07. නාටිකාවන්ගේ විප්‍රකාර මැද යස මාලිගය හැර යයි!

ඇසල සඳ බැස ගිය අහස්‌ කුස පාලුව මකන්නට මෙන් තරු පොකුරු එල්ලා තිබුණි. ඇදෙන සුළං වැල් සමඟ සිහින් සීතලක්‌ මුසු විය. ග්‍රීෂ්ම කාලයේ අවසාන දින කීපයෙන් පසු එළඹෙන වැසි සමය සොබා දම් දිනිතියට නිසැක අස්‌වැසිල්ලකි. වැහි බිඳුවක සීතල අපේක්‍ෂාවන් තුරු සුසුම් ලන්නාක්‌ මෙනි. සිදුහත් ගෞතමයන්ටද සිදු වෙමින් තිබෙන කාලගුණ විපර්යාසය මනාව දැනෙන්නට විය. වර්ෂාවේ ශාන්තිය මිහිකතට ආශිර්වාදයක්‌ බව උන්වහන්සේ සිහි කළේය. ලියගොමුමලින් පුබුදු කරමින් තුරු පෙළ මවන නෙත්කලු දසුන් මිහිමත සිටින සියලු සතුන්ට නව ජීවයක්‌ කවන්නාක්‌ මෙනි. එවේලෙහි බුදුන් වහන්සේගේ සිත තුළ මෙවන් සිතිවිලි ධාරාවක්‌ නැගුණි.

“දැන් එළඹෙන්නේ වැසි සමයයි. හාත්පස වන බිම්ද තණ බිම්ද දියවැල්ද එයින් මනාව ප්‍රමුදිත වන්නේය. වැසි වැටෙන බිම ලිහිල්ව මෘදුව පය නගනු නොහැකි තරමට දියාරු වන්නේය. දිය රේඛා වැසි දියෙන් පුළුල්ව ගලා යයි ඇතැම් විටෙක ගඟ දිය උතුරා යන්නටද පටන් ගැනෙයි. මේ සියලු විපර්යාස මැද මිගදාය තුළටම සීමා වූ සති කීපයක්‌ එළඹෙයි. එසේ වුවද බහුජන හිත පිණිස බහුජන සුව පිණිස කෙරෙන සඳහම් චාරිකාවේ සියලු කටයුතු මෙහි සිට සැලසුම් කළ හැකිය. වැසි නිම වන තෙක්‌ මෙහිම වැඩ වැසීම වඩාත් යෝග්‍ය වේ.”

බුදුන් වහන්සේ වැසි සමය මිගදායෙහි විසීමට ගත් තීරණය පස්‌වග තවුසෝ නොදත්හ. ඔවුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතමයා මෙන්ම සියුම් බුද්ධියෙන්ද පිරිපුන් කොණ්‌ඩඤaඤ නම් තවුසා සිතන්නේ බුදුන් වහන්සේට වැසි සමය නිම වනතෙක්‌ මිගදායෙහිම විසීමට ආරාධනා කළ යුතු බවය. හේ සන්සුන්ව පැමිණ සිදුහත් ගෞතමයන්ට නමස්‌කාර කළේය.
උන්වහන්සේ කොණ්‌ඩඤaඤගේ සිත ඉඳුරා දන්නේය. එසේම එහිදී ඔවුන්ටද වෙනත් අයටද අත්වන ප්‍රතිලාභද බුදු ඇසින් දැක තුෂ්ණීම්භූතව වැඩ සිටියේය. උන්වහන්සේ තමන්ට සවන් දීමට රිසි බව දත් කොණ්‌ඩඤaඤ තවුසා යළිත් බුදුන්ට නමස්‌කාර කර මෙසේ පැවසීය.
