15. පුතු සෙනේ සම්, මස්‌, නහර, ඇට සිඳ නිබඳ දුක්‌ දෙයි...! - IFBC Organization | Dhamma

බුදුන් වහන්සේගේ සුළැඟිල්ලේ එල්ලී සුරතල් බස්‌ දොඩමින් යන රාහුල කුමරුන්ගේ විලාසය මාළිගාවේ සිටි සියලු දෙනාගේ මෙන්ම යසෝදරාවන්ගේ දෑසටද රසඳුනක්‌ විය. කිසිදු පැකිළීමකින් තොරව බුදුන්ගේ සෙවණෙහි සිය කුඩා පියවර මනිමින් යන රාහුල පුතුට බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමක්‌ නැති බවද ඕ දනී. සත් වසරකට පමණ පසු මුල්වරට උන්වහන්සේ දුටු මොහොතේ තමන් හැසිරුණු ආකාරයද ඇයට සිහිවිය. සංසාරේ පෙර පුරුදු මතක්‌වී බුදු පාමුල වැඳ වැටුණු තමන්ට රිසි සේ දුක්‌ කඳුළින් සෝදා හරින්නට උන්වහන්සේ කරුණාබර වූ අයුරුද ඇය සිහි කළාය. බුදුවරු නම් කරුණාවේ, දයාවේ මහා සයුරු බඳු වෙති. පුහුදුන් බැඳීම් සිඳ දැමූ ඒ උත්තම බුදු ගුණයට සිතින් නමස්‌කාර කළ යසෝදරා සිත අස්‌වසා ගන්නීය.

එසඳ ඈ සිත් මඬලෙහි සත් වසරක ධාරණාවන් පෙළ ගැසෙන්නට ද විය. බුදු බව ලබා ගන්නා තෙක්‌ පැමිණි දිගු සංසාර ගමන පිළිබඳව එදා සිය සුදොවුන් පිය රජුන් හා ප්‍රජාපතී මෑණියන් හමුවේ බුදුන් පැවසූ ආකාරයද එවේලේහි ඇයට සිහිවිය. සඳ කිඳුරියක සේ උපත ලද එක්‌ කලෙක පිය සඳකිඳුරාට යළි ජීවිතය ලබා දෙන්නට තමන් විසින් කරන ලද පරිත්‍යාගය ඇගැයුමට ලක්‌ වූ අයුරු සිහි වූ යසෝදරාවන්ගේ ඇසට කඳුළක්‌ද නැගුණි. ඒ සසරෙහිම ලේන කුලයෙහි උපන් විටෙක සාගර ජලයෙහි වැටුණු ලේන පුතු බේරා ගන්නට ගත් තැතද එදා බුදුහු අවධාරණය කළහ. බුදුන් වහන්සේ ඒ සියල්ල සිහිපත් කළේ ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමයේ නිර්මල අධ්‍යාත්මයෙහි සුවඳ සංසාරය පුරා විහිදී ගිය බව පෙන්වීමට යෑයිද ඇය සිතුවාය. එසේනම් තම පුතුට “අර දිලිහි දිලිහී වඩින්නාහු නුඹගේ පියාණෝය. ගොසින් නුඹට අයත් දායාදය ඉල්ලා ගනු මැනවැ,යි රාහුල පුතුට පැවසීමේ වරදක්‌ නැතැයිද ඇය තමන්ටම කියා ගත්තීය.
