Skip to main content

139 රිතීය සිගාල ජාතකය

තවද සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් දවසක් මහළු තෙරුන් වහන්සේ දම් සභා මණ්ඩපයට රැස්ව දේවදත්ත ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ නසන්ට නාලාගිරියා මෙහෙයා ගිජඣකූට පර්වතයෙහි සිට ගල් පෙරලා විදින්ට දුනුවායන් යවාත් නසන්ට නොයෙක් ප්‍රයෝග කොටත් නසා ගතනුහුනුවෝ වේදැයි කිය කියා උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ මා නසන්ට සිතා නසාගත නුහුනුවෝ වේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ කැණහිල් යෝනියෙහි ඉපිද දහස්ගණන් කැණහිළුන් පිරිවරා අමු සොහොනක වාසය කරන්නාහ. එසමයෙහි බරණැස් නුවර උත්සව කෙළියක් නිසා රා මස් ඒ ඒ තැන බොහෝ කොට තිබා දාවළුත් කෙළ රෑවූ දවස පසළොස් පැයකුත් කෙළි විසින් මස් නිමා ගොසින් රා පමණක් තිබුයේය. එවිට එක් පුරුෂයෙක් රා මස් දෙවයි කීය. එවිට බොහෝ මනුෂ්‍යයෝ මස් නැතැයි කීහ. එවිට එක්තරා මිනිහෙක් කියන්නේ මා ඉන්දදී මස් අමාරුදැයි කිය පොල්ලක් ඇරගෙණ වාසල් අඟුළු ලූ විසින් දිය යන සොරොව්ව අස්සෙන් පිටත්ව සොහොන්පලකට ගොස් උඩුබැල්ලෙන් මළමිණියක් සේ වැදහොත්තේය. ඒ වේලාවට බෝධිසත්වයෝ මිණි කන්ට ගොස් මිනිසා වැදහොත් නියාව දැක මේ තෙමේ නොමළ එකෙකැයි සිතා එසේවූවත් පරීක්ෂා කරන්ට උවමැනවැයි යටි සුලඟට ගොස් ඉවකොට නොමළ නියාව දැන මූ රවටා පලායන්ට උව මැනවැයි සිතා ලඟට අවුත් පොල්ල ඩෑ ලඟට ඇද්දාහ. මිනිසත් පොල්ල ලඟට ඇද්දේය. එවිට කැණහිල් ඈත ගොසින් කියන්නේ වැදහොත් පමණකින් මළ නොමළ නියාව දැනගත නොහැක්ක. නමුත් පොල්ල ඩෑ ලඟට ඇද්දාහාම නොමළ නියාව දැන කුමන නින්දක්දැයි කීවාහ. එවිට ඒ පුරුෂයා නැගීසිට පොල්ල බලා ගසා වැදහොත් බැවින් තෝ මා විසින් ගැලවී ගියාවේදැයි කියා කැණහිල් කියන්නේ තා අතින් මම ගැලවී ගියෙමි. තොපි සතර අපායෙහි නොගැළවනෝදැයි කීහ. එවිට ඒ පුරුෂයා කරබාගෙණ තමා ආලෙස ඇතුළු නුවරට අවුත් අගලින් ඉස්සෝදා නහා තමාගේ ගෙටම ගියේයයි වදාරා, එසමයෙහි කැණහිළුව මරන්ට ගිය පුරුෂයා නම් දේවදත්ත ස්ථවිරයෝය, එසමයෙහි කැණහිළුන්ට රජව උපන්නෙම් ලොව්තුරා බුදුවු මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.