න විනයෙ සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්බුනො දුග්ගහීතන්ති ඉති ඉදං භික්ඛවෙ ඡඩ්ඩෙය්‍යාථ… තානි චෙ සුත්තෙ ඔතරියමානානි විනයෙ සන්‍දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්‍ධස්ස. ඉමස්ස ච භික්බුනො සුග්ගහීතන්ති ඉමං භික්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.”

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ‘ඇවැත්නි මේ ධර්‍මය යි, මේ විනය යි, මේ ශාස්තෘශාසනය යි මා විසින් බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී අසන ලද, පිළිගන්නා ලද යැ’යි කියයි. මහණෙනි, ඒ භික්ෂුව ගේ කියමන සතුටින් නො පිළිගත යුතුය, ප්‍රතික්‍ෂෙප ද නො කළ යුතු ය. සතුටින් නො පිළිගෙන ප්‍රතික්‍ෂෙප ද නො කොට ඒ පදව්‍යඤ්ජනයන් මනා කොට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය, විනයෙහි ලා සැසැඳිය යුතුය. ඉදින් ඒ ධර්‍ම විනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො ම බසිත් ද, විනයෙහි ලා නො සැසැ‍ඳෙත් ද, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය නො වේ’ යැ යි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි, මෙය ඒ භික්‍ෂුව විසින් වරදවා වටහාගන්නා ලද්දෙකැ යි හළ යුතු ය. ඉදින් ඒ ධර්‍ම විනයයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසදනු ලබන්නාහු සූත්‍රයෙහි ලා බසිත් ද, විනයෙහි ලා සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය යි. මෙය ඒ භික්‍ෂුව විසින් මනා කොට ගන්නා ලද්දෙකැ’යි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි මෙ සේ මේ පළමු මහාපදෙසය සිත් හි ලා දරවු.”[10]

මෙ සේ වදාළ ධර්‍මන්‍යාය හෙවත් සිතීමේ කලාව අනුවැ දහම් පදයක් එකවර පිළිගත යුතු ද නො වේ, හළ යුතු ද නො වේ. එය ධර්‍මයෙහි ලා විනයෙහි ලා සසඳා බලා ම පිළිගත යුතුවේ, හළ යුතු ද වේ. අකාලික = කල් නො යවා විපාක දෙයි. එ නම් මඟසිතට අනතුරු වැ පලසිත සැබේ යන පිළිගත් මතයට අතිරෙක වැ මඟසිත ලැබී පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වීත් පලසිත ලැබේ යන මතය සලකා බැලිමට ත්‍රිපිටක පාලි යෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ ද?

මේ කරුණ සලකා බැලීමට චිත්තක්‍ෂණ හා පුද්ගල යන දෙ කරුණ මනා වැ වටහා ගත යුතු ‍වේ. නාමරූපජීවිතෙන්‍ද්‍රියයා ගේ ප්‍රබන්‍ධය – සමවාය – එකතුව සත්ත්වයා යැ යි කියනු ලැබේ. නාමය විත්තක්‍ෂණයක් පාසා ද රූපය චිත්තක්‍ෂණ 17 ක් පාසා ද වෙනස් වේ. චිත්තයා ගේ වේගයෙහි ප්‍රමාණය දැක්වීමට උපමාක් නැතැ යි කියනු ලැබේ. සාධකයක් හැටියට කියතොන් ඉතා ක්‍ෂණික වැ සිදු වන විදුලිය කෙටීමේ දී එය දෘෂ්ටිපථයට වැටෙන විට චිත්තක්‍ෂණ රාශියක් ගත වී අවසාන ය.

ත්‍රිපිටකයෙහි බොහෝ තැන්වල සදහන් වන සත්තසෙඛඅට්ඨ අරිය පුග්ගලදස ආහුනෙය්‍ය යන පුග්ගලයන් ද නුවණින් මැදහත් වැ සලකා බන්න. මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ වත් අට්ඨඅරියපුග්ගලයෝ වත් දස ආහුනෙය්‍ය පුග්ගලයෝ වත් නො ලැබෙති. මඟසිත අනතුරු වැ පලසිත ලැබෙන්නාක් මෙන් ම මඟසිත ලැබි පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ, අට්ඨඅරිය පුග්ගලයෝ හා දසආහුනෙය්‍ය පුග්ගලයෝ ද ලැබෙති.

සත්තසෙඛා

කතමො ච පුග්ගලො සෙඛො: වත්තාරො මග්ගසමඞ්ගිනො තයො ඵලසමඞ්ගිනො පුග්ගලා සෙඛා, අරහා අසෙඛො” – කවර පුද්ගලයෙක් ශෛක්‍ෂ වේ ද යත්: මාර්‍ගස්ථ පුද්ගලයෝ සතර දෙන යැ ඵලස්ථ පුද්ගලයෝ ති දෙන යැ යන මොවුහු ශෛක්‍ෂයෝ යැ. අරහත් තෙමේ අශෛක්‍ෂ යැ[11] යන මෙහි මග්ගසම්ඞ්ගී සතර දෙනා චිත්තක්‍ෂණ වශයෙන් නො වැ පුද්ගලයන් වශයෙන් බව මනා වැ පැහැදිළි ය.

අට්ඨපුරිසපුග්ගලා

ත්‍රිපිටකයෙහි අර්යසඞ්ඝයා ගේ ගුණ හැම තැන ම පැවැසෙන්නේ මෙ සේ ය: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ඡලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.”

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාකසඞ්ඝ තෙමේ සුපටිපන්න යැ, උජුපටිපන්න යැ, ඤායපටිපන්න යැ, සාමීචිපටිපන්න යැ. යම් මේ පුරිසයුග සතරෙක් වේ ද පුරිසපුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවකසංඝ තෙමේ ආහුනෙය්‍ය යැ, පාහුනෙය්‍ය යැ, දක්ඛිණෙය්‍ය යැ, අඤ්ජලිකරණීය යැ, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර යැ.

