08. ලියක්‌ පසුපස කුමක්‌ නිසා දුවන්නෙහිද ? - IFBC Organization | Dhamma

යස කුමරුන් මාලිගාවේ නොමැති බව දත් යොවුන් ලියෝ ඉමහත් වික්‍ෂිප්ත භාවයකට පත්වූහ. මේ පුවත මාලිගාවේ පමණක්‌ නොව බරණැස්‌ පුරයම කළඹවන්නක්‌ වන බව ඔව්හු ඉඳුරා දත්හ. කෙනෙක්‌ ගෙවී ගිය රාත්‍රිය මතකයට කැඳවන්නට තැත් කළහ. තවත් කෙනෙක්‌ ලිහිල්ව ගිය සිය කෙස්‌ වැටිය සකසා මුහුල බඳින්නට වූවාය. අඩවන් වූ කවුළු දොරින් හැමූ සුළඟ ද, එවේලේ ඔවුන්ට කරදරයක්‌ සේ විය. දිගු නිහඬතාව බිඳිමින් කතා කළේ යස ගේ ප්‍රියතම යෙහෙළියක වූ අරුණිය.

“මං කිව්වනේ සිටු කුමාරය ඊයේ හරි අමුතුයි කියල. මතකද මං මොනතරම් පෙරැත්ත කළත් මධුවිත තොල ගාන්නෙ නැතුව ප්‍රතික්‍ෂේප කළ හැටි. ඊට පස්‌සෙ මගෙ අතින්ම පිරිනැමුව පලතුරු යුෂ ඔඩමත් පැත්තක තිබ්බ.”

අරුණිගේ කතාවට පිළිතුරු දුන්නී චාපා ය. චාපා ද යසගේ සමීපතම යෙහෙලියකි.

“සිටු දේවිය නිතරම කිව්වේ කුමාරයා හුදකලාව තියන්ට එපා කියල. එයාගෙ සතුට විනෝදය ගැන බලන්ට කියල. ඒත් දෛවය මහ පුදුම දෙයක්‌. ගලන ගඟක්‌ හරස්‌ කරල නවත්වන්ට අපට බෑ. හරියට නෙළුම් දඬුවලින් ඇත්තු බැඳල තියන්ට බැරුව වගේ.”

හැම කෙනෙකුටම අවශ්‍ය වූයේ යස මාලිගාව හැර ගියේ තමන්ගේ ප්‍රමාදයකින් නොවන බව සිතීමටය. එය ඒකාන්තයෙන් ම සිදුවන ඉරණම් ගමනක්‌ බව සිතා ළය සැහැල්ලු කර ගැනීමටය. එහෙත් හැම කෙනෙකුගේම සිත තුළින්ම එයට එරෙහි වූ දෝෂාරෝපණයක්‌ ද නැඟුනි. වෙනදා නම් ඔවුන්ගේ තොර තෝංචියක්‌ නොමැති දඟකාර කතාවල්ය. එහෙත් ඒ අරුණෝදය ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් ගල්කර දැමූ සෙයකි. ඉක්‌බිති පියෙන් පිය නගිමින් සිටු මැඳුර දෙසට ළං වූ ඔවුන් විමසිලිමත් වූයේ ඊයක වේගයෙන් තමන් ඉදිරියට දිව එන අයෙක්‌ නිසාය. මේ අඩවියෙහි සිටු මැදුරේ සේවකයන් හැර බාහිර අය නොවෙතියි ඔවුහු දනිති. දිවීම බාල කළ සේවකයා හතිලමින් ඔවුන් අබියස නතර විය. ඔහු නොපැහැදිලිව යමක්‌ කියයි.

“හුස්‌ම කටක්‌ අරගෙන හති ඇරල කියන දෙයක්‌ කිව්වනං අපට තේරෙනව.”

අරුණිගේ මුවින් පිට වූයේ අදහසකට වඩා විධානයකි.
