Skip to main content

09. තුන් බෑ ජටිලයෝ බුදුන් සරණ යති …

ඒ වස්‌සානයේ අවසන් දින කීපයයි. අහස්‌ කුස නිල් වියනක්‌ සේ මනරම්ය. ළා හිරු එළිය ගලා එයි. සිහිල් මඳ නල මුසුව කුරුලු ගී ඇදෙයි. තුරු වදුලු කරළිය මන රඟන රිලා නැටුම් දැක වනමල් සිනාසෙයි. ගොපලු දරුවන් සමග ඇදෙන ගව රැළ අලුත් තණ බිම් සොයති. ගව කුර හඬින් සැලී වෙව්ලුම් ගත් යොවුන් මුව නාම්බකු හාත්පස නිරීක්‍ෂණය කර පිම්මේ වන ගැබට රිංගා ගත්තේය. මුව නාම්බා සිටියේ පෙර දින රැයෙහි පෙම් සටනකින් පරාජිතවය. ඒ යොවුන් මුව දෙනකු බෙදා ගන්නට කළ මාරාන්තික සටනකි.
වේලාසනින්ම පිබිදුණු සිදුහත් ගෞතමයෝ සමාධියෙන් මොහොතක්‌ වැඩ හිඳ ලොව දෙස බලන්නාහු උරුවේලා ජනපදයෙහි සිටින උරුවේල කාශ්‍යප නම් වූ ප්‍රමුඛ ජටිලතෙමේ හමුවන රිසින් එදෙසට ගමන් කරමින් සිටියහ.

උරුවේල කාශ්‍යපයන්ට නදීය, ගයා ය යන තවත් සහෝදර ජටිලයෝ දෙදෙනෙක්‌ ද වූහ. උරුවේල කාශ්‍යපට පන්සියයක්‌ද නදීකාශ්‍යපට තුන්සියයක්‌ද ගයා කාශ්‍යපට දෙසියයක්‌ ද වශයෙන් පරිවාර ජටිලයෝ ද වූහ. මේ දහසක්‌ දෙනාම මහත් ලාභ සත්කාර ලබති. අසල ගම්වල ජනතාවගේද ගම්පතියන්ගේ ද පුද සත්කාර ලබති. නොපිරිහුණු ඉසුරෙන්ද සපිරුණු කීර්තියෙන්ද යුතුව වසන ජටිලයෝ තමන් රහත්ය යන මුළාවෙන්ම විසුවෝය. බුදුහු උන්ගේ හේතු සම්පත් දිවැසින් දැක අනුකම්පාවෙන්ම ඒ ගමන ඇරැඹූහ. උන්වහන්සේට යම් ගමනක්‌ යුහුසුලුව යාමේ අභිලාෂයක්‌ වන්නේ ද එය තුරිත චාරිකා හෙවත් ඉක්‌මන් ගමනකි. එසේම එබඳු යුහුසුලු බවක්‌ නොමැති, පියවි ගමනින් යන්නේ නම් එය අතුරිත චාරිකා නම් වන්නේය. පියෙන් පිය ඔසවා ශාන්ත ස්‌වරූපයෙන් කෙරෙන අතුරිත චාරිකාවට බුදුහු ඉමහත් සේ ප්‍රිය කළහ.
උන්වහන්සේ උරුවේල කාශ්‍යපයන් හමුවීම සඳහා වැඩියේත් යුහුසුලු ගමනින් නොවීය. ස්‌වභාව ධර්මයේ සුන්දරත්වය උපේක්‍ෂාසහගතව විඳිමින් ද මඟ තොට හමුවන මගියන් හා වෙනත් සංචාරකයන් හමුවෙමින් ද ගමන් කළ බුදුහු පසු දින සවස්‌ භාගය වෙද්දීම උරුවේල කාශ්‍යපයන් සිටින අසපුවට නුදුරු නිල්තරා නදියෙන් ද එගොඩ වූහ.
