184 සංගාමාවචර ජාතකය

තවද ශාක්‍යකුල කල්පද්‍රුමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ සන සමයෙහි නන්දසාමී අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

නන්දසාමින්වහන්සේ මහණවන දවස් ජනපද කල්‍යාණිය විසින් වහා එව නන්දයයි කවුළුදොරසිට කී බස් සිතන්නාහූ නන්දසාමි මහණදමෙහි උකටලීව පඬුවන්වූ පැහැයෙන් හා නිය කෙස් වැඩී ශාසනයෙහි උකටලීව වාසයකරණ සේක. එපවත් සර්වඥයෝ දැන නන්දසාමී ඉන්නාතැනට ගියසේක. උන්වහන්සේ සර්වඥයන් වහන්සේට අසුන්පනවා වදාළසේක. සර්වඥයන් වහන්සේ පැනවූ අසුන්පිට වැඩ උන්සේක. වැඩහිඳ නන්දයෙනි ශාසනයට ඇළුම් ඇද්දැයි විචාරන්නා ස්වාමීනි ජනපදකල්‍යාණිය කෙරේ තෘෂ්ණාව ඇතිහෙයින් ශාසනයෙහි ඇළුම් මදව වාසයකෙරෙමි කීහ. එවිට සර්වඥයන් වහන්සේ නන්දයෙනි හිමාලවනය අඳුනනවාදැයි විචාරන්නා ස්වාමීනි නාඳූනමි කී හෙයින් එසේවීනම් හිමාලවනය දකින්ට යම්හයි වදාළසේක. එවිට නන්දසාමී කියනසේක් මාගේ ඍද්ධියක් නැතිව කෙසේ යම්දැයි කීසේක. එබස් අසා සර්වඥයෝ තොපි මාගේ ඍද්ධියෙන් එවයි කියා අත අල්වාගෙණ ආකාශයට පැනනැගී වැඩිසේක් අතරමග දාගිය සේනක් මවා ඒ සේන දාගිය කණුවක්මවා එහි කන්නාසා වල්ගය දාගිය වැඳිරියෙක මවා නන්දය තෙලදාගිය වැඳිරිය දුටුදැයි විචාරන්නා දිටිමි කී විසින් මේ වැඳිරිය සිත තබාගණුවයි හිමාලයවනයට ගොස් හිමාලයවනයේ අනෝතත්ත විල ආදී මහවිල් සතරක් හා පංචමහා ගංගාව හා දහස්ගණන් පර්වත හා හිමාලයවනයෙහි නොයෙක් අපූර්ව දක්වා චාතුම්හාරාජිකාව අදූනනවාදැයි විචාරා නාදුනමි කී විසින් එසේවිනම් දකින්ට එවයි කියා නන්දසාමින් ඇරගෙණ චාතුම්හාරාජික දිව්‍යලෝකයට ගොස් පඬුපුල්සලස්නේ වැඩහුන් සේක. එවෙලෙහි ශක්‍රදේවේන්ද්‍රයෝ තමන්ගේ දෙදෙව්ලොව දේවතාවන් පිරිවරා බුදුන් දැක එකත්පස්ව සිටියාහ. එවෙලාවට ශක්‍රයාගේ දෙකෙළපණස්ලක්ෂයක් දිව්‍ය ස්ත්‍රීහූ දකින්ට ගියාහ. පන්සියයක් කකුටපාදිනිවූ දිව්‍යස්ත්‍රීයෝ සර්වඥ්‍යන් දකින්ට ගියාහ. එවිට සර්වඥයෝත් කියන්නාහු නන්දයෙනි ජනපදකල්‍යාණි නියාවට මුන් වඩිද්දැයි විචාළහ. එපවත් අසා නන්දකුමාරයෝ කියන්නාහු ස්වාමිනි ජනපදකල්‍යාණි නම් අතරමග දුටු වැඳිරිය වැන්නීහ. එසේහෙයින් ජනපද කල්‍යාණිය කෙරේ ඇති සිතුවිලි ඇරින. මේ දිව්‍යාංගනාවන් මා ලබන්නේ කෙසේදැයි විචාළහ. එවිට සර්වඥයෝ ඉඳූරා මහණදම් පිරුවොත් දිව්‍යාංගනා වන් දැක්කහැක්කැයි වදාළසේක. එසේ වී නම් මහණ දම් පුරමි ස්වාමිනි මට දිව්‍යස්ත්‍රීන් ලබනනියාවට ඇපවන්ට උවමැනයි කිහ. සර්වඥයෝත් යහපත නන්දයෙනි මම ඇපවෙමි වදාළසේක. එවිට නන්දසාමී මහණදම් මහණදම් වහාපුරන්ට උවමැනවයි කියා දිව්‍යලෝකයෙන් සර්වඥයන් හා සමග ජේතවනාරාමයට වැඩ එතැන් පටන් දිව්‍යස්ත්‍රීන් පතා මහණදම් පුරන්නාහ. සර්වඥයන් වහන්සේ සැරියුත් සාමින්ට වදාරණසේක් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි