13. ආකාශ සඳැල්ලේ අසිරිමත් බුදු පෙළහර… !

බිම්බිසාර රජු විසින් එවන ලද හදිසි තල්පත සුදොවුන් රජුගේ සතුට පමණක්‌ නොව කුහුල වඩන්නක්‌ද විය. නොඉවසිල්ලෙන් මෙන් තල්පත කියවූ රජු තුළ වූයේ අප්‍රමාණ සතුටකි. සැබැවින්ම ඒ ඇස්‌ කන් ඇදහිය නොහැකි පුවතක්‌ම ය. සිදුහත් කුමරුන් මාලිගාව හැර ගොසින් වසර හයකටත් වැඩිය. ඒ කාලය තුළම රජුට සිය පුතු පිළිබඳ පැහැදිලි හෝ පූර්ණ විස්‌තරයක්‌ ලැබුණේද නැත. වරක්‌ රජුට ලැබුණේ කෘෂ වී ගිය සිරුරකින් හෙබි තවුස්‌ වෙස්‌ ගත් රාජකීය කුමාරයෙක්‌ ගල් ලෙනක්‌ අසල මැරී වැටී සිටින බව සඳහන් පුවතකි. තොරතුර රැගෙන පැමිණි අය කියා සිටියේ ඒ සිදුහත් බවය. එහෙත් සුදොවුන් රජු මෙන්ම යශෝදරා දේවිය ද එපුවත බැහැර කළහ. සිදුහත් සිය අධිෂ්ඨානය මුදුන් පමුණුවා නොගෙන කිසිදිනක මරණයට පත් නොවන බව ඔවුහු තරයේ විශ්වාස කළහ. ඒ විශ්වාසය මොන තරම් සත්‍යයක්‌ද?

සුදොවුන් රජු මාලිගා අංගනයෙහි ඔබ මොබ සක්‌මන් කරමින්ම ප්‍රජාපතී බිසව හා යශෝදරාවන් ඇමතුවේය. යශෝදරා සිටියේ ද සුදොවුන් රජු සිටි මාලිගාවට යාබද වෙනම මන්දිරයකය. එහි පරිවාර ලියන් කීපදෙනෙක්‌ වූහ. ඒ හැර ඇගේ පුත් රාහුල කුමරු ද විය. සුදොවුන් රජුගේ කටහඬ තරමක්‌ උස්‌ ස්‌වරයෙන් ඇයගේ මන්දිරයට ද ඇදිණි. සිය පියාණන් කොහි සිටින්නේද කුමක්‌ හෙයින් මෙලෙස තමන් අමතන්නේද යන්න නිශ්චය කරගත නොහැකි වූ ඕ සඳලුතලයට පැමිණ අවට බැලීය. එකල්හි මාලිගා අංගනයෙහි සිට සුදොවුන් රජු ඇගේ නෙත ගැටුණි.
මාලිගාවේ කුමක්‌ හෝ සුබ අමුත්තක්‌ සිදුවී ඇති වග පිය රජු දෙස බැලූ යශෝදරාට පසක්‌ විය. ප්‍රජාපතී ගෝතමියද ඒ වන විට එදෙසට එමින් සිටියාය. යශෝදරා ද සඳලුතලයෙන් බැස අවුත් ඔවුන්ට එකතු වූවාය. පිය රජු දෙසත් ප්‍රජාපතී මාතාව දෙසත් ගරුසරුව බැලූ ඕ විමසුම් නෙතින් පියරජුගේ ඊළඟ ප්‍රතිචාරය අපේක්‍ෂා කළාය. එවේලෙහි සුදොවුන් මහ රජුගේ ස්‌වරය මඳක්‌ වෙව්ලන සුළු විය. එහෙත් ඔහු කෙරෙන් දිස්‌ වූයේ සොම්නසකි.
