2. අර නිරාහාරව වැටිල හිටිය සෘෂීන්වහන්සේ ද මේ … !

නේරංජරා නදී තෙර මනස්‌කාන්ත දසුන දෙස අනිමිස ලෝචනයෙන්ම මොහොතක්‌ බලා සිටි සිදුහත් තුළ සුපහන් සිතිවිලි වැඩෙන්නට ද විය. තමන් සා අවුරුද්දක්‌ දිවි ගෙවූ උරුවේලා දනව්වෙහි දුර්ගේශ්වරි ලෙණ අවට සමඟ බලන කල නේරංජරාව හරිත වන තීරයකි. උරුවේලා දනව්ව විටෙක ගිනියම් වැල්ලෙන් යුතු කතරක්‌ සේද වෙයි. දැඩි හිරු රැස්‌ පතිත වන කල්හි ඒ වැලිතලාව මත පය නගන්නට පවා අසීරුය. එහෙත් ගිනියම් අව්වේ ඒ වාලුකා තලයෙහි වැතිර සිරුරට දුන් පීඩා සිදුහත්ට සිහිවිය. සිදුහත්ගේ සුමුදු පා ඝන කබොල්ලක්‌ සේ දැඩිවන තරමටම ඒ වැල්ලෙහි ඔබ මොබ ඇවිද තිබුණි. තමන් අනුගමනය කළ උග්‍ර තපසද එහි ආනිසංසද විසින් ඇතැම් දිනක තමන් දුබලව හෝරා දෙක තුනක්‌ වැදහොත් අයුරුද සිදුහත් මෙනෙහි කළේය. එහෙත් ඒ කිසිදු දුකට කිරියකින් පීඩාවක්‌ විනා ඥන ගවේෂණයක්‌ කළ නොහැකි බවද හේ ඒකාන්ත වශයෙන්ම පසක්‌ කර ගත්තේය.

එකල්හි ගිරි කඳුරෙන් ගිරි කඳුරටද ආදි වශයෙන් පැන යමින් මිනිස්‌ කට හඬ මඟහැර ගිය අයුරුද සිදුහත් සිහි කරන්නට විය. කලාතුරකින් මං වැරදි වන ලැහැබට එන ගොපලු දරුවකු හෝ දර කපන්නකු හෝ හැර ගෙවී ගිය මුළු කාලය තුළම ඔවුන්ට මිනිස්‌ ප්‍රාණයක්‌ පවා නෙත නොගැටුණි.

ගොපලු දරුවො මාව දැකල මොනව හිතන්නට ඇද්ද? ඇස්‌, කන්, නාසා යනාදී කිසිදු ඉන්ද්‍රියක්‌ නැති ප්‍රාණියෙකු ලෙස පමණක්‌ ජීවත් වූ මගේ සිරුර ඔවුන්ට සෙල්ලමක්‌ වුණා. තට්‌ටු තට්‌ටු දූවිලි හැදිලා විසල් ගසක පොත්තක්‌ වගේ තිබුණා. දඟකාර ගොපලු කොලු පැටව් කොක්‌ හඬ නගමින් උන්ගේ අත්වල තිබුණු කෙවිටිවලින් තලල ඒ දූවිලි තට්‌ටු ගලවද්දීවත් මට වේදනාවක්‌ දැනුනෙ නෑ. සමහරු මගේ සිරුරට කෙළ ගැහුව. තවත් සමහරු මගේ සිරුරට සුළුදිය වැඩුව. ඒත් ඒ කිසිම අවස්‌ථාවක මා තුළ පුංචිම නොපහන් සිතක්‌වත් ඇති වුණේ නෑ.

නේරංජරා නිම්නය ඒ අතීත හැව ගලවා දමා අලුත් තවුසෙක්‌ ලෙස තමන්ට අලුත් ජීවිතයක්‌ ලබා දී නොතිබේද? සුසුමක්‌ හෙලා ළය සැහැල්ලු කරගත් සිදුහත් හාත් පස සියුම්ව නිරීක්‍ෂණය කරන්නට ද විය. පරිසරය නිශ්චලව ශාන්තව තිබුණත් නුදුරෙහිම ජනාවාසයක්‌ ඇතැයි සිදුහත්ට හැඟුනේ ගව රංචුවක්‌ නෙත ගැටීම නිසාය. හාත් පස වැලි ඉවුරෙහිද සිව්පා සතුන්ගේ යෑයි සිතිය හැකි පා සටහන්ද ඔහුට දැකගත හැකි විය.