මෙහි සදහන් අට්ඨපුරිසපුග්ගලා = පුරිසපුග්ගලයෝ අට දෙනෙක යන්න ත්‍රිපිටක පාලියෙහි විස්තර වන්නේ මෙ සේ ය:

(ග්‍රන්‍ථ මහත්ත්වය සලකා සිංහල තෙරුම පමණක් පහත දැක්වේ)

“මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්. කවර අට දෙනෙක යත්:

සොතාපන්න ය, සෝවාන් ඵල පසක් කිරීම පිළිපන්නේ ය. සකදාගාමී ය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමි ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීම පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති -පෙ- ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙති.”[12]

පුග්ගලපඤ්ඤත්තියෙහි අට්ඨක නිද්දෙසයෙහි අට්ඨපුරිසපුග්ගලයන් විස්තර කරන්නේ මෙ සේ ය:

“ඔවුනතුරෙහි චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වු පුද්ගලයෝ කවර හ යත්:

සොතාපන්න යැ, සොතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, සකදාගාමී යැ, සකදාගාමිඵලය සාක්‍ෂත් කරනු පිණිස පිළිපන්නේ යැ, අනාගාමී යැ, අනාගාමිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, අර්හත් යැ, අර්හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ යන මොහු චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.”[13]

දක්ඛිණාවිභඞ්ග සූත්‍රයෙහි විස්තර කරන තුදුස් පෞද්ගලිකදාන අතුරෙන් දාන අටක් මෙ සේ ය:

“අර්හත් තථාගත ශ්‍රාවකයා විෂයයෙහි දන් දෙයි, රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂ‍යයෙහි දන් දෙයි , ආනාගාමී හට දන් දෙයි, අනාගාමීපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෙද ගැමි හට දන් දෙයි, සෙදගැමිපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෝවාන්හු කෙරෙහි දන් දෙයි, සෝවාන්පල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි.”[14]

තෙවළා දහමෙහි මාර්‍ගස්ථයා හා ඵලස්ථයා දෙ දෙනකු හැටියට ඉතා පැහැදිළි වැ ප්‍රකාශකොට තිබිය දී ඇතැම් අර්‍ථකථාචාර්යයන් වහන්සේ අට්ඨපුරිසපුග්ගල යන්න විග්‍රහ නො කොට ම අර්‍ථකථා විවරණය කැරැ ඇත. මෙ සේ වීමට හේතුව මහාඅට්ඨකථාචරිය බුද්ධඝොස මාහිමියන් වහන්සේ මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යී ගත් තීරණය විය හැකි ය. එහෙත් අර්‍ථකථාචාර්ය ධම්මපාල මාහිමියන් වහන්සේ ත්‍රිපිටක පාලියට අනුකූල වැ අට්ඨපුරිසපුග්ගලා යන්න විස්තර කෙළේ මෙ සේ ය: “අට්ඨපුරිසපුග්ගලාති පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො පඨමඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨපුරිසපුග්ගලා” – අට්ඨපුරිසපුග්ගලා යනු පුරිසපුග්ගල වශයෙන් ප්‍රථම මාර්ගස්ථයා එකෙකි, ප්‍රථම ඵලස්ථයා එකෙකි. මේ නයින් පුරිසපුග්ගලයෝ අට දෙනෙකි.[15]

අකාලික යන්නෙහි තේරුම මගසිතට අනතුරු වැ පලසිත පහළ විම පමණක් නම් සෝවන් සෙදගැමි අනගැමි රහත් යන පලයන් පසක් කරනු සදහා පිළිපන්නාවුන් කෙරෙහි දන් දෙන්නේ කෙ සේ ද? බුදුරජණන් වහන්සේ ගේ මේ දේශනාව හා අටුවා විවරණය නො සැසැ‍ඳේ ම ය.

දස ආහුනෙය්‍යා පුග්ගලා

“මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්හ ද ප්‍රාහුනාර්හ ද දක්‍ෂිණාර්හ ද අඤ්ජලිකරණාර්හ ද ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙත්. කවර දස දෙනෙක යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධය හ, ප්‍රත්‍යෙක බුද්ධය හ, උභතොභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගොත්‍රභූ යි.”[16]

මෙයින් ධර්‍මානුසාරී ශ්‍රද්ධානුසාරී යන ‍දෙදෙනා කවරහු දැ යි මෙහි ලා සලකා බැයිල යුතු වේ.

“ධම්මානුසාරී: ධම්මොති පඤ්ඤා, පඤ්ඤාපුබ්බඞ්ගමං මග්ගං භාවෙතීති අත්‍ථො. සද්ධානුසාරිම්හිපි එසෙව නයො. උභොපෙතෙ සොතාපත්තිමග්ගට්ඨායෙව.” ධම්මානුසාරී සද්ධානුසාරී දෙ දෙනා ම මාර්‍ගස්ථයන් බව පැහැදිළි ය.[17]

කතමො ච පුග්ගලො ධම්මානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති පඤ්ඤාවාහී පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො ධම්මානුසාරී. ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො.”

කතමො ච පුග්ගලො සද්ධානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො සද්ධානුසාරී. ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.”

“කවර පුද්ගලයෙක් ධම්මානුසාරී වේ ද යත්: සොතාපත්ති ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හු ගේ ප්‍රඥෙන්‍ද්‍රියය බලවත් වේ ද. ප්‍රඥව එළවන සුලු ප්‍රඥා පූර්‍වංගම වූ ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල ධර්‍මානුසාරි යැ යි කියනු ලැබේ. සෝවාන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ධර්‍මානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ දෘෂ්ටිප්‍රාප්ත යි.”

“කවර පුද්ගලයෙක් ශ්‍රද්ධානුසාරි වේ ද යත්: සොතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක් හු ගේ ශ්‍රද්ධෙන්‍ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව ඵළවන සුලු වූ ශ්‍රද්ධා පූර්‍වංගම වු ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. සෝවාන්පලය පසක් කරනු පිණිස පිළිපන් පුදගල තෙමේ ශ්‍රද්ධානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ ශ්‍රද්ධාවිමුක්ත යි.”[18]

“මහණෙනි, ඇස අනිත්‍ය ය, පෙරළෙන සුලු ය, වෙනස් වන සුලු ය. කන නැහැය දිව කය මන ද එ සේ ම ය.