“හුස්‌මක්‌ කටක්‌ ගන්ටත් ඉස්‌පාසුවක්‌ තියේයෑ සිද්ධවෙන දේවල් දැක්‌කම. දැන් තුන් පාරකට වැඩිය සිටු දේවියගෙ සිහිය මුර්ජා වුණා. අසිහියෙන් වගෙ කියන්නෙ “අනේ මගේ පුතා ගෙනත් දෙන්නට කියල.” හෘදය වස්‌තුව පැලෙනව හැබෑට අහන්ට බෑ ඒ අෙ¹aනා…………”
සේවකයා නිහඬ වූයේ අරුණිගේ ඊළඟ විධානයටය. ඔව්හු යළිත් දෙපා ඉක්‌මන් කළහ. සිටු මැඳුර තුළ වූයේ දැඩි කලබලයකි. ඒ මේ අත දිව යන සේවකයෝ ය. විලාප ද හැඬුම් ද, සුසුම් ද නැඟෙයි. සිටු දේවියගේ විලාසය ඉතා දුක්‌මුසු විය. ඇය අසලින් ම සිටුතුමා ද විය. යොවුන් ලියන් දුටුවත් ඇගේ අමුතු ප්‍රතිචාරයක්‌ නොවීය. සිටුතුමා අත තිබුණු විජිනිපත අරුණිගේ සුරතෙහි රැඳුණි. සිටුතුමා ඔවුන් එහි සිටියදීම මාලිගාවේ පහළට ආවේය. ඔහු එහි වූ රහස්‌ දොරක්‌ අසලට එද්දීම දොරටුපාලයා ඔහු හඳුනාගෙන ගෞරවයෙන් මෑත් විය.
අනතුරුව ඔහු එතැනින් පිටතට පැමිණ මැඳුරේ උයන දිගේම මඳ දුරක්‌ ගොස්‌ එතැනින් ද පිට විය. එය ජනශූන්‍ය පෙදෙසකි. අතුරු මාවත දෙපස නොයෙක්‌ වෘක්‍ෂයන්ගෙන් සෝබමාන විය. රුක්‌ ගොමුවලින් තවමත් පිනිමුතු වැටෙයි. සිටුවරයා ඒ මාවත දිගේ ඉදිරියටම ගමන් කරන්නට විය. තවමත් හිරු එළිය නොවැටණු අඳුරු සෙවණැලි විය. කල්පනාවෙන් බර වූ හිස බිමටම යොමා ගෙන තවත් කෙටි දුරක්‌ ගමන් කළ සිටුවරයාගේ ඇසට යොමු වූයේ මනාව සටහන් වූ මිරිවැඩි ලකුණු පෙළකි. හේ ඒවා එකවරම හඳුනාගත්තේ සිය පුත් යසගේ පයෙහි වූ මිරිවැඩි සඟලෙහි ලකුණු බව නිගමනය කළේය. ඔහුගේ විනිශ්චය නිවැරැදි විය. ඔහු සිතට අලුත් උද්යෝගයක්‌ නැඟුනි.
එවේලෙහෙs සිටුවරයාගේ අබියස එක්‌ක්‍ෂණයකින් පහළ වූ හිරු මඬලක්‌ සේ සුදිලෙන රන් රුවක්‌ බඳු දසුනක්‌ විය. එහෙත් ඒ රුව කුමක්‌ දැයි නොදත් හේ හිටිවනම නතර විය. බුදුන් වහන්සේ ඒ යසකුල පුතුගේ පියා බවත්, ඔහු සිය පුතු සොයා මාලිගාවෙන් නික්‌ම ආ බවත් සැණකින්ම දැන ගත් සේක. ඔහු සමඟÊකතා කළහොත් එය යහපතැයි සිතූ උන්වහන්සේ, ඔහු දෙසට නෙත් සඟල යොමු කර ” එන්න එන්න” යෑයි වදාළ සේක. ඒ වදන් සිටුවරයාගේ සිරුර පුරා දිව යන මුදු සිසිලක්‌ සේ ඔහුට දැනුණි. මෙතෙක්‌ හද දැවූ සෝ ගිනි ද දුරු වූ බවක්‌ ඔහුට හැඟුණි. මේ ආශ්චර්ය සාමාන්‍ය පුද්ගලයෙක්‌ කෙරෙහි නම් විය නොහැක්‌කේ යෑයි සිතූ හෙතෙම මඳක්‌ ඉදිරියට ගොස්‌ “ඔබගේ විලාසයද, ඔබගේ වදන් ද මට මහත් සුව දනවයි. මා පැමිණියේ හිස ගිනිගත් අයෙකු ලෙසය. එහෙත් එගිනි නිවන මං ඔබ කෙරෙහි ඇතැයි මට හැඟෙයි…….” යනාදී වශයෙන් බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාද සිතැතිව කියා සිටියේය.