සැබැවින්ම බුදුන් වහන්සේ පිළිබඳව සිය පුතු රාහුල කුමරුන්ට ගැඹුරු වැටහීමක්‌ නොමැති බව ඇය දනී. වැඩෙන වියෙහිදී සිය පුතු විසින් අසන ලද දහසක්‌ පැන ඇය මතක්‌ කළාය. මේසා ඉසුරුමත් ජීවිතයක්‌ අතහැර සිය පියාණන් වනගත වූයේ කුමක්‌ නිසාදැයි රාහුල නැගූ පැනයට දෙන්ට පිළිතුරක්‌ එදා යසෝදරාවන්ට නොවීය. රාහුල ද ඒ වයසෙහි සෙසු කුමාරවරුන්ට වඩා බෙහෙවින්ම වෙනස්‌ මෙන්ම විමර්ශනශීලී දරුවකු විය. තම මිත්තණිය වූ ප්‍රජාපති දේවිය මෙන්ම යසෝදරා මෑණියන් විසින්ද සඟවනු ලබන රහසක්‌ ඇතැයි රාහුල පසුව දැනගත්තේය. සුදොවුන් සීයාගේ රාජ දූතයන්ට සිදුහත් නම් වූ තම පියාණන් පිළිබඳව කිසිදු තොරතුරක්‌ සොයා ගත නොහැකිව හේ දැඩි කනස්‌සල්ලකින් පසු වූ බවද පුංචි රාහුල දැන සිටියේය.
කිඹුල්වත්පුරය ට පැමිණ ආශ්චර්යමත් පෙළහර පාමින් සීයා ඇතුළු මාළිගයේ සියලු දෙනාගේත් පුරවැසි ජනී ජනයාගේත් වන්දනාවට පාත්‍රවූ ඒ බුදුන් තමන්ගේ පියා වූයේ කෙසේදැයි රාහුල කුමරුන්ට පැනයක්‌ විය. ඒ පැනයට පිළිතුරු නොදී සැඟවෙන්නට යසෝදරාවන්ට හැකි වූයේද නැත. සත් වසරක්‌ පුරා සිය හද පතුලේ ගබඩා කර තිබූ සියලු සිදුවීම් මුදාහරින ලද්දේ ඒ අනුවය.
මා ප්‍රිය පුතණුවනි, නුඹ විසින් අප්‍රමාණව විමසන ලද ඒ පැනයට මම අද නුඹට පිළිතුරු දෙන්නෙමි. යන්තම් බහ තෝරන වියෙහි සිටම නුඹට කුහුලක්‌ වූ පිය රජුන් පිළිබඳ පුවත මම දැන් කියන්නෙමි. පුතණුවනි නුඹ උපන් දිනයෙහි නුඹගේ මුහුණ දෙසවත් නොබලා යන්නට තරම් දැඩි සිතක්‌ නුඹ පියාණන්ට නොවූ බව මම ඉඳුරා කියමි. මගේ ශ්‍රී යහන් ගබඩාව අසලට පැමිණි නුඹ පිය සිදුහත් එදින අබිනික්‌මන් කිරීමට තරම් දැඩි අධිෂ්ඨානයකින් යුතු විය. ඒ නුඹත් මාත් ඇතුළු සියලු දෙනාම සසරින් මුදවා ගන්ටය. ලෝක ස්‌වභාවය අනුව නම් පියකුට එබඳු පියවරක්‌ ගත නො හැකි විය හැකිය. එහෙත් නුඹගේ පියාගේ ඒකායන ජීවිත ප්‍රාර්ථනාව වූයේ මේ සසර දුකට බෙහෙතක්‌ සොයා ගැනීමය. ඒ සඳහා නුඹ පියාණෝ අපමණ පාරමිතා පිරූහ. මම ඔවුන්ට අත්වැලක්‌ වීමි. වෙස්‌සන්තර භවයේදී එපියාණෝ නුඹ හා නුඹගේ නැගණියද බමුණකුට දන් දුන්හ. ඒ ඇසූ මම සිහි මූර්ජාවී වැද හොත්තෙමි. යළි සිහි ලද කල්හි මම ද පියාණන් සමඟ එපින් අනුමෝදන් වීමි. අනතුරුව නුඹගේ පියා මාද දන් දුන්නෙහිය. එහිදී ලෝ පාලන දෙවියෝ මට පිහිට වූහ.
මා ප්‍රිය පුතණුවනි. ඒ සංසාර චාරිකාව මුළුල්ලෙහිම අප කැප වූයේ එකම අරමුණක්‌ උදෙසාය. මමද නුඹද අනන්ත අප්‍රමාණව ඒ උදාර අරමුණ උදෙසා පරිත්‍යාග ශීලී වී ඇත්තෙමු. ඒ තතු අදට වඩා හෙට නුඹ දහස්‌ අයුරින් වටහාගනු නිසැකය.