මහණෙනි. යමෙක් මේ ධර්‍මයන් මෙ සේ අදහයි ද, ශ්‍රද්ධාවෙන් මිදීමක් ලබයි ද, ආර්‍ය්‍යමාර්ගයට පැමිණියේ සත්පුරුෂ භූමියට පැමිණියේ පෘථග්ජනභූමිය ඉක්මවා සිටියේ, නිරය තිරච්ජානයොනිය ප්‍රේතවිෂය යන තන්හි උපදනට සුදුසු කර්‍ම කිරීමට අභව්‍ය වේ.” සෝවාන්පලය සාක්‍ෂාත් නො කොට කාලක්‍රියා කිරීමට ද අභව්‍ය වේ.”[19] ධර්‍මානුසාරී පුද්ගලයා ගැන ද මෙ සේ ම දෙශනා කොට ඇත.

ඨිතකප්පී

“කවර පුද්ගයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම්, කල්පය තමාත් දැවෙන වේලාව වේ නම්, යම් තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සා‍ක්‍ෂාත් නො කෙරෙහි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිත කල්පී යැයි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.”[20]

අර්‍ථකථාචාර්යයන් වහන්සේ ස්ථිතකල්පී පුද්ගලයා ගැන දීර්‍ඝ විස්තරයක් කොට ඇත. මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යන්න පමණක් පිළිගත්තොත් මේ බුද්ධවචනයට සිදු වන්නේ කුමක් දැ යි නුවණින් සලකා බලන්නේ මැනැවි.

චතුර්විධ පුද්ගලයෝ

ධර්‍මය අවබෝධ කරන ආකාර වශයෙන් පුද්ගලයෝ සතර දෙනෙකි.

  1. උද්ඝටිතඥ = දහම් පදයක් කනෙහි වැටුණු කෙණෙහි ම නිවන් පසක් කරන්නාහු ය. සැරියුත් මහරහතන් වහන්සේ වැනි අය වෙති.
  2. විපචිතඥ = දහම් පදයක් විස්තර කළ කෙණෙහි නිවන් පසක් කරන්නාහු ය. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැනි අය වෙති.
  3. නෙය්‍ය = ධර්‍මය ඉගැනීමෙන් හා පිළිපැදීමෙන් ද පසු වැ එ ම ජාතියෙහි ම නිවන් පසක් කරන්නාහු ය. චක්බුපාල මහරහතන් වහන්සේ වැනි අය වෙති
  4. පදපරම = ධර්‍මය මනා වැ ඇසුවත් මනා වැ පිළපැද්දත් එ ම ජාතියෙහි ම නිවන් පසක් නොකරන්නාහු ය. සච්චක පඬිතුමා වැනි අය වෙති.

උද්ඝටිතඥ හා විපචිතඥයෝ ධර්‍මය අසා නිවන් පසක් කන්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ ධර්‍මය අසා මාර්ගය වඩා නිවන් පසක් කරන්නාහු වෙති. ධර්‍මය අසා සතරමඟ සතරපල පිළිවෙළින් රහත් වන්න වුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. මාර්ගය වඩා නිවන් පසක් කරන්නවුන් ගෙන් සමහරුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. සමහරුනට මඟසිත ලබා පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී පලසිත ලැබි ඇත. එ සේ නොවන්න ආර්යපුද්ගයෝ අට දෙනෙක් ලැබෙන්නේ නැත.

න්‍යායානුකූල වැ සිතීම

න්‍යායානුකුල වැ සිතීමට මහාපදෙස දෙසනා ඉදිරිය ගත යුතු ය. මුල් තැන බුද්ධවචනයට ය, දෙ වැනි තැන අටුවාවනට ය, තෙ වැනි තැන ටීකාවනට ය, සිවු වැනි තැන සංග්‍රහ ග්‍රන්‍ථයනට ය. බුද්ධවචනය අනුවැ මඟසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මඟසිත ලැබී පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබිය හැකි ය. බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතය අනු වැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය යුතු ම ය. එහෙත් එය පිළිගත්තොත් ආර්යපුද්ගලයන් අට දෙනෙක් ලැබෙන්නේ නැත. එය බුද්ධවචනය හා සැසැ‍ඳෙන්නේත් නැත. එ හෙයින් අවුරුදු දහස් ගණනක් පාරම්පරික වැ ගෙනාවේ යැ යි බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතයෙහි ම එල්බ සිටින්නේ නැති වැ බුද්ධවචනය හා සසඳා බලන්නේ මැනැවි.

 

ත්‍රිපිටක ධර්‍මකෝෂය – 1 වෙළුම 2 කලබ

ප්‍රඥාප්‍රභා 1

 

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

[1] අංගුත්තර නිකාය i. (බුද්ධජයන්ති මු.) 279 පි.

[2] ධම්මපද (බුද්ධජයන්ති මු.) 26 පි.

[3] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 159 පි.

[4] සුත්තනිපාතට්ඨකථා (හේවාවිතාරණ මු.) 375 පි.

[5] චුල්ලනිද්දේසට්ඨකථා (හේවාවිතාරණ මු.) 64 පි, සංයුත්තනිකායට්ඨකථා I (එම) 34 පි.

[6] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 160 පි.

[7] ඛුද්දකනිකාය (බුද්ධජයන්ති මු.) 8 පි.

[8] එහි අටුවාව (හේවාවිතාරණ මු.) 119 පි.

[9] අංගුත්‍තරනිකාය (බුද්ධජයන්ති මු.) 340 පි.

[10] දීඝනිකාය ii. (බුද්ධජයන්ති මු.) 192 පි.

[11] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.

[12] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 254 පි.

[13] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 404 පි.

[14] මජ්‍ඣිමනිකාය (බුද්ධජයන්ති මු.) 522 පි.

[15] ඉතිවුත්තකට්ඨකථා (හේවාවිතාරණ මු.) 224 පි.

[16] අංගුත්තරනිකාය (බුද්ධජයන්ති මු.) 42 පි.

[17] අංගුත්තරනිකායට්ඨකථා (හේවාවිතාරණ මු.) 699 පි.

[18] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 270, 272 පි.

[19] සංයුත්තනිකායට්ඨකථා ii. (හේවාවිතාරණ මු.) 252 පි.