“මම බුද්ධ නම් වෙමි. ඔබ ඇතුළු මේ මිහිතලයම දවන ගිනි මම නිවා ලූයෙමි. එන්න මම ඔබට පිළිසරණ වෙමි. යළි කිසි දිනක මෙවන් ගින්නක්‌ ඔබට නොඑන්නට ද මඟ පෙන්වමි. එන්න මේ අසලින් හිඳගන්න” යනුවෙන් බුදුහු සිටුවරයාට පිළිවදන් දුන්හ. සිටුවරයා ද තමන්ට මහත් ප්‍රතිලාභයක්‌ අත්වන බව සැක හැර දැන බුදුන් වහන්සේට නමස්‌කාර කර අසලින්ම හිඳ ගත්තේය.
මෙය සෘෂිවරුන්ගේ වාස භූමියක්‌ බව නම් ප්‍රකටය. එහෙත් මෙහි බුදු කෙනෙක්‌ වසන බවක්‌ මේ වනතෙක්‌ නොදත්තෙමි. තවද මම ඔබ වහන්සේ කෙරෙහි මනාව පැහැදුනෙමි. එහෙයින් ඔබගේ යම් ඉගැන්වීමක්‌ ඇද්ද මම ද එය පිළිගන්නෙමි යි සිටුවරයා ද කියා සිටියේය.
එබසට බුදුන් වහන්සේ කියන සේක්‌,
“ඔබ භාග්‍යවන්තයෙකි. මේ මොහොත වන විට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෝ පහළව සිටිති. මතු මුළු මහත් දඹදිව් තලයෙහි ද ඉන් ඔබ්බෙහි ද විසිර පැතිර යන සදහම් ගංගාවෙහි බිඳුවක්‌ මුව ළා ගන්නා ඔබ මගේ පළමු උපාසකයා ද වන්නේ යෑයි” වදාළේය.
සිටුවරයා මහත් සේ පුමුදිතව මොහොතක්‌ සිට මේ දුර ගෙවා තමන් පැමිණි කරුණ පිළිබඳව ද විමසිය යුතු යෑයි සිතුවේය. ඔවුන්ගේ සිත දත් නමුදු බුදුහු නිහඬවම වැඩ උන්හ.
“බුදුන් වහන්ස, මම අද අලුයම් වේලෙහි මා නිවසන සිටු මැදුරෙන් බැහැරව යස නම් වූ මගේ එකම පුතු සොයා පැමිණියෙමි. හේ ඊයේ රාත්‍රියෙහි සිට අතුරුදන්ව සිටියි. ඒ පුතු වියෝගයෙන් කම්පාවූ මගේ සිටු දේවිය සුජාතා කිසිදු අස්‌වැසිල්ලක්‌ නොමැතිව පසුවන්නීය. මා මැඳුරෙන් පිටවන මොහොත දක්‌වාත් ඇය උපවාසය අත් නොහැරියාය. එනිසාම දුබලව ද පීඩාවට පත්ව ද සිටින්නීය. මපුතු මේ දිසාවට ආ බවට ඔහුගේ මිරිවැඩි සඟලෙහි වූ සටහන් ද මම හඳුනා ගත්තෙමි.” යනාදී වශයෙන් සියලු කරුණු ද බුදුන් වහන්සේට සැලකර සිටියේය. බුදුන් වහන්සේ ද තරමක්‌ නුදුරුව තිබුණු යසගේ මිරිවැඩිසඟල, ඔහුට පෙනෙන්නට සැලැස්‌වීය.
සිටුවරයා එකවරම එය සිය පුතුගේ මිරිවැඩි සඟල බව හැඳින්නේ මහත් සතුටට පත්විය. එහෙත් ඒ සමගම ඔහුට කුමක්‌ සිදුවූයේද යන්න උභතෝකෝටිකය ද ඔහු තුළ වැඩුණි.
බුදුහු ඔහුගේ සිත මනාව දත්හ. එහෙත් පුත්‍රයා ඔහුට නොදක්‌වාම ඔහුට සරල ධර්මයක්‌ දේශනා කළේය. මනුෂ්‍ය ස්‌වභාවය නම් කෙළෙස්‌ වැඩීම බවත්, එනිසාම සසර ගමන නිම නොවන බවත් බුදුහු වදාළහ. දැන් ලොව ධර්මය පහළ වී තිබෙන බවත්, ඒ සඳහම් මාර්ගය කෙලෙස්‌ නැසීමට උපකාර වන අයුරුත් පහදා දෙද්දීම සිටුවරයා මනාව ධර්මාවබෝධය ලද්දේය. ඔහු තුළ වූ සෝකය ද නිවී ගියේය. සිතට මහා අස්‌වැසිල්ලක්‌ ද දැනෙන්නට විය. ඒ දහම් මෙනෙහි කළ ඔහු එවේලෙහිම සෝවාන් ඵලයට ද එළඹුණි.