අවසරයි භාග්‍යවතුන් වහන්ස. තව දින කීපයකට පසු වස්‌සාන සමය එළඹෙයි. ඔබ වහන්සේද පෙර සුපුරුදු මේ අසපුවෙහි සිදුවන සියලු වෙනස්‌කම් ඉඳුරා දන්නෙහිය. වැසි සමය අප අසපුවටම සීමා කරයි. පිණ්‌ඩපාතය සඳහා යැමට පවා බාධා සිදුවෙයි. එහෙත් ඉඩ ලැබෙන පරිදි මේ සති කීපය තුළ සදහම් අමා පැන් සැනහීමටත්, මතු සිදු කෙරෙන කටයුතු සැලසුම් කිරීමටත් බාධාවක්‌ නැත. දැන් අප පස්‌දෙනාම ඔබ වහන්සේගේ ඒකාන්ත අනුගාමිකයෝය. අප යම්තම් ලද ඒ දහම් මිහිර වඩාත් විචිත්‍රවද, ගැඹුරුවද විඳිනු රිසියෙමි. එසේම ඒ දහම් උපන් බව අවිද්‍යාවෙන් වැසී ගිය ලොවට කියන්නටද ලෝ සතුන් ඒ මග වෙත යොමු කරවන්නටද ඔබ වහන්සේ දරණ ප්‍රයත්නයට අපටද දායක විය හැකි නම් එයද අපගේ භාග්‍යයකි. ඉඳින් ඔබ වහන්සේ අනුදැන වදාරණ සේක්‌ නම් මෙහි වස්‌ වසනු මැනවැයි ආරාධනා කළේය.
එවේලෙහි බුදුන් වහන්සේද කොණ්‌ඩඤaඤයන්ගේ ආරාධනාව ඉවසා සිටියහ. සිය මංගල ධර්ම දේශනාවෙන් වඩාත් ප්‍රතිලාභ අයත් වූයේ මිනිස්‌ ලොව ජනයාට නොව දෙව් බඹුන්ට බවද උන්වහන්සේ සිහි කළහ. එදා දම්සක්‌ දෙසුමට සවන් දුන් දෙවියෝ අසංඛ්‍යයක්‌ පමණද බ්‍රහ්මයෝ කෝටියක්‌ පමණද සසර දුක්‌ නිවා නිවන් දුටහයිද බුදුන්ට සිහි විය. තවත් අප්‍රමාණව භුමාටු දෙවියෝද වෙනත් සක්‌වල ප්‍රාණිහුද සදහම් මාවත දුටහයිද උන්වහන්සේට සිහිපත් විය. තව නොබෝ දිනකින්ම මේ පස්‌වග තවුසන්, පස්‌වග මහණුන් බවට පත්ව සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනය උදෙසා කැපවන අයුරුද උන්වහන්සේ සිහි කළහ. එසේ සිතූ උන්වහන්සේ කොණ්‌ඩඤaඤයන් අමතා තමන් වහන්සේ මිගදායෙහි වස්‌ වැසීමට රිසි බව දැන්වූහ.
අනතුරුව බුදුන් වහන්සේ පස්‌වග තවුසන් සමඟ දහම් සාකච්ඡාවලද නිරත විය. ඉන්ද්‍රියයන් පිනවීමේ අන්තයත්, සිරුරට දුක්‌දීමේ අන්තයත් අතහැර මැඳුම් පිළිවෙත ඔස්‌සේ යමින් තමන් වහන්සේ අත්පත් කරගත් සත්‍යය පිළිබඳ ඇතැම් කරුණුද එහිදී පස්‌වග තවුසන්ට උන්වහන්සේ සරලව දේශනා කළ සේක. ඉදින් සමාධි සිතින් මේ ධර්මතා මෙනෙහි කරන ඔබට ඉතා ඉක්‌මනින් නිවන් දොර විවර වනු ඇතැයිද උන්වහන්සේ පස්‌වග තවුසන් දිරිමත් කළහ. අනිත්‍ය ධර්මය සමඟ රූප, වේදනා, සඤaCදා, සංකාර, විඤaCදාන අතර සහ සම්බන්ධතාවද පැහැදිලි කළ බුදුහු ඔවුන්ට තවත් උපකාර කළෝ ඉක්‌මනින්ම කෙලෙස්‌ නසා රහත්භාවයට එළඹීමටය.