[20] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.
පඤ්චප්පකරණට්ඨකථා (හේවාවිතාරණ මු.) 28 පි.

ධ්‍යාන නැති වැ සෝවාන් විය හැකි ද?

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

 

 

“කථං දුහතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං?

සොතාපත්ති මග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ධි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බ නිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති දුභතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං,

අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති -පෙ-

පරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය වුට්ඨාති -පෙ-

සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා වුට්ඨාති -පෙ-

වොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාආජීවා වුට්ඨාති -පෙ-

පග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා වුට්ඨාති -පෙ-

උපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා වුට්ඨාති -පෙ-

අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිචඡාසමාධිතො වුට්ඨාති,

තදනුවත්තකකිලෙසෙහි ව ඛන්‍ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච නිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති දුහතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං”

“දෙයාකාරයෙකින් නැගිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ගඥානය වන්නේ කෙ සේ ද යත්:

ශ්‍රොතාපත්ති මාර්ගක්‍ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටියෙන් නැඟිටියි, ඒ මිථ්‍යා දෘෂ්ටිය අනුවැ පවත්නා ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැඟිටියි. බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන් ද නැඟිටියි. එ හෙයින් දෙයාකාරයෙකින් නැඟිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ග ඥාන යැ යි කියනු ලැබේ.

අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පනාව මිථ්‍යා කල්පනාවෙන් නැඟිටියි. -පෙ-

වැලැඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යා වචනයෙන් නැඟිටියි. -පෙ-

මනා කොට පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැඟිටියි -පෙ-

පිරිසිදු වීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යා ආජිවයෙන් නැඟිටියි. -පෙ-

එසැවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයෙන් නැඟිටියි. -පෙ-

එළැඹ සිටීම් අර්ථයෙන් සම්‍යක් ස්මෘතිය මිථ්‍යා ස්මෘතියෙන් නැඟිටියි. -පෙ-

නො විසිරැ යෑම් අර්ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යා සමාධියෙන් නැඟිටියි. ඒ සමාධිය අනුවැ පත්නා ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැඟිටියි බාහිර සියලු සංඛාරයන් ගෙන් ද නැඟිටියි. එ හෙයින් දෙයාකාරයෙකින් නැඟිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ග ඥානය යි කියනු ලැබේ.”[1]

සෝවාන් මාර්ගක්‍ෂණයෙහි යටැ කී චිත්තාංග අට යෙදෙන සැටි මැනැවින් මැ පැහැදිළි ය. සකෘදාගාමි – අනාගිමි – අර්හත් මාර්ග‍ක්‍ෂණයෙහි ද චිත්තාංග අට යෙදෙන සැටි ද එහි මැ පැහැදිළි කැරැ ඇත. අට්ඨකථාවෙහි තව ද විස්තර කැරැ තිබේ. එහෙයින් සෝවාන් ආදි මාර්ගක්‍ෂණයන්හි සම්මා සමාධිය යෙදෙන බවත් සම්මා සමාධියෙන් තොර වැ මාර්ග චිත්තයන් පහළ නොවන බවත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය දන්නා කවර කෙනකුට වුව ද වැටැහෙනුවා ඇත.

සම්මාදිට්ඨි ආදි ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කරන අට්ඨකථාචාර්යවරු, “අට්ඨඞ්ගි‍කොති පඤ්චඞ්ගික තුරියං විය අට්ඨකුටිකො ගාමො විය වා අට්ඨඞ්ගමත්තො යෙව හුත්වා අට්ඨඞ්ගිකො, න අඞ්ගතො අඤ්ඤො මග්ගො නාම අත්ථි” යන්නෙන් යටැ කී කරුණ පැහැදිළි කළ හ.[2]

විසාඛ උපාසකයන් විසින් අෂ්ටාංගික මාර්ගයෙන් ශීල, සාමාධි, ප්‍රඥා යන ස්කන්‍ධත්‍රයය සංගෘහීත ද, නැත හොත් ස්කන්‍ධත්‍රයයෙන් අෂ්ටාඞ්ගික මාර්‍ගය සංගෘහීත ද, යි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, “තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්‍ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහීතො, යා චාවුසො විසාඛ සම්මාවාචා, යො ච සම්මාකම්මන්තො, යො ච සම්මාආජිවො ඉමෙ ධම්මා සීලක්ඛන්‍ධෙ සඞ්ගහීතා. යො ච සම්මාවායාමො, යා ච සම්මාසති, යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මා සමාධික්ඛන්‍ධෙ සඞ්ගහීතා. යා ච සම්මාදිට්ඨි, යො ච සම්මාසඞ්කප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්‍ධෙ සඞ්ගහීතා”

“ඇවැත්නි, විසාඛයෙනි, ස්කන්‍ධත්‍රයයෙන් ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය සංගෘහීත වෙයි. ඇවැත්නි, යම් සම්‍යක් වචනයෙක්, යම් සම්‍යක් කර්මාන්තයෙක්, යම් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ධර්‍මයෝ ශිලස්කන්‍ධයෙහි සංගෘහීත වෙති. යම් සම්‍යක් ව්‍යායාමයෙක්, යම් සම්‍යක් ස්මෘතියෙක්, යම් සම්‍යක් සමාධියෙක් වේ ද , මේ ධර්‍මයෝ සමාධිස්කන්‍ධයෙහි සංගෘහීත වෙති. යම් සම්‍යක් දෘෂ්ටියෙක්, යම් සම්‍යක් සංකල්පනාවෙක් වේ ද, මේ ධර්‍මයෝ ප්‍රඥාස්කන්‍ධයෙහි සංගෘහීත වෙති.” [3] යි වදාළ හ.

අෂ්ටාඞ්ගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යන ගුණකඳු තුන මැ බව මේ සූත්‍ර පාඨයෙන් විවරණය වෙයි. විශුද්ධිමාර්ගය (විශුද්ධියට – නිවනට – මාර්ගය) විවරණය කරනු සදහා බුද්ධඝෝෂාචාර්ය පාදයන් වහන්සේ “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං” යන ආදි වශයෙන් තෝරාගත් ගාථා දේශනාවෙහි සංගෘහීත වන්නේ ද මේ ශීල, සමාධි, ප්‍රඥා යන ගුණකඳු තුන මැ යි.