යසෝදරාවන්ගේ අනාවරණය පසක්‌ කරගන්නට තරම් රාහුල බුද්ධිමත් විය. සිය පියාණන්ද වනවාසී ජීවිතයකට හුරු වී කිසියම් ජනතා මෙහෙවරක නියෑළි සිටින අයුරු රාහුලට වටහාගත හැකි විය. එසේම සිය පියාණන් කිසි කලක යළි මාළිගාවේ වාසයට නොඑන බවද රාහුල කුමරුට පැහැදිලි විය. එසේම මෑණියන් කී ලෙසටම උන්වහන්සේගේ විලාසය ප්‍රසන්නය. එය කිසිසේත් තමන් විසින් මෙයට පෙර දක්‌නා ලද කිසිවෙකු සමඟ සැසැඳිය නොහැකි බවද ඔහුගේ ළපටි වුවද විමර්ශනශීලී සිතට වැටහුණි.
මෑණියන් කී පරිද්දෙන්ම හේ නරසිංහයෙකි. මඟුල් ලකුණින් විසිතුරු රත්පැහැ පතුල්ද දික්‌ සිහින් ඇඟිලිද මට සුමට මනා සිරුර ද මේ මිහිතලයේ කොතන හෝ නොදිස්‌වේමය. දැසින් ගලා යන්නේ මහා කරුණාවය. මුව මඬල මුදු වදන් ආකරයකි. මේ කහ සිවුරුද සුවිශේෂය. රාජකීය ජීවිතයෙහි වධයක්‌ වන තරමට සළුපිළිද ආභරණද බොහෝය. එහෙත් මේ සරල, චාම් ජීවිතය ඇස නිවන ශාන්තියෙකි. මේ සෙවණ මට හුරු සංසාරයේ සෙවණමදැයි මම නොදනිමි. එහෙත් එය මා ගත සිත නිවා සුවපත් කරවන සෙයකි.
රාහුල කුමරු සැහැල්ලු සිතින්ම බුදුන් වහන්සේ සමඟ නිග්‍රෝධ උයන දක්‌වාම පැමිණියේය. මේ වන විට එය ආරාමයක්‌ බවට පත්වෙමින් තිබිණි. තන්හි තන්හි වැඩ සිටින භික්‌ෂූන් වහන්සේලා දුටු රාහුලගේ සිතට නැගුණේ දින කීපයකට පෙර මාළිගාවෙන් පැමිණි සිය සුළු පියාණන් වන නන්ද කුමරුය. මේ නිසල පරිසරය පුංචි රාහුලගේ සිත තදින්ම ඇද බැඳ ගත්තේය. හාත්පස නරඹමින් සිටි රාහුල එකවරම තිගැස්‌සුණේ බුදුන් වහන්සේගේ කටහඬ ඇසුණු හෙයිනි. හේ හිස ඔසවා උන්වහන්සේ දෙස බැලීය. මෙවන් කරුණාවන්ත සිනාහවක්‌ රාහුලට මතක නැත. සුදොවුන් සීයා හෝ ප්‍රජාපතී මිත්තණිය හෝ කිසි දිනක තම සිත රිදවා නැති බව සැබෑය. එහෙත් මේ කාරුණික බව ඊට වඩා බෙහෙවින් වෙනස්‌ බවද රාහුල කුමරුට හැඟුණි.
