125 අසිලකඛණ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ මඟුල් කඩුව ඉඹිමින් ලක්ෂණ කියන බමුණෙක ඇත. අත්ලස දුන්න වැමියන්ගේ කඩු ගෙණවිත් පෑ කල යහපතැයි කියයි, අත්ලස නුදුන්න වැමියන්ගේ කඩු පෑ කල නපුරු කියයි, අත්ලස් කා ලක්ෂණ කියන නියාව එක් වැමියෙක් දැන ඒ නියාවට සහ පන් කඩුවක් ලක්ෂණ යුක්ත කොට තුන්සන ගහා කොපුවක් ඉදිකොට කොපුව ඇතුළත මිරිස් සුනුකොට පුරා කඩුව ඊලා ගොසින් රජ්ජුරුවන්ට පෑහ. රජ්ජුරුවන් විසින් බමුණා ගෙන්වා කඩුව පෑ ලක්ෂණ කියයි. කී විසින් යහපතැයි කඩුව කොපුවෙන් ඇද නාසය කෙරේ තිබා කඩුව ඉඹලීය. ඒ ක්ෂණයෙහි කඩුව ඇලී තුබූ මිරිස් සුනු නාසයට වැද කිඹිසීය, කඩුව නාසයෙන් ඈත්කොට කිඹිසින්ට පමා සෙයින් කඩුව පිටම කිඹිස කප්පවාගත. ඒ කථාව භික්ෂු සංඝයා වහන්සේ කෙරෙහි සැලවීය. ඒ කථාව දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තැනට සර්වඥයන්වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා කඩුවේ ලකුණු කියන බමුණාගේ නාසය කැපුණු කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් නාසය කප්පවාගතැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

හේ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ කඩුවේ ලක්ෂණ කියන බමුණෙකු ඇතිවීමද, කඩුව ඉඹ ලක්ෂණ කීම්ද, කිඹිස නාසය කපා ගැණිමද, මෙකී සියල්ලම වර්තමාන කථාව කී පරිද්දෙන්මයයි දතයුතු ඒ නියායෙන් නාසා කප්පවා ගත් බමුණන් දැක රජ්ජුරුවන් විසින් ඉටියෙන් නාසයෙන් ලවා පළමුසේම උන්ගේ ස්ථානානතරයේ සිටුව තමන්ට සේවය කරණ පිණිස සලස්වා ගත්හ. එසමයෙහි රජ්ජුරුවන්ගේ බෑණ රාජ කුමාරයෙක්ද රජ්ජුරුවන්ගේ දූ වන රාජකුමාරිකා කෙනෙක්ද බාලදා පටන් එක්ව කෙළ එක්ව වැඩි උනුන් කෙරෙහි පිළිබඳ සිත් ඇතිව වසන සමයෙහි බරණැස් රජ්ජුරුවන් විසින් අමාත්‍ය මණ්ඩලයා එක්ව හිඳ කථාකරන්නාහු මාගේ දුවනියන් ඔබ්බේ රජ්ජුරුකෙනෙකුන්ට පාවා දෙන්නායින් මට භාරය. එසේ හෙයින් රජ්ජුරුවන් දෙන්නෙකු මට සහයවන්නේයයි සිතා රාජකුමාරිකාවන් රාජකුමාරයන්ට නොපෑ වාසය කරන්නාහ. දෙන්නාම උනුන් කෙරෙහි බිළිබඳසිත් ඇති විසිනුත් වයසුත් මුහුකුරා සිටි විසිනුත් එක්දවසක් රාජකුමාරයෝ රාජකුමාරිකාවගේ කිරිමව් දැක මසුරන් දහසක් දී රාජකුමාරයෝ කියන්නෝ තොප විසින් රාජකුමාරි කාවන්රජගෙන් මෑත්කරණ උපායක් කරවයි කී විසින් ඒ මට