විශුද්ධිමාර්ගයෙහි මේ ගුණකඳු තුන විස්තර කරන්නට පටන් ගත්තේ, “එත්‍ථ හි සීලෙන අධිසීලසික්ඛා පකාසිතා හොති , සමාධිනා අධිචිත්තසික්ඛා, පඤ්ඤාය අධිපඤ්ඤාසික්ඛා” – මෙහි ශීලයෙන් අධිසීල සික්ඛාව ද, සමාධියෙන් අධිචිත්තසික්ඛාව ද, ප්‍රඥාවෙන් අධිපඤ්ඤාසික්ඛාවද ප්‍රකාශ කළා වෙයි යනුවෙනි.[4] ‘අධිචිත්ත’ යන්න අට්ඨකථාවන්හි විවරණය කැරෙන්නේ මෙ සේ ය. ‘කාමාවචර චිත්තං පන චිත්තං නාම, තං උපාදාය රූපාවචරං අධිචිත්තං නාම, තම්පි උපාදාය අරූපාවචරං අධිචිත්තං නාම, අපි ච සබ්බම්පි ලොකියචිත්තං චිත්තමෙව ලොකුත්තරං අධිචිත්තං” – කාමාවචර සිත චිත්ත නමි. එය නිසා රූපාවචර සිත අධිචිත්ත නමි. එය ද නිසා අරූපාවචර සිත අධිචිත්ත නමි. වැලි දු සියලු ලොවී සිත් චිත්ත නමී. ලොකුත්තර සිත් අධිචිත්ත නමි.[5]

“දසකුසලකම්මපථවසෙන උප්පන්න චිත්තං චිත්තමෙව, විපස්සනා පාදකං අට්ඨසමාපත්ති චිත්තං තතො චිත්තතො අධිකං චිත්තන්ති අධිචිත්තං” – දශ කුශල කර්මපථ වශයෙන් උපදනා චිත්තය සිත් මැ වෙයි. විදර්ශනා පාදක වූ අෂ්ටසමාපත්ති චිත්තය ඒ සිතට අධික චිත්ත නු යි අධිචිත්ත නමි.[6]

“අධිචිත්තෙහි අට්ඨසමාපත්ති සඞ්ඛාතෙ අධිකචිත්තො” – අධිචිත්තෙ යනු අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත අධික චිත්තයෙහි.

“අධිචිත්තයෙහි යෙදීම යනු අට වැදැරුම් සමාපත්තීන් ගේ අධිගමය පිණිස භාවනාවෙහි යෙදීම යි. අනෙක් ක්‍රමයෙක් ද වෙයි. අධිචිත්තයෙහි යෙදීම යනු සියලු චිත්තයනට අධික බැවින්, උතුම් බැවින් අධිචිත්ත සඞ්ඛ්‍යාත වු අර්හත් ඵල චිත්තය සිද්ධ කළ යුතු කල්හි එය ඇති කැරැගනු සඳහා සමථ විපස්සනා භාවනා වශයෙන් යෙදීම යි.” [7]

බුද්ධඝොෂාචාර්ය පාදයන් වහන්සේ විශුද්ධිමාර්ගයෙහි අධිචිත්ත සඞ්ඛ්‍යාත සමාධිය විස්තර කැරැ තිබෙන්නේ ද යටැ කී බුද්ධ වචනයට හා අට්ඨකථා විවරණයනට අනුකූල වැ ම බව විශුද්ධිමාර්ගය හදාළ ගිහි පැවිදි කවුරුනුත් පිළිගන්නවා ඇත.

තව ද සිල් නැත්තහුට සම්මා සමාධිය නැති බවත් සම්මා සමාධිය නැත්තහුට යථාභූත ඥානදර්ශනය පහළ නොවන පවත් යථාභූත ඥානදර්ශනය නැත්තහුට නිර්විදාවිරාගය ඇති නොවන බවත් නිර්විදාවිරාගය නැත්තහුට විමුක්ති ඥානදර්ශනය ඇති නොවන බවත් ප්‍රකාශ කළ බුදුරජණන් වහන්සේ අනතුරු වැ,

“සිලෙ සති සීලසම්පන්නස්ස උපනිස්සය සම්පන්නො හොති සම්මාසමාධි, සම්මාසමාධිම්හි සති සම්මාසමාධි සම්පන්නස්ස උපනිස්සය සම්පන්නං හොති යථාභූතඤාණදස්සනං, යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සන සම්පන්නස්ස උපනිස්සය සම්පන්නො හොති නිබ්බිදාවිරාගො, නිබ්බිද‍ාවිරාගෙ සති නිබ්බිදාවිරාග සම්පන්නස්ස උපනිස්සය සම්පන්නං හොති විමුත්තිඤාණ දස්සනං” යනුවෙන් සිල්වතා ගේ ඒ සීලසම්පන්න භාවය සම්මා සමාධියට උපනිඃශ්‍රය (බලවත් ප්‍රත්‍යය) වෙයි. සම්මා සමාධිය ඇති කල්හි ඒ සම්මා සමාධි සම්පන්න භාවය යථාභූත ඥානදර්ශනයට උපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්ශනය ඇති කල්හි ඒ යථාභූත ඥානදර්ශන සම්පන්න භාවය නිර්විදා විරාගයට උපනිඃශ්‍රය වෙයි. නිර්විදා විරාගය ඇති කල්හි ඒ නිර්විදා විරාග සම්පන්න භාවය විමුක්ති ඥානදර්ශනයට උපනිඃශ්‍රය වේ.[8]

මෙහි සම්මා සමාධිය නිසා ලැබෙන යථාභූත ඥානදර්ශනය නම් නාමරූප පරිච්ජේද ඤාණය ආදි කොට ඇති තරුණවිදර්ශනාව යි. යථාභූත ඥනදර්ශනය නිසා ලැබෙ නිබ්බිදාව නම් බලවවිපස්සනාව යි. විරාග නම් මාර්ගය යි. නිර්විදා විරාගය නිසා ලැබෙන විමුක්ති ඥානදර්ශනය නම් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්ෂා ඥානය යි යනු අටුවා විරණය යි. තරුණවිපස්සනා නම් නාමාරූප පරිග්ගහ ඥාණය, පච්චය පරිග්ගහ ඥාණය, සම්මසන ඥාණය, මග්ගාමග්ග ව්‍යවස්ථාපනයෙහි සිටි ඥාණය යන සතර වැදෑරුම් ඥාණයන් බවත් බලවවිස්සනා නම් භයතූපට්ඨාන ඥාණය, ආදිනවානුපස්සා ඥාණය, මුඤ්චිතුකම්‍යතා ඥාණය, සඞ්ඛාරුපෙක්ඛා ඥාණය සතර වැදෑරුම් ඥාණය බවත් අඞ්ගුත්තර ටීකාවෙහි සඳහන් වෙයි.