වැලි තීරය සෙමෙන් පියමන් කර වනපෙත දෙසට හැරුණු සිදුහත් තවුසා විසල් නුග රුකක්‌ දුටුවේය. දිගු කලක්‌ මුළුල්ලේ සොබා දහමේ සියලු පීඩා උසුලා ගත් මේ යෝධ වෘක්‌ෂය එකෙණෙහිම සිදුහත් ගේ සිතට ද ප්‍රිය විය. එහි පද්මාසනයෙන් හිඳ සමාධි සුවයෙන් ගෙවීමේ දොලක්‌ද ඔහුට උපනි. මේ රුක අජපල් නම් විය. එය අන්වර්ථ වූ නමක්‌ද විය. මේ අසබඩ වන පෙතට දහස්‌ ගණන් එළුවන් දක්‌කාගෙන එන අජපල්ලෝ සිය විඩා සංසිඳවා ගත්තාහු ඒ රුක්‌ මුලය. සිව් දෙසට විහිද ගිය ශාඛාද ප්‍රශාඛාද යුතු ඒ නුගරුක මහත් තේජස්‌ වී බවක්‌ද පල කරන්නකි. ඈතින් ඇදෙන කුරුලු හඬක්‌ පවා ඇසීමට නම් මොහොතක්‌ අවධානය යොමු කළ යුතු විය. එහෙත් ඒ එදින හිරු පිපෙන්නට ළා හිරු රැස්‌ මාලාවන් අවට සදමින් තිබුණු මොහොතක්‌ වූ හෙයින් තරමක කුරුලු කොලහලයක්‌ද විය. නිශාචර පක්‌ෂීහු අඳුරු වන පෙත තමන්ගේ ලැගුම්හල් සොයමින් ඉගිල ගියහ. ඔවුන්ගේ පියාපත්වලින් නැගි හඬද සිදුහත් තවුසාට පැහැදිලිව ශ්‍රවණය කළ හැකි විය.

මේ උදෑසන අනෙක්‌ බොහො උදා කාලයන්ට වඩා වෙනස්‌ විය. තව ස්‌වල්ප වේලාවකින් මෙහි මහානුභාව සම්පන්න පායාස පූජාවක්‌ පැවැත්වෙයි. සෑම පසළොස්‌වක පොහොයයක්‌ උදාවන විටම චාරිත්‍රයක්‌ ලෙස සිදු කෙරෙන ඒ පායාස පූජාව පවත්වන්නී සේනානි සිටු දියණි සුජාතාවෝය. එදින වෙසක්‌ පුර පසළොස්‌වකට පෙර දිනයද විය. සුජාතාවන්ගේ මෙම පායාස පූජාව හෙවත් කිරිපිඬු පූජාවද අසාමාන්‍ය පූජාවක්‌ සේ ගත යුතුය. එය මහරු කුල ස්‌ත්‍රීන්ට පමණක්‌ සාදා පූජා කළ හැකි දුලබම පිළිවෙත් සහිත අසීරු දනකි. සුජාතා එය ඉටු කරන්නී එකොලොස්‌ වන වරටය. ඇය මේ අසාමාන්‍ය පූජාව පවත්වන්නී තමන්ට සරණ සඳහා කුලවත් යහපත් සිටු පුතකුද ඔවුන්ගෙන් සුපින්වත් පුත්රුවනක්‌ද ලබා දෙන ලෙස රුක්‌ දෙවියන්ට කෙරෙන පූජාවලියක්‌ ලෙසය.

