130 අසපදාන ජාතකය

තවද සර්වඥයන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ මහළුවරුන් වහන්සේ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ කෙළෙහි ගුණ නොදනිති කිය කියා වැඩඋන්සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි දේවදත්ත ස්ථවිරයන් කෙළෙහි ගුණ නොදන්නා නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් කෙළෙහි ගුණ නොදන්නෝම වදාරා ආරාධිත වු සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස මගධ රට රජගහ නුවර මගධ නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එනුවර අසූකෙළක් සම්පත් ඇති සංඛ සිටුව උපන් සේක. එසමයෙහි බරණැස් නුවර මහ සම්පත් ඇති පිළිය නම් සිටාන කෙනෙක් ඇත්තාහ. එනුවර සිටුවරු දෙදෙන උනුන් කෙරේ විශ්වාසය දවසරනාහ. එසමයෙහි බරණැස් නුවර පිළිය සිටානන්ගේ ගෙයි සම්පත පිරිහී ගොස් දුක්ඛිතව සිතන්නාහු මාගේ යහළු සංඛ සිටානන් කරා ගොස් සම්පත් ඇරගෙණ අවුත් රැකෙමි සිතා තමන් හා සිටු දුවනියන් පමණක් බරණැස් නුවරින් නික්ම නැගී යන්ට වාහනයක් පමණ නැතිව පයින්ම රජගහනුවරට අවුත් සංඛ සිටානන්ගේ ගෙට වැද දුටු කල්හි සිටානෝ කුමක් නිසා අවුදැයි විචාරන්නා දුක්ඛිතව රැකෙනමානක් නැතිව නුඹ කරා ආමි කී විසින් එවිට සංඛ සිටානන් විසින් ආයේ යහපතැයි කියා තමන්ගෙන් සතළිස් කෙළක් සම්පත් දී දැසිදස් පරිවාර සම්පත් සියල්ලත් දෙකොටසක් කොට බෙදා කොටසක් දී සත්කාර සම්මාන කොට යවූහ. කල්යාමකින් සංඛ සිටානෝත් දුක්ඛිතව සිතන්නාහු මෙසේ දුක් විඳිනා බලත් මාගේ බොහෝ සම්පතක් ඇරගෙණ ගිය පිළිය සිටානන් කරා යන්නා මටත් ප්‍රත්‍යුපකාර කරන්නෝ වේදැයි සිතා සිටු දුවනියන් හා සමග බරණැස් නුවරට ගොස් සිට ුදුව ශාලාවක රඳවා තුමූ පිළිය සිටානන්ගේ ගෙදරට ගියාහ. එවිට පිළිය සිටානෝ සංඛ සිටානන් ආහයි අසා ගෙට කැඳවා යවූහ. සංඛ සිටානෝ ගෙට අවුත් දැක උනස්නෙන් නැගී සිටින්නක්වත් ඉන්නා අසුන් පැණවීම් සාමීචි කමක්වත් නොකොට කුමක් නිසා අවුදැයි විචාළහ. එවිට සංඛ සිටානෝ කියන්නෝ නුඹ දකිනා පිණිස ආමි කියන්නා එදවස් තමන්ගේ ගෙදරට දාසක් යාල රත්හැල් වැදති බැදි කෙළෙහි ගුණ නොදන්නා හෙයින් තමන්ගේ ගෙයි කොල්ලෙකු කැන්දාලා කියන්නෝ මුන් ආ ගමන සිස් නොකොට බොල් තිඹක් මුන්ගේ එකතුරුපටම මැනලවයි කියා සම්මත කොට සිටානන්ට කියන්නාහු තෙපිත් තෙල ඇරගෙණ ගොස් නවාතැනකදී පිස කාපියා මා කරා නොඅවුත් තොපගේ උටටම පළායවයි