20. ඕ නම් ලෝලිය නොම වන්නී ... - IFBC Organization | Dhamma

සැවැත්නුවර විසල් සිටු මැඳුරක යස ඉසුරෙන් ආඪ්‍ය වූ මිගාර නම් මහා සිටුවරයෙකි. ඔවුන්ගේ එකම පුතු පූර්ණවර්ධන නම් වන්නේය. හේ යොවුන් ලියන් මන කොඳ විල් පුබුදු කරවන සොමි සඳක්‌ සේ සුදිලිණි. ආරෝහපරිණාහ දේහ විලාසයෙන් ද මුදු වදනින් ද යුතු භද්‍ර යෞවනයෙහි පසු වූ පූර්ණවර්ධනයන්ට නොරිසි වන්නා වූ ලියෝ එපුර සිටිත්ද? මහරු කුල ලියෝ ද වෙනත් ධනීහු ද ඔවුන්ට නොයෙක්‌ ආකාර විවාහ යෝජනා රැගෙන ආහ. එහෙත් ඒ කිසිවක්‌ පූර්ණවර්ධනට රුචි නොවීය. හේ කුමක්‌ හෝ දොසක්‌ දක්‌වා තමන් වෙත එන හැම සුබ සරණ යෝජනාවක්‌ ම ඉවත දැමීම සිටු දෙමහල්ලන්ගේ ද තැවුලට හේතු විය. ඔහුගේ එම විලාසය එනුවර බොහෝ කුල ලියෝ නො ඉවසූහ. හේ රූ මදයෙන් මත්ව තම දියණියන්ට අවමන් කරන බවට සමහරු දෝෂාරෝපණ ද කළහ. තවත් කෙනෙක්‌ ඔවුන්ට සදිසි ලියක්‌ දෙව්ලොව මිස මනුලොව නොවන්නී යෑයි උපහාසයෙන් කීහ.

දෙමවුපියෝ නම් සිය දරුවන්ට මහත් ස්‌නේහයක්‌ දක්‌වන්නා හු ඒ කිසිදු ප්‍රතිචාරයකින් පසු නොබාති. මිගාර සිටු දේවිය සිතන්නී කෙසේ හෝ ඔවුන්ට සුදුසු යොවුන් ලියක්‌ වෙනත් නුවරකින් හෝ සොයා බැලිය යුතු බවය. දිනක්‌ ඕ සිය පුතු කැඳවා මෙසේ කීවාය.
ප්‍රිය පුතණුවනි, නුඹ කිසියම් යොවුන් ලියක්‌ අපේක්‍ෂාවෙන් පසුවන්නෙහි ද? නොඑසේ නම් අගාරික ජීවිතය නොරිසි වන්නෙහිද? නුඹගේ විලාසය නිසාම අප සමඟ ප්‍රිය සමාගම් පැවැත්වූ අය ද නොසතුටු සිතින් පසුවෙති. අපගේ හැම යෝජනාවක්‌ ම නුඹ ඉවත දැමීම අපට ද ප්‍රශ්නයකි. ඉතින් නුඹගේ සිතෙහි එබඳු කුමරියක්‌ සිටින්නී නම් අප්‍රමාදව කියනු මැනවි. අපට වුවමනා නුඹට යහපතක්‌ වනු දැකීම පමණි. නුඹගේ පියාණෝ ද දැන් විඩාපත්ව, දුක්‌පත්ව සිටිති. එහෙයින් තවත් අප නොවෙහෙසව.”
පූර්ණවර්ධනයෝ සන්සුන්ව මෙසේ පිළිවදන් දුන්හ.