මා ප්‍රිය යශෝදරා දියණියනි. මේ මාලිගාව තුළ ගෙවී ගිය හය වසරකටත් වැඩි කාලය මුළුල්ලෙහි අප සතුටින් සිටි දිනක්‌ සිහි කළ හැකිද? අප කිසිවකුට ජීවිත අපේක්‍ෂාවක්‌ නොවූ තරම් ය. නුඹ මෙන් මම ද ජීවත් වූයෙම් නම් ඒ අපගේ ප්‍රාණප්‍රිය රහල් කුමරුන් නිසාමය. පතිනියකට සිය ස්‌වාමියා නැති ජීවිතය කෙබඳු සෝකයක්‌ද? පියෙකුට පුත්‍ර වියෝගය කෙබඳු දුකක්‌ද? අපිදු ඒ සියලු තතු ඉඳුරා දනිමු. දැන් මෙතැන් පටන් අපට සැනසුම් සුසුම් හෙළීමට සුබ පුවතක්‌ වෙයි. එනම් ම පුත් සිදුහත් කුමරුන් සත්‍යාලෝකය ලැබ දැන් මගේ කලණ මිත් බිම්බිසාර රජුගේ වේළුවනයෙහි ඔහු විසින් පූජා කරන ලද ආරාමයෙහි දහසකට අධික සඟ ගණ සමග සිටින්නේලු. මේ ඔහු එපුවත් දන්වා මට එවූ තල්පතය. සත් දිනක්‌ මඟුල් කන්ට කාරණය. දැන් මා තුළ පෙර නොවූ විරූ තරම් ප්‍රාර්ථනාවන් දැල්වෙමින් තිබේ. නුඹට ද මෙය ඒකාන්තයෙන්ම සොම්නස්‌ දනවන පුවතකැයි හඟිමියි. සුදොවුන් රජු හද පුරා උතුරා යන සොම්නස පිට කළේය.
යශෝදරා තවමත් නිසසලව සිටින්නීය. ඇය තුළ වූයේ සොම්නස හා බැඳුණු සොවකි. සිය දෑස්‌ අගට ඇදෙන කඳුළ සඟවා ගන්ට ඇය අසමත් වූවාය. තම ලේලිය එපුවතින් කම්පා නොවන වග සුදොවුන් රජුට සක්‌සුදක්‌ සේ පැහැදිලිය. එසේ වුවද සිය දියණිය අස්‌වසාලීමට කිසිවක්‌ කිව යුතු යෑයි එවේලෙහි ඔහුට සිතුණි.
“මා ප්‍රිය දියණියනි, නුඹත් මපුතු සිදුහත් කුමරුනුත් අතර වූ ස්‌නේහය මෙබඳු යෑයි මා තරම් මැනවින් දත් අයෙක්‌ නොවෙති. මාලිගය හැර ගිය සිදුහත් යළි පෙරළා නොඑන බව දැන දැනත් නුඹ කිසි දිනක ඔහුට මඳ හෝ අනාදරයක්‌ පෙන් වූයේ නැත. මා සමණානන්ට සුවඳ බොජුන් කොයින්ද? සැප සයන කොයින්ද, සිනිඳු වස්‌ත්‍ර කොයින්ද, එනිසා මම ද ඒ සියල්ලෙන් වළකින්නෙමි. ඔහු සේම රළු බිමක සීතල සුළං පහර වැද නිදන්නෙමි. ප්‍රිය සමාගම් හැර හුදෙකලාව වසන්නෙමි. සුවඳ විලවුන් ද රන්, රුවන් මුතු ආදිය ද නොපලඳින්නෙමි. දළ රෙදිකඩක්‌ හැඳ දළ අහර ගෙන උපේක්‍ෂාවෙන්ම හිඳින්නෙමි යනාදි ලෙස නුඹ තුළ වූ අසමසම පරිත්‍යාගය මම දිටිමි. සැබැවින්ම මට නුඹට තරම් ධෛර්යයක්‌ නොවීය. වරෙක මට සිතුණේ හිස හැරුණු අතක යන්ටය. ප්‍රජාපති ගෝතමියද නුඹද මට මහා ශක්‌තියක්‌ විය. රජකු වුවද මට නුඹ සේ අකම්පිත සිතක්‌ නොවීය. ලෝක සම්මතය නම් ස්‌ත්‍රිය දුබලය යනුයි. එහෙත් නුඹ පරමාදර්ශී ලියකි. මේ දඹදිව් තලයෙහිම නුඹ සදිසි ලියක්‌, පතිනියක්‌, මවක්‌, ස්‌ත්‍රියක්‌ මම නුදුටිමි. ඉතින් යම් නොපහන් දොලක්‌ නුඹ තුළ වන්නේ නම් මට නොවලහා කියනු මැනවැයි අයෑද සිටියේය.