කීහ. එබස් අසා සංඛ සිටානෝ සතන්නාහු මේ බොල් තිඹ ඇරනොගණිම්දෝහෝයි සිතා නැවත සිතන්නාහු මා විසින් මිත්‍ර ධර්මය නොබිඳිනා ඒ කුමක් වේවයි සිතා බොල් තිඹ හින ලවා ගෙණ ශාලාවට ගොස් එපවත් සිටුදුවට කීහ. ඒ සිටුදුව කියන්නී නුඹවහන්සේ විකේෂ්පව සතළිස් සම්පතුත් පරිවාරත් දී බොල් තිඹ ලවාගෙණ ආයේ කුමදැයි කී විසින් උන් විසින් ළූ බොල් තිඹ ඇරනොගණිම් නම් මාගේ මිත්‍රකම් බිඳිනා හා සරිය, එසේ විසින් ගෙණාමි, ඊට තොපි කනස්සළු නොවෙයි කීවත් සිටුදූ හඬන්නීමය, පළමු සංඛ සිටානන් විසින් පිළිය සිටානන්ට පාවාදුන් ගම් ධූරයෙක් ශාලාව සමීපයෙන් යන්නේ ශාලාව ඇතුළට වැද සිටානන් හා සිටුදුවනියන් දැක දෙන්නා පයගෙණ හඬා සාමිදුවනියෙනි කුමකට හඬව්දැයි විචාරන්නා සතළිස් කෙළක් සම්පත් දී බොල් තිඹක් දුන් විසිනැයි කිවූය. එවිට කියන්න නුඹ වහන්සේ වික්‍ෂෙප නුවුව මැනවැයි කියා තමන්ගේ ගෙට දෙන්නාම කැඳවාගෙණ ගොස් ඉස්සෝදා නහවා බත් කවා තමාගෙනුත් බොහෝ සත්කාර කොට තමා හා එක්ව ආ පරිවාරයන්ටත් කියා උන් ලවාත් බොහෝ සත්කාර කරවා ඒ කියන කොලු තමාගේ රැස පරිවාරත් හැරගෙන වාසල සිට මොරගෑය. එවිට රජ්ජුරුවෝ තමන්ගේ සිටානන් හා රජගහනුවර සිට ආ සංඛ සිටානන් දෙන්නා ගෙන්වා බරණැස් නුවර රජ්ජුරුවෝ සංඛ සිටානන් අතින් විචාරන්නා තොපගේ ලඟට මුන් ගියගමනේ මුන්ට කුමක් දුනුදැයි විචාරන්නා සතළිස් කෙළක් සම්පත් හා බොහෝ පරිවාර දුනිමි කී විසින් පිළිය සිටානන් අතින් සැබෑදැයි විචාරන්නා සැබවයි කී විසින් තොප කරා මුන් ආ ගමනේ තොප දුන්නේ කුමක්දැයි පිළිය සිටානන් අතින් විචාරන්නා කරබාගත්හ. එවිට රජ්ජුරුවන් විසින් බොල් තිඹක් දුන්නෙයි කියන්නා ඇසුම්හයි කී විසින් කරබාගත්තාහ. එසමයෙහි රජ්ජුරුවන් හා අමාත්‍ය මණ්ඩලයා හා බොහෝ නින්දා කළාහ. එවිට රජ්ජුරුවෝ සංඛ සිටානන්ට කියන්නෝ මුන්ගේ ගෙයි සම්පත් එකහීම ඇරගෙණ යවයි කියන්නා දේවයන් වහන්ස අනුන්ගේ සම්පතතින් මට කාරිය කිම්ද මා දුන් සතළිස් කෙළක් සම්පත් හා මාගේ පරිවාර ඇම්මෙයි කියා ඇමම ඇරගෙණ රජගහනුවරට ගොස් දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා,

එසමයෙහි පිළිය සිටානෝ නම් දේවදත්ත ස්ථවිරයෝය, එසමයෙහි සංඛ සිටානෝ නම් බුදුවූ මම්ම වේදැයි දෙකල් ගළපා අසමපදාන ජාතකය නිමවා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

131 පඤ්චගරු ජාතකය
129 කෝසිය ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.