ප්‍රිය රාහුල කුමරුනි නුඹ මා පසුපස පැමිණියේ නුඹට හිමි දායාදය ලබා ගැනීමටය. මවිසින්ම අප්‍රමාණව වෙහෙසීමෙන්ද පරිත්‍යාග කරමින්ද උපයා ගන්නා ලද ධනයක්‌ වෙයි. එසේම ඒ ධනය නුඹටද මතු වැඩ සඳහා බෙහෙවින්ම ඉවහල් වනු ඇත. එය නොනස්‌නා ධනයක්‌ද වන්නේය. මගේ සංසාර චාරිකාවේ නුඹද නුඹගේ මව සේම මට උපකාර අනුග්‍රහ දක්‌වා ඇත්තෙහිය. දැන් මම බුදු බව ලබා සිටින්නෙමි. මා අද නුඹට ලබා දෙන්නේද සෙසු අයට ලබා දෙන ඒ පරම ශාන්ත ධනයයි. ඒ ධනය සතුරන්ට පැහැර ගැනීමටද වෙනත් අගතීන්හි යෙදවීමටද නොහැක්‌කේය.
රාහුල කුමරුන්ට ඒ සියල්ල එලෙසම පසක්‌ නොවුවද එහි හරයද අගයද මනාව වැටහුණි. ඉනික්‌බිති බුදුහු සැරියුත් හිමියන් කැඳවා රාහුල කුමරුන් පැවිදි කරවන ලෙස වදාළහ. සැරියුත් හිමියෝ රාහුල කුමරුන් සමඟ සිය කුටියට ගියහ. කුමක්‌ සිදු වන්නේදැයි නොදත් නමුදු යහපතක්‌ම සිදුවන බව රාහුල කුමරුට සිතුණි. අනතුරුව සැරියුත් හිමියෝ රාහුල කුමරුන්ට මෙසේ කීහ.
ප්‍රිය රාහුල කුමරුනි, මම නුඹගේ හිස මුඩු කර නුඹ පැවිදිවෙස්‌ ගන්වමි. මෙතැන් පටන් නුඹට වෙනත් අබරණ හෝ කසීසළු හෝ පැළඳ ගත නොහැකි වන්නේය. තවද මෙවක්‌ පටන් නුඹ රාහුල සාමනේර නම් වන්නේය. ඒ සාමණේර ජීවිතයෙ හිදී මම නිබඳවම නුඹ සමඟ සිටින්නෙමි. මේ කුටියෙහිම මා සමඟ විසීමටද බාධාවක්‌ නැත.
රාහුල කුමරු හිස සලමින්ම ඊට එකඟ විය. සැරියුත් හිමියන්ගේ කාරුණික විලාසය ඔහුට මහත් ධෛර්යයක්‌ විය. අනතුරුව සැරියුත් හිමියෝම රාහුලගේ හිස බූ ගෑහ. කැපී ගෙලට වැටෙන කෙස්‌ ඔහුට කිසියම් නුහුරු බවක්‌ දැනවීය. එහෙත් හිස නොඔසවා එක ඉරියව්වේම සිටි රාහුල ගැන සැරියුත් හිමියෝද ප්‍රසාදයට පත් වූහ. සැරියුත් හිමියන්ගේ සුරතින්ම රාහුල කුමරුන්ට සිවුරද ඇන්දවිණි. කුඩා සාමණේර හිමියන්ගේ විලාසය සිත් බඳනා සුලු විය.
රාහුල කුමරුන්ද බුදුන් වහන්සේ විසින් මහණ කරවන ලද බව දැනගත් සුදොවුන් රජු මහත්සේ කැළඹීමට පත් විය. සැබැවින්ම මාළිගාවේ කිසිවෙක්‌ රාහුල කුමරුන් එලෙස පැවිදි කරගනු ඇතැයි නොසිතූහ. යසෝදරාවන් නොකැළඹුණු නමුදු ඇය තුළද සොවක්‌ නැගුණි. ඒ මේතරම් ළාබාල වයසකදී එබඳු ජීවිතයක්‌ ගෙවිය හැකිද යන සාධාරණ සිතිවිල්ල විසින්ම දනවන ලද සෝකයකි. තම තුරුලෙහිත් මිත්තණිය තුරුලෙහිත් උණුසුම් වූ නොදරුවකු සේ ඔවුහු රාහුල කුමරුන් දකිති. ප්‍රජාපතී දේවියද දැඩි සොවින් සිටියාය. ඒ ඊට පෙර තම පුත් නන්ද කුමරුන් පැවිදි කරවා ගැනීම නිසාය. සුදොවුන් රජුට නම් කිසිම ආකාරයකින් සිත සනසා ගත නොහැකිවිය. පුතු වියෝගය නමැති චණ්‌ඩමාරුතයෙහි ආදීනව ඔහු දනියි.
