Skip to main content

(13) අපායේ විලාපය

මහ නායක හාමුදුරුවනේ, ‘අපායේ දොරටුවක්’ කියලා මෙන්න මෙහෙම පුවතක් පළ වී තිබෙනවා.මේක ඇත්තක්ද?

ඔව්. මමත් ඔය ප්‍රවෘත්තිය අන්තර්ජාලයෙන් සහ පුවත්පත්වලින් (2012.08.26) දුටුවා. ඒක, අසල්වැසි ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට ඉහළින් පිහිටි තුර්ක්මෙනිස්ථාන් ‘කරකුම් කාන්තාරයේ’ පිහිටා තියෙන්නේ. එනම් එරට අගනුවර (Ashgabat) ඉඳලා කිලෝමීටර් 260 ක් දුරින්. ඒ අවට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි ගම්මානවලට පවා මෙයින් නිකුත් වන රත් පැහැති ගිනිදැල් දර්ශනය වන බව පැවසෙනවා. මේ නිසා ජනවහරේ මෙය ‘අපායේ දොරටුව‘ (The Door to hell) ලෙස හැඳින්වෙනවා.

1971 දී රුසියානු විද්‍යාඥයින් මෙහි කැනීම් ඇරඹීමෙන් භූමිය දෙදරා ගොස් මීටර් 70 ක විෂ්කම්භයෙන් යුත් ආවාටයක් ඇති වී තිබෙනවා. මෙය ගිනිබත් කර විනාශ කිරීමට භූ විද්‍යාඥයන් තීරණය කළේ දිනක් ඇතුළත එයින් (ආවාටයෙන්) නිකුත් වන ජීව වායුව දැවී හමාර වෙයි කියන විශ්වාසයෙනුයි. නමුත් එදා සිට අද දක්වාම මෙය අඛණ්ඩව දැවෙමින් පවතිනවා. අවුරුදු පනහක් (50) තිස්සේ විශාල ලෙස ගිනිගෙන දැවෙන මේ විවරය නරඹා 2010 අප්‍රේල් මස ජනපති ගර් බැන්ගුලි බර්ඩිමුහැමෙඩොව් මහතා වහාම එය වසා දැමීමට තීරණය කළත් තවම ඒක සාර්ථක වෙලා නැහැ.

එතකොට, අපායේ දොරටු සහ එහි ස්වභාවය පිළිබඳව බුදු දහමේ විස්තර වෙන්නේ කොහොමද?

එහි ‘පෙරදිගින් පටන්ගත් ගිනි දැල් අපරදිග දක්වා විහිද යනවා. සෙසු දිශාවන්හි ද එසේමයි. මෙසේ නිරය තුළ ගිනිදැල් බුර බුරා සළද්දී මහා ශබ්ද පතුරවමින් නිරය පිටතට ද සියක් යොදුන් පැතිරෙනවා. පහළම අවීචියට මහා නිරය යැයි ‘දේවදූත සූත්‍රයෙහි’ සඳහන් වෙනවා. මේ නරකයක ඇතුළත ප්‍රමාණය දක්වා ඇත්තේ, එක් එක් දිශාවකට යොදුන් සියය (100) බැගින් වන ලෙසයි. ඊඟාවට මෙම එක් එක් නරකයක දිශා හතරෙහි (04), දොරටු හතර (04) බැගින් පිහිටා තිබෙනවා. මේ මහ පොළවයට එක් එක් නිරයන් එකිනෙකට යටින් ලෝහ ආදී ඝණකම බිත්ති (ස්තර) වලින් වෙන් වී පවතිනවා. මෙම එක මහා නරකාදියක ඔසුපත් නිරයන් 16 බැගින්, මහා නිරයන් 08 හි ඔසුපත් නිරයන් 128 ක් පිහිටා තිබෙනවා.

මහා නිරයන් අට හෙවත් අට මහා නරකාදිය කියන්නේ මොනවාටද?