මෙ කී විදර්ශනා ඥානයන් ගෙන් එකකුදු සම්මා සමාධිය නැත්තකුට නො ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේ මැ දේශනා කළ හ. (මෙහි ලා එ ම දේශනා පාඨයන්හි සිංහල තේරුම පණක් දක්වනු ලැබේ.)

“මහණෙනි, මහණ තෙමේ ගණසංගණිකාවෙහි ඇලුණේ නොයෙක් ආකාර පිරිස් හා ඇලී ගැලී වසනුයේ හුදෙකලා වැ කායවිවේකයෙහි අහිරමණය කෙරේ යනු නොසිදුවන්නෙකි. හුදෙකලා වැ විවේකයෙහි අභිරමණ නොකරනුයේ සමථ විපස්සනා කාරයෙක් ගනී යනු නොසිදුවන්නෙකි. සිතට නිමිත්තක් නොගන්නේ සම්මා දිට්ඨිය සපුරන්නේ ය යනු නොසිදුවන්නෙකි. සම්මා සමාධි නො සපුරා සංයොජනයන් ප්‍රහාණය කරන්නේ ය යනු නොසිදුවන්නෙකි. සංයෝජනයක් ප්‍රහාණය නො කොට නිර්වාණය සාක්‍ෂාත් කරන්නේ ය යනු නොසිදුවන්නෙකි”.[9]

මේ හැම දේශනාවෙකින් ම ප්‍රකාශ වන කරුණ නම් කෙලෙසුන් නැසිමට සම්මා සමාධිය අත්‍යාවශ්‍යක බව යි. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය විස්තර කරන්නේ මෙ සේ ය: “මහණෙනි, සම්මා සමාධිය කවරේ ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විවාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇත්තා වූ ප්‍රථමධ්‍යානයට (තමා සන්තානයෙහි ඉපැදවීම් වශයෙන්) පැමිණ වෙසෙයි -පෙ- චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ.”

මෙහි සම්මා සමාධිය පැහැදිළි කැරැ තිබෙන්නේ අටුවාවන්හි එන ඛණිකසමාධිය වශයෙන් වත් උපචාරසමාධිය වශයෙන් වත් නො වැ, අර්පණා සමාධිය වශයෙන් ම බව ධර්මය දන්නා කවරකුට වුව ද වටහාගත හැකි ය.

මහාපුරිස විතක්ක දේශනා කරන බුදුරජාණන් වහන්සේ, ‘මා ගේ ධර්මය අසමාහිතයනට නො වෙයි, සමාහිතයනට ය, ධ්‍යාන ඇත්තවුන යැ’ යි ප්‍රකාශ කළේ මෙ සේ ය: “සමාහිතස්සායං භික්ඛවෙ ධම්මො නායං ධම්මො අසමාහිතස්ස.”[10] මෙහි අයං ධම්මො යන්න විවරණය කරන අර්ථකථාචාර්යයන් වහන්සේ, ‘අයං ධම්මොති අයං නවලොකුත්තර ධම්මො’ – මේ ධර්‍මය යනු නවලෝකෝත්තර ධර්මය යි ප්‍රකාශ කළ හ.[11]

බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයෙහි මැ සමාහිතයා කවරෙක් දැයි විස්තර කරන්නේ මෙ සේ ය: “මහණෙනි, මේ ශාසනයෙහි හික්‍ෂු තෙමේ කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වු විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි -පෙ- චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ. මහණෙනි, මේ ධර්‍මය සමාහිතයනට ය, අසමාහිතයනට නො වේ යැ යි යමක් මා ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශ කළේ මේ කාණය අරමුණු කැරැගෙන යි.”[12]

අංගුත්තරනිකාය අට්ඨක නිපාතයේ මේ සුත්‍රයෙහි දී ද මේ නවලෝකෝත්තර ධර්මය ධ්‍යාන ඇත්තවුනට ය, ධ්‍යාන නැත්තවුනට නො වේ යැ යි බුදුරජාණන් වහන්සේ පැහැදිළි වැ මැ ප්‍රකාශ කොට තිබිය දී සමථය නැති වැ සුද්ධවිපස්සනාවෙන් සෝවාන් ආදි මාර්ග චිත්තයන් පහළ විය හැකි යැ යි පිළිගන්නේ කෙ සේ ද?

තව ද රථවිනීත සූත්‍රයෙහි ප්‍රකාශිත පිළිවෙළ ද මෙහි දී සලකා බැලිය යුතු ය.

“සැවැත් නුවර වසන්නා වු පසේන දී කොසොල් රජුට සාකේත නගරයෙහි කිසියම් ඉක්මන් කටයුත්තෙක් ඇති වෙයි. ඒ සැවැත් නුවරට ද සාකේතයට ද අතරෙහි විනීත අසුන් යෙදු රිය සතක් පිළියෙළ කෙරෙහි. ඇවැත්නි, පසේනදී කොසොල් රජු සැවැත් නුවරින් නික්මැ අන්තෙපුරුද්‍වාරයෙන් පළමු රියට නැගෙයි. පළමු රියෙන් දෙවැනි රියට නැඟෙයි, දෙ වැනි රියෙන් තෙ වැනි රිය වෙතට පැමිණෙයි. දෙ වැනි රිය අත් හරියි. තෙ වැනි රියට නැගෙයි -පෙ- සවැනි රියෙන් සත්වැනි රිය වෙතට පැමිණෙයි, ස වැනි රිය අත්හරියි, සත් වැනි රියට නැහෙයි, සත්වැනි රියෙන් සාකේතයට පැමිණෙයි.”

