19. වසුරු කද බිම දමා සසුන්ගත වීමේ වරම් ලද සුනීත ... - IFBC Organization | Dhamma

වසුරු කද පසෙක ලූ සුනීත වේගයෙන් දිව ගොස්‌ පඳුරකට මුවා වූයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මඟ ඉඩ දීමට ය. එවේලෙහි සුනීත අබිමුවට වඩිමින් සිටියේ බුදුන් වහන්සේය. උන්වහන්සේ සමඟ තවත් භික්‍ෂුන් වහන්සේ කීප නමක්‌ද වූහ. එහෙත් සුනීතට ඒ කිසිවක්‌ පිළිබඳ වැටහීමක්‌ නොවීය. ඔහුගේ සාමාන්‍ය පිළිවෙත වන්නේ කිසි විටෙක කිසිවකුගේ ඉදිරියට නොයැමය. අහම්බයකින් හෝ කෙනෙක්‌ තමන් අබියසට එන්නේ නම් හේ වහාම මාර්ගයෙන් ඉවත්ව පසෙකට වී සිටියි.

දඹදිව යනු කුලවාදයේ බිහිසුණුම නිරයක්‌ වැන්න. කුලවතුන්ගේ උදහසට ලක්‌ වන බොහෝ කුලහීනයන්ට ලැබෙන දඬුවම සිතාගත නොහැකි තරම් ය. සුනීත කුඩා කල නොදැන කුලවතකුට ඉඩ නොදීමේ වරදට කස පහර කෑවේය. තවත් දිනක උදැසන කුල කතකට මගදී හමුවීමේ වරදට ද බරපතළ දඬුවම් ලද්දේය. සුනීත යනු දැසින් දැකිය යුතු දසුනක්‌ නොවන බව ද ඇතැම් කුලවමියෝ හඟිති. සුනීත නෙත ගැටුණු එක්‌ කුල කතක්‌ කිරි කළ දහයකින් නා පිරිසුදු වූ සිද්ධියක්‌ ද ඔහුගේ දුක්‌බර මතක අතර විය. ඒ සියලු දුක්‌ දොම්නස්‌ අතර සිර වී ජීවත් වුවද සුනීත කිසි විටෙක කම්පා නොවී ය.
සුනීත සිතන්නේ ඉරණම විසින් කරන ලද නියමයක්‌ අනුව තමන් මෙබඳු කුලහීනයකු ලෙස ඉපිද දුප්පත් ජීවිතයක්‌ ගෙවන බව ය. සුනීතට සිය පියා පිළිබඳව ද මතකයක්‌ නැත. ඔහු දන්නේ මතක ඇති කාලයක පටන් මේ වසුරු කද රැගෙන ගෙන් ගෙට යන බවය. අකුරට නොගිය සුනීතට ගුරුවරයෙක්‌ නොවීය. සමාජයට නොගිය සුනීතට මිත්‍ර සමාගමක්‌ නොවීය. වෙළෙඳ සල්පිලකට, විනෝද මේලාවකට හෝ දනන් ගැවසෙන කිසි තැනක සුනීතට ඉඩක්‌ නොවීය. හිරු සඳු මෙන්ම ඇළ දොළ හා ගහ කොළ ද හැර වෙන කිසිදු නෑයෙක්‌ මිතුරෙක්‌ සුනීතට නොවීය.
ඉසුරුමතුන්ගේ මැඳුරු දොර විවර නොවූවද, එහි පෑල දොර සුනීතට විවර විය. ඒ ඉසුරන්ගේ වැසිකිළි – කැසිකිළි පවිත්‍ර කළත් සුනීතට ඔවුන් ඉවතලන ඉඳුලක්‌ බුදින්ට තරම්වත් වරම් නොවීය. එහෙත් ඔහු සිය රාජකාරිය අකුරටම ඉටු කළේය. ඉන් ලැබෙන සොච්චමකින් යාන්තම් වේල පිරිමසා ගත් හේ තමන් සතු තවත් කඩමාල්ලක්‌ පොරවා ගෙන රැය ගෙවයි. අඳුර ඔහුගේ සියලු වේදනා සුවපත් කරන නෑයකු වැන්න.