බුදුන්වහන්සේ හෙමිහිට ගලා යන ගඟ දෙස මොහොතක්‌ බලා සිටියහ. අනතුරුව පියවර කීපයක්‌ ගමන් කර එහි වූ සඳුන් රුකක්‌ සෙවණෙහි නතර වූහ. සැන්දෑ අහස විසිතුරු රටාවලින් යුතු විය. ඉඳහිට ආවාස ගෙයකින් ඇසුණු ශබ්දයක්‌ විනා අන් කිසිදු හඬක්‌ ද නොවීය. තවත් ස්‌වල්ප වේලාවක්‌ ගෙවිණි. එකල්හි නිල්තලා ගංතෙරට එමින් සිටි උරුවේල කාශ්‍යප ජටිල තෙමේ බුදුන් දැක එහෙත් ඒ කෙබඳු අයෙක්‌දැයි නොදැන හිටිවනම සිට මෙසේ විමසූහ.
ඔබ මෙම ඉසව්වට ආගන්තුක ශ්‍රමණයකු සේ පෙනෙයි. එහෙත් ඔබගේ විලාසය අප තුළ පහන් සිත් වඩයි. තව ස්‌වල්ප වේලාවකින් අඳුර ද එළැඹෙන්නේය. කුමක්‌ අරභයා අපගේ අසපුවට පැමිණියෙහිදැයි දැන ගනු රිසිමි.
මම සිදුහත් ගෞතම වන්නෙමි. මම මේ දුර ගෙවා ඔබ උදෙසාම පැමිණියෙමි.
උරුවේල කාශ්‍යප ජටිලයන්ට සිතුණේ මේ තමන්ගේ අතවැසියෙක්‌ වනු රිසියෙන් පැමිණි අයෙක්‌ විය යුතුය. කිසියම් දායකයකු අතින් තමන්ගේ තතු දැන ප්‍රසාද සිත් ඇතිව පැමිණි අයෙක්‌ බවය.
අපිදු ආගන්තුක සත්කාරයෙහි රිසි වන්නෙමු. අග්නි පූජා නිමවා වේලාසනින්ම නින්දට යාම අපගේ පිළිවෙතය. මේ ලොව සියලු තන්හි අග්නි දෙවියන්ගේ බලමහිමයද වන්නේය. ඉදින් සියලු තතු දැන අප සොයා පැමිණි ඔබට කෙසේ පිටුපෑ හැකිද? බුදුහු එය තුෂ්ණිම්භූතව ඉවසා මෙසේ වදාළහ.
ඉඳින් ඔබ කැමැත්තෙහි නම් නුදුරින් පෙනෙන ගෙය අපට රාත්‍රියට යෝග්‍ය වන්නේය.
එබසට සිනාසුණු ජටිල තෙමේ කියන්නේ, ඔබ ඒ ගෙයි තරම නොදන්නෙහිය. එය එසේ මෙසේ ගෙයකැයි සිතන්නෙහිද? එය අපගේ ගිනිගල් ගෙයයි. ගිනිහල් ගෙය පසුගිය සීත කාලය තුළම අපට සහන දුන් ස්‌ථානයයි. දැන් වැසි මඳය. එනිසාම එය අප රක්‌නා මහා නාගයාගේ විසුම්පාය සේ වෙන් කර ඇත. තවද ඒ නාගයෝ මහත් තෙද බල ඇත්තෝය. දරුණු විස යුත්තෝය. කෝපාවිෂ්ට වුවහොත් උන් මුවින් විෂ දුම් නැගෙයි. ඒ මාරාන්තික අනතුරකි. ඉදින් ඔබ වැනි සෞම්‍ය අයකුට එය යෝග්‍ය නොවේ යෑයි කරුණු පැහැදිලි කළේය.
බුදුහු ඒ කිසිත් නොතකමින්ම තොපට බරක්‌ නොවන්නෙහි නම් ඒ ගිනිහල් ගෙය අපට දුන මැනවැයි යළිත් වදාළහ. එවේලේ ජටිල තෙමේ සිතන්නේ මෙලෙස තතු දක්‌වාත් අකීකරු විලස්‌ දක්‌වන්නේ උඩඟු හෙයින් යෑයි සිතා නාගයා ලවා පාඩමක්‌ උගන්වමියි සිත සඟවා පා අගෙයි ඔබගේ අභිමතය එයම නම් එසේ කරනු මැනවැයි කීවේය.