අනතුරුව බුදුන් වහන්සේ සිටුවරයා අසලට පුතු ද කැඳවා ලූ සේක. ඒ මොහොත වන විට යස සිය පියාණන්ට දෙසූ ධර්මය ශ්‍රවණය කර රහත් භාවයට ද පත්ව සිටියෙන් පියා ඉදිරියට පැමිණියේ පැවිදි වෙසින් ය. එක්‌වරම සිය පුතු හඳුනා ගැනීමට තරම් සිටුවරයා ප්‍රඥ සම්පන්න වන බවදත් බුදුහු තමන් වහන්සේ වෙතට ඔහු කැඳවද්දීම ඒහිභික්‍ෂු භාවයෙන් පැවිද්ද ලබා දුන් සේක. අනතුරුව බුදුහු මෙසේ වදාළහ.
“භාග්‍යවත් සිටුතුමනි, මේ ඔබගේ පුත් යස දැන් සියලු කෙලෙස්‌ සිඳ සසර ගමන අවසන් කළ අයෙකි. ඔහුගේ සිත සන්සුන්ය. එහි යළි කිසි ලෙසකින් කෙළෙස්‌ නමැති රජස්‌ තැන්පත් වීමක්‌ නැත්තේය. ඔවුන් මේ සම්බුද්ධ ශාසනයෙහි සත්වන සාමාජික රහතන් වහන්සේය.”
සිටුවරයා ද සිය පුතු බුද්ධ ශ්‍රාවකයෙක්‌ බවට පත්වූ අයුරු දැක පස්‌වනක්‌ ප්‍රීතියෙන් සාදුකාර දුන්නේය. සිය දේවියට කුමක්‌ කියන්නේ දැයි යන පැනය ද එවේලෙහි ඔහු තුළ නැඟුනි. යළිත් සැණකින් ම සිහි නුවණින් කල්පනා කළ සිටුවරයා පසුදින දානය සඳහා බුදුන් ප්‍රමුඛ සත්නමටම සිය මන්දිරයට ඇරයුම් කර සිටියේය.
සිටුවරයා ආපසු මැඳුරට යද්දීත් සියල්ලෝම සෝක භරිතව සිටියහ. සිටුවරයා ආපසු පැමිණි වග දත් සුජාතා දේවිය වහා යහන් ගබඩාවෙන් පිටතට දිව ආවාය. එහෙත් පුතු නොදුටු ඕ කලබලයට පත්වූවාය. සිටුවරයා ඕ අස්‌වසා පසුදින පුතු මැඳුරට එන බව ස්‌ථිරවම පැවසීය. එහෙත් ඇයගේ සිතට සැනසීමක්‌ නම් නොවීය. ඇගේ සිත කුහුලින්බර විය. පසුව සිටුවරයා තමන්ට හමු වූ ශාස්‌තෲවරයාණන් පිළිබඳව විස්‌තර කළේය. උන්වහන්සේ බුද්ධ නමින් හැඳින්වෙන බවත්, තම පුත්‍රයා ද දැනටමත් බුදුන්ගේ අනුගාමිකයකු වී සිටින බවත් හෙතෙම දේවියට පැහැදිලි කළේය.
පසුදින උදැසනම බුදුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා සත්නම සිටුවරයාගේ මන්දිරයට දන් පිණිස වැඩම කළහ. මාලිගාවේ සේවක සේවිකාවෝ ද කසාවතින් බබලන සන්සුන් ගමන් ඇති බුදුන් ප්‍රමුඛ රහතන් වහන්සේ දැක සාධුකාර දුන්හ. මැඳුරට වැඩම කළ බුදුහු දන් වළ¹ අනුමෝදනා බණක්‌ ද දෙසූහ. දහම් අසා සිටි සුජාතා දේවියගේ සිතට ද ක්‍රමයෙන් අස්‌වැසිල්ලක්‌ දැනෙන්නට විය. පුත්‍ර ස්‌නේහය වෙනුවට ජිවිතාවබෝධය ලද ඇය පුතු ලද පරම ධනය පිළිබඳව ද සතුටු වූවාය.