මෙබඳු කිරිබතක්‌ සැකසීම සඳහා නොඉඳුල් සහල්ද වුවමනාය. ඒ සහල් නැවුම් කෙත්වලින් ලද මනාය. එහි එකදු වී ඇටයක්‌ හෝ කිසිදු ප්‍රාණියකු විසින් ඉඳුල් නොකළ යුත්තේය. සුජාතාවන්ගේ පිය සිටු වනාහි සහල් නැලි කෙළ ගණන් උපයන කෙත්වලින්ද ගව මහීෂාදී අනෙක්‌ සම්පත්වලින්ද ආඪ්‍ය ජනපතියෙකි. එහෙයින්ම මෙවන් සුවිශේෂ පූජාවක්‌ ඔවුන්ට මනාව පැවැත්වීමට බාධාවක්‌ද නැත.
කෙසේ වුවද මෙබඳු පායාස පූජාවක්‌, කිරිපිඬු දානයක්‌ අප්‍රමාණ සංසාර ගමනක පුරුදු පුහුණුවූවකුට හැර අන් අයෙකුටද කළ නොහැක්‌කේමය. තවද ඒ සඳහා වැඩිය යුතු පිළිවෙත්ද රැසකි.
මේ සඳහා අහස්‌ දිය හෝ භූගතව එන වෙනත් උල්පත් දිය හෝ ඇළ, දොළ, ගංගා යනාදී දිය හෝ ගත නොහැක්‌කේය. ඒ කිරිබත දෙනුන් ගෙන් දොවා ගන්නා කිරෙන්ම පිසෙන්නාවූ කිරිබතකි. ඒ දෙන්නුද සුවිශේෂ දෙනුන් වුවමනාය. නොඉඳුලේම පැටවුන් ලද දෙනුන් දහසක්‌ පළමුව තෝරා ගනු ලබන අතර උන්ට කුස තණද වෙනත් පොහොසත් ධාන්‍යයද මියුරු පලතුරුද සතියක්‌ පුරා අහර ලෙස දෙනු ලබයි. එසේ කවා පොවා නහවා ඉනික්‌බිතිව ඔවුන්ගෙන් කිරි දොවා ගනු ලබයි. එසේ දෙවා ගනු ලබන කිsරි ඒ වර්ගයේම දෙනුන් පන්සියයකට පොවනු ලබයි. දහසක්‌ දෙනුන්ගේ කිරි කකරා නිවා පොවා අනතුරුව උන්ගේ කිරිද ලබා ගනී. මෙසේ පන්සියකට පෙවූ කිරි දෙසිය පනහකටද යළි එක්‌සිය පස්‌විසි දෙනුන්ටද ඒවා සුසැටය, දෙතිසය, සොළොසය යනාදී වශයෙන් හරියටම අඩක්‌ වන සේ පොවා අවසන් කිරි ප්‍රමාණය දොවා ගනු ලබන්නේ දෙනුන් අටකගෙන්ය.
එලෙස දහසේ සිට අට දක්‌වා වූ දෙනුන්ගෙන් දොවා ගනු ලබන කිsරි නැවුම් බඳුන්වල රැස්‌ කරනු ලබයි. ඒ නැවුම් වලංද කුඹල්හු විසින් විශේෂ කොට සාදන ලද්දාහුය. ඉනික්‌බිති කිරිබත පිසින්ට වුවමනා සඳුන් දර වෙනම සපයා ගැනෙයි. සඳුන් දර දල්වන නමුදු කිසි විටෙක ලිප්වලට පිඹීමක්‌ තරම්වත් නැත.
මෙම කිරිපිඬු පූජාව සකසන ලියෝද සත් දිනක්‌ මුළුල්ලෙහි සීලයක පිහිටිය යුතු කන්‍යාවෝය. ඔවුන්ගේ සුසුම්ද කිරිබතට නොවැටෙන ලෙස මනා සේ බඳින ලද මුව වැසුම්ද, හිස්‌ වැසුම්ද වෙයි. එසේම කිරිබත පිසිනා මොහොතෙහි ඒ අවට පෙනෙන තෙක්‌ මානයක වෙනත් සුළු හෝ කර්මාන්තයක්‌ද සිදු නොවේ. නව යොවුන් ලියන් අතින් සෑදෙන කිරිබත අවසානයේ නැවුම් බඳුන්වලට බෙදන්නී සුජාතාවෝය. මේ අමුතු අනර්ඝ පායාසයෙහි සුවඳ දෙව්ලොව දක්‌වාම යෑයි. දෙවියෝ ඒ සුවඳ ආඝ්‍රණය කළත් එය නොඉඳුල් පූජාවක්‌ සේ දන්නා හෙයින් ඒවා යළි සැණකින්ම ප්‍රශ්වාස ලෙස හරිති.
