Skip to main content

121 අඹ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා කුලපුත්‍රයෙක් ලැදිව මහණවූ කළමනා වත්පිළිවෙත් මහත් පිළිවෙත් සතළිසක් හා සූක්ෂම පිළිවෙත් අසූවක් පුරාගෙණ හැමදීම් මළුහැමදීම්, පෙත්මන් හැමදීම්, ධර්‍මශාලා හැමදීම්, සඞඝාරාම හැමදීම් හා පින්පැන් තැබීම් යනාදීන් නොකුසීතව කරණ සේක, උන්වහන්සේ වත්පිළිවෙත් කිරීමෙහි ප්‍රසන්නව උපාසකවරුන් විසින් පන්සියයක් පමණ පාත්‍ර දවස්පතා උන්වහන්සේට තිබූහ. ඒ පාත්‍ර පන්සියයක් බොහෝ දෙනා වහන්සේට ලාභවිය, මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්ව වැඩඋන් මහළු වරුන් වහන්සේ කිය කියා උන්තෙනට සර්‍වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා අසවල් නම නිසා ලාභ සත්කාර පැමිණි නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් මුන් පිළිවන් වතාවත් නිසා බොහෝ ලාභ සත්කාර පැමිණියේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ කුලයක ඉපද පඤචකාමයෙහි ආදීනව දැක පන්සියයක් තාපසවරුන් ඇතිව හිමාලය වනයෙහි ගණජ්‍යෙෂටව වාසය කරණසේක. එසමයෙහි හිමාලය වනයෙහි වැසි නොවැස ලින් පොකුණුවල පැන්සිඳී සිව්පාවෝත් පැන් නොලැබ විඩාපත්ව දුක් විදිනාහ. එසමයෙහි පන්සියයක් තාපසවරුන් අතුරෙන් එක් තාපසකෙණෙක් ගසක් කපා ඔරුවක් කැණ සිව්පාවුන්ට පැන් ඇද වත්කරන්නාහ. සිව්පාවුන් ආ ආසේ පැන් ඇද වත්කරණා විසින් පලාඵල කඩායන්ට කල් නැතිව විඳිනා ආයාස සිව්පාවෝ දැන උනුනුන් හා කථා කරන්නෝ තාපසයන්ගෙන් පැන්ගන්ට යම්හයි සිව්පාකෙණෙක් තමතමන්ට පිළිවන් යම් යම් විවර අඹ කොස් ආදීවූ දෙය ගෙණ එත්වයි උනුන්ට විධානකොට ඒ නියාවට ගෙණ දසඅටක් ගැල් පුරායන විවර දවස්පතා රැස්කරන්නාහ. ඒ රැස්කළ දෙය පන්සියයක් තාපසවරුන් බෙදා වළඳන්නාහ. ඉතුරුවූ දෙය වල දමන්නාහ. මෙපමණත් දැන බෝධිසත්වයෝ තාපසවරුන්ට අවවාද කියන්නාහු අසවල් තාපසයන්ගේ වීය්‍ර්‍යයෙන් අපි පන්සියයක් දෙනම පලාඵල පිණිස වනයට නොගොස් උන්පළම ඉඳම මිහිරි ඵලාඵල ප්‍රයෝජන විඳිම්හයි එසේහෙයින් ගෘහස්ථව උවත් ප්‍රවෘජ්ජිතවූවත් වීය්‍ර්‍ය කළයුතු යයි වදාරා එසමයෙහි පැන් ඇද වත්කළ තාපසයෝ නම් මෙසමයෙහි වතාවත් ව්‍යස්ථිතව කරණ ලද්දාවූ භික්ෂූහුය. ගණජ්‍යෙෂටවු තාපසයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාරා මේ අඹ ජාතකය නිමවා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.