මේ වනවිට සිය කලණ මිත්‍ර යස මාලිගාවෙන් අතුරුදන් වූ පුවත දැන සිටි යසගේ විමල, සුබාහු, පුණ්‌ණජි, ගවම්පති යන මිතුරෝ ද, සිටු මැඳුරට පැමිණ සිටියහ. බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ ජීවිත විග්‍රහය පිළිබඳවත් මහත් සේ ප්‍රසාදයට පත් යසගේ මිතුරෝ තමන් විසින් අත්විඳින ලද සුවය පිළිබඳව ඔවුන්ගේ මිතුරන්ට ද කීහ. මේ සියල්ලෝම යස ගෙවූ කාම භෝගී ජීවිතය මෙන්ම එයින් ඈත්වීමට යස තුළ වූ අපේක්‍ෂාව ද මනාව දැන සිටියෝය. තම මිත්‍රයා විසින් ලබා ගන්නා ලද අභිනව ශාන්ති මාර්ගය පිළිබඳව ඔවුන්ගේ සිත ද දැඩිව යොමු විය. ඒකාන්තයෙන් ම කාය චිත්ත විවේකයක්‌ සඳහා තමන් ද යොමු විය යුතු බව ඔවුහු සිතූහ. තවත් කල් නොබැලූ යසගේ මිතුරෝ ද ප්‍රමුඛ පනස්‌දෙනෙක්‌ මිගදායට ගොස්‌ බුදුන් වහන්සේ හමුව ධර්මාවබෝධය ලැබ රහත් වූහ.
මේ වන විට බුදුන් වහන්සේ ද ධර්ම ප්‍රචාරක කාර්ය ආරම්භ කිරීම මැනවැයි නිගමනය කර සිටි සේක. පස්‌වග රහතන් වහන්සේ ප්‍රමුඛ හැට එක්‌ නමක්‌ පමණ වූ රහතන් වහන්සේ තමන් ඉදිරියට කැඳවූ බුදුහු මෙසේ වදාළහ.
“මහණෙනි, දැන් ලෝ වැඩ සඳහා අප්‍රමාදව යොමු විය යුතුය. වැසි සමයද, තව නොබෝ දිනකින් නිම වන්නේය. ගහකොළ නිල්වන්ව සුදිලෙයි. ගඟ දිය ද සුනිල්ව ගලා යයි. ගම් දනව්වල වැසියෝ ද අස්‌වනු කපා පාගා අටු කොටු පුරවා යළි කුඹුරු වපුරන්ටත් අනෙක්‌ භව භෝග වවන්ටත් සූදානමින් සිටිති. ඉදින් මට ද මෙම සඳහම් නමැති කෙත අස්‌වැද්දීමට කාලය එළඹ තිබේ. සියලු සත්ත්වයාගේ හිත සුව පිණිස ඔබ වහන්සේලාද දහම්හි හැසිරෙමින් ගම් දනව්වල සැරිසැරිය යුත්තෝය. කිසි විටෙක දෙදෙනෙක්‌ එක මඟක නොයා යුත්තෝය. මේ කෙළෙස්‌ රජස්‌ සහිත සත්ත්වයා ඉන් මුදවා ඔවුන් මුව දහම් අමා රැඳවීම ඔබට බාරය. මමද ඔබ යන මඟ හැර වෙනත්ම මඟක යන්නෙමි. සුඛ හා දුක්‌ඛ යන ධර්මතා පහදා දෙමින් සිහියෙන් යුතුව ක්‍රියා කිරීමේ අනුසස්‌ මිනිස්‌ වර්ගයාට පහදා දීම අපට බාරය. සියලු සත්ත්වයන්ට යහපත පිණිස ධර්මය දෙසිය යුතුය. පානාතිපාතය ද, සොරකමද, මෙවුන්දම් සෙවීමද, බොරුවද. රහමෙර පානයද යනාදී සරල පන්සිල් මඟ පළමුව දෙසීම අර්ථවත් වේ. එසේම මෙම බුදු සසුනට ඇතුළත් වීමට යම් කෙනෙක්‌ රිසි වන්නේ නම් ඒ සඳහා ඔබට පූර්ණ අවසර ද තිබේ.