“මෑණියන් වහන්ස මා වෙනුවෙන් ඔබත් මපියාණනුත් ගන්නා දුක්‌ බෙහෙවි. ඒ සියල්ලටම මම ණය ගැති වන්නෙමි. මෙපුර බොහෝ කුල ස්‌ත්‍රීහු මට වඩා මට හිමිවන සම්පත් නිසා අප කෙරෙහි උනන්දු වන්නෝ ය. ඔවුන් බොහෝ දෙනකුගේ විවාහ යෝජනාවන් මට රුචි නොවීමට වෙනත් කාරණා ද ඇත. එහෙත් මා සිත් ගත් ලියක්‌ ඇතැයි නොසිතනු මැනවි. යම් සේ පංච කල්‍යාණයෙන් යුත් ලියක්‌ වන්නී නම් මම ඒකාන්තයෙන් ම ඕ හට මනාප වන්නෙමි. අනගාරිකව සිටීමට තරම් හේතුවක්‌ මට නැත.
පුතුගේ සිතැඟි ඉඳුරා දත් මෑණියන් තුළ ප්‍රසාද සිතක්‌ ද වැඩුණි. එසේම පංච කල්‍යාණයෙන් යුතු කුමරියක්‌ මුළු දඹදිවම සිසාරා හෝ සොයන්නෙමි යන අදිටන ද ඈ තුළ වැඩුණි. අනතුරුව ඇය මිගාර සිටුවරයා සමඟ ද කතිකා කොට එබඳු කුමරියක්‌ සෙවීම සඳහා සත්දෙනකුගෙන් යුතු දූත පිරිසක්‌ පිටත් කර යෑවූහ. කොතැනක හෝ පංච කල්‍යාණයෙන් යුතු කුමරියක්‌ සිටින්නී නම් ඇය පිළිබඳ සියලු තොරතුරු දැන ගෙන එන ලෙස ද එම දූතයන්ට කීවාය.
දූත පිරිස ද පළමුවෙන් ම සාකේත නම් නුවරට ගියහ. එසඳ එනුවර සැණකෙළි සමයකි. වීදි පුරා නිබඳ යන එන ජනයා ය. කෙළි කවට සිනා සපිරි මුqහුණු ය. මේ අරුමය කිමෙක්‌ දැයි දූතයෝ ද කුහුලට පත් වූහ. විමසිල්ලේ යන ඔවුන්ට දෙපස සැදි නොයෙක්‌ සල්පිල් ද මනහර තොරණ ද, විචිත්‍ර සැරසිලි ද දැක ගත හැකි විය. සතොසේ සරන සළෙලු ජනයා ද ඔවුන්ට නෙත් හී සර විදිමින් යන ලියන් ද නිසා බලන බලන අත මඟුල් උයනක්‌ සේ ද දූතයන්ට පෙනී ගියේය.
මේ සියල් ලකුණින් ප්‍රමුදිත වූ දූතයෝ ද උත්සව භූමියේ නිදහසේ සැරිසරන්නට වූහ. වෙළෙඳසල්පිල් අසල ද ආපන ශාලා අබියස ද අතුරු සිදුරු නොවූ සෙයකි. ගැයුම් වැයුම් ගලා යයි. සිනා සුළඟ හමා යයි. සත්තකින් ම එවන් උළෙලකට නො එන යොවුන් ලියෝ නොවෙති. එවන් සල්පිල්වලට පා නොතබන කුලවමියෝ ද නො වෙති.
මෙනයින් නොයෙක්‌ සිරි විඳිමින් ම යන දූතයන්ට සිය ගණන් යොවුන් ලියන්ද, දැක ගත හැකි විය. එසේ යද්දී මුළු උත්සව භූමියම එකවර කැළඹී ගියේ ඒ සැණින් වට වැස්‌සකිනි. එකිනෙකා පරයමින් දිව යන පිරිස්‌ හිසට සෙවණක්‌ සොයන්ට ද වූහ. දූතයෝ ද සල්පිල් සෙවණකට වී යාන්තමින් හිස මුවාකරගෙන වටපිට බලමින්ම වූහ. එසඳ තමන් අබියසින් දිව යන යොවුන් කුමරියන් පිරිසක්‌ දූතයන්ගේ නෙතට හසු විය. ඉස්‌තරම් සළු පිළියෙන් ද, රන් මිණි අබරණින් ද යුතු වූ එකුමරියන් දෙස විමසිල්ලේ බලා සිටි දූතයන්ට ඔවුන් සමඟ යන පරිවාර ලියන් ද වෙන වෙනම හඳුනාගත හැකි විය.