බාරයයි කියා රජ්ජුරුවන් කරා ගොස් දේවයන් වහන්ස නුඹවහන්සේගේ දුවනියන්වහන්සේගේ ශරීරයෙහි කාලකණ්නියක් වෙසෙයි. එසේ හෙයින් ඒ කාලකණ්නි ප්‍රවාහකරන්ට උවමැන වැයි එසේ හෙයින් අසවල් තෙන සමසාන භූමියෙහිදී පිළක් බැඳ පිළපිට මිණියක් තබා මිණිය පිට ඇඳක් තබා ඇඳපිට රාජකුමාරිකාවන් ඉඳුවා ඉස්සෝදා නහවාගෙණ ආයුතුයයි කීහ. රජ්ජුරුවෝත් ඒ අසා එසේම කරවයි උන්ටම භාරකළහ. එම විට ගොස් සම් සාන භූමියට මිරිස්සුනු පොට්ටනියක් ඇරගෙණ ගොස් එක්ව ගිය මිනිසුන් ඒ ඒ තැන සඟවාපියා මියගිය මිණියක් සේ මුනින් වැද හෙව මා විසිනුත් නුඹලාට අඬක් ගසාපියා මා කැටිව රැකවලට ගිය සේවායනුත් ඇරගෙන දුවපියන්නා එවිට නුඹවහන්සේ රාජකුමාරිකාව ඇරගෙණ ඉස්සෝදා නහා ගෙටම පලා ගිය මැනවයි කියා එපවත් ගොස් රාජකුමාරිකාවන්ටත් කියා රාජකුමාරයන් විසින් එකී දවසට එකී සැටියේ ගොසින් සම්සානා භූමියෙහි වැදහොත් කලට රාජකුමාරිකාවන් හැරගෙණ සේනාව විසින් රැකවල් ලවාගෙණ නික්ම පෙරමඟදී සේනාව ඇත්තන්ටත් කියන්නී සම්සාන භූමියෙහි වැදහොත් පුරුෂයා කීපවාරයක් කිඹියපියා නැගීසිට පළමුව දුටුකෙණෙකුන් අල්වාගෙණ මරාපියයි එසේ හෙයින් තොප හැමදෙන බියපත්වයි මඟදීම කියා සොන්පලයට ගොස් කී ලෙසම රාජකුමාරයන් කිඹිසපියන්නා තෙමේ භයින් මහඬින් හඬාගෙණ ඇමටම පළමුව දිවපුව, ඒ දුටු පිරිස් ආවුද එලා මහහඬින් හඬා දිවාපුවාහ. එවිට රාජකුමාරයෝ රාජකුමාරිකාවන් ඇරගෙණ ඉස්සෝදා නහා තමාගේ ගෙට ගියහ. එපවත් රජ්ජුරුවෝ අසා සතුටුව සිතා උන්නා පැමිණියයි වහා මඟුල්කොට සරණ පාවාදී රාජ්‍යයත් පාවාදුන්හ. එසමයෙහි කඩුලක්‍ෂණ කියන බමුණා රජ්ජුරුවන් නැගෙණහිරට පිටලා උන් විසින් නැගෙණහිරට මූණලා සිටි බමුණාගේ මුහුණ අව්ව ගැසෙත් ගැසෙත් ඉටිවිරී නාසය වැටී ගියවිට බමුණා ලජ්ජාවෙන් කරබාගත. එවිට රාජකුමාරයෝ කියන්නෝ ආචාරීනී ලජ්ජි නොවෙව, කිඹිසීම නිසා තොපට මෙයා අලාභයක් විය, ඒ කිඹිසීම් නිසා මට මෙසේවූ ලාභයක් වියයි කියවයි වදාරා, එසමයෙහි කඩුලක්‍ෂණ කියන මෙසමයෙහි කඩුලක්‍ෂණ කියන බමුණාහය, බරණැස් රජ්ජුරුවන්ට බෑණාවූ රාජ්‍යය ලත් රාජකුමාරයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාරා අසිලකඛණ ජාතකය නිමවා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

126 කලණ්ඩුක ජාතකය
124 ප්‍රථම පුෂ්පරත්න ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.