සුනීත වසුරු කද දමා ලහි ලහියේ දිව යන අයුරු බුදුහු දුටහ. ඔහුගේ අහිංසක විලාසය ද පෙර පින් මහිමයද උන්වහන්සේට සැණෙකින් ප්‍රත්‍යක්‍ෂ විය. මේ අහිංසක මනුෂ්‍යයාට සරණ විය යුතු යෑයි ද උන්වහන්සේ කල්පනා කළහ. එසඳ බුදුහු සුනීත සැඟ වී සිටින පඳුර දෙසට වඩින්නට වූහ. සුනීත වික්‍ෂිප්ත හැඟීමෙන් මොහොතක්‌ බුදුන් වහන්සේගේ කාරුණික මුවමඬල දෙස බලා සිටියේය. දැන් බුදුන් වහන්සේ තමන් අසලටම පැමිණ සිටින වග සුනීත තේරුම් ගත්තේය. එහෙත් මේ කවරෙක්‌ දැයි ඔහුට නිනව් නැත. නෙත සීතල ගඟුලක්‌ සේ ගලන දයාවේ සිසිල ද ඔහුට දැනුණි. එහෙත් තවමත් ඔහු සිතන්නේ තමන් අතින් ගරුසරු නැති බවක්‌ සිදු වන්ට ඇතැයි කියාය. එකෙණෙහිම ඔහුගේ හද ගැස්‌ම වැඩි විය. යළි දෙපාවලට දිරි දුන් හේ පඳුර දෙබෑ කරමින් දිව ගොස්‌ අසල වූ දිය කඩිත්තකට පැන සැඟවිණ. බුදුහු ද ඔහු පසු පසම වැඩියහ.
“සුනීත ඔබ හොඳටම බයවෙලා. මං ආවේ ඔබට පිළිසරණක්‌ වෙන්න. ඇයි ඔබ මා මඟහැරල යන්නේ. ඔහොම නවතින්න. මට ඔබ සමඟ කතා කරන්න ඕනෑ.”
එවේලේ නම් සුනීතට දෙඇස්‌ පමණක්‌ නොව දෙසවන් ද ඇදහිය නොහැකි සේය. එහෙත් ඔහුට ඒ සියල්ල සත්‍යයක්‌ බවත්, තමා ඉදිරිපිට සිදුවන්නක්‌ බවත් සහතිකය. තම නමින් තමා අමතන කිසිවෙක්‌ මේ මිහිපිට නොවන බව ද ඔහු ඉඳුරා දනී. යළිත් ඔහුගේ සිත තුළින් බුදුන් වහන්සේගේ මුදු ඇමතුම, “සුනීත” යන වදන ඔහුට ඇසෙයි. ඔහු දියෙහි සිටම දැත් ඔසවා වෙව්ලන ස්‌වරයෙන් මෙසේ අයෑදින්නට විය.
“පින්වත් උතුමාණනි, ම….. ම. අනේ පින්වත්……… මම මට සමාවනු මැනවි. මං කළේ බරපතළ වරදක්‌ බව ඇත්ත. අනේ මාව අතහරින්න. මට යන්න දෙන්න. මං ආයෙ කවදාවත් ඔබ වහන්සේ ඉස්‌සරහට එන්නේ නෑ.
එසඳ බුදුහු ඔහු අසලටම වැඩියහ. කෙළින්ම සුනීතගේ මුව දෙස බලා සිටිමින්ම මෙසේ වදාළහ.
සුනීත ඔබ කිසිම වරදක්‌ කළේ නෑ. ඒත් මේ සමාජය ඔබට හරියට වැරදි කළා. ඔබට පීඩා කළා. අවමන් කළා. ඔබව රැවැට්‌ටුවා. මං ඒ සේරම දන්නවා. මාව විශ්වාස කරන්න. විශ්වාස කරන්න, බැරි තරමටම ඔබ පීඩා විඳල තියෙනවා. ඒත් ඔබට මගේ ආදරය, කරුණාව තියෙනවා. එන්න. ගොඩට එන්න.
සුනීතගේ බිය දුරලීමට එවදන් සෑහුණ ද තවමත් කිසිවක්‌ නිරවුල්ව තේරුම් ගැනීමට සුනීතට නොහැකිය. සිය ජීවිතයේ ප්‍රථම වරට දයාබර වදනින් තමන් අමතන්නේ කවරෙක්‌ද යන්නවත් ඔහු නොදනී. විලාසය අනුව නම් තමන් ඉදිරිපිට සිටින්නේ සාමාන්‍ය පුද්ගලයෙක්‌ නොවන බව ඔහුට හැඟිණි. එහෙත් කසළ ශෝධකයකු අසල නතර වී මේ සා දයාබර වදනින් තමන්ට පිහිට වන බව පවසන මේ අසාමාන්‍ය පුද්ගලයා කවරෙක්‌ දැයි යළිත් ඔහු සිතන්නට විය.