දකින දකින ලියන් කලබලයෙන් දිව යද්දී කිසිදු හදිසියක්‌ නොහඟවමින් ද වැස්‌ස පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකරමින් ද යන සොළොස්‌ කලා පිරි පුර සඳක්‌ බඳු කුමරියක්‌ සන්සුන්ව පා ඔසවන අයුරු දූතයෝ දුටහ. ඇයගේ හිසෙහි අගනා පළඳනාවකි. කසී සළු ද, චාම් අබරණ ද ඇගේ ප්‍රභූ විලාසය කියා පෑවේය. ඇගේ රන්වන් සිරුරෙහි තන්හි තන්හි වැසි බිඳු රැඳී මුතු කැටයමක්‌ සේ දිලෙමින් තිබිණි. සුනිල් වන් මොනර පිලක්‌ සේ වූ ඝන වරල ලිහිල්ව දෙපතුල තෙක්‌ විහිදී තිබිණි. ඒ සියලු රූ සිරි නෙතින් උරා බොමින් ම දූතයෝ ඇසි පිය නොහෙලාම ඇය දෙස බලා සිටියහ. අමන්දානන්දයට පත් වූ එක්‌ දූතයෙක්‌ කියා සිටියේ ඕ ලෝලියක්‌ දැයි සැක හිතෙන බවකි. එසඳ අනෙක්‌ දූතයා කීවේ ඇසි පිය සලන ලකුණ නොවී නම් ඕ ඒකාන්තයෙන් ම දෙවඟනක්‌ බව ය. අනෙක්‌ දූතයා කීවේ ද මේ නම් තමන් විසින් සොයනු ලබන පංච කල්‍යාණයෙන් යුතු පින්වත් කුමරිය බවම ය.
මෙසේ සිතිවිල්ලේ සිටින අතරම ඇය යන ගමන් මඟ දෙසට ද දූතයන්ගේ අවධානය යොමු විය. නොබෝ වේලාවකින් වැසි නිම විය. ඇය ද සන්සුන් ගමනින් යන්නී එක්‌ කුටියක්‌ අබියස නතර වූවාය. දූතයෝ සෙමින් ඒ අසලට පැමිණියහ. පරිවාර ලියන් හා යෙහෙළියන් විසින් පිරිවරන ලද ඇය දෙස එක එල්ලේම බලා සිටින දූත පිරිස ගැන ද එවේලෙහි කිසිවෙක්‌ සැලකිලිමත් වූහ. දූත පිරිසෙහි එක්‌ අයෙක්‌ පෙරට පැමිණ ඔවුන් පිළිබඳ හැඳින්වීමක්‌ ද කළේ සැක සංකාවක්‌ වී නම් එය දුරලීමට ය. අනතුරුව එක්‌ දූතයෙක්‌ ඉතා ගරු සරු ඇතිව මෙබඳු පැන කීපයක්‌ ම නැඟීය.
“අපි කිසියම් දූත කාර්යයක්‌ සඳහා මෙනුවරට පැමිණි ආගන්තුකයෝ වන්නෙමු. ඒ ගමනෙහිදී මෙබඳු උත්සවයක්‌ දැක ගැනීම ද සතුටකි. ඉදින් ඔබගේ විලාසයම අපගේ කුහුල් සිත් වඩන සුලුය. පළමුව අපට ඇති වූ පැනය නම් මොහොතකට පෙර ඇද වැටුණු වැස්‌සට බියෙන් සියල්ලන්ම දිව යද්දී උත්තමාවිය ඒ පිළිබඳ වගක්‌ නොමැතිව සන්සුන් ගමනින් යැමය. සියලු සළු පිළි ද අබරණ ද දියබත් වෙද්දීත් ඒ කිසිවක්‌ නොතකා පියවර එසවීමය. අපට හැඟුණේ කිසියම් දුබලතාවක්‌ හෙයින් එලෙස යන්ට ඇති බවකි. එහෙත් දැන් අපට පැහැදිලිවම පෙනී යන්නේ කිසිදු ආබාධයක්‌ නොමැති බවය. එය ද අපට පහදා දුන මැනවි. තවද ඔබතුමියගේ දෙමවුපියෝ කවරහුද? කොහි සිට මෙහි පැමිණියෙහිද? යන වග ද අපට කිව හැකි නම් මනාය.”
