06. දෙවි බඹුන්ගේ සාදු නද මැද මංගල සදහම් ස්‌වරය නැගෙයි … !

උරුවේලා දනව්වේ සිට ඉසිපතනයට දෙසැත්තෑ ගව්වක්‌ පමණ දුර විය. සිදුහත් ගෞතමයෝ මේ සා දුරක්‌ ඇවිද යත් නම් එය නොමැනවැයි සිතූ මහා බ්‍රහ්මයා දිව්‍ය රථයක්‌ ද සමග උන්වහන්සේගේ අබිමුව ප්‍රාදුර්භූත විය. එහෙත් උන්වහන්සේ ඒ දෙස නොබලා තුෂ්ණිම්භූතවම සිටි හෙයින්, උන්වහන්සේ ඒ ගමන් පහසුව නො ඉවසන බව බඹහු නිශ්චිතවම දැන ගත්හ. සැබැවින්ම උන්වහන්සේට ඒ ගමන ප්‍රශ්නයක්‌ නොවීය. මෙලොව කිසිදු ප්‍රාණියකුට දරා ගත නොහැකි තරම් දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ තමන් වහන්සේට ගව් සිය ගණනක්‌ වුවද කිසිදු අපහසුවකින් තොරව පියමං කළ හැකි බව බුදුහු දනිති. එවේලෙහි උන්වහන්සේට සිහිපත් වූයේ දෙව් බඹුන් සහිත ලොවම බලා සිටින ප්‍රථම ධර්ම දේශනාව කා උදෙසා පැවැත්වීම උචිත ද යන්නය. එකෙණෙහිම උන්වහන්සේට ආලාරකාලාම තවුසා සිහිවිය. තමන්ට ඔවුන්ගේ ඇසුරෙන් ලැබුණු ප්‍රතිලාභයක්‌ නො වුවද සත්‍යය ගවේෂණයෙහි ගාම්භීරත්වය පිළිබඳ නො පැහැදිලි ආලෝකයක්‌ දල්වාලීමට ආලාරකාලාම තවුසාගෙන් අනුබලයක්‌ වූ බව බුදුහු සිහිපත් කළහ. ලෞකික සුඛ විහරණයෙන් මිදුණු වීතරාගී මාවතක්‌ ඔස්‌සේ තමන්ගේ සත්‍යාවබෝධය සිදු කළ යුතුය යන අධිෂ්ඨානය ද ඇති වූයේ ඔවුන් ඇසුරෙන් බවද උන්වහන්සේට සිහි විය.

ආලාර කාලාමයෝ කොහි සිටිත් දැයි දිවැසින් බැලූ බුදුහු ඔවුන් මියගිය බව දැන සිය දෙවන තපස්‌ චරිතය වූ උද්දකරාම කොහි දැයි විමසා බැලූහ. ඔහු ද ඒ වන විට මියගොස්‌ බඹලොව උපන් බව බුදුන් වහන්සේ දැන ගත්හ. අනතුරුව බුදුන්ට සිහි වූයේ තමන් සමග ගැටෙමින්ද තමන්ට අප්‍රමාණව දිරි දෙමින්ද තමන් සමීපයෙහිම සිටි පස්‌වග තවුසන්ය. පස්‌වග තවුසෝද බුදුන්ගේ දුෂ්කර ක්‍රියා කළ සමය තුළ අප්‍රමාදව, අනලස්‌ව, අකම්පිතවම උන්වහන්සේ සමගම බැඳී සිටියහ. විටෙක සිහි මුර්ජා වී රළු ගල් මත ඇද වැටෙද්දී ඔවුන් පැමිණ වහා පැන් බිඳක්‌ ඉස, තමන්ට දිරි දුන් අයුරු ද උන්වහන්සේ සිහි කළහ. දුෂ්කර ක්‍රියාව සිරුරට වධයක්‌ විනා විමුක්‌ති මාර්ගයට ශක්‌තියක්‌ නොවන වග පසක්‌ වී තමන් මැදුම් පිළිවෙත දෙසට යොමු වෙද්දී පස්‌වග තවුසන් අපේක්‌ෂා භංගත්වයට පත්ව තමන් හැර යැමට පියවර ගත් අයුරු ද බුදුහු සිහි කළහ. එසේ වුවද මේ ධර්මය පළමුව