සංජීවය, කාලසූත්‍රය, සන්ඝාතය, රෞරවය, මහා ගෞරවය, තාපනය, මහා තාපනය හා අවීචිය ඔබ ඇසූ අටමහා නරකාදිවලට අයත් වෙනවා. මෙහි අවසන් නරකාදිය වන අවීචි මහා නරකාදියේ අනන්ත වූ ජීවීන් ප්‍රමාණයක් වෙසෙනවා. මෙයින් නැගෙන ගිනි ජාලා ක්‍රමිකව මහ පොළව දක්වාම ගමන් කරනවා. බොහෝ විට පාපයන්ගෙන් අන්තයට පත්වූවන් අවීචි මහා නරකාදියෙහි උපත ලබනවා.

මරණින් මතු නැවත ඉපදීමක් නැතැයි සිතා, පව් කළ මිථ්‍යාදෘෂ්ටිකයන් ප්‍රතාපන හෙවත් මහා තාපනයෙහි උපදිනවා. ඊට ඉහළින් වූ තාපන නරකයෙහි අනුන්ගේ වස්තුව, නිවාස ගිනි තැබූ, සතුන් පණපිටින් පුළුස්සා මැරූ, බිළිපූජා කළ පුද්ගලයන් උපත ලබනවා. අධික තාපයෙන් දැවෙමින් මේවායේ වෙසෙන ජීවීන් අනන්ත දුක් විඳිනවා.

රෞරවයෙහි පවතින බියංකර දුමටත් වඩා අතිශය භයංකර දුමෙන් හා ගින්නෙන් මහා රෞරවය පුරා පිරී පවතිනවා. තෙරුවන්ට, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගෙන අපාගත වූ සත්වයන් මෙම දුමෙන්, ගින්නෙන් නිරන්තරයෙන් බියෙන් දැවෙමින් මහා විලාප දෙනවා. මෙම නරකාදිවල ඉසිලිය නොහැකි තරම් විඳවනු ලබන මහා දුක් දරාගත නොහැකිව නිරතුරුව නැගෙන සත්වයන්ගේ විලාප ශබ්ද යොදුන් දහස් ගණනක් ඈතට විහිදී යනවා.

අපා දෙපා සිව්පා ආදී තිරිසන් සත්වයන්ට අපාදුක් දෙමින් වැඩගත්, හිංසා කළ පුද්ගලයන් මිය ගොස් ‘සන්ඝාතය’ නරකාදියෙහි දුක් විඳිනවා. ඊඟාවට මාපිය, හිතමිතුරු ගුණවත් සත්පුරුෂ සාදු ජනයන්ට නින්දා අපහාස අපරාධ සිදුකළ පාපී පුද්ගලයින් ‘කාලසූත්‍රයෙහි’ අපාගත වී වෙසෙනවා. ඒවගේම උස් පහත් භේදයකින් තොරව ‘සංජීවය’ නම් වූ නරකාදියෙහි අපාදුක් විඳිනවා.

නමුත්, ඔය කියන නරකාදි, අපායන් මහ පොළව යටට හාරා පාදා දැක ගන්න බැරිද?

දැන්, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඝනත්වයෙන් වැඩිම හා ජීවයෙන්පිරි සුපිරිම ග්‍රහවස්තුව මේ පෘථිවිය ලෙසයි විද්‍යාඥයොත් විශ්වාස කරන්නේ. මේ අනුව, පෘථිවිතලයේ තවමත් යටටම හාරා ඇති පතලෙහි ගැඹුර අඩි 6500 ටත් අඩුයි. මේ වගේ පහළ වළක වුණත්, ඔක්සිජන් ආදිය නොමැතිව මඳ වේලාවක් ඉන්න බැරි තරම් ඉතා උණුසුමින් යුක්තයි. ඊටත් වඩා ඇතුළ යන තෙල් ආකාරවල ගැඹුරත් අඩි 22,000 ට වැඩි නැහැ. මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් 350 ක් වගේ ඉහළ අගයක් ගන්නවා. තවත් යටට යන්න යන්න උෂ්ණත්වය මැන බැලීමට තියා, හිතා ගන්නවත් බැරි බවයි භූවිද්‍යාඥයන් පවසන්නේ. ඊට හේතුව, ඒ මහා උෂ්ණත්වයට ඔරොත්තු දෙමින් දැවී අළු නොවීමට සමත් කිසිවක් මිහිපිටින් තවමත් සොයා ගෙන නොතිබීමයි.