එබසට සිනාසෙමින් ම පිළිතුරු දෙන්නී මෙසේ කීවාය.
මම පළමුව ඔබගේ අවසන් පැනයට පිළිතුරු දෙන්නෙමි. මගේ පියා ධනංජය සිටුවරයා ය. මගේ මව් සුමනා නම් වන්නීය. මම විශාඛා නම් වන්නෙමි. මගේ යෙහෙළියන් ද පරිවාර ලියන් ද කැටුව මෙම නැකැත් කෙළිය සඳහාම පැමිණියේ වෙමි. දැන් ඔබගේ අනෙක්‌ පැනය විසඳමි. මට කිසිදු ශාරීරික හෝ මානසික ආබාධයක්‌ නැත. ළමා වියෙහිම බුදු බණ අසා, බුදුන් කෙරෙහි ප්‍රසාද සිත් ඇති වූයෙන් සිතද, කයද, වචනද යන තුන්දොරම දමනය කර ගැනීමට ද හැකි විය. තවද කුමක්‌ හෙයින් වැස්‌සකට බිය වී දිව යා යුතුද? වැසි යනු විපතක්‌ නොව සැපතකි. එහෙත් වැස්‌ස මඟහැරීමට දිව යද්දී පයක්‌ පැකිළ ගොස්‌ බිම වැටුණේ නම් පා බිඳී යා හැකිය. අත් හා ඇඟිලි ද සිඳී යා හැකිය. වැසි නිම වූ කල සිරුරට වට සියලු ජලය ද ඉබේම නැති වෙයි. සළු පිළි ආදිය තෙමී ගියත් ඒ සියල්ල වියළා ගත හැක්‌කේය. එහෙයින් කුමක්‌ හෙයින් දිව යා යුතුද? තවද මේ ලොව දිව යැමට නුසුදුසු සිවුදෙනෙක්‌ ගැන ද මම දනිමි. එනම් ඔටුනු පළන් රජුය, මඟුල් ඇතුය, තවුසකු හෝ ශ්‍රමණයකුය, කාන්තාවය.
දූතයෝ ඇගේ පිළිතුර අසා මහත් ප්‍රමෝදයට පත්වූහ. එහෙත් ඔවුන් තුළ තවත් කුඩා කුකුසක්‌ ඉතිරි විය. ඒ ඉහත සිව් දෙනා කුමක්‌ හෙයින් නොදිව යුත්තෝ ද යන්න පිරිසිඳ නොවැටහුණු හෙයිනි.
විශාඛාවන්ට ද ඒ තතු දැනුණි. ඉක්‌බිතිව ඕ මෙසේ ඒ තතු ද සැකෙවින් දැක්‌වූවාය.
“දූතයිනි මම ඒ සියල්ල මෙලෙස පහදා දෙන්නෙමි. ඔටුනු පළන් රජු යනු ගාම්භීර තෙදවත් අයෙකි. සියලු ජනයාට අධිපති ද වේ. එබඳු රජෙක්‌ දාසයකු මෙන් දිවීම සෝබන ද? නැත. ඒ මඟුල් ඇතු ද එබඳුම ගාම්භීර, උදාර සංකේතයකි. මදැතෙකු සේ දිව යන්නේ නම් එය නොමැනවි. මංගල හස්‌තියා යන සුවිශේෂත්වයට ද එය අනුචිතය. එනිසා දිවීම නොවටී. තාපසයා හෝ ශ්‍රමණයා ද ගෞරව සම්පන්න අයෙකි. වන්දනාවට, පූජාවට පාත්‍ර වන්නෙකි. එනිසා දිවීම සුදුසු නැත. කාන්තාව ද එසේමය. ඇය පරමාදර්ශී ලියකි. ලියක්‌ ලෙස ද මවක්‌ ලෙස ද කුල ස්‌ත්‍රියක්‌ ලෙස ද ඇය සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නීය. ඉද්‍රිය සංවරයෙන් ද යුතු වන්නීය. එබඳු ලියක්‌ මිඬියක්‌ සේ දිව යැම නොහිබී. මෙසේ හෙයින් මම මෙලොව සිටින සිව්දෙනෙක්‌ දිවයැම නොහොබිනේ යෑයි කීමි.