අනතුරුව බුදුන් අනුදැන වදාළ අයුරින්ම සියලු රහතන් වහන්සේ සිය ධර්ම චාරිකා ඇරඹුහ. බුදුහු හුදෙකලාවම උරුවෙල නම් ජනපදය බලා වඩින්නට වූහ. ඒ යන අතර මඟ වන පලතුරක්‌ වළඳමින් වඩිමින් සිටි උන්වහන්සේ එක්‌ රුක්‌ සෙවණක විවේකී සුවයෙන් වැඩ සිටි සේක. ඒ රුක්‌ සෙවණට මඳක්‌ ඔබ්බෙහි රමණීය වෙල් යායක්‌ විය. ඒ මැදින් ගලා යන කුඩා දිය දහරක්‌ ද විය.
මේ අතර භද්දවග්ගිය නමින් ප්‍රකටව සිටි කුමාරවරුන් තිස්‌දෙනෙක්‌ ද විනෝද වීම සඳහාම ඒ වෙල්යායට පැමිණ සිටියහ. ඔවුහු මනා රුවින්ද, උතුම් ගුණයෙන් ද යුතු වූහ. භද්දවග්ගිය යන නාමය ඔවුන්ට ලැබුණේ එක හා සමාන සිත් ඇති යන අරුතින්ය. ඔවුන් වාසය කරන ලද්දේ කොසොල් රජු විසින් දෙන ලද කුඩා ජනපදයකය. මෙම කුමාරවරු එක්‌ව යති. එක්‌ව හිඳිති. එක්‌ව විනෝද වෙති. මේ දිනයෙහි ද ඔව්හු එක්‌වම වන ක්‍රීඩාවක නිරත වන්නාහු කෙළි දෙළෙන්ම පසුවූහ.
මේ තිස්‌දෙනා අතර එක්‌ අයෙක්‌ අවිවාහකව සිටියේය. හේ එදින නගර සෝබිනියක්‌ කැඳවා ඇය සමඟ සෙසු කුමාරවරුන්ට එක්‌විය. භද්දවග්ගිය කුමාරවරුන් ප්‍රීති ප්‍රමෝදයෙන් බොහෝ වේලාවක්‌ ගෙවා දමා අනතුරුව ආපසු යැමට කතිකා කර ගත්හ. ඊට පෙර ස්‌නානය කළ යුතු යෑයි කතිකා කරගත් සියල්ලෝම එහි වූ කුඩා දියපහර වෙතට ගියහ. මෙහිදී අවිවාහක කුමරුන්ගේ හුදෙකලාව දුරලීමට පැමිණි අබිසරුලිය පමණක්‌ තමන්ට ස්‌නානය කිරීමේ අදහසක්‌ නැතැයි කියා සිටියාය. මේ කුමාරවරුද ඇය කෙරෙහි කිසිදු සැකයක්‌ නොකර, “එසේ නම් නුඹ අපගේ අබරණ ද, ඇඳුම් ද තබා ගෙන මෙහි සිටිනු මැනවැයි” ඇයට පවසා, තම තමන්ගේ සියලුම වස්‌ත්‍රාබභරණ ද ඇයටම දුන්හ. ඔව්හු සිත්සේ දිය ක්‍රීඩා කර පසුව හැඳ පැළද ගැනීම සඳහා ඒවා මුදාහල ස්‌ථානයට පැමිණියහ. ඒ වන විට අබිසරු ලිය ද “මට මේ අබරණ ඇත්නම් සැපවත් ජීවිතයක්‌ ගෙවිය හැකි යෑ” යි ඒ කෙරෙහි ලොබින් ඒ සියල්ල ද රැගෙන පලා ගොස්‌ සිටියාය. හැඳ පැළඳ ගැනීමට පැමිණි කුමාරයෝ ඇය නොදැක මහත් සේ කලබල වූහ. ඔවුන්ගේ මෙහෙසියෝද තමන් මහා උගුලක වැටුනු වග ඉඳුරා දැන ගත්හ. දැන් කුමක්‌ කරමුදැයි විමසිලිමත් වූ ඔවුහු ඒ මේ අතට ඇවිද වට පිට බලන්නට ද වූහ. එහෙත් කිසිවෙකුට ඇය ගිය දිසාවක්‌ හෝ සොයා ගත නොහැකි විය. අන්ද මන්ද වූ ඔවුහු වනගැබ තුළට දිව යන්නාහු එහි විසල් රුක්‌ මුලක සමාධි සුවයෙන් වැඩ හිඳින බුදුන් වහන්සේ දුටහ. සෙමෙන් උන්වහන්සේ වෙත සමීප වූQ කුමාරයෙක්‌ “දැන් මෙතනින් එක අබිසරු ලියක්‌ දිව ගියේදැයි” විමසීය. බුදුන් වහන්සේ සන්සුන්ව ඔහුගෙන් ඇසුවේ කුමක්‌ හෙයින් කතක්‌ ගැන සොයන්නේද යන වගයි. ඉක්‌බිති ඔව්හු ඇය පැමිණි ආකාරයත්, අනතුරුව සියලු වස්‌ත්‍රාභරණ සොරා ගෙනසැඟව ගිය ආකාරයත් විස්‌තර කළහ. බුදුහු ඔවුන් කළ විස්‌තර අසා සිටි නමුදු ඔවුන් මුහුණ දුන් සියලු විපත ඉඳුරා දත්හ.