බුදුහු සන්සුන්ව ගිනිහල් ගෙය තුළට වැඩ එහි තමන් වහන්සේගේ සිවුරක්‌ නමා අතුරා වැඩ සිටියහ. ජටිලයන්ගේ මහානුභාව සම්පන්න නාගයාද එහි වැඩ සිටින බුදුන්වහන්සේ දැක, බුදු බලමහිමය නොදන්නේ කෝපයට පත්විය.
මෙවේලෙහි උරුවේල කාශ්‍යප පසු වූයේද කවර අවස්‌ථාවකදී හෝ ඒකාන්තයෙන්ම සිදුහත් ගෞතමයෝ සරණ සොයා දිව එතැයි යන සිතිවිල්ලේය. ඔහුට නිදිමතද නොවීය. කුහුල් සිතින් ගිනිහල් ගෙය දෙස බලමින්ම රැය ගෙවන ඔහු එක්‌වරම දුටුවේ එයින් නැගෙන ගිනි ජාලා බඳු විෂ දුමාරයන්ය. ඒ ගිනිහල් ගෙය තුළ නාගයා විෂ දුම් යෑවීම අරඹන ලද මොහොත විය.
සිදුහත් ගෞතමයෝ එවේලෙහි මෙසේ සිහි කළහ.
මේසා කාලයක්‌ මට වනයෙහි විසූ කුරා කුහුඹුවකුගෙන් තරම්වත් පීඩාවක්‌ නොවීය. මා බුද්ධත්වයට පත් කල්හි එක්‌ නාරජෙක්‌ මා මහ වැසිවලින් තෙමෙනු වැළැක්‌වීමට මා සිරුර වටා සිටියේය. වෙනත් සිව්පාවෝද උරගයෝද මා යන එන මඟක හෝ නොවූහ. නාග, පොළොං, මාපිල්, පිඹුරු ආදීන් අතර නාග විෂ බහුල වුවද නාගයෝ නම් තමන්ට පීඩාවක්‌ නොවන තාක්‌ දෂ්ට නොකරන්නාහ. එහෙත් මේ නාගයා අමුතුය. එයට හේතුව මේ ජටිලයන්ගේ ඇසුර විය යුතු යෑයි සනිටුහන් කර නාග බලය දුබල කිරීමට තරම් වූ කිසිදු පීඩාවක්‌ නොවන්නාවූ දුමාරයක්‌ නාගයා වෙත Rද්ධි බලයෙන් යෑවූහ. ඒ උගේ අහංකාරය බිඳිලනු පිණිසය.
ඒ දුමාරය නාගයාගේ දුමාරය මැඩ නාගයාට පීඩාවක්‌ නොකරම ඌ අසල ගැවසිණි. කෝපාවිෂ්ට වූ නාගයා මහත් සේ විෂ දුමාර පිට කළේය. පිටත සිට බලන කවරකුට වුවද ඒ ගිනිහල් ගෙය ගිනි ගන්නා විලාසයක්‌ම පෙනෙන්ටද විය. මැදියම් රැය වන තුරුම නිදි වර්ජිතව සිටි උරුවේල ජටිල තෙමේද ගිනිහල් ගෙය ඇවිළෙන්නේ යෑයි මහත් වික්‍ෂෝභයට පත්විය.
බුදුන්වහන්සේ එළවා දමමියි අහංකාර පර්වශ වූ නාගයා ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ හෙයින් මහත් සේ වෙහෙසට පත්ව පීඩිතව ගිනිහල්ගෙය කෙළවරකට වී සිටියේය. බුදුහුද රාත්‍රිය කිසිදු අපහසුවකින් තොරව ගෙවූහ. මේ විපර්යාස නොදත් ජටිල නායකයා උදැසනම අවදිව ගිනිහල් ගෙය දෙසට ආවේය. රැයෙහි ගෙය වසා නැගුණු ගිනි නිවී තිබුණි. එහෙත් හාත්පස ගිනි අඟුරක්‌ හෝ නොදැක කුහුල් සිතින්ම ගිනිහල් ගෙය දොරකඩටම ගොස්‌ නතර විය. සිදුහත් ගෞතමයෝ ගිනිහල් ගෙයි සිටිත්ද නො එසේ නම් එයින් පිටතට ගොස්‌ සිටිත්දැයි සිතන විටම බුදුහු ඔහු අබියස පෙනී සිටියහ. ජටිල නායකයා ඈත් මෑත් බලමින් නාගයා සෙවීය. ඒ බව දත් බුදුහු “කාශ්‍යප කුමක්‌ හෙයින් විමසිලිමත්ව සිටින්නේදැයි” විමසූහ.
