බුද්ධ පුත්ර මහාසංඝයා වහන්සේ ආර්යසංඝයා ය, සම්මුති සංඝයා යැයි කොටස් දෙකකට බෙදෙති. ආර්ය සංඝයා නම් සතරමඟ සතරඵල පත් භික්ෂූන් වහන්සේ ය. සම්මුති සංඝයා නම් උපසම්පදා විනය කර්මයෙන් සංඝ ගණයට ඇතුළත් වූ භික්ෂූන් වහන්සේ ය.
ආර්යසංඝයා සෝතාපන්න මාර්ග ඵල – සකෘදාගාමී මාර්ග ඵල – අනාගාමි මාර්ග ඵල – ලාභීහු අට දෙනා ය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙනුයෙන් අකාලික යැ යි විග්රහ කරතත් එය එසේ ම නො විය යුතුය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙන්නත් පිළිවන්. එසේ ම මඟ සිත ලැබී පැය ගණන් ගත වී ඵල සිත ලැබෙන්නත් පිළිවන්. මුල් මතය වන මඟ සිතට අනතුරු වැ ඵල සිත ලැබීම පමණක් පිළිගත්තොත් අට්ඨ අරිය පුද්ගලයන් ලැබෙන්නේ නැත.
ආර්යයෝ සේඛ අසේඛ වශයෙන් ද දෙකකට බෙදෙති. සේඛයෝ සෝතාපන්න මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, සකෘදාගාමී මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, අනාගාමි මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනා ය, අරහත් මාර්ගස්ථ යන මේ සත් දෙනා ය. අසේඛ නම් අර්හත් ඵලස්ථයා ය. මඟසිතට අනතුරු වැ ම ඵල සිත ලැබෙයි යන මතය පිළිගත්තොත් සේඛයන් හත් දෙනා ලැබෙන්නේ නැත. Read More