සිය රාජකීය ජීවිතය මරු කතරක්‌ සේ ඔහුට හැඟුණේද මේ පුත්‍ර වියෝගය නිසාමය. සිදුහත් කුමරුන් ගිහිගෙයි රඳවා ගන්නට ඔහු විසින් දරන ලද සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. සක්‌විති රජකු ලෙස පුතුට අත්වන්නට තිබුණු ගෞරවය අහිමිවීම පිළිබඳව ඔහු මහත් සේ පසුතැවිලි විය. අද ඒ පිළිබඳව මැදහත් සිතින් බැලීමට ඔහුට හැකිය. එහෙත් යළි පුත්‍ර වියෝගයෙහි ඊසර ඔහුට වැදුණේ නන්ද කුමරුන් ගිහිගෙය හැර යැම නිසාය. නන්ද නිසා ජනපද කල්‍යාණියගේ දෙමව්පියෝද තවමත් නොමනාපයෙන් පසුවෙතියි හේ දනී. මේ ලෞකික ජීවිතයෙන් තොර අධ්‍යාත්මික ජීවිතයක්‌ ජනපද කල්‍යාණියද නොදන්නීය. ඇය හැඬූ කඳුළින් පසු වූයේ තමන්ට සිදු වූ අනාදරයත් අපහසුවත් නිසාය.
කෙසේ හෝ රාහුල කුමරුන්ගේ පැවිදිවීම නම් සුදොවුන් රජුට හැඟුණේ සිය හිස මත ගිගුරුම් දෙන හෙණයක්‌ සේය. එයින් සිය හදවත ගිගුරුම් දෙමින් හඬනා බවය. මේ සා දරු දුකක්‌ ඔවුන්ට ඉවසා ගත නොහැකි විය.
අහෝ මෙවැනි අභාග්‍යමත් නරපතියෙක්‌ මේ දඹදිව තබා කොතැනක හෝ සිටින්නේද? සක්‌විති රජෙකු සේ ලොවක්‌ දිනා ගැනීමට තිබුණු වරම මට අහිමි විය. ඒපුතු වනගත විය. මම ඔහු වෙනුවෙන් හැŽමි. වැලපීමී. එය සමනය වූයේ නන්ද කුමරුන් නිසාය. නන්ද අලුත් ජීවිතයකට සැරසී මහත් අපේක්‌ෂාවෙන් සිටියේය. එහෙත් එයද මිරිඟුවක්‌ විය. මම ඒ කෙරෙහි උපේක්‍ෂා වීමි. දැන් මගේ අවසන් පැතුමවූ රාහුල කුමරුන්ද මට අහිමි වී සිටියි. මේ ජීවිත සැඳෑව මට මේසා දුක්‌ දෙන්නට තරම් සැහැසි වූයේ කුමක්‌ හෙයින්ද? ඉතින් මම කාවත බලා සැනසෙන්නෙම්ද? කුමක්‌ද මේ ජීවිතයේ අරුත. බුදුහු කිසිවිටෙක ලොවට අවැඩක්‌ නොකරති. එහෙත් උන්වහන්සේට මපුතුන් හැර අන් පුතුන් නොවීම මොන තරම් දුකක්‌ද?
මෙසේ වැලපෙන්ට වූ සුදොවුන් රජුන් අස්‌වසාලීමට ප්‍රජාපතී ගෝතමියද යසෝදරාවෝද වෑයම් කළහ. එහෙත් ඔවුන්ට ළසෝගිනි බොහෝ විය.
“මා දැන්මම යන්ට ඕනෑ
නිග්‍රෝධාරාමයට. මට දරා ගන්නට බෑ
මේ දුක.
අඩු තරමින් රාහුල කුමාරයන් දකින්නටවත් මට ඉඩක්‌ ලැබෙයිනෙ.”