“සුනීත මට කියන්නෙ බුද්ධ කියලා. මං මේ දිනවල අර එහායින් පෙනෙන ඡේතවනාරාමයෙ තමා නතර වෙලා ඉන්නේ. මමත් කරන්නේ එක්‌තරා ආකාරයක පවිත්‍ර කිරීමක්‌. හැබැයි මං ඉවත් කරන්නෙ කෙළෙස්‌ නමැති මළ. මේ දඹදිව් තලයෙම කෙළෙස්‌ මළ නොපිරි නුවරක්‌, ගමක්‌ නෑ. හැම හිසකම ඒ මළ පිරිල. ඔබ ඒ මළ වලින් පිටතට එන කොටසක්‌ අරන් ගියත් ඒ කිසිවකුට තමන්ගෙ අභ්‍යන්තර දුගඳ දැනෙන්නෙ නෑ. ඔබට දැන් අලුත් ජීවිතයක්‌ පටන් ගන්න පුළුවන්.
සුනීත දියෙන් ගොඩට අවුත් බුදුන්ගේ දෙපා මුල වැටුණේ තෙත බරිත වූ රෙදි කඩමාල්ලත් සමගම ය. වෙව්ලන තරම් සීතලක්‌ තිබුණ ද උණුසුම් වූ සිතිවිලි නිසා සුනීතට ඒ බවක්‌ නොදැනුණි. හේ යළිත්a බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. අනතුරුව මෙසේ කියන්නට විය.
“මට තේරෙනව ඔබ වහන්සේ හරිම කරුණාවන්ත කෙනෙක්‌ කියල. මං ජීවිතේ අද තමයි, මේ තරම් දයාබර වදනක්‌ ඇහුවෙ. මේ විදිහට කාට හරි ළංවෙලා කතා කළේ. කිසිම කෙනෙක්‌ මගෙ මූණ බලල නෑ. මං මහා කාලකන්නියෙක්‌ කියලයි හැමෝම කියන්නෙ. මම කාත් කවුරුවත් නැති අනාථයෙක්‌. ඒ සේරටම වඩා මං හීන කුලයක කසළ ශෝධකයෙක්‌. මං කර තියාගෙන යන්නේ වසුරු කදක්‌. ඒ දුර්ගන්ධය මට හොඳට පුරුදුයි. ඔබ වහන්සේටත් දොස්‌ අහන්ට වෙයි. මට උපකාර කළොත්. බාග වෙලාවට මං ඔබ වහන්සේ රවට්‌ටගෙන කියල මාව මරන්ටත් බැරි නෑ. අනේ ස්‌වාමීනී මාව අත්හැරල දාල ඔබ වහන්සෙ යනව නම් හොඳයි කියලයි මට නං හිතෙන්නෙ.”
බුදුහු නිහඬවම අසා සිටියහ. කුලමානයේ පීඩනය කෙබඳු දැයි උන්වහන්සේ දනිති. පුහුදුන් මිනිසාගේ විලාසය උන්වහන්සේ තරම් ඉඳුරා දත් කිසිවෙක්‌ ද නොවෙති. රජ මැති සිටුවරු ද නොයෙක්‌ දෘෂ්ටීන් වැළඳ ගෙන මුළාව නොසිටිත්ද? එහෙත් මේ කුලහීන යෑයි ගැරහුම් ලබන සුනීත ඒ සියල්ලන්ටම වඩා නැණවත් බව ද ගුණවත් බව ද බුදුහු දුටහ.
“සුනීත ඔබ කැමැති නං ඔබට මගේ සසුනෙහි පැවිදි බව ලබා දෙන්න පුළුවන්. එතකොට ඔබට අනුන්ගේ කසළ අදින්න ඕනෑත් නෑ. ඔබේ සිත පිරිසුදු කරගෙන සතුටින් ඉන්න පුළුවන්.”