පස්‌වග තවුසන් අතර සිටි ප්‍රමුඛයා කොණ්‌ඩඤaඤය. හේ සෝවාන් බවට පත්ව බුදුන් වහන්සේ වෙත එළඹ තමන්ට පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. බුදුහු එවේලේම ඔහු දෙසට සුරත දිගු කර “මහණ මෙහි එවයි” වදාළහ. සෙසු තවුසෝද විස්‌මිතව බලා සිටියහ. ඔවුන්ට දැක ගත හැකි වූයේ තපස්‌ පෙනුම දුරු කළ මනාව සිවුරු පොරවන ලද ශ්‍රමණ විලාසයකි.
අනතුරුව බුදුන් වහන්සේ ඉතිරි තවුසන් සිව්දෙනාද වෙන වෙන වෙනම කැඳවා භාවනා සඳහා ඇවැසි කමටහන්ද ලබා දුන් සේක. ඔව්හුද මහත් අධිෂ්ඨානයෙන් ඒ ධර්මය සිහිපත් කරන්නාහු මාර්ගඵල අවබෝධ කර ගත්හ. වප්ප, භද්දිය දෙවනුවද මහානාම, අස්‌සජි තෙවනුවද වශයෙන් පැවිදි වරම් ලැබ සසුන්ගත වූහ. බුදුන් වහන්සේ සිය ඉපැරණි මිත්‍රයන් වූ පස්‌ වග තවුසන් පස්‌වග මහණුන් බවට පත්වූ අයුරු දැක උපේක්‌ෂාවෙන් බලා ඔවුන්ට අනන්ත ලක්‌ඛණ සූත්‍රයෙන් දහම් දෙසූහ. ඒ ඇසූ පස්‌ නම අර්හත් භාවයට එළඹියහ. බුදුහු මෙලෙස රහත් බව ලද පස්‌නම අමතා බුදු සසුන දැන් ලොව පහළ විය. එය ඉතා කුඩා දිය බිඳක්‌ සේ පැන නැග අතු ගංගා ලෙසද, මහා ගංගා ලෙසද අප්‍රමාණ සිහිල් පැනින් යුත් සාගර ලෙසද මෙතැන් පටන් ගලා බසිනු ඇතැයි කීහ. පස්‌වග තෙරුන් වහන්සේලා සාධුකාර දුන්හ. ඒ හඬ දෙව්ලොවට ද බඹ ලොවටද විදුලියක්‌ සේ දිවීය. ඉන් ප්‍රමුදිත වූ දෙව් බඹහුද යළිත් සාධු නද දුන්හ.
මිගදා අසපුව මෙලෙස ලෝ සතුන්ගේ පරම ශාන්තිය උදෙසාම වූ කටයුතු වෙත යොමු වෙද්දී තවත් සුවිශේෂ දෙයක්‌ද සිදුවන බව බුදුන් වහන්සේ දිවැසින් දුටු සේක. තමන් වහන්සේ සමඟ සය නමක්‌ වූ රහතුන් වහන්සේලාගේ සමාජයට මෙහිදී තවත් කීප දෙනෙකුම එක්‌ වන අයුරු උන්වහන්සේ දුටහ. එසේම කීප දෙනෙක්‌ පන්සිල්හි පිහිටා සම්මා දිට්‌ඨිය ලබන අයුරුද බුදු ඇසට යොමු විය.
එදා අලුයම් වේලෙහි තමන් වහන්සේ වෙත එළඹෙන යස නම්වූ තරුණ සිටු පුතු පිළිබඳව දිවැසින් දුටු බුදුන් වහන්සේට අබිනික්‌මනට පෙර තමන් වහන්සේ විසින් ගෙවන ලද නිෂ්ඵල ජීවිතයද සිහි විය. තමන්ට ලැබෙන සක්‌විති පදවිය කෙරෙහි ලොබින් පිය රජු විසින් තමන් මාලිගාවෙහි රඳවා ගැනීමට යෙදූ සියලු උපක්‍රමද උන්වහන්සේට මතක්‌ විය.
මේ යස නමැති සිටුවරයාද විසල් ධන ඇති මහසල් කුලයක ඉපිද යස ඉසුරු විඳිමින් දිවි ගෙවූ අයෙකි. එහෙත් ඔහුගේ සිත බෙහෙවින් සංවේදී විය. වහා යමක්‌ කෙරෙහි කලකිරෙන ගුණයක්‌ද ඔහු තුළ විය.