එවේලෙහි නම් යශෝදරාවන් මුවග සිහින් සිනහ රේඛාවක්‌ ඇඳිණි. සිය පිය රජුන් විසින් තමන් වෙනුවෙන් දක්‌වන ලද ගෞරවය තමන් දන්නා බවට ඒ සිනහවම සාක්‌ෂි වුවද ඔහුට තම ප්‍රණාමය දැක්‌විය යුතු බව ඇය සිතුවාය. අනතුරුව ඇය සුදොවුන් රජුටත් ප්‍රජාපති ගෝතමියටත් නමස්‌කාර කර මෙලෙස කීවාය.
“මා පිය රජතුමනි, ඔබ පැවසූ පරිද්දෙන්ම ගෙවී ගිය හය වසරකට වැඩි කාලය අප ජීවත් වූයේ සිතින් ද කයින්ද තොරවය. භද්‍ර යෞවනයේදීම අස්‌වාමික වූ මා වෙනුවෙන් ඔබතුමන් ගන්නා ලද දුක්‌ මට මතකය. මා සරල චාම් ජීවිතයක්‌ ගෙවන වග දත් මපියාණෝ අපමණව දුක්‌ වූහ. එහෙත් ඔබත් මවත් මගේ ජීවිතයට නොසිඳෙන අත්වැලක්‌, අභිමානයක්‌ වූහ. මේ ලොව මනුෂ්‍යයන් අතර තිබෙන බැඳීම් බොහෝ වෙයි. එහෙත් අප අතර වූ බැඳීම් ඊට වඩා බෙහෙවින් අධිතකර බව මම සිතමි. මට ඒවා මෙබඳු යෑයි කිව නොහැක. එය අතීතයෙන් වත්මනට ද වත්මනින් අනාගතයටද අභින්නව අවිච්ජින්නව ගලා යන්නකි. එසේම මම මෙබඳු දෙයක්‌ද පවසමි. මා සහ සිදුහත් කුමරුන් අතර වූයේ නිසැකයෙන්ම සැලමුතුනුගිනුරා ප්‍රේමයකි. එය වැඩුණේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මල වූද විරාගී වූද ප්‍රසන්න වූද සඳ එළියක්‌ සේය. ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමයේ මියුරු ඵල ලද අපට දැනුණේ එහි රමණීය ආධ්‍යාත්මයේ නිශ්චලත්වයයි. එවන් සිදුහත් කුමරුන් මෙවන් ඉසුරක්‌ ලද බව ඇසීම තරම් වෙනත් සුඛයක්‌ මට නොමැත. එහෙත් ඔබ කී සේම ප්‍රබල ස්‌නේහයෙන් දුබල විය මා සිත. ඒ මාද ස්‌ත්‍රියක්‌ වන හෙයිනි. මට කමා කළ මැනවි පිය රජතුමනි.
යශෝදරාවන්ගේ එවදන් ඇසූ සුදොවුන් රජු ද ප්‍රජාපතිගෝතමියද මහත් සේ ප්‍රමුදිත වූහ. ඇගේ නිරහංකාර විලාසයද බුද්ධිමය ප්‍රතිචාරයද ඔවුහු පැසසූහ. සිදුහත් වැනි අධිෂ්ඨානශීලී අසාමාන්‍ය පුරුෂයකුට පියZඹ වන්ට ඕ අත්‍යන්තයෙන්ම උචිත බැව් ගෝතමියද සිහි කළාය. ඕ අතිශය සරලය. ප්‍රියමනාපය. මිහිරි කතාය. එසේම ඕ නිබඳව ප්‍රාර්ථනා කළේ සිය ස්‌වාමියාගේ යහපතය. ඇය හද තුළ පිළිරැව් දුන්නේ වනේ තිබෙන කොයි දේත් රස වේවා යනුයි. මලේ බඹරු මෙන් පිරිවර වැඩේවා යනුයි. සිය ප්‍රාණ ප්‍රිය සැමියා යළි මාලිගාවට ගෙන්වා ගැනීම වෙනුවට ඇගේ අභිමතය වූයේ සිදුහත් තවුසාණන්ට විමුක්‌ති මාවත දොරටු විවර වේවා යනුයි. සැබැවින්ම එවන් ලියෝ මේ ලෝ තුළ සිටිත්ද?
ගෝතමියගේ නිහඬ සිතිවිලි සයුර කැළඹී රළ නැගුණේ සුදොවුන් රජුගේ ස්‌වරය සවන් තුළට වන් හෙයිනි.