දූතයෝ ඇගේ නිරහංකාර පාණ්‌ඩිත්‍යයට ද හෘදයංගම කතා විලාසයට ද ඉමහත් සේ පැහැදුණහ. තවද ඇය නිසැකයෙන් ම පූර්ණවර්ධන කුමරුන්ට ගැලපෙන්නී යෑයි ද සිතූහ.
දැන් යළිත් උත්සව භූමිය ප්‍රකෘති තත්ත්වයට පත්විය. ගැයුම් වැයුම් ද ඇරඹිණි. විශාඛාවන් සමඟ රැඳී සිටි දූත පිරිස ද ඇගේ මව හමුවීම සඳහා එහි වෙනත් ස්‌ථානයකට ගියහ. විශාඛා කුමරිය විසින්ම දූත පිරිස මෑණියන්ට හඳුන්වා දෙන ලදී. ඕ ද මහත් සේ ප්‍රමුදිතව දූතයන්ට සංග්‍රහ කර තුටු පඬුරු ද පිරිනැමුවාය.
ඉනික්‌බිති දූතයෝ ආපසු රජගහ නුවරට පැමිණ සියලු විස්‌තර පූර්ණවර්ධන යන්ගේ මවට සැළකර සිටියහ. විශාඛාවන්ගේ පියාණන්ට ද එපරිද්දෙන් ම සියලු තොරතුරු දැන්වීය. ධනංජය සිටුවරයා සමඟ සස¹ බලන කල මිගාර සිටුවරයා අසලකටවත් නොඑන තරම් ය. එහෙත් පූර්ණවර්ධනයන් පිළිබඳ ඇසූ හේ විශාඛාවන්ගේ අභිමතයට ඉඩ දිය යුතු යෑයි සිතීය. අනතුරුව පඬුරු ද වෙනත් ත්‍යාගයන්ද සමඟ දූත පිරිසක්‌ මිගාර සිටු මැඳුරට යෑවිණි.
මෙසේ දෙපාර්ශ්වයම ඔවුනොවුන් දැන හැඳින සරණ මංගල්ලයට දින වකවානු ද නියම කර ගත්හ. ධනංජය සිටුවරයා සිය දියණියන් දෙවඟනක්‌ සේ සරසවා, ගැල් පන්සියයක්‌ පුරා අගනා වස්‌තුව ද, රන් රිදී මුතු මැණික්‌ ආදිය ද සළුපිළි ද වෙනත් භාණ්‌ඩ ද, ගවයන් හා දෙනුන් දහස දහස බැගින් ද ඒ හා සමානවම පරිවාර ලියන් ද දැසි දස්‌සන් ද සමඟ මිගාර සිටුමැඳුර බලා පිටත් විය. එසේ ගමන් කර සරණ මංගල්ලය ද නිමවා ආපසු සිටු මැඳුර බලා පැමිණියේය.
සියල්ල මෙසේ අවසන් වුවද එක්‌ ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබිණි. ඒ මිගාර සිටුවරයා නිඝණ්‌ඨ අනුගාමිකයකු වීමත් විශාඛාවන් බුද්ධ ශ්‍රාවිකාවක්‌ වීමත් ය. පූර්ණවර්ධනයන්ට නම් ඒ ආගම් විරසකය ගැටලුවක්‌ නොවීය. ඔවුන්ගේ සිත විශාඛාවන් කෙරෙහි දැඩිව බැඳී පැහැදී තිබුණු හෙයිනි. විශාඛාවන්ට ද සිය මයිලණුවන්ගේ මිථ්‍යාදෘෂ්ටිය බාධාවක්‌ නොවීය. ඇය සිතන්නී නුදුරු දිනයකදීම මිගාර සිටු පවුල බුදුන් වහන්සේ කෙරෙහි පහදවා ගත හැකි බවය.