මේ සියලු තතු දත් යසගේ මව වන සුජාතා සිටුදේවිය ඉතා සියුම්ව ඔහු සියලු මනදොළ සපුරා ලීමේ පිළිවෙතක්‌ කෙරෙහි යොමු වූවාය. එයට සුවිශේෂ හේතුවක්‌ද විය. ඒ යසගේ ජන්ම පත්‍රය බැලු එක්‌ නැකැත්කරුවකුගේ අනාවැකියකි. ඔහු පවසා සිටියේ යස යම් දිනක තමා විඳින සියලු යස ඉසුරු අතහැර සෘෂි ජීවිතයක්‌ තෝරා ගන්නා බවය. මේ අනාවැකියද සුජාතාගේ සිතට වධයක්‌ විය. ඕ ඒ බව නොහඟවා පුතුගේ කුමර දිවිය කෙළි දෙලෙන්ම ගෙවීමට සියල්ල සම්පාදනය කළාය. භද්‍ර යෞවනයෙහි සිටි යස රිසි සේ ප්‍රීති වූයේය. සිය මිතුරන් කැඳවා සාද පැවැත්වූයේය. තමා වෙනුවෙන් තුන් සෘතු ගෙවීමට විශේෂයෙන් සාදන ලද වසන්ත, ගිම්හාන, වස්‌සාන මාලිගාවලම ඔහුගේ ජීවිතය ගෙවී ගියේය.
ඒ මහල් ප්‍රාසාදවල රැයත් දවාලත් වෙනසක්‌ නොවීය. සුවඳ බොජුන්, සැප සයනා වලින්ද විවිධ සුරා වලින්ද ඒවා සපිරිණි. ඒ ඒ මාලිගාවල යොවුන් ලියෝ දහස්‌ ගණනින් වූහ. ඔව්හු මනා රූසපුවෙන් යුතු සුකුමාර ලියෝ වූහ. භද්‍ර යෞවනයේ චමත්කාරයද ස්‌ත්‍රී භාව භාවයන්හි ආකර්ෂණයද ඔවුන් කෙරෙන් දිස්‌ විය. වරක්‌ දුටු අයෙක්‌ දෙවරක්‌ නොව කීප වරක්‌ම නැවතී බලන තරම් දර්ශනීය වූ ඒ සුකුමාර ලිය පහස ලබන මිනිසෙක්‌ කෙලෙස ඉන් මිදෙනු ඇද්ද?
යස තමන් උදෙසා ඇරඹුණු මේ කාමභෝගී ජීවිතයෙහි ගැලී ඇලී විසීම අරුමයක්‌ද? යෞවනයේ නොපහන් සිතිවිලිවලින් අවුල් වූ මනසද සම වයසෙහි මිත්‍ර සමාගම්ද ඔහුට මෙහි සුපහස්‌ විඳීමට වෙනත් හේතුද විය. යස උඩෙලිපතින් යටෙලිපතට බැසීමට තරම්වත් උනන්දු නොවීය. පරිවාර ලියන්ගේ මුදු සත්කාර ඔහුගේ සිත අප්‍රමාණව පුබුදු කළේය. නැටුqම්, වැයුම්, ගැයුම් සමඟ නිබඳ ගලා ගිය සංගීත රිද්මය හැර වෙනත් කිසිම දෙයක්‌ ඔහුගේ දෙසවනට නො ඇඳුණි. යොවුන් ලියන්ගේ සුපහසද නාරි ලාලිත්‍ය තීව්‍ර කළ භාව භාව විලාසයන්ද හැර වෙනත් දසුනක්‌ ඔහුගේ ඇසට නොගැටුණි.