දැන්ම රජගහනුවර වේළුවනයට දූත පිරිසක්‌ යවන්ට ඕනෑ. කිඹුල්වත් නුවරට පැමිණෙන්ට කියල ආරාධනාවකුත් කරල. ඒ වගේම මුළු නුවරම එතුමන් දැකගන්ට අප්‍රමාණ ආශාවකින් ඉන්නව කියලත් දන්වන්ට ඕනෑ. කොහොම වුණත් තමන් උපන් හ+මියට එතුමා එන්නෙ අවුරුදු හයකටත් වැඩි කාලයකට පස්‌සෙ. මටත් මේ දැස්‌ පියවෙන්ට කලින් ඒ මුහුණ දකින්ට ඕනෑනෙ.
ප්‍රජාපතිය හා යශෝදරා දේවිය ද එයට එකඟත්වය පළකර සිටියහ. අනතුරුව බුදුන්ට ඇරැයුම් කිරීම සඳහා දහසක පිරිවර සහිත ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වේළුවනාරාමයට යෑවීමටද තීරණය විය. ඒ අනුව මාලිගාවේ සිටි තරමක්‌ වියපත් ඇමතිවරයකුට සියලු කටයුතු භාර කළේය. හේ රාජතාන්ත්‍රික කටයුතුවල ද අත්දැකීම්සහිත මනා පෞරුෂයකින්ද යුතු වූ හෙයින් ප්‍රජාපති ගෝතමියද සිය ස්‌වාමියාගේ අභිමතයට බාධා නොකළාය.
සුදොවුන් රජුගේ දෙටු ඇමැති සහිත පිරිවර රජගහ නුවර දක්‌වා ගියෝ අස්‌රිය වලිනි. එතැන් සිට වේළුවනයට පා ගමනින් ගිය පිරිස එවේලෙහි දහම් දෙසමින් සිටි බුදුන් වහන්සේ දුටහ. පසුව සියලු දෙනාම එතැන බණ අසමින් සිටි පිරිස කෙළවර නිහඬවම හිඳගෙන බුදුන්ට සවන් දුන්හ. දහම් දෙසුම අවසන් වන විටම ඒ සියලු දෙනාම රහත් භාවයට පැමිණ සිටියහ. බුදුන්වහන්සේ ද කිඹුල්වත් නුවර සිට පැමිණි පිරිස හඳුනාගෙන ඔවුන්ද බුදු සසුනට ඇතුළත් කර ගත්හ. එහෙත් කිඹුල්වත් නුවර සිට ගිය පිරිසට තමන් පැමිණි කාර්ය සිහි නොවීය. මන්දයත් රහතන් වහන්සේලා යනු එබඳු විෂය ලොව කරුණු ගැන උනන්දුවක්‌ නොදක්‌වන්නාහු හෙයිනි.
මේ අතර තම දූත පිරිස පිළිබඳ කිසිදු ආරංචියක්‌ නොලද සුදොවුන් මහරජ තෙමේද වික්‌ෂිප්ත සිතින් යුතු විය. කුමක්‌ කරම් දොa හෝයි සිතූ ඔහුට හැඟුණේ තවත් දූත පිරිසක්‌ වේළුවනයට යෑවිය යුතු බවය. ඒ අනුව දෙවන වරටද පෙර සේම දහසක පිරිවර සමග දෙටු ඇමැතියකුට ඒ කාර්ය පවරනු ලැබිණි. එකල්හිද පෙර සේම විය. ඔවුහුද වේළුවනාරාමයට ගොස්‌ බුදුන්ගෙන් බණ දහම් අසා සසුනට ඇතුල් වූහ. ඒ විනා තමන් ගිය රාජකාරිය පිළිබඳ සිහි නොකළහ. මෙසේ යවන යවන පිරිස යනු මිස එනු නොමැති බව දුටු සුදොවුන් රජු තුළ මහා කැළඹිල්ලක්‌ ද විය. සිය රාජකීය දූතයන්ට නිසි ලෙස දූත මෙහෙවර නිම කළ නොහැකි වූවෝද නැතහොත් බුදුහු කිඹුල්වත් පුර ගමන රිසි නොවෙත්ද යන දෙගිඩියාවටද රජු පත්විය.