“හොඳයි සැඟව ගිය ස්‌ත්‍රියක්‌ සෙවීමට වඩා තමන් ගැන සෙවීම යහපත් නොවේ දැයිබ” එවේලෙහි බුදුහු විචාලහ. පැණසර කුමාරවරු ඒ පැනයෙහි සියලු අරුත් දැන පැනගිය අයකු සෙවීමට වඩා තමන් ගැන සෙවීම යහපත් බව කියා සිටියහ. බුදුහු ඔවුන්ට අනුරූප වන දහමක්‌ දෙසූහ.
කිසිවෙක්‌ ස්‌ත්‍රී රූපය සුබ වශයෙන් ගන්නේද හේ එහිම ඇලෙයි. රූප, ශබ්ද. ගන්ධ, රස, ස්‌පර්ශ යනු පුද්ගලයා බැඳ තබන බැමි හා සමානය. මේ බැමි සිඳීම ශාන්තියකි. ස්‌ත්‍රීන් කෙරෙහි නොබැඳී එහි ආදීනව දන්නා හු ස්‌ත්‍රී අලංකාර යථාර්ථයෙන් දැන හඳුනා ඉන් ඈත් වෙති. බුද්ධිමත්හු එබඳු ලාමක දේවල්වල නොඇලෙති.
බුදුන් වහන්සේගේ මෙම විග්‍රහය ඇසූ කුමාරවරුන්ට උන්වහන්සේගේ අනුගාමිකයන් වීමේ මහා දොළක්‌ ඇතිවිය. අනතුරුව ඔව්හු සිය භාර්යාවන් ආපසු පිටත් කර යවා බුදුන් වෙත පැමිණියහ. බුදුන් වහන්සේ ද ඔවුන්ට භික්‍ෂුත්වයෙහි ගාම්භීරත්වය පහදා දී ඔවුන් ද ඒහි භික්‍ෂුභාවයෙන් පැවිදි කළහ. අනතුරුව ඔවුන්ට ද තිස්‌ මඟකින් ගමන් කර ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වන ලෙස අනුශාසනා කළ බුදුහු මෙත් මුදිතා ගුණයෙන් ක්‍රියා කළ යුතු බවද, විශේෂයෙන් සඳහන් කළ සේක.
බුදුන් වහන්සේගේ අනුශාසනාව තුෂ්ණිම්භූතව ඉවසූ භද්දියවග්ගිය තෙරවරු මෙබඳු ප්‍රශ්නයක්‌ ද නැගූහ.
“භාග්‍යවතුන් වහන්ස, මේ දඹදිව් තලය විවිධ ආගම් ශාස්‌තෲන්ගෙන් නොඅඩු දේශයකි. බොහෝ දෙනෙක්‌ තම තමන්සතු බල මහිමය ද දක්‌වන්නෝ ය. ඒ අතර රජ, සිටු, වෙළෙඳ ප්‍රභූන්ගේ සිත් ගත්, ඔවුන්ගේ පුද සත්කාර ලබන්නෝ ද වෙති. ඇතැම් කෙනෙක්‌ තමන් විවිධ දෙවි දේවතාවන්ගේ අවතාර ලෙස ද හඳුන්වා ගන්නෝය. බාහිර බලවේග මැඬලීමේ හාස්‌කම් දොඩන්නෝය. එබඳු මුල්බැසගත් මිථ්‍යාවන් අතර බුද්ධ නාමය දත් අය සිටිතැයි අපි නොහඟිමු. එයට දියහැකි සුවිශේෂ පිළිතුරක්‌ වන්නේද?”