ඉක්‌බිති බුදුන්වහන්සේ ඔහුට පාත්‍රයෙහි සන්සුන්ව හිඳිනා නාගයා පෙන්වූ සේක. එක්‌ වරම විස්‌මයට පත් ජටිල තෙමේ හුස්‌ම පොද පහතට නොහෙළාම එදෙස බලා සිටියේය. ඔහු තුළ ලැඡ්ජාවක්‌ද වැඩුණි. එහෙත් ඒ බවක්‌ නොහඟවාම මෙසේ කීය.
ඔබ නාගයින් දමන ශිල්පයෙහි වෙසරද බවක්‌ හැඟෙයි. නොඑසේ නම් මේ නාරජුන් මෙලෙස හීලෑ කරගත නොහැක්‌කේය. මේ නාගයා අපට නම් මිත්‍රය. අප රහත්ව සිටිනා හෙයින් අපට බිය වන්නේය. මේ අප උන්ගේ මෙබඳු ප්‍රතිචාරයක්‌ දුටු පළමු අවස්‌ථාව වන්නේය.
නාග දමනයෙන් පසු කාශ්‍යපයන් තුළද උන්වහන්සේ පිළිබඳ ප්‍රසාදය තවත් වැඩුණි. එහෙත් කිසිවිටෙක බුදුන්වහන්සේ තමන්ට වඩා බලවත් හෝ උතුම් අයෙක්‌ සේ නොසිතුවේය. එසේම කිසියම් ආනුභාවයක්‌ සහිත ශ්‍රමණයෙක්‌ ලෙස උන්වහන්සේ කෙරෙහි බැඳීමක්‌ ද ඇති විය. එනිසාම තම අසපුවේ කැමැති කලක්‌ නතර වන ලෙස ආරාධනාවක්‌ද කළේය.
බුදුහු ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන එහි දින කීපයක්‌ම වැඩ උන්හ. එසේ වැඩසිටි උන්වහන්සේ අලුයම පිබිද මුවදොවා පිණ්‌ඩපාතය පිණිස නුදුරු ගමටද වැඩියහ. ඒ බව දුටු කාශ්‍යපයන් කියන්නේ කුමක්‌ නිසා සිඟා යන්නෙහිද? ආගන්තුක ඔබ රැකීම අපගේ බැඳීමය. එහෙයින් ගමට නොයනු මැනවැයි දැන්වීය.
බුදුහුද ස්‌නේහයෙන් කරන ලද යෝජනාවක්‌ බව දැන එය පිළිගත්හ. බුදුන්වහන්සේ එහි වැඩ සිටිනා අතරම අසපුවෙහි යම් යම් හාස්‌කම් ද විය. දිනක්‌ රාත්‍රියෙහි බුදුන්වහන්සේ අසල රන්වන් ආලෝක ධාරාවන් සතරක්‌ විය. ඒ සතරවරම් දෙවිවරුය. උරුවේල එය දැක විමසා ඒ දෙවිවරු බව සැක හැර දත් නමුදු එයින් හෝ බුද්ධ මහිමය ගැන නොසිතීය. තවත් දිනක ජටිල ශ්‍රාවකයන් ගිනි දෙවි පූජාව සඳහා දර පළමින් සිටියදී බුදුන්වහන්සේ එක්‌වර සෘද්ධි බලයෙන් ඒ සියලු දර පළා දුන්හ. කාශ්‍යප එයින් ද නොවෙනස්‌ විය.