ප්‍රජාපතිගෝතමිය මෙන්ම යශෝදරාවද මේ කිසිවක්‌ පිළිබඳ සැබෑ තතු නොදත්හ. එසේම ඔවුන්ටද කිසිවක්‌ නිශ්චිතව සිතීමටද නොහැකි විය. යශෝදරාව සිතන්නී බුදුන් වහන්සේ කිසිසේත්ම කිඹුල්වත් නුවරට පැමිණීමට නොරිසි වීමට හේතු ද නැත. මේ යන අයගෙන් උන්වහන්සේට පියරජුගේ ආරාධනාව නොලැබුණා විය හැකිය. එහෙයින් මේ ගමන වඩාත් සැලසුම් කර ඒ සඳහා සුදුසු අයෙකුට පැවරීම යෝග්‍ය වේ යෑයි ඕ නිශ්චය කරගත්තීය. අනතුරුව පියරජු සමග ද කතිකා කර එදවස සිදුහත් කුමරුත් සමග සමීපව සිටි සමාන සුඛ දුක්‌ඛ මිත්‍රයකු බඳු වූ කාළුදායි ඇමතිවරයාට මේ කාර්ය පැවරිය යුතු යෑයි ඕ නිගමනය කළාය. අනතුරුව කාළුදායි ඇමැතිවරයා මාලිගාවට කැඳවූ සුදොවුන් රජු ඔහුට මෙසේ කීවේය.
මපුත් සිදුහත් කුමරුන් දැන් බුද්ධත්වයට පත්ව වේළුවනාරාමයෙහි වෙසෙති. ඒ මා කලණ මිත්‍ර බිම්බිසාර රජුන්ගේ අයෑදුම පරිදිය. මේ වන විට දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව සිටිති. මගධයෙහි පමණක්‌ නොව අවට නොයෙක්‌ ජනයාද බුදුන්වහන්සේ දැක ඒ මාර්ගය මැනවැයි තෝරා ගෙන සිටිති. එසේ වුවද කිඹුල්වත් නුවර අප තරම් දිළින්දො සිටිත්ද? අපට මේ තරම් නෑකම්ද සම්බන්ධකම්ද තිබියදීත් තවමත් උන්වහන්සේගේ දර්ශන මාත්‍රයක්‌වත් ලද නොහැකි විය. අපි ලැඡ්ජා විය යුතු නොවෙමුද? මෙවන් සාර ධන නිධානයක්‌ ලොව පහළව තිබියදීත් අපට එයින් කිසිදු ඵලක්‌, අනුග්‍රහයක්‌ ලැබී නැත්තේය. ඉදින් මෙවර නුඹව විශේෂයෙන් තෝරා ගත්තේ මේ කාර්ය මනාව ඉටුවනු දැක්‌මටය.
කාළුදායි ඇමැතියෝද මෙසේ කීහ.
මහරජතුමනි මමද සිදුහත් කුමරුන් පිළිබඳ සියලු තතු දනිමි. අපි දෙදෙනාම එකම දවසෙහි උපන්නෝ එකට හැදී වැඩී පසු වූවෙමු. දවසින් දවස කුමරුන් සිත් හි උපන් කලකිරීම මම ද දිටිමි. සිදුහත් කුමරුන් කවර මොහොතක හෝ මාලිගාව හැර යනු ඇතැයි අනුමාන කළ මම ඒ බව යශෝධරා දේවියටද පැවසීමි. ඇයද එය ඉඳුරා දැන සිටියාය. කුමරුන් තුළ වූ කලකිරීම අසාමාන්‍ය බවද ඕ මට කීවාය. තතු මෙසේ හෙයින් මේ දූත මෙහෙවර ඉටුකිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් එක්‌ වරමක්‌ පතමි. ඒ අන් කිසිවක්‌ නොව මටද බුදු සසුනට බැඳී පැවිදි වීමටය.
අනතුරුව සුදොවුන් රජු කාළුදායිට ඒ සඳහා අවසරයද ලබා දුන්නේය. පෙර පරිදිම දහසක්‌ පිරිවරද කැටුව වේළුවනාරාමය බලා පිටත් වූ හෙතෙම පෙර පිරිස පරිද්දෙන්ම බණ අසා රහත්භාවයට එළැඹුණි. කාළුදායි තෙරහුද මැදින් පොහොද හේමන්තය ද ගෙවී යාමෙන් පසුව වසන්තය එළැඹෙද්දීම බුදුන් වහන්සේ අබිමුවට යැමට අපේක්‍ෂාවෙන් පසුවූහ.