ඔවුන් මුල්කර දෙසීම වටනේ යෑයි බුදුහු නිශ්චය කරගත්හ. ඒ වන විට ව්‍යාප්ත වී තිබුණු බොහෝ විමුක්‌ති ව්‍යාපාර පිළිබඳව ද උන්වහන්සේ මෙනෙහි කරන්ට විය. වේදය දත් බ්‍රාහ්මණයෝද යාග පූජාවන්හි නිරත වූවෝද සමාජයෙහි ආධිපත්‍යයට පත්ව සිටියහ. එහෙත් ඒ සියල්ලන්ටම වඩා පස්‌වග තවුසන් බුද්ධියෙන්ද යථාර්ථවාදී දැක්‌මෙන්ම ඉදිරියෙන්ම සිටි අයුරු බුදුහු දුටහ. අනෙක්‌ අතින් ගත් කල කාමභෝගී ජීවිත සැපත යෑයි පිළිගත් මෝහාන්ධකාරයෙන් වෙලී ගිය කවරකුට වුවද ධර්මාවබෝධය පහසු නොවන වගද උන්වහන්සේ දත්හ. එහෙයින් පැණසර පස්‌වග තවුසෝ නියත වශයෙන්ම පළමු දහම් දෙසුමට නිසි වෙතියි සිදුහත් ගෞතමයෝ කල්පනා කළහ.
ඒ වන විට හාත්පස හිරු රැස්‌ මාලා වලින් සෝබමානව දිලිණි. තුරු හිස්‌ මත පක්‌ෂීහුද මල් ගොමු තුළ බමර කැළද දවස ඇරඹීමේ රිසියෙන් වූහ. එහෙත් වනපෙත වසා ගත් නිහඬතාව බිඳලන්ට පක්‌ෂීන්ට ද බමරුන්ටද වුවමනා නොවීය. සුළඟ සුසුම් ලන වග දැනුනේ ළා දලු පත් සැලෙන විලාසයෙනි. කුමක්‌ නිසා සොබා දහම මෙබඳු ශෝකයකින් බරිතව සිටියේද? ඒ සති අටක පමණ කාලයකින් පසුව මේ වනවාසය හැර යන සිදුහත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන් උපන් වියෝ දුක නිසාමය. ගහට, කොළට, සතා සිව්පාවන්ට ඇලුම් කළ මහා පුරුෂයකුගේ සමුගැනීම සොබා දහමට ද දැනෙන කරුණකි.
බුදුහු වැඩ සිටි ඉරියව්වෙන් නැගී සිට හාත්පස අනිමිස ලෝචනයෙන් බලා සිටියහ. සොබා දහම හා බුදුවරුන් අතර සදාතනිකව පැවැති සබඳතාව තමන් විසින්ද මනාව රක්‌නා ලද බව උන්වහන්සේ උපේක්‌ෂාවෙන් මෙනෙහි කළහ. බුදුවරු කිසිදෙයක නොගැලෙති. නොඇලෙති. සෝක පරිදේව යනාදී හැඟීම් මාත්‍රයකුදු බුදුවරයකු තුළ නැත්තේමය.
ඉනික්‌බිතිව බුදුන්වහන්සේ සන්සුන් ගමනින් පිය නගන්ට වූහ. මහපොළොව කුඹල් සකක්‌ සේ පෙරලා සැණෙකින් පස්‌වග මහණුන් අබියස ප්‍රාදුර්භූත වීමේ Rද්ධි බල බුදුන් සතු වුවද උන්වහන්සේ කිසිදු ආයාසයකින් තොරව පියෙන් පිය ඔසවා මඟ ගෙවන අයුරු දෙවි බඹහු නමස්‌කාර කරමින් බලා සිටියහ. වනමල් වලට දිවමල් මකරන්ද කවමින් දෙපස සුවඳවත් කළ දෙවියෝ බුදුන් වඩින මඟ දෙපසම රැඳී උන්හ. මෙසේ වඩනා බුදුන් මහන්සේට ආජීවකයෙක්‌ හමුවිය. හේ උපාලි නම් විය. බුද්ධ ලීලාව දුටු උපාලි විස්‌මිතව එදෙස බලා සිටිනා වග බුදුන් වහන්සේද දුටහ.