මෙසේ විවිධ ප්‍රාතිහාර්ය දැක්‌වුවද උරුවේල කාශ්‍යපගේ සිත බුදු මහිමය පිළිබඳව නම් යොමු නොවීය. අවසානයේදී බුදුහු කාශ්‍යපයන්ට දහම් දෙසීම යෝග්‍ය යෑයි සිතා ඔහු සොයා ගියහ. ජටිල තෙමේද බුදුන්වහන්සේ සමග සංවාදයකට රිසි විය. එයට හේතු වූයේ ඒ වන විට කාශ්‍යප බුදුන්වහන්සේ පිළිබඳව ඉමහත් ප්‍රසාදයට පත්ව සිටීමය. බුදුහුම කාශ්‍යපට පළමු ප්‍රශ්නය ඉදිරිපත් කළහ.
කාශ්‍යපයනි, ඔබ බ්‍රාහ්මණ සංස්‌කෘතියෙහිද එයට අයත් සිව්වේදයෙහිද පාරප්‍රාප්aත වූ අයෙකැයි හඟිමි. බ්‍රාහ්මණයෝ ස්‌වභාවයෙන්ම වාදයෙහි සමත් වන්නාහ. ඔබ විසින් අඛණ්‌ඩව පවත්වනු ලබන ගිනි දෙවි පූජාව පිළිබඳව තතු විස්‌තර දැනගනු රිසිමි. එසේම එය පුද්ගල විමුක්‌තියට හේතු වන ආකාරයද දක්‌වනු මැනවි.
උරුවේල කාශ්‍යපයෝ සිතන්නාහු මේ සිදුහත් ගෞතමයෝ පැණසැරයහ. සෘද්ධි ප්‍රාතිහාර්යෙහිද අගතැන්පත්ව සිටිති. සංවර සීලයෙන්ද යුතු වන්නාහ. එහෙයින් ඔවුන්ට සාමාන්‍ය පිළිතුරක්‌ නොසෑහෙන්නේමය. සරලව මෙන්ම ගැඹුරින්ද එක්‌ නයින් නොව දහසක්‌ නයින්ද තාර්කිකවද ප්‍රබලවද සාධක සහිතව ද පිළිතුරු දිය යුත්තේය. අනතුරුව මෙසේ කීවේය.
අග්නි හෙවත් ගින්න මේ ලෝක ධාතුවේ සියලු මැවුම් ද නිමැවුම්ද සඳහාම වේ. ගින්නෙන් තොරව මේ ලෝ ධාතුව නොපවතී. එහි උපත බ්‍රහ්මයාගේය. අග්නි දෙවියන් පූජා කරන අපි ඒ මහා බලයට උපහාර කරන්නෙමු. ගිනි දැල්වීමෙන් අඳුර නැසෙයි. පොළොව උණුසුම් වෙයි. සත්ත්වයාගේ පැවැත්මට එරෙහි සියලු විස ගිනිවලින්ම නැසෙයි. එනිසා අග්නි ජීවය සේ අපි සලකන්නෙමු. ගිනිදෙවියා පුදන කෘතවේදී ජනයා ඒ සඳහා යාග හෝම පවත්වයි. අපගේ විමුක්‌ති මාර්ගය ඒ අග්නි පූජා ඔස්‌සේම ලද සැපතක්‌ සේ හඟිමි.
බුදුන්වහන්සේ නිශ්ශබ්දව සියල්ල ශ්‍රවණය කර මෙබඳු පැනයක්‌ද නගති.
කාශ්‍යප, මේ ජනපදය හැර තවත් ජනපද තිබේ. ඒ ඇතැම් ජනපදයක වැසියෝ ජලයට පූජා කරති. ජීවයේ හරයද සත්ත්වයාගේ පැවැත්මද ජලය සේ ඔවුහු සලකති.
මම ඔබට අපූරු කතාවක්‌ද කියමි. පෙර දිනක මට විමුක්‌තිය උදෙසා සිත කය පවිත්‍රීකරණය සඳහා ජලයෙහි ගිලී සිටින අයද හමු වූහ. මා ඔවුන් විමසූ කල්හි ඔවුන්ගේ පිළිතුර වූයේ පව් සෝදා හැරීමට එසේ සිටිනා බවයි. එවිට මම ඔවුන්ගෙන් මෙසේ විමසීමි. ඔබගේ පිළිතුර සත්‍යයක්‌ නම් මේ ජලයෙහිම නිරන්තරව වාසය කරන මසුන්, ඉදිබුවන් ඇතුළු ජලචරයෝ පවිත්‍ර නොවෙත්ද? එකල්හි ඔවුහු ලැඡ්ජාවට පත්aව මා සමග එකඟ වූහ. ගින්න, ජලය මෙන්ම වාතය ඇතුළු ලෝකයේ පැවැත්මට වුවමනා දේ වෙනම පවතී. ඉදින් ඒ අතරින් ගින්න වෙසෙසා පිදීමේ අරුතක්‌ මට නොපෙනේ.