සුජාතාවන් කිරිබත බෙදන්නට පටන්ගත් වේලෙහි සිටම අමුතු ආශ්චර්යන්ද පහළ විය. එනම් කිරිබත බහාලීමට ගත් නැවුම් බඳුන රන්වන් බඳුනක්‌ වී තිබිණි. එහි රස සිය දහස්‌ ලෙසින් වැඩී ඇති බවක්‌ද ඇයට හැඟුණි. ඇය සිතන්නී අද මවිසින් පුරා එකොළොස්‌ පොහොයක්‌ මුළුල්ලේ කරන ලද පූජාව අවසන් වන දින අමුත්තක්‌ සිදුවිය යුතුමය. මේ එහි පෙර ලකුණු යෑයිද ඇය සිතුවාය. මේ වෙනස ඇගේ පරිවාර ලිය වූ සුප්‍රියාටද දැනුණි. සුප්‍රියාද සුජාතාවන් උපන් දිනම වෙනත් ගමක ඉපිද සිටු මැදුරට රැගෙන එන ලද්දී සුජාතාවන් සමගම වැඩුනාය. ඔවුනොවුන් අතර කිසිදු රහසක්‌ නැත. එකි නෙකා දැඩි විශ්වාසයෙන් ද ස්‌නේහයෙන්ද බැඳී සිටියහ.
හිරු එළිය දැඩි වන්නට පෙර ඔව්හු නේරංජරා නදිය අසබඩ අජපල්රුක්‌ මුළට යා යුත්තාහ. වෙසක්‌ සඳ එවේලෙහි නිවී තිබුණත් වටකුරුව අහස කොණකම රැඳී තිබුණි. පරිවාර ස්‌ත්‍රීන්ද කැටුව ගමන් කළ සුජාතාවෝ අඩ හෝරාවකින් පමණ අජපල් නුගරුක පිහිටි වන පෙදෙසට සමීප වූහ. සිහිල් මඳ සුළං හමයි. හාත්පසම ගැඹුරු නිහඬතාවක ගිලී තිබෙයි. එක්‌වරම ඔවුන්ගේ නෙතට හසු වූයේ රන්වන් හිරු රැසින් සුදිලෙන රන්රුවක්‌ වන් රුවකි. එක්‌වරම ඔවුන් තුළ විශ්මයක්‌ද වැඩුණි.
සිය ස්‌වාමිදුවගේ සිත ඉමෙන් මෙන් වටහා ගත් සුප්‍රියා ඇය දෙසට නැමී ගරු සරුව මෙසේ තෙපළාය.
අර රුක්‌ මුළ පද්මාසනාරූඪව සිටින්නේ නියත වශයෙන්ම මේ වෘක්‌ෂ රාජයාට අධිපති දේවතාවෝමය. සිතට බය ගන්ට වුවමනා නැත. අපි යමු.
නෑ සුප්‍රියා මගේ හිතට කිසිම බියක්‌, චකිතයක්‌ නම් නැහැ. තිබෙන්නේ කියා ගන්ට බැරි තරම් ප්‍රමෝදයක්‌. මටම මගේ ඇස්‌ අදහන්ට බෑ වගේ. ඒත් මට සහතිකයි. මං දකින්නේ සැබෑවක්‌ය කියන එක නම්.
සමාවන්න ස්‌වාමි දියණියනි මට නම් හිතෙන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක්‌ කියලා. මේ අවට අප්‍රමාණ සිල් රකින අය මොනතරම් ඉන්නවාද? සත්‍යය සොයා යන ඇත්තො.