නන්දයෝ දිව්‍යස්ත්‍රීන් ලබතොත් මහණදම් පුරමි මා අතින් ඇප ලවාගත්තෝ වේදැයි වදාළසේක. එවිට නන්ද සාමින්ටත් එලෙස වදාළසේක. කාශ්‍යප සාමින්ටත් එලෙස වදාළසේක. අනුරුද්ධ සවාමින් වහන්සේටත් එලෙස වදාළසේක. ආනන්දසාමින්ටත් එලෙස වදාරා අසුමහා සව්වන් වහන්සේ ඇතුළු බුද්ධවල්ලභ බොහෝ භික්ෂූන් වහන්සේට එපවත් වදාළසේක. සැරියුත්සාමින් නන්දස්මාන් කරාගොස් නන්දෙයනි දිව්‍යලෝකයෙහි දෙවියන් මධ්‍යයේ බුදුන් ඇපලවාගෙණ ස්ත්‍රීන්තකා මහණදම් පුරවාදතොපගේ මහණදම් පිරිමනම් කුලියට බැලමෙහේ කරන්නා වැන්නැයි වදාළසේක. මේ නියායෙන් නන්දසාමින් දුටුයම් තැනකදීම කුලියට බැලමෙහෙ කරන්නා වැන්නේයයි කියා බොහෝ මාළුවරුන් වහන්සේ ලජ්ජා කරණ සේක. බොහෝ දෙනාවහන්සේ කියන බසට ලජ්ජාව නන්දය මින් එකඟව ස්ත්‍රීන් කෙරෙහි සිතිවිල්ල ඇර විදර්ශනා වඩා රහත්වුසේක. රහත්ව බුදුන් කරා ගොස් ස්වාමින් වහන්ස මට ඇපවූ ඇපය ඉනිගියේ වේදැයි කීසේක. සර්වඥයෝත් නන්දයෙනි තොප රහත් වූ ගමනේ ඇපයෙන් මිදිගිය ගමනයෙමි වදාළසේක. එදවස් වැස එක්ව මාළුවරුන් වහ්නසේ නන්දයෝ අවවාදක්‍ෂමයෝය. යන කථාව කිය කියා වැඩහුන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මාළුන්නාට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා නන්දයෝ පෙරත් අවවාදක්‍ෂමයෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පසමිතුරු වූ රජ්ජුරුවකෙනෙකුන්ට හස්ත්‍යචාරීව දහස් හරණාහ. බෝධිසත්වයන් විසින් කම්පස්කරණ ලද මගුල් ඇතුත් යුද්ධයෝග්‍යව සිටිනේය. එකියන පසල් රජ්ජුරුවෝත් සේනාවක් පිරිවරා බරණැස්නුවරට අවුත් නුවර වට කොට ගෙණ රට හෝ දෙන්නේය යුද්ධ හෝ කරන්නේයයි පත්යවුය. එබස් බරණැස් නුවර රජ්ජුරුවෝ අසා රාජ්‍යයකුමට දෙම්ද යුද්ධ කෙරෙමියි කියා අට්ටාලවෙට්ටම ආදීවූ දෙයෙහි සේනාව සලස්වා යුද්ධ කරන්ට වන්නාහ. ඒ වෙලාවට අට්ටාලවල සිට දමන්නාවූ බොහෝ ශරවරුෂාව දැක ඉවසාගත නොහි ඇත් පසුබැස ගියේය.එවිට බෝධිසත්වයෝ කියන්නාහූ යුද්ධයට යෝග්‍යයයි කියා ඉන්නාවූ හස්තිරජයා ශර වර්ෂාව නැත්තාවූ යුද්ධයෙක් නම් යුද්ධ නොවෙයි එසේ හෙයින් ශරවර්ෂාව ඇඟට වැදගතැයි පසුබසිනේ ඇයිදැයි නාගේන්ද්‍රය වහාගොස් කණයම් බිඳ ඉන්ද්‍රකීලය උසුවාදමා පවුරුවාසල ඵලා නුවරට වැද බරණැස් රජ්ජුරුවන් අල්වාගෙණ අපගේ රජ්ජුරුවන්ට පාවා දෙවයි කීහ. එබස් අසා පෙරලා කරකැවී දිවගෙණගොස් ඉන්ද්‍රකීලයසකු උදුරා දමන්නාමෙන් දමා පවුරු පදනම් ඇනබිද නුවරට වැද බරණැස් රජ්ජුරුවන් අල්වාදුන්නායි වදාරා සංගාමවච්ඡ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ඇතානම් ආනන්ද ස්ථිවිරිය. හස්තචාරීව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

185 වාළොදක ජාතකය
183 අසදෘස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.