මම උපක නම් ආජීවක වන්නෙමි. තපස්‌ සඳහා ගිහි ගෙය හැර පැමිණි මට කිසි දිනක ඔබ වැනි ශාන්ත ඉරියව් සහිත ප්‍රසන්න සිනා ඇති පුද්ගලයෙක්‌ හමුවී නැත. මම ඔබ පිළිබඳ කුහුලින්ම ප්‍රමුදිතව සිටිමි. ඔබගේ ශාස්‌තෘවරයා කවරෙක්‌දැයි දැනගනු රිසියෙමි. උපක ආජීවකයා එසේ පවසත්ම බුදුන් වහන්සේ ඔහු දෙස බලා මොහොතක්‌ නතර වූ සේක. නතරව ශාන්ත ස්‌වරයෙන් ඔහු අමතා මෙසේ කී සේක.
මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.
එබස්‌ ඇසූ උපක ආජීවක තෙමේ සිතන්නේ මේ අසමසම, අනුපමේය අද්විතීය මහා පුරුෂයා මට හමුවූයේ පෙර කර්මයක පලයක්‌ ලෙසිනි. එහෙයින් මතු යම් දිනක හෝ ඔවුන්ගේ ඇසුර මට ඒකාන්තයෙන්ම සප්‍රයෝජන වනු ඇත. ඔවුන්ගේ දේහ විලාසය මට නිසැකවම තහවුරු කරන්නේ මහා පුරුෂයකුගේ මහිමයයි. කිසිසේත් මට ඔවුන්ට පිටුපා යා නොහැක්‌කේය.
“මා ප්‍රිය අනන්තජිනයෙනි, ඔබවන් ආශ්චර්යවත් භාග්‍යවන්තයකු මේ සක්‌වලද නැත. මට මතු යම් දිනක ඔබ උපකාර්ය අවශ්‍ය වනු ඇත. මා කොදෙව්වක සිටියත් මට අනුග්‍රහ දක්‌වනු මැනවි. මම දැන් සමුගෙන යන්නෙමි.
එසේ බුදුන්ගෙන් අවසරගත් උපක ආජීවක තෙමේ අනෙක්‌ දිසාව බලා ගමන ඇරැඹීය. බුදුන් වහන්සේට උපකගේ අනාගත ජීවිතය දැක ගත හැකි විය. උපක කෙටි කලක්‌ තපස්‌ රැක දෙටු වැදි නායකයකු සමග සම්බන්ධව උන්ගේ දියණිය සමග ගෘහවාසයට පැමිණ මහත් අර්බුද සාදා ගන්නා අයුරුද දිවැසින් දුටු සේක. අනතුරුව තමන් වහන්සේ වෙත එළඹෙන මඟද නිශ්චිතව දැක ගත්තේය.
ඉනික්‌බිති බුදුන් වහන්සේ මිගදාය බලා ගමන ඇරඹූහ. ඒ සඳහා හෝරා කීපයක්‌ ගත වනු ඇද්දැයි සිහිකරන්ට ද විය. එකෙණෙහිම මහා බ්‍රහ්මයා සිතන්නේ “හෙට ඇසළ පෝදා උදාවෙයි. ඇසළ සඳ නැගෙන විට උන්වහන්සේ මංගල ධර්මය දේශනා කරන්නේ නම් එහි පල වඩාත් වැඩිවනු ඇත. මම මේ යොදුන් ගණන් දික්‌ වූ මාර්ගය හකුළා උන්වහන්සේට ගෞරව කරමියි අධිෂ්ඨාන කර ගත්තේය. බුදුන් වහන්සේටද ක්‍ෂණයකින් ඒ මාර්ගය ගෙවා දැමිය හැකි වුවද උන්වහන්සේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට ඉඩ ලබා දුන් සේක.