ඒ සැන්දැ කල බුදුන් වහන්සේ විවේකීව සිටිනු දුටු කාළුදායි තෙරහු උන්වහන්සේ සමීපයටම ගොස්‌ සුදොවුන් මහරජුන් විසින් කරන ලද ආරාධනාව දන්වා සිටියහ. බුදුහුද මැනවැයි එය පිළිගත්හ. මෙයට පෙරද පූර්ව බුදුවරු තම උපන් නගරයට ගියහයි දිවැසින් දුටු බුදුහු බන්ධු සමාගම ඉවසූහ.
රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට යොදුන් සැටක්‌ පමණ විය. ඒ සැට යොදුන් මාර්ගය සැට දවසකින් ගෙවීම වඩාත් යෝග්‍ය බවද බුදුහු සිතූහ.
“පින්වත් උදායි තෙරණුවනි මම ද බුදු සිරිත අනුව සියලු තන්හි පිහිටන්නෙමි. තම බන්ධුන් දැකීම සඳහා සියලුම බුදුවරුන් විසින් තෝරා ගන්නා ලද මේ වසන්තය මම ද ඒ සඳහා තෝරා ගනිමියි කාළුදායි තෙරුන්ට දන්වා විසිදහසක්‌ පමණ වූ රහතුන් වහන්සේලා ද පිරිවර කරගෙන බුදුහු කිඹුල්වත් පුර ගමන ඇරැඹූහ. බුදුන් ප්‍රමුඛ මහරහතුන් වහන්සේලා වඩනා මාර්ගය මනරම් දසුනක්‌ විය.
බුදුන්වහන්සේ පෙරටු කර වඩනා සහ පෙරහැර දුටු දනෝ මහත් සේ ප්‍රමුදිත වූහ. මඟ දෙපස දන්සල් ද ඔසුසල්ද ඇරුණි. දනෝ රිසි රිසි පමණින් පූජාකරන්නටද වූහ.
සොබා දහමද වසන්තය උදාකර ගහ කොළ මලින්ද පලින්ද සරසවා බුදු පෙරහරට සැරසිලි කළ සෙයකි. මේ සියලු විසිතුරු දැක කාළුදායි තෙරුහුද මා දැන්ම ගොස්‌ සුදොවුන් රජුට මෙපවත් පවසා ඔවුන්ට බුදුන් කිඹුල්වත් පුර ගමන ඇරැඹූ බව දැන්වීම වටනේ යෑයි සිතා අහසට නැග ක්‍ෂණයකින් කිඹුල්වත් නුවර සුදොවුන් රජ මාලිගය අසල ප්‍රාදූර්භූත වූහ. උන්වහන්සේ දුටු සුදොවුන් රජු පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගොස්‌ ගෞරවයෙන් කැඳවා ගෙන ගොස්‌ සිංහාසනයෙහිම වඩා හිඳුවා ආගිය තතු විමසා සිටියේය. අනතුරුව දහවල් දානයට කාලය පිරුණු බව දැන ඒ සඳහා ඇරැයුම් කර සිටියේය. එසඳ කාළුදායි තෙරුන් වහන්සේ කියන්නාහු මහරජතුමනි මම බුදුන්වහන්සේ සමීපයටම ගොස්‌ වැළඳීමට කැමැත්තෙමි. එනිසා දානය පිළිගැනීමට පමණක්‌ ඉඩ දෙන්නැයි දැන්වූහ. එවිට සුදොවුන් රජු තුළ ද මෙබඳු සිතක්‌ වැඩුණි.
කාළුදායි තෙරුන් වලඳන අයුරින් මා ප්‍රිය පුත් බුදුන්ටද වලඳන්ට හැකි වන්නේ නම් කොපමණ අගනේද? එසේ නම් එසඳ සිදුහත් කල පුරුදු ආහාර වේලක්‌ සාදා දෙන්නටද හැකි වන්නේය.
කාළුදායි තෙරහු ඔවුන්ගේ සිතැඟි ඉඳුරා දැන ඒ සඳහා කිසිදු බාධාවක්‌ නැති බවද දන්වා සිටියහ. මහත්සේ ප්‍රබෝධයට පත් සුදොවුන් රජතුමා සුවඳැල් සහලින් පිසූ බතක්‌ද ඊට සරිලන ව්‍යංජනද සාදවා පාත්‍රය පුරවා තෙරුන්ට පූජා කළේය. අනතුරුව උන්වහන්සේ මෙබඳු ප්‍රාර්ථනාවක්‌ද කළහ.