හේ ඇතැම් දිනක සුරා වෙන්ද මත්ව නුරා රස විඳියි. අනඟලියෝ තුඩට තුඩු දිදී ඔහු අස්‌වසති. ප්‍රේමාලිංගන නොමඳව ලැබෙයි. සම්භෝග සුව විඳිමින් සියලු මනදොළද සපුරා ගනියි සත්තකින්ම අඩුවක්‌ යෑයි කිව හැකි යමක්‌ නොවීය. බැහැර ලොව සමඟ කිසිදු සබඳතාවක්‌ නොමැතිව කල් ගෙවන යස පිළිබඳ සියලු තතු සුජාතා සිටු දේවියද දිනපතාම ලබා ගත්තාය. නැකැත්කරුවාගේ අනාවැකිය ඉටු නොවනු ඇතැයිද ඇය සිතුවාය.
කාලය එලෙස ගෙවී ගියේය. එහෙත් යසගේ සිතට අඩුවක්‌ දැනුණි. ඔහුට සියල්ල පිළිබඳවම නොපහන් සිතිවිලි පහළ වෙමින් තිබුණි. පළමුව යසගේ සමීප මිතුරෝද දෙවනුව ඔහුගේ ප්‍රිය යෙහළියෝද ඔහුගේ මේ කලකිරීම දැනගත්හ. යසගේ සිත සන්සුන් කිරීම වෙනුවට ඔවුන් නිසා තවත් කලකිරීම වැඩි වන බව යස සෘජුවම කීවේය. මෙයින් සුජාතා සිටු දේවියද මහත් සේ කැළඹිල්ලට පත්වූවාය. කුමක්‌ සිදුවිය හැකිදැයි සිහිඑළවා ගත නොහැකිවූ ඕ වහාම පරිවාර ස්‌ත්‍රියන්ද කැඳවා යසගේ මාලිගාවල සිදුවන දේවල් පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසට නියෝගයක්‌ද කළාය.
ඒ තීරණාත්මක දවස උදාවිය. යස සුපුරුදු ලෙස සෝපාව මත පහසුවෙන් සිටියේය. වෙනදා ගල්වන සුවඳ හෝ පලඳින මල්දම් හෝ නොවීය. සිය ප්‍රියතම ලියක විසින් පිළිගන්වන ලද සුරා විතද පසෙක තැබූ ඔහු කල්පනාවෙහිම නිමග්නව සිටියේය. සුකුමාර ලිය ඔහුට ළං වීමටද බිය වූවාය. වෙනදා දක්‌වන සරාගී විලාසය වෙනුවට කිසියම් ගෞරවයක්‌ දක්‌වමින් ඔහු වෙත ළංවන ඇය දුටු යස කුමරුන්ටද සිනා පහළ විය. අනතුරුව ඇය මෙසේ පැවසුවාය.
මා ප්‍රිය කුමරුනි. දින කීපයක පටන් ඔබ තුළ යම් අසහනයක්‌ වැඩෙමින් තිබෙනු පෙනෙයි. අප අතින් යම් අඩුවක්‌ සිදුවීද? අපගේ නැටුමෙහි, ගීයෙහි, වැයුමෙහි හෝ සංගීතයෙහි දොසක්‌ දුටුවෙහිද? අප වෙහෙසවී ස්‌නේහයෙන් දක්‌වන සියල්ල දෙස ඔබ නෙත් කොනින් තරම්වත් නොබලන්නෙහිය. සබඳ කියනු මැනවි. ඔබට නොපහන් වූ මනදොළක්‌වත් තිබේද? වල්ලභ කුමරුනි මේ මාලිගාවල නොමැති සුවයක්‌, මිහිරක්‌ ඔබ රිසි වන්නෙහිද? මේ දිළිඳු යෙහෙළියන්ට විඩා නොදී සඟවා ගත් සිත හෙළි කළ මැනවැයි ඔහුට ආයාචනා කළාය.
යස කුමාරයාට ඇයට ප්‍රතිචාර නොදක්‌වා සිටීමට නොහැකි වූ තරමටම ඇගේ ඇවිටිල්ල දැඩිවිය. තමා තුළ නැගෙන කලකිරීම ඇයට කීම මැනවයි සිතූ හේ මෙසේ පිළිවදන් දුන්නේය.