සිදුහත් තවුසන්ට නුදුරෙහි කෙරෙන සංවාද මැනවින් ඇසුණි. තමන් ඔවුන්ට ප්‍රතිචාර දැක්‌විය යුතු බවද සිදුහත් සිතුවේය. සිදුහත් තවුසා සිය ඉරියව්ව මොහොතක්‌ වෙනස්‌ කර ඔවුන් දෙස සෘජුවම බලා සිටියේය. ඒ බැල්මෙහි සියල්ල සටහන්ව තිබුණි. සුජාතාද සුප්‍රියාද ප්‍රමුදිතව සිදුහත් තවුසන්නට නමස්‌කාර කළහ. සුප්‍රියා අත වූ සමන් මල් දම්, එවේලෙහි මහත් සුගන්ධයකින් සුපිපුණාක්‌ බඳු විය.
සුපින්වත් තවුසාණනි. මම සුජාතා නම් කුල දුවක්‌මි. මගේ පියා මහත් ධන සිටුවරයෙකි. අප විසින් කරනු ලබන මෙම පූජාවට හෙට එළඹෙන වෙසක්‌ පොහෝ දිනයත් සමඟ වසරක්‌ සපිරේ මෙතෙක්‌ රුක්‌ මුළ තැන්පත් කළ පූජාව අද ඔබ දොතටම පිළිගැන්වීමේ වරලද්දෙමු.
ඔබ රුව ඇසට ප්‍රියය. ඔබ විලාසය නෙතට ශාන්තියකි. ඔබ මඳහස හද සියලු විඩා ගිම් නිවන සීතල දිය දහරකි. ඔබ දෙවියෙක්‌ද බඹෙක්‌ද නැතහොත් මිනිසෙක්‌ දැයි සිතනු බැරි තරමටම මුළාවනු ඇත. එහෙත් මා සිතට දැනෙන අයුරින් ඔබ සත්‍යය ගවේෂණ මඟට පිළිපන් මිනිස්‌ පුත්‍රයෙක්‌මය. දහිර්යෙන්ද වීර්යෙන්ද යුතු අයෙක්‌ බවද සුපැහැදිලිය. ඔබ යම් අධිෂ්ඨානයකින් මෙහි සිටින්නෙහිද එය සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා. මෙම උතුම් දානය ඒ සඳහා ඉවහල් වේවා ෘ එහි පින් මටද මගේ සියලු මව් පිය නෑ පිරිවරටද හේතු වේවායි. ඇය සත්‍යක්‍රියා කළාය.
සිදුහත් තවුසාණෝ පෙර සේම තුෂ්ණිම්භූතව ඒ අග්‍රදානය පිළිගත්තේය. ඒ වූකලී සදෙව්ලොව දෙවියෝද වෙනත් සම්‍යයක්‌ ද්‍රෘෂ්ටියත්තෝද දිව නෙතින් බලා සිටි අපූර්ව අවස්‌ථාවක්‌ද විය. සක්‌ දෙවිඳුගේ ගාන්ධර්ව පංචශිකයේ වෙණතත් ඉබේම හැඬ වෙන්නටද විය. ඒ කිමෙක්‌ දැයි විමසා බලද්දී හෙට උදාවනු වෙසඟ පුන් පොහෝ දින ලොවට අලුත් සඳක්‌, අලුත් සූර්යෙක්‌ ඒකාන්තවම පහළ වන බව ඉඳුරා දත්හ. සදෙව්ලොවම සාදු හඬින් ඇළලී ගියේය. සොබාදහම මහත් සේ පිනා ගියාක්‌ සේද විය.
සිදුහත් යනු සොබා දහමේ ආශ්චර්ය විඳි පරම පිවිතුරු පරිසරවේදියෙකි. එදා සිදුහත් උපත සිදු වූයේ විසල් මාළිගාවක නොවේ. මහමායා දේවිය පියගමට යන්නී අතරමඟ සල් උයනක තම පුතු බිහි කළාය. මොනතරම් ඉසුරින් ආඪ්‍ය ප්‍රාසාද තිබුණත් ඒ අසිරිමත් උපත සිදු වූයේ සොබාදහමේ විසිතුරු මැදය. සිදුහත්ගේ ජීවිතය වන උයන කෙරෙහි මොනවට බැඳුනකි. වනපෙත තරම් සුව දනවන තොටිල්ලක්‌ ඔවුන්ට නොවූ සේය. දැන් ඔහු තවත් රමණීය වන පරිසරයක ජීවිතාලෝකය සොයා යන චාරිකාවේ නතරව සිටියි.