මහා ප්‍රජාපති ගෝතමිය මෙන්ම යසෝදරාවෝද රජුට බාධා නොකළහ.
සුදොවුන් රජු මහත් සේ කැළඹී සිටින බව බුදුහු දුටහ. එහෙත් ඒ බවක්‌ නොපෙන්වා සාවධානව සිය පිය රජුට සවන් දීම මැනවයි බුදුහු සිතූහ. බුදුන් බැහැ දැකීමට පැමිණි සුදොවුන් රජු මෙලෙස කීහ.
භාග්‍යවතුන් වහන්ස. මගේ ළය නොපැළී ගියේ වුවද මම අප්‍රමාණ දුකකින්ද වියෝගයකින් ද කම්පාවට පත්ව සිටිමි. පුහුදුන් මා කෙරෙහි දයාබර වුවමැනවි. මම පුතුන් වෙනුවෙන්ම හඬන්ට උපන් පියෙක්‌දැයි නොදනිමි. දරු දුක මව්වරුන්ට දරා ගත නොහැකි බව කියති. එහෙත් පියකුගේ හද පෙළන ඒ දරු දුක ගැන ලෝකයා දනිත්ද? මම එකල සිදුහත් කුමරුන් නිසා අප්‍රමාණ දුක්‌ දැරීමි. ඒ දුක තුනී නොවුවද නන්ද කුමරුන්ගේ දසුන මට අස්‌වැසිල්ලක්‌ විය. ඉන්පසු රාහුලය, නන්දය යන පුත්තු මා සමඟ වූහ. දැන් ඔවුහු මා සමග නොවෙති. මට මේ දුක දරා ගත නොහැක.
භාග්‍යවතුන් වහන්ස, පුත්‍රස්‌නේහය යනු සම සිඳ සමේ ගැඹුරටම කාවැදී මසද පසාරු කර යයි. මස සිඳ නහරද සිඳියි. නහර සිඳ ඇටද ඇට මිදුලුද සිඳ ගොස්‌ සදාකල්හිම දුක්‌ දෙයි. එවන් දුකක්‌ දරාගත හැකි පියෙක්‌ මේ ලොව නොවන්නේමය. එනිසාම මම ඔබ වහන්සේගෙන් මෙබඳු වරයක්‌ යදිමි. යළි කිසිදිනක මෙවන් දුකක්‌ පියකුට නොවනු පිණිසය.
පිය රජතුමනි ඔබ පසුව මා වටහාගනු ඇත. එහෙත් දැන් ඔබට වුවමනා ඕනෑම වරයක්‌ මම ලබාදෙමි.
බුදුහු කාරුණිකව වදාළහ.
වහන්ස, මතු කිසිදිනක මව්පියන්ගේ නිසි අවසරය නොලැබ කිසිම දරුවෙක්‌ සසුන් ගත කළ නොහැකි බවට සම්මතයක්‌ කළ හැකිනම් මැනවි.
සුදොවුන් රජු කීවේය.
මහරජ මෙතැන් පටන් එය බුදු සසුනෙහි නීතියක්‌ බවට පත්වන්නේය. එය අපගේ විනය කරුණක්‌ ලෙසද පවතිනු ඇත.
බුදුහු එසේ පවසා රජුගේ සිත නිවෙන දහම් සංවාදයකද නිරත විය. අනතුරුව නන්ද තෙරුන් හා රාහුල සාමණේරයන් දැකබලා ගැනීමේ දොලක්‌ද සුදොවුන් රජු තුළ වැඩුණි. බුදුහු සැරියුත් තෙරුන්ට පණිවිඩයක්‌ යවා පිය රජුගේ සිත අස්‌වසාලීමට ඇවැසි ඕනෑම දෙයක්‌ ඉටු කරන ලෙසද උපදෙස්‌ දුන්හ.

ගාමිණී සුමනසේකර
16. කසී සළු හා රන් අබරණ මහ මග දමා ගිය උපාලි ...
14. මුනි සිරිපා කඳුළින් දෙවූ යශෝදරා... !

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.