“මා අහසට නැගුණු තැන් පටන් මෙම පාත්‍රය බුදුන්වහන්සේට පූජා කරන තැන දක්‌වා සියල්ලමද අනතුරුව බුදුන්වහන්සේ ඒ දන් වලඳන ආකාරයද රජුට පෙනේවා.”
තෙරුන් වහන්සේගේ ප්‍රාර්ථනය ඒ පරිදිම ඉටුවිය. රජු සජීවී චිත්‍රයක රූප පෙළක්‌ දකිනා අයුරෙන්ම ඒ සියලු තතු දැක අප්‍රමාණව ප්‍රමෝදයට පත්ව සාදුකාර දුන්හ. එසේ වුවද මාලිගාවේ සිටි වෙනත් කිසිවකුට ඒ කිසිවක්‌ දැකගත නොහැකි විය.
බුදුන්වහන්සේ කිඹුල්වත් නුවරට වඩිනා තෙක්‌ම මේ අයුරින් සුදොවුන් රජු උන්වහන්සේට දානය පිළියෙල කර යෑවීය. කාළුදායි තෙරුන් වහන්සේ ඒ සඳහා උපකාර විය. එසේම දවසින් දවස බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ ගමන පිළිබඳ රජුට විස්‌තරයක්‌ සැපයීමටද කාළුදායි තෙරහු ඉදිරිපත් වූහ.
මෙසේ හරියටම දින හැටකට පසු බුදුන්වහන්සේ ප්‍රමුඛ පිරිස කිඹුල්වත් නුවරට ළඟා වූහ. බුදුන් වහන්සේ ප්‍රමුඛ විසිදහසකට නොඅඩු සංඝයා වහන්සේලාට නවාතැන් ගැනීම සඳහා ශාක්‍යයන්ට අයත් නිග්‍රෝධ නම් උයනද සැකැසිණි. එයද රමණීය උයනකි. එහි බාහිර ශබ්ද නොවීය. මනාව වැඩුණු විවිධ තුරු පන්තියකින් සැදුණු උයනෙහි උන්වහන්සේලාගේ විහරණය සඳහා කුඩා කුටිද ඉදිකෙරුණි. සුපිපි මලින් යුතු රුක්‌ පෙළින් සිහිල් දිය පිරි විල්ය. එහි රත් නෙළුම් හා සුදු නෙළුම්ය. තව පසෙක බෙහෙත් පැළෑටිය. මෙලෙස බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඇවැසි සියලු දෙයින් නිග්‍රෝධ උයන සුසැදිණි. මේ සියල්ල සඳහා කාළුදායි තෙරුන්ගේ උපදෙස්‌ ද ලැබිණි.
නිග්‍රෝධයෙහි වැඩසිටින බුදුන් වහන්සේ දැකබලා ගැනීමට ශාක්‍යයෝ වැල නොකැඩී පැමිණියහ. එහෙත් මේ කිසිවෙක්‌ බුදුන් වහන්සේ සමීපයට ගොස්‌ ගරුසරු දැක්‌වීමට මැළි වූහ. එයට හේතු වූයේ ශාක්‍යවරුන්ගේ අධිමානයයි. ඔවුහු සිතන්නාහු මේ බුදුවරයකු වුවද අපගේ කිට්‌ටුවර නෑයෙකි. අපට වඩා වයසින් ද බාලය. ඉතින් අඩු වයසෙහි සිටින කාට වුවද නමස්‌කාර කළ යුතු නැත. එහෙයින් ළමා ශාක්‍ය කුමරුන් පමණක්‌ උන්වහන්සේට වැඳීම ප්‍රමාණවත්ය යනාදී ලෙස ඔවුහු සිතූහ.
බුදුහුද තම නෑයන්ගේ අහංකාරය දුටහ. දෙව් බඹුන් සහිත සකල ලෝකයාගේම ගෞරවයට, පූජාවට, වන්දනාවට නිසි වූ බුදුවරයකුට හරසර නොදැක්‌වීම නොමැනවැයි අතීත බුදු සිරිතද දිවැසින් බලා වදාරා යළි නෑයන්ගේ මානය බිඳීමට ද උන්වහන්සේ ඉටා ගත්හ.