“එ සේ ම ඇවැත්නි, සීලවිසුදධිය චිත්තවිසුද්ධිය සඳහා ය, චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය සඳහා ය, දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය සඳහා ය, කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය සඳහා ය, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය සඳහාය, පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය සඳහා ය, ඤාණනදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිබ්බානය සඳහා ය.”[13]

‘චිත්තවිසුද්ධීති සඋපචාරා අට්ඨසමාපත්තියො චිත්ත සීසෙන හෙත්‍ථ සමාධි වුත්තෝ’ – චිත්තවිසුද්ධි යනු උපචාර සහිත අෂ්ටසමාපත්ති යි. මෙහි චිත්ත නාමයෙන් සමාධිය කියන ලද්දේ ය යනු අටුවාවෙහි එන විවරණය යි.

‘චිත්තවිසුද්ධීති විපස්සනාය පදට්ඨානභූතා අට්ඨපගුණා සමාපත්තියො’ – චිත්තවිසුද්ධි නම් විදර්ශනාව ආසන්න කාරණ වූ ප්‍රගුණ කන ලද අෂ්ටසමාපත්තීහු ය යනු දසුත්තර සූත්‍ර අටුවා ය.

මෙහි සඳහන් උපමාවෙහි රජතුමාට පළමු රියෙන් යා යුතු කොටස නො ගොස් දෙ වැනි රියට ‍නො නැඟිය හැකි වෙයි. දෙ වැනි රියෙන් යා යුතු කොටස නො ගොස් තෙ වැනි රියට නො නැඟිය හැකි වෙයි. ඉතිරි කොටස් පිළිබඳ වැ ද එසේ මැ ය. එ මෙන් ම උපමේයයෙහි සීලවිසුද්ධිය චිත්තවිසුද්ධිය නම් වු අර්ථය සිදු කරනු සදහා ය. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය නම් වූ අර්ථය සඳහා ය ආදි වශයෙන් කියා තිබෙන හෙයින් සීලවිසුද්ධිය නැති වැ චිත්තවිසුද්ධිය නො ලැබිය හැකි වෙයි. චිත්තවිසුද්ධිය නැති වැ දිට්ඨිවිසුද්ධිය නො ලැබිය හැකි වේ යනු ඉතා පැහැදිළි ය.

මෙහි මුලින් මැ සඳහන් පටිසම්භිදාමග්ගපාළි ප්‍රදේශයෙන් මාර්ගක්‍ෂණයන්හි පහළ වන චිත්තාංග අට පැහැදිළි ය. එයින් සම්මා සමාධිය ද එකෙකි. එ හෙයින් සම්මා සමාධිය නැති වැ මාර්ගචිත්තයක් පහළ නො වෙයි. බුද්ධ වචනය අනුවැ සම්මාසමාධිය නම් සතර ධ්‍යාන යි. ඉතින් ධ්‍යාන නැති වැ මාර්ගචිත්තයක් පහළ විය හැකි ද? Read More

අපේ ගුරු හාමුදුරුවෝ …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

පෙන්නීමට නො වැ සැබවට ම විය යුතු යනු අතිගරු ආචාර්යොත්තම පැළෑණේ සිරි වජිරඤාණ මහානායක හිමියන් වහන්සේ ගේ ප්‍රධාන ආදර්ශ පාඨයකි. උන් වහන්සේ ගේ කථා ක්‍රියා ඉරියව් ගති පැවැතුම් සියල්ලක් ම යට කී ආදර්ශ පඨය අනුවැ ම සිදු වූ බව බොහෝ කාලයක් ළහින් ආශ්‍රය කළ අප හා තරම් හොදින් දන්නෝ වෙන නැතැයි කිව යුතු ය.

මේ ලෝකයෙහි සමහරුන් ඈත සිට සුළු වශයෙන් ආග්‍රය කරන විට බෝසතුන් මෙන් පෙනෙතත් ළං වැ ආශ්‍රය කරන විට පුහු සතුන් ම බව හොදින් වැටැහෙයි. සමහරු දුර ආශ්‍රයෙන් බලන විට නිකමුන් පුහුවන් මෙන් පෙනෙතත් ළඟ ආශ්‍රයට ආ විට උගත් සිල්වත් ගුණවත් නියම බෝසතුන් බව මැ පැහැදිළි වෙයි. පෙන්නීමට නො වැ සැබවට ම විය යුතු යන ආදර්ශ පාඨය අනුවැ ජිවිතය ගත කළ ආචාර්යෝත්තම මහානායක මාහාමියන් වහන්සේ දෙ වැනි කොටසට ඇතුළත් උත්තම යෙකි. උන් වහන්සේ ආශ්‍රය කළ කවර කෙනෙකුට වුව ද දිනෙන් දින ම ප්‍රිය වූ හ.

සුළු කාලයක් ඇතුළත මෙ තරම් උසස් ධර්ම ශාස්ත්‍රඥානයක් ඇති තැරැගත හැකි වුයේ උන් වහන්සේ කුඩා කල පටන් ම, සක්කච්චකාරිතා කරන වැඩක් ඇත් නම් එය සකසා සපුරා කිරීම ය, සතතයෙන් කිරීම ය යන ආදි මනා පිළිවෙළින් ම කළ හෙයිනි. Read More