ප්‍රිය යෙහෙළිය. මේ මාලිගාවලට වඩා භෞතික යස ඉසුරු සැදුණු අන් තැනක්‌ මේ මුළු දඹදිව් තලයෙහිම ඇතැයි මම නොසිතමි. මගේ තාරුණ්‍යයද එකම කෙළිලොල් සිහිනයක්‌ බඳු විය. එහි කිසි දිනක කඳුළක්‌, ඉකිබිඳුමක්‌, සුසුමක්‌ නොවීය. ඉඳුරන් පිනවීමේ සියලු දේවල් එහි නොඅඩු විය. මමද මගේ ප්‍රිය සගයෝද දවසින් දවස ඒ සියලු සැප නොඅඩුව විඳ ඇත්තෙමි. එහෙත් දැන් මා සිත අයෑද සිටින්නේ එවන් භෞතික සුවයක්‌ නොවේ. මේ මාලිගාවලින් පිටත ජීවිතය කුමක්‌දැයි මම නොදනිමි. එහෙත් මෙනුවර මෙබඳු යස ඉසුරු රැඳි තැන් අතිශයින් විරල බව මට හැඟෙයි. මට වුවමනා ජීවිතය මෙය නොවන බව හැඟෙයි. මෙයින් මට ලද හැකි සහනයක්‌ හෝ අස්‌වැසිල්ලක්‌ නැති බවද හැඟෙයි.
සිටු කුමරුන්ට සවන් දුන් ඕ තුළද මහත් බියක්‌ දැනුණි. එහෙත් ඒ බවක්‌ නොහඟවා ඇය අනෙක්‌ ලියන් අතර සැඟවී ගියාය.
ඉනික්‌බිතිව සුපුරුදු පරිදිම සංගීතය නැගුණි. මාලිගාවෙහි පන්දම් එළිය අඩු විය. ලියෝ පෙර දින මෙන් සැදී පැහැදී කුමරුන් වෙනුවෙන් ගැයුම්ද, වැයුම්ද, නැටුම්ද ඉදිරිපත් කළහ. තවමත් කුමරුන්ට පිරිනැමූ සුරාවිත එලෙසමය. එක්‌ යොවුන් ලියක්‌ එය විමසූ කල්හි අද තමන් හිස රුජාවකින් පෙළෙන බවත් එනිසා පලතුරු යුෂ බඳුනක්‌ පමණක්‌ සපයන ලෙසත් ඉල්ලා සිටියේය.
යස කුමරුන්ගේ මේ අලුත් වෙනස දැන සිටියේ කීප දෙනෙක්‌ පමණි. කිසිදු උද්දාමයකින් තොරව ගැයුම් වැයුම් හා නැටුම් දෙස බලා සිටි යස ඉබේටම නින්දට වැටුණි. වෙනදා මඳින් මඳ නැගී එහි උත්කර්ෂ රිද්මය කරා යන සංගීතයද ඔහේ විසිර යමින් තිබුණි. නාටිකාංගනාවෝද එය අවධාරණය කළහ. තමන්ගේ නැටුම්ද සංගීතයද කුමරුන් නොවිඳිනා බව සැකහැර දැකගත් ඔව්හුද “අපි කුමක්‌ හෙයින් මෙලෙස වෙහෙසෙමුදැයි” කියමින් විවේක ගනු රිසි වූහ.
ඉනික්‌බිතව සියල්ලෝම නිදන්නට වූහ. මහා කෝලහලයක්‌ සංසිඳී නිහඬ වූ කල්හි මෙන් මාලිගාවද නිසල විය. ඒ නිහඬ විරාමයේදී නැගී සිටි යස සිටු කුමරුන්ට කිසියම් අස්‌වැසිල්ලක්‌ දැනුණි. කුමක්‌ සිදුවී ඇද්දැයි විමසිල්ලෙන් හාත්පස බැලු ඔහුට දිස්‌ වූයේ අප්‍රසන්න දසුන්ය. සුරඟන ලියන් සේ සුසැදි ලියන්ගේ ගෙල හා හිස සැරසූ මල්ද මල්දම්ද ගිලිහී බුමුතුරුණු මත විසිර ඇති අයුරු ඔහු දුටුවේය. දත්කූරු කමින්ද ගොරවමින්ද නිදාහුන් ඇතැම් ලියන්ගේ රහස්‌ තැන් පවා විවරව තිබෙනු දුටු කුමරුන්ගේ සිත දැඩි සේ කැළඹිණි. මේ විප්‍රකාර දසුන් කෙබඳු මායාවක්‌දැයි ඔහු සිහි කළේය. නිරුවතින්ද අඩ නිරුවතින්ද සිටි යොවුන් ලියන්ගේ විලාසය බෙහෙවින්ම විසුළු විය. සංගීත භාණ්‌ඩද ඒ මේ අත විසිර ගොස්‌ තිබුණි. කෙනෙක්‌ ඒවා මත හිස තබා නිදා හුන්හ. මේ මෙතෙක්‌ දවස්‌ තමන්ට ප්‍රිය වූ ප්‍රිය සමාගම නොව අමනුෂ්‍ය දූවරුන්ගේ භ්‍රාන්තියක්‌දැයි සිතෙන තරමේ විරූපී චිත්‍රයක්‌ එවේලේ යස කුමරු දුටුවේය.