ඉසිපතන මිගදාය අතිශය රමණීය භූමිභාගයකි. නිදහසේ සැරිසරන මුවෝද වෙනත් පක්‌ෂීහුද එහි සුන්දරත්වය තවත් වඩති. බුදුහු ශාන්ත ගමනින් උයන සමීපයට එළඹුණහ. එවේලෙහි පෙරදින පැටවුන් ලද මුව දෙනකගේ තතු විමසීමට උයන් කෙළවරට යමින් සිටි අස්‌සජි තවුසා එක්‌වරම බුදුන් වහන්සේ හඳුනා ගත්තේය. හේ තමන් ගිය කටයුත්ත අමතක කර ආශ්‍රමය තුළට දිව ගියේ එපවත් අන් තවුසන්ට දැනුම් දීමටය. සියල්ලෝම සතුටට මෙන්ම කුතුහලයට ද පත් වූහ. මේ තමන් සමග සිටි ඉපැරණි මිතුරාද, තමන්ගේ ගෞරවයට, බුහුමනට පාත්‍ර වූ නායකයාද බව ඔවුන්ට සිහිවිය. එහෙත් මෙවේලෙහි ඔවුන් තුළ ඇති වූයේ සැක සංකාවක්‌ පමණි.
“බලන්න, මේ එදා අප සමග උදාර අරමුණක්‌ සඳහා දුෂ්කර ක්‍රියා කළ සිදුහත් තවුසාම වුවද ඔහුගේ විලාසය බොහෝ වෙනස්‌ය. මනාව වැඩුණු, නෙත් අලවන රුසිරු විලාසය කෙනෙකු වසඟ වන තරම්ය. ඔවුන් කිසිසේත්ම මෝක්‌ෂ මාර්ගයකට හෝ ප්‍රඥවබෝධයකට හෝ පැමිණ නැති බව පැහැදිලිය. දැන් අප සොයා පැමිණියේ කුමක්‌ නිසා වුවද ඔවුන්ට පෙර සේ ගරුසත්කාර නොකළ යුතුය. හිඳ ගැනීමට අසුනක්‌ හෝ නොපැනවිය යුත්තේය. ඔහුත් අපත් සමානයෝය. අපට වඩා ඔහු පැහැපත් ඡවි වර්ණයෙන්ද, දේහ විලාසයෙන්ද යුතු වන්නේය. එකම වෙනස එයයි.
එසේ සිතා බුදුන්ට ගරු නොකරමු යන සම්මුතියට එළඹි පස්‌වග තවුසෝ සිටි අසුන්වලම තුෂ්ණිම්භූත වූහ.
බුදුහු නම් සැණකින් පරසිත් දැනගන්නා නුවණින් යුතු වෙති. උන්වහන්සේගෙන් කිසිවකුට කිසිවක්‌ සැඟවීමටද නොහැක්‌කේය. එහෙත් උන් වහන්සේ නිකරුණේ අනුන්ගේ සසර පුරුදු හෝ අනාගතය ගැන නොවිමසන සේක. මේ අවස්‌ථාවේදී නම් පස්‌වග තවුසන් සමග ඇරැඹිය යුතු ධර්ම චාරිකාවක්‌ ඇත. එහෙයින් උන්ගේ සිත් දැන දැනම ශාන්තව පෙර මඟටම වඩින්නට වූහ. බුද්ධ මහිමය යනු මේ සක්‌වළ කිසිවකට පසු බා ලිය නොහැකි විශ්ව බලයක්‌මැයි. බුදුහු ළංවත් ළංවත්ම පස්‌වග තවුසන්ට නියම කර ගත් පරිදි ක්‍රියාකිරීමේ අපහසුවක්‌ විය. නොදැනීම සම්මුතිය ද බිඳ වැටිණි. අසුන්වල සිටීමට ගත් සියලු උත්සාහයන් නිෂ්ඵල විය.
උන්වහන්සේගේ පෙර මගට මුලින්ම පැමිණියේ කොණ්‌ඩඤ්ඤ තවුසාය. හේ ඉතා ගෞරවයෙන් උන්වහන්සේට ආචාර දැක්‌වීය. අනතුරුව සියතින්ම පාත්‍ර සිවුරු ගෙන “ඇවැත්නි එන්න, දිගු කලකින්. කෙසේද ගමන් විඩාව යනාදී ලෙස සුහදව පැන විචාරන්ටද විය. භද්දිය තවුසා වහාම ගොස්‌ උණු පැන් සැකසීය. ඒ පැන් සැනහීමටය. අනතුරුව ගිලන් පසක්‌ද සකසා බුදුන්ට පිරිනමන ලද්දේ අස්‌සජි තවුසා විසිනි.