මිගාර සිටු පුත් පූර්ණවර්ධනයන් විශාඛාවන් සමඟ සරණ බන්ධනයෙන් එක්‌වීම නිඝණ්‌ඨයන්ට නම් දැඩි සංවේගයක්‌ විය. යම් හෙයකින් මිගාර සිටුවරයා තමන් කෙරෙහි බිඳී ගිය හොත් මෙතෙක්‌ ලද සියලු ලාභ සත්කාර අහෝසි වනු ඇතැයි සිතූ නිඝණ්‌ඨයෝ මහත් සේ සැළී වෙව්ලා ගියහ. අහෝ මේ සිටු බුදුන් සරණයැම කෙසේ වළක්‌වම්දොa යි සිතන්නට ද විය. කිසියම් උපක්‍රමයකින් විශාඛාවන් බිඳවාලිය යුතු යෑයි ද සිතූහ. එසේ සිතූ නිඝණ්‌ඨයෝ මිගාර සිටුවරයාට පණිවුඩයක්‌ යවා සිය ආශ්‍රමයට කැඳවා කිසි කරුණක්‌ උදෙසා හෝ බුදුන් දැකීමට නො යන බවට ගිවිසවා ගත්හ. එහෙත් විශාඛාවන්ට එපුවත් සැල විය. ඕ සිය ස්‌වාමියා වන පූර්ණවර්ධනයන්ට කියන්නී.
ස්‌වාමීනි, අපට තවදුරටත් මෙසේ වෙන වෙනම දෘෂ්ටි ගෙන සිටිය නො හැක්‌කාහ. මා බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඉතා කුඩා වියෙහි ය. බුදුහු ලෞකික සම්පත් කෙරෙහි ලොල් නො වෙති. කිසිවෙක්‌ තමන් කෙරෙහි බලයෙන් රඳවා නො ගනිති. ඕනෑම දෙයක්‌ විමසා බලා එකඟ වන්නේ නම් බුදු සසුනට බැඳිය හැක්‌කේ ය. එය ද දැඩි ගිවිසුමක්‌ නොව සිතින් සිතා බලාම ගත යුතු තීරණයකි. එහෙත් මගේ මයිලණුවන්ට එබඳු නිදහසක්‌ නැත්තේ ය. මා වැනි ලියක්‌ මේ මැඳුරෙහි සිටියදීත් එබන්දක්‌ වීම නො මැනවි. ස්‌වාමීනී ඔබ පියාණන් ඉන් මුදවා ගන්නට මට උපකාර කළ මැනව. නො එසේ නම් අපගේ මෙම බන්ධනය කුමකටද?
පූර්ණවර්ධනයන්ටද ඇගේ යෝජනාව ඉවත දැමිය නො හැකි විය. පියාණන් ද එකඟ කරවාගත් ඔහු බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා සිටු මැඳුරට කැඳවා මහත් ගෞරවයෙන් දන් වැළඳවීය. මිගාර සිටුවරයාට ද ඒ පින්කම මඟහැර යැමට නොහැකි වූයේ එහිම සිටියේය. අනතුරුව බුදුන් වහන්සේගේ අනුමෝදනා බණ අසා එවේලේම තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට ද පත්විය.
මිගාර සිටුවරයාගේ මේ වෙනස කොසොල් රජුට ද ආරංචි විය. ඒ සියල්ලටම මුල් වූයේ පූර්ණවර්ධනයන් සමඟ සරණ ආ ධනංජය සිටු දියණිය විශාඛාවන් බව ද රජුට දැන ගන්නට ලැබිණි. එසේම විශාඛාවන්ගේ ගුණ, නැණ ධන යනාදී සියලු බලය ද ඇයට ඇතුන් පස්‌දෙනකුගේ සවි බලද ඇති බව කෙනෙක්‌ රජුට කීහ. කොසොල් රජු ද ඒ සියල්ල තුෂ්ණිම්භූතව අසා සිටියත් ස්‌ත්‍රියකට ඇතුන් පස්‌දෙනකුගේ බල කෙසේ තිබිය හැකි ද යන කුහුල මහත් සේ වැඩුණි. රජුට ඒ කුහුල සංසිඳවා ගැනීමට ද වුවමනා විය. එසඳ පුරෝහිත බමුණා කැඳවා ඊට සියුම් උපායක්‌ ඇද්දැයි විමසීය.