ඒ වුණත්, අපායේ විලාප ශබ්ද පටිගත කර ගැනීමට නූතන පර්යේෂණකයන් අද දවසේ දී සමත් වී තිබෙනවාද?

ඔව්. එහෙම පටිගත කර ගත් බව කියන අපැහැදිලි අෙඳීනා වගේ විලාප හඬවල් මටත් අහන්නට ලැබුණා. දැන් වුණත්, ඔබට අන්තර්ජාලයේ  Sound of the hell කියලා ටයිප් කළාම ඒවා අහන්න පුළුවන්. ඒ අතර, හුඟදෙනෙක් විවිධාකාර වෙනත් ශබ්ද ගොඩක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මේ නිසා රුසියානු පර්යේෂණ කණ්ඩායම පටිගත කළ ශබ්ද එයින් තෝරාගෙන ඇසිය යුතු වෙනවා.

මීට වසර කිහිපයකට පෙර, එම පර්යේෂකයින් සයිබීරියාවෙහි අඟල් 10 ක් පළල සිදුරක් කිලෝමීටර් 14.5 ක් යටට අඩි 20 බැගින් දිග යකඩ බට යොදා ගෙන හාරා තිබෙනවා. එය තවදුරටත් විදීමේදී විදුම්යන්ත්‍රයේ සර්පිලාකාර විදුම් කටුව විශාල අගාධයක් වැනි හිස් අවකාශයකට ගොස් නතර වූ බව පැවසෙනවා.

එහිදී ෆැරන්හයිට් අංශක 1000ට අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන අධික තාක්‍ෂණික මයික්‍රොෆෝනයක් එම සිදුර දිගේ අතර මඟට යවා තත්ත්පර 15 ක පමණ කාලයකදී මෙම විලාප වැනි ශබ්ද පටිගත කරගෙන ඇති බව දැක්වෙනවා. මේවා ස්වභාවිකව ඇසෙන ශබ්දද? නැතිනම් නිර්මාණය කළ ශබ්දද? කියලා පුළුල්ව අධ්‍යයනය කරලා නිගමනය කළයුතු වෙනවා.

බුදුන් දවසදීත් මෙලෙස අපායේ විලාප ශබ්ද ඇසුණු බව කියැවෙන කතා පුවත් තිබෙනවාද?

ඔව්. ‘දු, ස, න, සෝ’ කියලා අපායේ දුක් විඳින සත්වයන් හතර (04) දෙනෙකුගේ විලාප හඬවල් කොසොල් රජ්ජුරුවන්ට හීනෙන් ඇහිලා තියෙනවා. එම ‘දු, ස, න, සෝ’ කියන විලාප ශබ්දවලට බිය වී කොසොල් රජු අප ගෞතම බුදුරදුන් සමීපයට ගොස් ඊට හේතු කාරණා විමසා සිටියා. ඒවා පෙර ආත්මවල ඉතාම සල්ලාල ජීවිත ගත කරන අපාගත වූ රජුගේ ඥාති හිතවතුන්ගේ විලාප ශබ්ද බව එහිදී බුදුරදුන් පැහැදිලි කර දෙනු ලැබුවා. මේ අනුව බුදු රදුන් දෙසූ, ගාථා හතරක (04) මුල් අකුරුවලිනුත් ‘දුසනසෝ’ වදන කියැවෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.