දැන් සියල්ලෝම බුදුන් වහන්සේ ඉදිරිපිට තල් පැදුරු මත වාඩිවී තුෂ්නිම්භූතව සිටිති. පළමුව නිහඬතාව බිඳින ලද්දේ පස්‌වග තවුසන් අතරම සිටි ජ්‍යෙෂ්ඨතමයා වූ කොණ්‌ඩඤ්ඤ තවුසා විසිනි.
“පින්වත් සිදුහත් තවුසාණනි, ඔබ පිළිබඳ අපට පහන් සිතක්‌ තිබුණ ද ඔබ විමුක්‌ති මාර්ගය අත්හැර ගිය ගමන අපට සංවේගයකි. ආලෝකය පෙනි පෙනී අන්ධකාරයට පනින අයෙක්‌ සේ ඔබ දුකට කිරිය හැර සිරුරට සුඛය ලබා දෙන්ට ද විය. එසඳ අපි ඒකමතිකව කතිකා කර ඔබ හැර ගියෙමු. දැන් ඔබගේ දේහ විලාසය මනරම්ය. ඔබගේ සිරුර වටා රන්වන් රශ්මි මාලාද විහිදෙයි. එහෙත් සිරුර වඩමින්, කාමභෝගී ජීවිතයකට ඔබ හුරුවීම අප තුළ සොම්නසට වඩා දොම්නසක්‌ දනවයි.”
කොණ්‌ඩඤ්ඤ තවුසා සිය සිත නොසඟවා හෙළි කිරීමෙන් පසුව උන්වහන්සේ ඉතා සන්සුන්ව, එහෙත් ගාම්භීරව තමන් පිළිබඳ සංක්‌ෂිප්ත සඳහනක්‌ද කළේය. පස්‌වග තවුසන්ගේ මොහzඳුර දුරලා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමේ අවශ්‍යතාව ද බුදුන්ට පසක්‌ විය. තමන් හා සමානයන් ලෙස හැසිරෙන තවුසන්ගේ සැකය උන්වහන්සේ මෙලෙස දුරලන්ට ද විය.
ඇවැත්නි යනුවෙන් මා ඇමතීම නොවටී. මක්‌නිසාද යත් ගෙවී ගිය වෙසක්‌ පෝ දින මම බුද්ධත්වයට පත්වීමි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට අධිකව මවිසින් කරන ලද සංසාර චාරිකාව නිමා කළෙමි. දැන් මම ලොව්තුරා බුදු වෙමි. සම්මා සම්බුද්ධ වන්නෙමි. නුඹගෙන් ලද පරම අනුග්‍රහය සිහි කළ මම මෙසේ ප්‍රථම ධර්මය දෙසීම සඳහා මිගදායට පැමිණියෙමි. මගේ ගමනට මහ බ්‍රහ්මයා ප්‍රමුඛ සියලු සම්‍යක්‌ දෙවිවරු අනුබල අනුග්‍රහ දැක්‌වූහ. උරුවෙල, දනව්වෙහි සිට දෙසැත්තෑවක්‌ පමණ වූ දීර්ඝ මඟ ගෙවා මෙහි පැමිණියෙමි.
එසේ වුවද පස්‌වග තවුසෝ එක්‌වරම උන්වහන්සේගේ වචන නොපිළිගත්හ. එසේම ප්‍රතික්‌ෂේප ද නොකළහ.
“කමා කළ මැනවි. අපට පිළිවිසීමට බොහෝ කරුණු ඇත. එයට අවසර ලැබේ නම් ඒවා විමසීමට හැකි යෑයි ද කියා සිටියෙන් බුදුන් වහන්සේ නිහඬවම එය අනුමත කළ සේක.
අප ඔබ හැර ගියේ ඔබ විසින් රක්‌නා ලද උග්‍ර තපස්‌ හැර සිරුර වැඩීමට යොමු වීමත් සමගය. ඒ සා දුෂ්කර පිළිවෙතක්‌ හැර කෙලෙස සත්‍යාවබෝධය කළෙහි දැයි අප සිත තුළ කුහුලකි.