එකල්හි කාශ්‍යපයෝ නිරුත්තර වූහ. බුදුන්වහන්සේ දැක්‌වූ යථාර්ථය පිළිබඳව සිය සිතද යොමු කළහ. ඔහුට තමා තුළ වෙනස්‌ සිතිවිලි නැගෙන අයුරු දැනුණි. ගිනි, ජලය, වාතය, උණුසුම, හිරු, සඳු, පෘථිවිය යනාදී සියල්ලම සමතුලිතව ලොව පවතින බවද ඔහුට පෙනුණි. ජීවීන්ගේ පැවැත්මට මේ සියල්ල බලපාන බවද ඔහු මුල්වරට සිහි කළේය.
අනතුරුව බුදුහු කාරුණික වදනින් ඔහු ඇමතූහ. කාශ්‍යප කෙමෙන් යථාර්ථවාදී මගටද සම්‍යක්‌ දෘෂ්ටියටද එළැඹෙන වග උන්වහන්සේ දුටහ. ඔහුගේ අභිමානයද මමංකාරයද පහවී යන සෙයක්‌ උන්වහන්සේට පෙනුණි.
කාශ්‍යපය, ගිනි දෙවියන් පූජා කිරීමෙන් ලද හැකි විමුක්‌තියක්‌ නැත. මම ඔබට පුද්ගල පැවැත්ම පිළිබඳ සිතා බැලීමට කරුණු කීපයක්‌ දක්‌වමි. ඒවා විදුහුරු යෑයි හැඟේ නම් විමසා බලනු වටී.
කාශ්‍යපයන්ට තවත් බුදුන්වහන්සේ සමග සමපෙළට අසුන් ගත නුහුණු වූයේ වහා නැගී සිට මෙසේ කීවේය.
දැන් මට ඔබවහන්සේගේ බුද්ධ මහිමය දැනෙයි. බුද්ධ ඥනය කෙබඳුදැයි හැඟෙයි. මා විසින් දල්වන ලද ගිනිවලම දුමාරයෙන් මගේ දැස්‌ මුළාවූ වගද දැනෙයි. වහන්ස මම ඔබ විමුක්‌ති මග දැන එහි අනුගාමිකයකු වග රිසිමි. ඔබ මා කමා කරවා මට ඒ විමුක්‌ති දහම දෙසනු මැනව.
අනතුරුව බුදුන් දෙපා වැඳ මෙබඳු ආයාචනයක්‌ද කළේය.
“කමා කළ මැනවි. මම මහත්ම මුළාවක පසුවීමි. මගේ මෝහය කෙතරම්වීද යත් මම කිසිවිටක ඔබවහන්සේගේ ආශ්චර්ය ක්‍රියාවකින් වෙනස්‌ නොවීමි. ඒවා කිසියම් මායා බලයකින් කළ දේවල් යෑයි ද සිතීමට මම වඩාත් ප්‍රිය වීමි. අධිමානයෙන්ද, අවිද්‍යාවෙන්ද අඳුරටම මම ගියෙමි. ඔබ වහන්සේ මා කරා පැමිණ මෙලෙස වාදාභිමුඛ නොවූ සේක්‌ නම් මම තවමත් මුළාවම සිටිමි. මේ ලෝකයේ හිරු දහසක්‌ නැගී තිබුණද ඒ ආලෝකය නොලබා, එදෙස්‌ නොබලාම අඳුරේ සිටින්නෝද වෙති. ඔබ වහන්සේ බඳු සූර්ය මණ්‌ඩලයකට පිටුපා ගිනිදැල්වූ මම මා කෙරෙහිම ල-ජා වන්නෙමි. දැන්වත් මා කෙරෙහි අනුකම්පා කර ඒ සත්‍යාලෝකය මට ලබා දුන මැනවැයි” ආයාචනා කළේය. එවේලෙහි බුදුහු මෙලෙස වදාළහ.