“මහරජ එක්‌ උපායක්‌ ඇත. එනම් විශාඛාවන් එන පෙර මඟට කුපිත කරවූ ඇතකු යෑවී නම් ඇගේ බලය දැන ගත හැක්‌කේය.
පුරෝහිතයාගේ උපාය රජුගේ සිත් ගත්තේ වී නමුදු යම් හෙයකින් විශාඛාවන්ට ඉන් නපුරක්‌ වේදො යි යන සිතිවිල්ල ද රජුට ඇති විය. එසඳ පුරෝහිතයා එයට තවත් යෝජනාවක්‌ ද කළේය. එනම් ඇතු කුපිත කර යවා ඇත්ගොව්වක්‌ කීපදෙනකු ද සූදානමින් තැබීමය. ඒ අදහසට රජු ද එකඟ වූයෙන් විශාඛාවන් වීදියෙහි එන අවස්‌ථාවක්‌ බලා සිට මාලිගාවේ ඇතු හෙණ්‌ඩුවෙන් ඇන කුපිත කරවා ඇගේ ඉදිරියට එවීය.
විශාඛාවෝ ද තමන් ඉදිරියට හඹා එන ඇතු දැක මේ අවේලාවෙහි මෙලෙස මා ඉදිරියට ඇතෙක්‌ ඒමට හේතුවක්‌ නැත. මෙය මා පිළිබඳ විමසීම සඳහා කරන ලද්දක්‌ විය යුතුය. මාගේ ඔද තෙද සවිබල පිරික්‌සීමට කළ දෙයට මුහුණ දෙන්නෙමියි ඇතු එන මඟ දෙස බලාගෙනම සන්සුන්ව සිටියාය. කුංචනාද කරමින්ද, දුටු දුටුවන් බිය ගන්වමින්ද වාත වේගයෙන් දිව ආ ඇතු දෙසට විශාඛාවෝ දකුණත දිගුකර එහි ඇඟිලි දෙකකින් ඇතාගේ සොඬ මිරිකූහ. ඇතාට සුළු දිය පහ විය. සොඬ හැකිළිණ. දණ නැමිණ. බයාදු ලීලාවෙන් බිම ඇදවැටුණු ඇතා සුවච කීකරු සුරතලෙක්‌ සේ නිශ්චල විය. ඒ දසුන දුටු සියල්ලෝම මවිත වූහ. මෙවැනි මහානුභාවසම්පන්න අග රැජිනක්‌ වන් ලියක්‌ තම පුරවරයට ලැබීම ගැන ද ප්‍රශංසා මුවින් කතා කළහ.
පූර්ණවර්ධනයන්ටද, මිගාර සිටුවරයාට ද ඒ සැණින් ම එපුවත් ආරංචි වී තිබිණි. මිගාර සිටුවරයා සිතන්නේ ද zමේ සා මහරු ලියක්‌ අප කුලගෙයට එක්‌ වූයේ අපගේම පෙර පිනෙනි. ඇය නිසා මගේ මිථ්‍යා දෘෂ්ටිය ද දුරු විය. මගේ ප්‍රඥා ඇස අවදි කරන ලද්දී ඇය විසිනි. එවන් ඇය මට වඩා ළාබාල වුවද මවු තනතුරෙහි තබා ඇයට උපහාර දැක්‌විය යුතු යෑයි ද නිගමනය කළේය. විශාඛාවෝ එවක්‌ පටන් මිගාර මාතා යන උපහාර නාමය ද ලදහ.
ගාමිණී සුමනසේකර
21. සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි ...
19. වසුරු කද බිම දමා සසුන්ගත වීමේ වරම් ලද සුනීත ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.