එවිට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
මා ප්‍රිය සහායකයිනි. ඔබත් අපත් අතර තිබූ බැමි ලිහිල් වී ගිය බවක්‌ මට නොදැනෙයි. එහෙත් මවිසින් සොයා ගන්නා ලද ධර්ම මාර්ගය මොනම ආකාරයකින්වත් සිරුරට දුක්‌ දීමෙන් පාදාගත නොහැකි බව මට වැටහී ගියේය. මේ ගැඹුරු ධර්මය සඳහා නියත මාර්ගය මම පාදා ගනිමි. ඒ අධිකව කයට දුක්‌ දෙන අත්ථකිලමථානු යෝගය ද අප්‍රමාණව කයට සුව දෙන කාම සුඛල්ලිකානු යෝගයද හැර මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමෙනි. කාමසුඛල්ලිකානු යෝගය හීන වූ ග්‍රාම්‍ය වූ නොවටිනා වූ අන්තයක්‌ බව මම දනිමි. එය කිසිසේත් ප්‍රඥවන්ත නොවන්නේය. අප්‍රමාණව කයට පීඩා දෙමින් දරාගත නොහැකි වධ හිංසා පමුණුවමින් සිදු කරන අත්තකිලමථානු යෝගය ද නිෂ්ඵල බව මට පසක්‌ විය. මම එය හැර දැමීමි. එකල්හි අපේක්‍ෂා භංගත්වයට පත්වූ ඔබ මා හැර ගියහ. එහෙත් මම මගේ අධිෂ්ඨානශීලය නො බිඳීමි. අනිත්‍ය ධර්මය ඔස්‌සේ සිත යොමු කළ මම දුකත්, දුක ඇතිවීමට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් දිටිමි. කාම තෘෂ්ණා, භව තෘෂ්ණා හා විභව තෘෂ්ණා ගැඹුරින් විමර්ශනය කළ මම ආර්ය සත්‍යය දිටිමි.
අනතුරුව මම ආර්ය අෂ්ටාංගික මාර්ගය පසක්‌ කළෙමි. මම ක්‍රමයෙන් ආලෝකය වෙතට ළංවීමි. මා තුළ වූ ඇල්ම ද සියලු ආකාර බැඳීම් ද දුරු විය. මට මහත් අස්‌වැසිල්ලක්‌ දැනිණි. මම මේ සියලු සතුන් අතර ද දෙවි බඹුන්a හා මිනිසුන් අතර ද ශ්‍රේෂ්ඨතමයා බවට පත්වීමි. මම ලොව වසා ගත් අන්ධකාරය දුරලා බුද්ධියේ පහන් සිළුව දල්වාලමි. මා ඇමතිය යුතු සුදුසුම පදය “බුද්ධ” නම් වේ. බුද්ධ යනු ප්‍රඥවේ හිණිපෙතයි. බුදු බව යනු මෙලොව තිබෙන්නා වූ උතුම් පදවියයි. එය සක්‌විති පදවියට ද වඩා ශ්‍රේෂ්ඨ වූද ගැඹුරු වූද පූජනීයත්වයකි.
බුදුහු මෙසේ සැකෙවින් ගැඹුරු දහම් දෙසූහ. ඉක්‌බිති පස්‌වග තවුසන්ගේ සියලු සැක සංකා දුරුවිය. අඳුරු වළාවකින් මුවා වූ සඳමඬල ඉන් මිදී සුදිලෙන්නාක්‌ සේ පස්‌වග තවුසෝ ද මෝහය දුරලූහ. ලෝක සත්ත්වයාට ද සද්ධර්මය නමැති අමා පැන් පානය කර සසර දුක්‌ දුරලීමේ මඟ විවර වූ බව දත් දෙවි බඹහු සාධුකාර දෙන්නට ද වූහ. දැන් සංඝ නමැති අනෙක්‌ රත්නයද පහළව ඇත. එය ලෝකයාගේ අභිවෘද්ධියට හේතු වන්නේ යෑයි ද දත් සම්‍යක්‌ දෙවිවරු ද ඉමහත් ප්‍රමෝදයට පත් වූහ.

ගාමිණී සුමනසේකර

07. නාටිකාවන්ගේ විප්‍රකාර මැද යස මාලිගය හැර යයි!
05. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට විලඳ පූජා කරති ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.