යස ප්‍රවේශමින් හඬ නොනැගෙන පරිදි අසුනින් නැගිට්‌ටේය. ඔහුගේ පයෙහි ගැටුණු එකියක්‌ අසිහියෙන් මෙන් හිස ඔසවා යළිත් නිදන්ට වූවාය. හේ තැනින් තැන වැතිර සිටින ලියන්ගේ සිරුරු මඟහරිමින් දොර අසලටම පැමිණ යළිත් හැරී බැලුවේය. කිසිදු අමුත්තක්‌ නැත. මාලිගාවම නින්දේය. හේ හෙමින්ම මාලිගාවෙන් එළියට පැමිණියේය. ඔහුගේ දෙපයෙහි රන් මිරිවැඩි සඟල පමණක්‌ විය.
අහස අඳුර හා සුදු පැහැයද මුසු පෙනුමක්‌ ගෙන තිබුණි. පෝය ඉකුත් වී දෙසතියකටත් වඩා ගෙවී තිබුණු හෙයින් සඳ අහසේ නොවීය. තාරුකා එළිය අඳුරට බියෙන් මෙන් නිවෙමින්, දිලෙමින් තිබුණි. මාලිගා පරිශ්‍රයෙන්ද ඈත්වූ යස කුමරු තරමක්‌ වැඩී තිබුණු රුක්‌ පෙළ අසලින් වූ පටු මාවත ඔස්‌සේ ඉදිරියට යැමට සිතා ගත්තේය. සීතල මුසු සුළඟ වැස්‌සක ලකුණු කීවත් තවත් හෝරා කීපයක්‌ වැසි නොවැටී තිබෙනු ඇතැයි ඔහුට සිතුණි. අන්ධකාරයේ නිහඬ බව බිඳ ගෙන යන වවුලන්ගේ හඬ ඔහුට තේරුම්ගත නොහැකි විය. තමන් කිසිම දිනක මෙවැනි අඳුරක බාහිර ලෝකය දැක නොතිබුණු බවද ඔහුට සිහිවිය. රාත්‍රිය කොතරම් සුන්දරදැයි එවේලෙහි ඔහුට සිතුණි.
ගමන් මග කිසිදු බාධාවක්‌ නැත. හේ කල්පනා කරමින්ම පෙරට ඇදෙයි. එක වරම ඔහුට සිහිපත් වූයේ සිය මව සුජාතා සිටු දේවියයි. තමන්ගේ සැනසිල්ල සඳහා ඇයගේ මුළු ජීවිතයම කැපවූ අයුරුද ඔහුට සිහි විය. හෙට උදයේ තම මැදුර පමණක්‌ නොව බරණැස්‌නුවරම කැළඹෙන වග ඔහුට රහසක්‌ නොවීය. එහෙත් තමන්ගේ උරුමය මාළිගාවේ නැති බව ඔහු නිශ්චිතවම දුටුවේය.