සුනීතගේ සිත කෙමෙන් සුවපත් වෙමින් තිබිණි. ඔහුට බුදුන් වහන්සේගේ ඉල්ලීමට පිටු පෑමට තරම් ශක්‌තියක්‌ ද නොවීය. තමන් වෙනුවෙන් මේ සා කාරුණික වන උන්වහන්සේගේ අදහසට එරෙහි වීම පවා නොමැනවැයි සුනීතට සිතිණි. ඔහු යළිත් දණ බිම හොවා බුදුන් වහන්සේ පාමුල වැඳ වැටිණි.
සුනීත හැඳ සිටි ගොමස්‌කඩය සමඟම යළිත් දියට බට හේ ඇඟ පත හොඳින් අතුල්ලා නා පිරිසුදු විය. වස්‌ත්‍රය ද මිරිකා යළි හැඳගෙන බුදුන් වහන්සේ අසලට පැමිණියේය. අනතුරුව බුදුන් වහන්සේ තමන් සමඟ සිටි සංඝයා දෙසට හැරුණි. ඒ පිරිස අතර සිටි ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළහ.
“ආනන්ද මේ සුනීත
ඡේතවනාරාමයට එක්‌ක ගිහිල්ල සැරියුත් හාමුදුරුවන්ට භාර දෙන්න. හිස බූගාල සිව්රක්‌ දීල මහණ කරවන්න කියන්න.”
ආනන්ද හිමියෝ සුනීත රැගෙන ගොස්‌ සැරියුත් හිමියන්ට භාර කළහ.
බුදුන් වහන්සේ සුනීතව රැගෙන ගොස්‌ පැවිදි කරවූ පුවත ගංවතුරක්‌ සේ පැතිර යමින් තිබිණි. සැවැත්නුවර ඇතැම් ප්‍රභූහු ද, වෙළෙඳ සිටුවරු ද, වෙනත් ධනීහු ද ඒ පුවත අසා විස්‌මයට පත් වූහ. බුදුන් වහන්සේ එබඳු ක්‍රියාවක්‌ කිරීම බලවත් වරදක්‌ සේ ද සමහරකු විවේචනය කරන්නට වූහ.
“මේ නුවර මොන තරම් තපස්‌වරුන් ඉන්නවද? වෙනත් ශාස්‌තෲන් ඉන්නවද? ඒත් මේ වගේ දෙයක්‌ නං කරනව තියා හිතන්නෙවත් නෑ. ගෙයක්‌ ගෙයක්‌ ගානෙ අසූචි එකතු කරපු කෙනෙක්‌ බුද්ධ ශ්‍රාවකයකු වුණා කිව්වම ජනතාව මොනව නොහිතයිද? කාටද පුළුවන් ඡේතවනාරාමයට ගිහිල්ල හෑල්ලු වෙන්ට. බුදුන් වඳින්ට. බණ අහන්ට. බුද්ධ ශාසනේ ඉන්නෙ ශාක්‍ය කුමාරවරු. වෙනත් කුලවල ප්‍රභූවරු. ඒ අයට පුළුවන්ද මේ වගෙ කසළ ශෝධකයෙක්‌ එක්‌ක සමාගමට වැටෙන්න.
සැවැත්නුවර වැසී ගියේ එබඳු කුල ගර්වයේ දුමාරයකින් ය. සමහරු බෙහෙවින්ම කම්පා වූහ. තවත් සමහරුන්ට කිසිවක්‌ සිතාගත නොහැකි විය. මේ දුමාරය කොසොල් රජ මාලිගාවට ද වැදුණි. රජු එයට කිසිදු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වුවද, එයින් ඔහුගේ සිත ද සසල විය. බුදුන්ට තිබෙන ගෞරවය නිසා තුෂ්ණිම්භූතව සිටිය ද රජුට හැඟුණේ මෙම ක්‍රියාව නිසා බුදුන් වහන්සේ පිළිබඳ කිසියම් කලකිරීමක්‌ ඇති විය හැකි බවය. සුදොවුන් රජුගේ පුත්‍ර සිදුහත් මෙබඳු පහත් කුලයක අයෙක්‌ තම ආරාමයට එකතු කර ගැනීම රජුට සිතාගත නොහැකි දෙයක්‌ම විය. එහෙත් ඕනෑම ගැටලුවක්‌ මනාව පහදා දිමට බුදුන්ට හැකි බව ද රජු දනී.