සුජාතා හා සුප්‍රියා ආපසු යන්නාහු ඉමහත් ප්‍රමෝදයෙනි. සිදුහත් තවුසාගේ ශාන්ත රුවද තේජස්‌ විලාසයද ඔවුන් තුළ නැඟෙයි. එහෙත් මේ කිසිවක අගක්‌ මුළක්‌ එවේලෙහි නම් ඔවුන්ට සිතා ගත නොහැකි විය. තමන් විසින් කරන ලද කිරිපිඬු පූජාව නම් වෙනදාට වඩා අමුතු ගාම්භීර පූජාවක්‌ බව පමණක්‌ සුජාතාවෝ දත්හ. ඇගේ යෙහෙළිය සුප්‍රියා තුළද ප්‍රමෝදයක්‌ද, විස්‌මයක්‌ද වැඩුණි. සැබැවින්ම මෙය ඇය විසින්ද පෙර සංසාරයේ කරන ලද ප්‍රාර්ථනාවක්‌ පරිදි ඉටු වූ මහත් ඵල දානයකි.
ස්‌වාමි දුවනි මට නං හිතෙනවා අද මොකක්‌ හරි බරපතල දෙයක්‌ ඉෂ්ට වුණාද කියලා.
සුප්‍රියා පෙරළා එන අතර කීවාය.
මටත් මොකක්‌දෝ අමුත්තක්‌ දැනෙනවා. මගේ හිත හරිම පිsරිලා. මට දැනෙන්නේ හරිම නිරාමිස සුවයක්‌. මිනිස්‌ පුත්‍රයෙක්‌ම වුණත් ඔබට හැඟුනෙ නැද්ද විශේෂත්වයක්‌.
ඒකනං එහෙම තමා මොනතරම් සෘෂිවරුන් ඉන්නවද මේ දඹදිව සත්‍යය සොයා ගෙන යන. සුප්‍රියාට මතකද දවසක්‌ මාමණ්‌ඩි කිව්ව අර පේන ඉසව්වේ නිරාහාරව සෘෂින් වහන්සේ කෙනෙක්‌ වැටිල හිටිය කියලා.
මොකද නැත්තෙ. ඇයි සිටු තුමා කිව්වේ කුස පොත්ත පිටට ඇලිච්ච, ඇස්‌ ගිලිච්ච, මහා දුකක්‌ සිරුරට දෙන කෙනෙක්‌ ගොපලු කොල්ලන්ට හමු උනාය කියලත්.
ඒ උනාට මේ තාපසතුමා බොහොම ගාම්භීරයි. තේජවන්තයි. කතාවක්‌ බහක්‌ නැතුව හිටියට සත්‍යය අවබෝධ කරන මාර්ගයෙ යන බව නම් හොඳටම පැහැදිලියි.
සුජාතාත් සුප්‍රියාත් නොයෙක්‌ සාමිවී කතා මැද්දේ ආපසු සිටු මැදුරට ගියහ. ඒ අතරේ සිදුහත් තවුසාණෝ නැගී සිට නේරංජරා නදිය අසලට ගොස්‌ මුව සෝදා පාතාරාසය ලෙස කිරිබත් අනුභව කළේය. සුජාතා එය පිසූ ආකාරයෙන්ම එයින් සිදුහත් සිරුරෙහිද මහත් වෙනස්‌කම් දනවන්ටද විය. තමන් විසින් කිසිදිනක මෙවන් ආහාර පූජාවක්‌ නොලද බවද ඔහුට පසක්‌ විය.