බුදුන් වහන්සේට සිහිපත් වූයේ තමන් වහන්සේ විසින් උපක නම් ආජීවකයාට දෙන ලද පිsළිතුරය. එනම් තමන් දෙවියකු, බඹකු හෝ වෙනත් බලමහිමයකින් පහළ නොවූ මිනිසකු බවය. ඒ මනුෂ්‍යත්වය ආශ්චර්යමත් වූද, අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් මොනවට සුසැදි වූද එකක්‌ බවය. බුද්ධත්වය යනු ප්‍රඥාවෙන් ලද යුතු දෙයකි. මනුෂ්‍යත්වයට වඩා උතුම් හෝ ප්‍රබල කිසිවක්‌ නැති බව ද බුද්ධ වචනය විය. අනතුරුව උන්වහන්සේ මෙසේ පිළිවදන් දුන් සේක.
“මගේ දහම බුද්ධියේ අග්‍රඵලයක්‌ සේ පහදා දෙනු මැනවි. තමාට පිහිට තමාමය යන්න මවිසින් ඉඳුරා පසක්‌ කරන ලද්දකි. තම බුද්ධි මහිමය ඉවහල් කරගෙන විමුක්‌ති මාර්ගය දිගේ ගමන් කළ යුතුය. එය අනෙකකුගේ ප්‍රදානයක්‌ නොවේ. අන් අයකු විසින් නෙළන ලද ඵලයක්‌ බුදින අයුරින් එය පරිභෝජනය කළ නොහැක්‌කේමය. බුද්ධ යනු ඒ සත්‍යාලෝකයේ හිරුය. ඒ හිරු එළිය අඳුරු නසා ලොව එකෙලි කරන්නකි. මගේ ඉගැන්වීමේ ගැලවිලිකාර දෙවියෝ නොවෙති. තමාම තමාට පහනක්‌ වන බව මම දිගු සසර චාරිකාවකින් ප්‍රත්‍යක්‍ෂ කර ගත්තෙමි. එනිසා මේ ධර්මය තමා විසින්ම පමුණුවා දත යුතු ධර්මයක්‌ බවත්, ජනතාවට පහදා දීම වටනේය. එය ආශිර්වාදයෙන් ලද නොහැක්‌කේය. දුක දිනාගත හැක්‌කේ එය දුකක්‌ බව දැන ඉන් මිදෙන මඟ ඔස්‌සේ පමණි. එහි අවසානය නිවන හෙවත් නිවීමය. සත්‍යය යනු සත්‍යයමය. එය කාගෙන් කෙලෙස ලද්දක්‌ ද යනු සෙවීම නිර්මලය. අතැඹුලක්‌ හෙවත් නෙල්ලි ගෙඩියක්‌ අත්ලෙහි තිබෙන විට එයි තතු බැහැරින් සොයන්නෝ සිටිත්ද?”
බුදුන් වහන්සේගේ එම විග්‍රහය අවසානයේ උන්වහන්සේලා ප්‍රබෝධමත්ව සාදුකාර දුන්හ. සම්මා දිට්‌ඨ§ය යනු යථාර්ථවාදීව පහළවන්නා වූ පළමු ප්‍රඥාලෝකය බවද උන්වහන්සේලා සිතූහ. මේ පෘථග්ජන ලෝකය තුළ මේසා ප්‍රබල සද්ධර්ම මණ්‌ඩපයක්‌, මේ සා තෙදවත් සූර්ය මණ්‌ඩල දහසක්‌ පහළව තිබියදීත් ඒ සියලු අන්ධකාර නැසිය නොහැකි දැයි උන්වහන්සේලා සිතූහ. ඒකාන්තයෙන්ම මේ පුහුදුන් ජනයා සදහම් මඟට යොමු කරන්නෙමුයිද, දැඩිව සනිටුහන් කරගත්හ. බුදුන්ගේ ශ්‍රාවකයන් වන අපට සෙසු අයට ඒ දහම් තෝරා පහදා දී මේ ශක්‌තිය ද නොමඳව තිබෙන බවද උන්වහන්සේ සිතූහ.

ගාමිණි සුමනසේකර

09. තුන් බෑ ජටිලයෝ බුදුන් සරණ යති ...
07. නාටිකාවන්ගේ විප්‍රකාර මැද යස මාලිගය හැර යයි!

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.