සතියක්‌ පමණ ගෙවී ගියේය. කොසොල් රජු තනිවම බුදුන් වහන්සේ බැහැදැකීමට පිටත් විය. සුපුරුදු ලෙසම
ඡේතවනාරාමයේ පිවිසුම් දොරටුව අබියස රිය නැවැත්වූ හේ ඉන් බැස බුදුන් වහන්සේ වැඩ සිටින ගඳකිළිය දෙසට පිය නැඟුවේය. තන්හි තන්හි ධර්ම සංවාදවල නිරත වූ සංඝයා වහන්සේය. සන්සුන්ව සක්‌මන් කරමින් හිඳින භික්‍ෂුන් වහන්සේය. මේ පිරිස්‌ අතර ඉතා සන්සුන්ව, මුදුÊවදනින් ගැඹුරු ධර්මයක්‌ පිළිබඳ කෙරෙන සංවාදයක්‌ රජුට ඇසුණි. රජු වුවමනාවෙන් එදෙස බලා සිටියේය. පළමුව බුදුන් වහන්සේ බැහැදැක දෙවනුව එම දම්සභා මණ්‌ඩපයට එක්‌විය යුතු යෑයි ද රජුට සිතිණි.
ඉක්‌බිති රජු බුදුන් වහන්සේ වැඩ සිටින ගඳ කිළිය දෙසට ගමන් කළේය. එවේලෙහි උන්වහන්සේ ද කුටියෙන් පිටතට පැමිණ විවේකීව වැඩ සිටි සේක. රජු උන්වහන්සේට නමස්‌කාර කළේය. මෙවේලෙහි රජුගේ සිත තුළ වූ දෙගිඩියාව බුදුහු දුටහ. එහෙත් ඒ බවක්‌ නොහඟවා තුෂ්ණිම්භූතව වැඩ සිටියහ. එහෙත් කොසොල් රජුගේ සිත තුළ වූ ව්‍යාකූල භාවය නිසාම බුදුහු මෙසේ වදාළහ.
“රජතුමනි අපි යමුද ආරාම පරිශ්‍රයෙහි ටිකක්‌ ඇවිදින්න. ඔබතුමාටම බලාගන්න පුළුවන් වෙයි මගේ භික්‍ෂූන් මොන තරම් බුද්ධිමත්ද, වාද විවාද වලට සමත්ද කියලා.”
රජු උන්වහන්සේ පසුපසින් ගමන් කළේය. ස්‌වල්ප වේලාවකට පසු රජුගේ අවධානය යොමු වූ භික්‍ෂුන් වහන්සේලා පිරිස වාඩි වී සිටි ස්‌ථානය අසලට තමන් හා බුදුන් වහන්සේ සමීපව සිටින වග රජුට පෙනුණි. බුදුන් වහන්සේ දුටු සැණින්ම උන්වහන්සේලා නැගිට නමස්‌කාර කර බලා සිටියහ.
“රජතුමා දන්නවද මේ හාමුදුරුවො කවුද කියල.?” බුදුහු රජු දෙස බලා ඇසූහ. රජුට පිළිතුරක්‌ නොවීය.
“මේ තමයි සුනීත හාමුදුරුවො. ඔබ දන්නවනෙ මේ නුවර ගෙයින් ගෙට ගිහිල්ල වසුන් කද එකතු කරපු හීන කුලේ කියල නිග්‍රහ ලබපු සුනීත. දැන් විමුක්‌ති මාර්ගයේ සෑහෙන දුරක්‌ ගමන් කරල තියෙනවා. බොහොම ධෛර්ය සම්පන්නයි. බුද්ධි සම්පන්නයි.
බුදුන් වහන්සේම රජුගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් සේක. රජුට ඇති වූයේ විස්‌මයකි. බයාදු පෙනුමකින් යුත් කුල හීන තරුණයා දැන් හිස කෙළින් තබා ගෙන සිටින අයුරු ද රජුට පුදුමයකි. භික්‍ෂුත්වය යනු අභීත අදීන මහා පෞරුෂයක්‌ බව ද රජුට පසක්‌ විය.

ගාමිණී සුමනසේකර
20. ඕ නම් ලෝලිය නොම වන්නී ...
18. බුදුහු කොසොල් රජුගේ කුහුල සංසිඳවති ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.