සිදුහත් කිඹුල්වත් නුවර මාළිගාවෙහි ගෙවූ ඉසුරුමත් ජීවිත කාලයේදී වුවද මෙබඳු බොජුනක්‌ නොලද බව සිහිවිය. මවිසින් පුරන ලද යම් කුසල ධර්මයක්‌ වේ නම් මෙවන් පටන් ඒ සියල්ල මට පිහිට වේවා යන පහන් සිතිවිල්ලෙන්ම සිත නිවා ගත්තේය. අනතුරුව තමන් වැළඳු පාත්‍රය සෝදා යළිත් හිස්‌ කර නේරංජරා නදියේ ජලය මත රඳවා මෙබඳු අධිෂ්ඨානයක්‌ද කළේය.
මම මනුෂ්‍ය ධර්මයද ලෝක ධර්මයද වෙන වෙනම පසක්‌ කර ගැනීම සඳහා අප්‍රමාණව වෙහෙස වීමි. මගේ සිරුරෙහි හැම රෝම කූපයක්‌ම තරමටම නොව ඊට වඩා දහස්‌ ගුණයකින් සිරුරට දුක්‌ දී ඇත්තෙමි. පව පිළිකුල් කරමින්ද ගැඹුරු තවුස්‌දම් වඩමින්ද කල් ගෙවීමි. මම කිසිඳු ප්‍රාණියකුට හෝ හිංසා නොකළෙමි. සිහියෙන්ද ප්‍රඥවෙන්ද සියල්ල බැලීමට දිරි වැඩුවෙමි. එසේ හෙයින් ඒ සියලු ශක්‌තීන්ද බලයන්ද මා තුළ තවත් වැඩේවා. මට අද රැය පහන්වීමට පෙර සියල් ලොව පදරුත් පසක්‌ වේවා. එසේ වන්නේ නම් මේ පාත්‍රය ගඟදියේ උඩුගං බලා යේවා” යි සිතින් මැතූරූහ.
එවේලෙහි සිදුහත්ගේ දැස්‌ පියවී තිබිණි. හාත්පස වන පෙතම ක්‍ෂණික නිද්‍රාවක ගිලී ගියාක්‌ මෙන්ද විය. සතකුගේ හඬක්‌ තබා හමා යන සුළඟද නතර වූ සෙයකි. සිදුහත් යළි දැස්‌ විවර කර බලද්දී පාත්‍රය උඩුගම්බලා යමින් තිබුණි. එය බැලු බැල්මට කිසියම් බලයකින්ද නොඑසේනම් හාස්‌කමකින්ද උඩුගම්බලා ඇදගෙන යන ආකාරයක්‌ද දිස්‌විය.
මෙසේ පාත්‍රය ජල මතට වැටුණු හඬ දෙවියෝ දිව කනින් ඇසූහ. ඒ ලකුණු විමසා බලන්නාහු හෙට අලුයම් වේලේ ලොවට බුදු කෙනෙක්‌ පහළ වන බව ඒකාන්ත වශයෙන්ම දැනගත්හ. ඒ සතුටින් ඔකඳ වූ දෙවි බඹහුද වෙනත් සම්‍යක්‌ ද්‍රෘෂ්ටි දෙවිවරුද සාධුකාර දුන්හ.
සිදුහත් තවුසාද සැහැල්ලු සිතින් ආපසු රුක්‌මුළ බලා පා ඔසවන්නට විය. එවේලේ සිදුහත්ට දැනුනේ මෙතෙක්‌ තම සිත තුළ වූ සකල ඥන සම්භාරයම කිසියම් අනුපිළිවෙළකට සැකසෙමින් චිත්ත අභ්‍යන්තරයේම අලුත් වෙනසක්‌ සිදුවෙමින් තිබෙන බවය. තමන් සොයා ගිය ආලෝකය ආසන්නයටම පැමිණ සිටින්නාක්‌ බඳු සිතිවිල්ලක්‌ද ඔහු තුළ විය.

ගාමිණි සුමනසේකර

3. මැද මරඟන රැඟුම් - නිසලය මුනිඳු මනරම් ...
01. මගෙ හිත කියෙව්වෙ යශෝධරා විතරයි ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.