කාශ්‍යපය, ඔබ සමග තවත් දහසකට නොඅඩු පිරිසක්‌ සිටිති. ඔවුහු ඔබගේ වචනයෙහි පිහිටියෝය. ඔබගේ අනුශාසනයෙහිම බැඳුණෝය. ඉදින් නායකයකු ලෙස ඔබ ඔවුන්ද සමග කතිකා කර, මේ තතු දන්වා මා වෙතට ඒම වඩාත් උචිත නොවේද?
කාශ්‍යප ජටිල තෙමේත් ඒ වදන් අසා තම යුතුකම මේ තතු ඔවුන්ටද පැවැසීම යෑයි සනිටුහන් කර ගත්තේය. අනතුරුව සිය පරිවාර ජටිලයන්ටද මෙතෙක්‌ දවස්‌ තමන්ගේ අසපුවෙහි නොයෙක්‌ හාස්‌කම් පාමින් වැඩිසිටියාහු බුදුන්වහන්සේ බව දැන්වූහ. ඔවුහු සියල්ලෝම සත්‍යාලෝකය මැනවැයි කීහ.
අනතුරුව ජටිලයෝ තමන් හිස්‌ වටා බැඳ තිබුණු ජටා මණ්‌ඩල මුදවා ඒ අසලින් ගලා යන නිල්තලා නදියටම වීසි කළහ. හිස කෙස්‌ බූගා දැමූහ. රැවුල් ද බා දැමූහ. උරුවේල කාශ්‍යප ප්‍රමුඛ සියලු දෙනාම ජටිල වෙස්‌ හැර පැවිදි වූහ.
මෙසේ ඔවුන් විසින් මුදාහරින ලද ජටා මඬුලුද තවුස්‌ වස්‌ත්‍ර හා වෙනත් අඩු වැඩිද ගඟ දිගේ පහළට ඇදුණි. ඒ නිල්තලා ගං තීරයේම පහළ උරුවේල කාශ්‍යපයන්ගේ සහෝදරයෝද ආශ්‍රමයන් ඉදිකර වාසය කළහ. ඔවුහු මෙලෙස පාවී එන සියලු දේ දැක බියට ද කුතුහලයටද පත්ව වහාම සිය දෙටු සොයුරු වසන උරුවේල අසපුව වෙත පැමිණියහ. එහිදී ඔවුන් දුටුවේ කසාවතින් සුදිලෙන පිරිසකි. තවත් තතු විමසීමක්‌ද අවශ්‍ය නොවූයෙන් නදී, ගයා යන ජටිල දෙබෑයෝද ඔවුන්ගේ පිරිවරද බුදුන්වහන්සේ කෙරෙහි පැහැදී පැවිද්ද අයෑද සිටියහ. බුදුහු සියලු දෙනාටම පැවිද්ද ලබා දුන්හ.
දැන් බුදුහු තමන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රමුඛ දහසක්‌ භික්‍ෂුන්වහන්සේලා සමග වැඩ වසති. දිනක්‌ උන්වහන්සේ දහවල දානයෙන් පසුව ඒ සියලු දෙනාම ගයා වෙහි එක්‌ ගල් තලාවක්‌ වෙත කැඳවූහ. එහිදී ඔවුන් සියලු දෙනාම අරමුණු කර ගනිමින් බුදුහු ගින්න උපමා කරගත් ආදිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසූහ. එහිදී උන්වහන්සේ පුද්ගලයා තෘෂ්ණා ද්වේෂ, මෝහ, භය යනාදී ගිනිවලින් දැවෙන බවද එගිනි නිවීම විමුක්‌තිය බවද විස්‌තර කළහ. මිනිසා තුළ දැල්වෙන ගින්න නිවීමේ මග නිසැකයෙන්ම ගිනි දෙවියා පිදීමේ ව්‍රතයට හුරුව සිටි පිරිසකට මැනවින් ගැළපෙන අයුරු බුදුහු දුටහ. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව ඇසූ ඔවුන් සියලු දෙනාම රහත් භාවයට ද පත්වූහ.

ගාමිණි සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.