අරුණෝදයේ ලකුණු මතු වෙමින් තිබුණි. මේ කුරුලු නාදය මොන තරම් මධුර සංගීතයක්‌ද? හිරුගේ පළමු රැස්‌ දහරාව නිකුත් වීමට තවත් ස්‌වල්ප වේලාවක්‌ ඉතිරිව තිබුණි. ඔහු ඒ මනස්‌කාන්ත දසුන දෙස බලා සිටියේය. අහස හා වලාපෙළ අතරින් පෙනෙන ළා රන්වන් පැහැය ඔහු දුටුවේ සියුම් සිත්තරකුගේ අපූර්ව නිර්මාණයක්‌ ලෙසය. සොබාදහම රසවිඳිමින් යන ඔහුට එක්‌වරම දිස්‌ වූයේ ඒ මේ අතට ඇවිද යන කිසියම් අයෙකුගේ අපැහැදිලි දසුනකි. මොහොතක්‌ නතරව බැලු ඔහුට ඒ ශ්‍රමණරුවක්‌ බව පෙනුණි.
බුදුන් වහන්සේද තමන් වෙතට එන යස කුමරුන් පිළිබඳ සියලු තතු දැන සිටිසේක. සක්‌මන නතර කළ උන්වහන්සේ යස කුමරුන්ට පෙනෙන පරිදිම අසල වූ ගල්තලාවක වාඩි වූ සේක. යස උන්වහන්සේ සිටි ගල්තලාව දෙසට ඇදුණි. එහෙත් මේ තමන් සමීප වන්නේ බුදුන්ට බව හේ නොදත්තේය. එසේ වුවද උන්වහන්සේගේ ශාන්ත විලාශයද රන් රුවක්‌ බඳු සිරුරද යසගේ සිතට මහත් අස්‌වැසිල්ලක්‌ බඳු විය. අනතුරුව ඔහු තමන් ගැන මෙසේ කියන්නටද විය.
“මම මහසල් සිටු කුලයක ඉපිද යස ඉසුරින් මැවුණු ජීවිතයක හිර වී සිටි දිළින්දෙක්‌මි. මවිසින් සුවයකැයි විඳින ලද්දේ මායාවකි. ස්‌ත්‍රී පාර්ශ්වයෙහි ලොල්ව බැඳුණු මම ග්‍රාම්‍ය රසයකට නැඹුරු වීමි. එහි අග්ලීල ග්‍රාම්‍ය බව ඊයේ මනාව පසක්‌ කර ගත් මට තවත් එදෙස බලා සිටින්නට තරම්වත් නොහැකි තරමටම ජුගුප්සාජනක විය. මගේ භද්‍ර යෞවනයම නාස්‌ති වී වැනසී ගියේ නිෂ්ඵල ළාමක ජීවිතයකටය. දැන් මම වැනසී සිටිමි. මට යායුතු මඟක්‌ද සිතට අස්‌වැසිල්ලක්‌ද නැත. නුඹ වහන්සේ විමුක්‌ති මාර්ගයක ගමන් කරන්නෙක්‌ ලෙස මට හැඟෙයි. මා කුමක්‌ කළ යුතුදැයි මට නිශ්චිතව සිතාගත නොහැක. මගේ ධෛර්ය හා අධිෂ්ඨානය හැර සියල්ල මා අතහැර ගිය ආකාරයක්‌ දැනෙයි. මගේ අන්ධභාවය, විකල්භාවය දුරලා ගැනීමට මට පිහිට වුව මැනවි. නොඑසේ නම් මම යළිත් හිස හැරුණු අතක යමි.
බුදුන් වහන්සේ මහත් දයාවෙන් ඔහු දෙස බලා සිටියේය. අනතුරුව ඔහු සමඟ සුඛය යනු කුමක්‌දැයි ඔහුට විග්‍රහ කරන්නටද වූ සේක. තෘෂ්ණාව නමැති දැලට හසුවී නිබඳ පීඩනයට පත්වන මිනිසා පිළිබඳ උන්වහන්සේ යස සිsටුකුමරුන්ට විග්‍රහ කළ සේක.
ගාමිණී සුමනසේකර
08. ලියක්‌ පසුපස කුමක්‌ නිසා දුවන්නෙහිද ?
06. දෙවි බඹුන්ගේ සාදු නද මැද මංගල සදහම් ස්‌වරය නැගෙයි ... !
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.