සසුන රැකීමට හළ යුතු දෑ …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

1959 බණ්ඩාරනායක ඝාතනයත් සමග රටෙහි නොසන්සුන් තත්ත්වයෙක් පැන නැඟිණ. එහි දී බොහෝ අහිංසක භික්ෂූන් වහන්සේලාට විදින්නට සිදු වූ නෙයෙක් ගහට හා නින්දා අපහාස පමණ කළ නොහැකි ය. අතිපූජ්‍ය මහානායක මාහිමි පාණන් වහන්සේ සමාජයීය ප්‍රශ්නයක් මුල් කොට කල එළියේ ම සිය පෑන මෙහෙයවන්නට වූයේ මෙ කරුණ අරබයා ය. එහි ලා ලියන ලද ලිපි දෙකක් මෙහි ලා පළ වෙයි.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ මරණයෙන් ශාසනාර්බුදයක් ඇති වූ බව ඉතා ප්‍රකට ය. මෙ බඳු අවස්ථාවල දී අප ගිහි පැවිදි දෙ පක්‍ෂය මැ දුරදර්ශී වැ ඉවැසිල්ලෙන් හා විමැසිල්ලෙන් ක්‍රියා කළ යුතු ය. මෙ බඳු කරුණුවලදී සාමාන්‍ය මහජනයා නොසංසුන් වීම සාමාන්‍ය දෙයකි. එ සේ වී නමුත් සාමාන්‍ය මහාජනයා නොසංසුන් කරවන නොයෙක් ව්‍යාපාර කැරැගෙනැ යෑම හීන දීන ක්‍රියාවක් බව කිව යුතු ය.
බුද්ධශාසන කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලංකා ශාසනය ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු වූ අග්‍රාමාත්‍යතුමා මරා දැම්මත් ලංකා බුද්ධශාසනය නම් මරා දැමිය නොහැකි බව නොයෙක් ව්‍යාපාර ගෙනයන්නන් හට කරුණාවෙන් මතක් කැරැ දෙමි.
ඥානවන්ත සත්පුරුෂයන් විසින් මෙ බඳු අවස්ථාවල දී සාමාන්‍ය මහාජනයාට කරුණු පැහැදිළි කැරැ දී ඔවුන් සංසුන් කරවා ගත යුතු ය. බුද්ධශාසනය ආරක්‍ෂා කැරැගැනීම සඳහා හළ යුතු දේ හරින ලෙසත් කළ යුතු දේ කරන ලෙසත් සාමාන්‍ය මහාජනයාට පැහැදිළි කැරැ දිය යුතු ය. මා යන යන තැන දී සමහරුන් කැරැගෙන යන අවිචාරවත් කථා හා ක්‍රියා වහා මැ නතර කරන ලෙසත් බුද්ධශාසන කොමිෂමේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් බුද්ධශාසනය ආරක්‍ෂා කැරැගත යුතු බවත් කියතත් ඒ ඒ වාර්තාකරුවන් ප්‍රිය කරන කොටස් පමණක් පත්‍රවල පළ වීමෙන් ශාසන ශෝධනය පිළිබද නියම පිළිවෙළ පැහැදිළි නො වෙයි. එහෙයින් ශාසනාරක්‍ෂාව සඳහා හළ යුතු දේ හා කළ යුතු දේ යන මැයින් ලිපි දෙකක් ලියන්නට අදහස් කෙළෙමි. Read More

සසුන රැකීමට වහ වහා කළ යුතු දෑ …

Posted by | මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) | No Comments

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහිත් හාසනාර්බුද ඇති විය. එයින් මහාජන උද්ඝෝෂණ ද පැනැනැංගේ ය. එහෙත් එ දා මහාජනය උද්ඝෝෂණ කෙළේ පුද්ගලයාට වි‍රුද්ධ වැ නො වැ, කාරණයට විරුද්ධ වැ යි. එයට ඇහුම් කන් දුන් බුදුරජාණන් වහන්සේ සුදුසු පරිදි ශික්‍ෂාපද පනවා වදාළ සේක. රහතන් වහන්සේ ගේ කාලයෙහිත් ඊට පසු කාලවලත් ශාසනාර්බුද ඇති විය. ඒ හැම අවස්ථාවෙක ම ඒ ඒ කාලවල රජවරුන් ඉදිරිපත් වී මහා සංඝයා වහන්සේ ගේ අනුශාසනා ලබාගෙනැ ශාසන ශෝධනය කළ බව ඉතිහාසයෙන් පෙනේ.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ගේ මරණය සිදු වූ ආකාරයෙන් ද ලංකා බුද්ධශාසනය පිළිබඳ අර්බුදයක් ඇති විය. පෙරැ මෙන් මෙ බඳු අවස්ථාවෙක ඉදිරිපත් වීමට අපට රජෙක් නැත. බෞද්ධ රාජ්‍යයක් ද නැත. එ හෙයින් ශාසනය ආරක්‍ෂා කැරැගත යුත්තේ බෞද්ධයන් වන අප ගිහි-පැවිදි දෙ පක්‍ෂය විසින් මැ ය. එහෙත් රජයේ උපකාරය නැති වැ එය කැරැගත නොහැකි ය. ශාසනාරක්‍ෂාව බෞද්ධයා විසින් කැරැගන්නවා විනා රජයේ ආධාර කුමට දැ යි ඇතැමුන් අසන්නට පිළිවන. ලංකා ඉතිහාසයත් ශාසන ඉතිහාසයත් හොඳින් කියව‍ා බලන කෙනෙකුට රජයේ ආධාර නැති වැ රහතන් වහන්සේලාට වත් ශාසනාර්බුද සංසිඳුවාගන්නට ‍නොහැකි වූ බව මැනැවින් වැටැහෙනුවා ඇත.

පූර්වයෙහි රජවරුන් ගේ ආධාර ඇති වැ මනා සවිධානයෙකින් යුතු වැ පාලනය වුණු ලංකා ශාසනය විදේශීන් ගේ පැමිණීමෙන් පසු නොයෙක් කරදරවලට භාජන විය. විදේශීය පාලකයන් ද මිෂනාරීන් ද ලංකා බුද්ධශාසනය විනාශ කරන්නට දන්නා තරම් දේ කළ ද බුද්ධ ශාසනයෙහි ඇති ධර්මශක්තිය නිසා විනාශ කැරැගත නොහැකි විය. නොයෙක් තාඩන පීඩනයන් ගෙන් ද අයුතු අසාධාරණකම්වලින් ද මිරිකී සිටි බෞද්ධයා නැවැතත් පණ ගසා එන්නට වී ය. බුද්ධාගමයේ හතුරන් දුර්මුඛ වැ බලා සිටිය දී බුද්ධශාසනය නැවැතත් බැබැළෙන්නට විය. එහෙත් ක්‍රමවත් සංවිධානයක් නැති වූ හෙයින් බෞද්ධ කටයුතු අස්ථිර විය. පිළිවෙළකට ‍නො වීය. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.