එවේලෙහි බුදුන්වහන්සේට සිහි වූයේ ජටිලයන් පහදවා ගැනීමට තමන් වහන්සේ දැක්‌වූ ප්‍රාතිහාර්යන් පිළිබඳවය. එහෙත් සිය ඥතීන්ට බුදුවරයකුට පමණක්‌ දැක්‌විය හැකි යමා මහ පෙළහර දැක්‌වීම උචිත යෑයි උන්වහන්සේ සිතූහ. උන්වහන්සේගේ මේ සිතිවිල්ල සියලු දෙව් බඹුන් සහිත ලෝක වලටද සැණකින් දැනුණි. දෙවි බඹහු සාධුකාර දෙන්ට වූහ. මිහිකතද කම්පා විය. අද බුදුන්ගේ අසිරිමත් ප්‍රාතිහාර්ය සිදුවන්නේ යෑයි නිසැකව දත් දෙව් බඹහු අහසත් පොළොවත් අතර පේළි සැදෙමින් පෙළහර දකිනු රිසින් පසුවූහ.
එකල්හිම බුදුහු අහස්‌ කුසට පැන නැග, දස දෙසට ස්‌වර්ණ වර්ණ ආලෝක ධාරා නිකුත් කරමින් හාත්පස බබළවන්නට වූහ. මේ අසිරිය කිමෙක්‌දැයි ශාක්‍යයෝ වික්‌ෂිප්ත වූහ. අහසට නෙත් යොමා ගත් ඔවුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය ද ඇසෙන තරමේ නිහඬතාවක්‌ද පැතිර ගියේය. බුදුන්ගේ සිරුරෙහි එක්‌ අඩකින් ගිනි ජාලාද අනෙක්‌ අඩ ජලධාරාවන්ද බැස යන අයුරක්‌ දිස්‌ විය. එහෙත් ඒ සා ගිනි කඳක්‌ හා ජලකඳක්‌ ගලා හැලුණ ද ඒ කිසිවක්‌ මහ පොළොවට නොවැටුණි. මැසි මදුරුවකුට තරම් හෝ පීඩාවක්‌ද නොවීය. මෙසේ ගිනිජාලා හා ජලධාරා මුළු බුදු සිරුරෙන්ම ගලා බසිනු දුටු ශාක්‍යයෝද ප්‍රමුදිත වූහ. සාදුකාර දෙන්ටද වූහ. අහෝ බුදු ගුණය නම් මෙබඳුය. බුදු බලය නම් මෙබඳුය. අප වැනි වූ බාලයෝ තවත් නොවෙති යනාදී වශයෙන් තම තමන්ටම කියා ගන්නටද වූහ.
බුදුහු උන්වහන්සේ සදිසි තවත් බුදු රුවක්‌ මවා එහි සක්‌මන් මළුවක්‌ තනවා සක්‌මන් කරන විලාසයක්‌ද පෑහ. එහෙත් ඒ දකිනා කිසිවෙක්‌ මෙයින් නියම බුදුන්වහන්සේ කවරෙක්‌ දැයි නොදත්හ. සියල්ලෝම තම තම පමණින් සිතමින්ම මුළා වූහ. මෙවන් ආශ්චර්යක්‌ කිසි දිනක නොදුටු වෙමුයි ද ප්‍රමුදිතව එකම සාදු නාදයක්‌ පවත්වන්නට වූහ. දෙවි බඹුහුද සාධුකාර දුන්හ. ඒ යමාමහ පෙළහර නිසා නැගුණු ගිනි ජාලා ලොව හැම අඳුරු ගැබක්‌ම ආලෝක කළේය. එයින් වැටුණු ජලධාරා හැම මරු කතරක්‌ම සිසිල් කළේය.
මේ වන විට ශාක්‍යයන්ගේ සියලු මන් බිඳී ගොසින්ය. හිරු මඬලක්‌ අබියස කදොaපැණියන්ට කවර රැඟුම්ද? මහමෙර අබියස ලිප්ගලක තරම කෙබඳුද? සප්ත මහා සාගරය අසල ගෝතුර පැන් පිළිබඳ කවර කතාද? දුටු දුටුවන් නෙත් සැනහූ අසිරිමත් යමා මහ පෙළහර නිම වෙද්දීම පළමුව මහ පොළොව මත පෙරළි පෙරළී වඳින්නට වූයේ සුදොවුන් මහ රජුය. සිය මහ රජුන් වැඳි කල්හි සෙසු නෑයන් පිළිබඳ කවර කතාද?
ගාමිණී සුමනසේකර
14. මුනි සිරිපා කඳුළින් දෙවූ යශෝදරා... !
12. අම්බපාලිය හදිසියේම බුදුන් දකින්නට යයි ... !

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.