01. මගෙ හිත කියෙව්වෙ යශෝධරා විතරයි ... - IFBC Organization | Dhamma

සිදුහත් තවුසා උරුවේල නදිය අසබඩ රමණීය වැලිතලාව මත මොහොතක්‌ නතර විය. වනස්‌පති රුක්‌ පෙළ අතරින් ඇදී එන මඳ පවනෙහි සිහින් කුරුලු සරද අපමණ වනමල් සුගන්ධයද සිදුහත්ගේ සිරුරටද නැහැයටද හදටද දැනුණි. නිසල නදිය යාන්තම් රළ නංවා බැස යමින් තිබුණි. හිරු අවරට යන්නට තවත් හෝරාවක්‌ පමණ විය. සැඳැ අහස ළා වර්ණ ගැන්වූ සිතුවමක්‌ සේ සෝබාමත්ව දිලුණි. වන වදුලෙන් හෙමින් පා ඔසවමින් බියෙන් හා කුතුහලෙන් මෙන් ඇදෙන සිව්පා සත්තු රාත්‍රි දිගුවිරාමයට කලින් පැන් සනහමින් උන්හ.

මේ වැලිතලාව මත පා ගැටුණු මොහොතෙහි සිටම සිදුහත්ගේ සිතට පෙර නොවූ විරූ වීතරාගී සුඛාස්‌වාදයක්‌ දැනෙන්නටද විය. කිඹුල්වත්පුර මොනතරම් කෙළිලොල් උත්සව තිබුණිද? පරිවාර දනන් කැටුව මැදියම් රැයක්‌ වනතුරුද ගෙවූ ඒ ජීවිතය කෙළිලොල් වුවද සිදුහත් තුළ ඉතිරි වූයේ කලකිරීමක්‌ පමණි. දුලබ සුරාවද සුලබ නුරා ළඳුන්ද ඔහුට ප්‍රිය නොවීය. ජීවිතය සොයා යන කිසිවක්‌ ඒ කිසිම තැනක නොවූ වග ඔහුට ස්‌ථීරවම හැඟුණි.

සිදුහත්ගේ සිත කියවූ එකම කුමරියක්‌ වූවාය. ඕ යශෝධරාය.
“ස්‌වාමිනී ඔබ තුළ නොපහන් මනදොළක්‌ වන්නෙහිද? ඔබ මුහුණ විඩාබරය. දෙනෙත් මැළවී ගොසින්ය. ඔබ කල්පනා ලොවක කිසියම් සිහිනයක්‌ දකින්නෙහිය.

යශෝධරා මොනතරම් තමන්ගේ සිත හඳුනන්නීද? පිය රජුගෙන්ද ඇයට ලැබුණේ චෝදනා මුසු වදන්ය. ඇය තමන්ට රිසි සේ හුදෙකලාව ඉන්ට ඉඩ හැරීම නොමැනවයි යන්න පිය රජුගේ අදහස විය. යශෝධරා කුමරියගේ සන්සුන් ඉඳුරන්ද මෘදු හැසිරීම්ද සිදුහත් තුළ ඇති කළේ පිවිතුරු ස්‌නේහයකි. එහෙත් සිය සංසාර මිතුරියට පිටුපා රහසින්ම තමන් ආ ගමන අර්ථවත් කර ගැනීම ඇයට කරන වටිනාම ගෞරවය බව සිදුහත්ට හැඟිණි.

ඇසළ සැණකෙළි, කෝලහලය නුවර වීදි දිගේ ගලා යද්දී යශෝධරා දෙස එක්‌වරක්‌ පමණක්‌ බලා තමා සියල්ල හැර ආ අයුරු ඔහුට සිහිවිය. රහල් පුතු සමග ඇය නින්දත් නොනින්දත් අතර සිටියා විය යුතුය. කිසිදිනක තමා වළකාලන්නට නොවේ ඇය නම් කටයුතු කළේ. සංසාර චාරිකාවේ අත්වැල නොසිඳම ආ ගමන නිබඳ තමන්ට දිරියක්‌ වූ අයුරුද සිදුහත්ට සැණකින් සිහි විය.

වැලිතලාව මත වැටී තිබුණු තම සෙවණැල්ල දික්‌වී කෙළවරක්‌ නොපෙනෙන තරම් විය. අන්ධකාරය සෙමින් බඩගාන අයුරු ඔහු එවේලේ දුටුවේය. දැන් රාත්‍රිය ගෙවන්නට වනපෙතෙහි හෝ නැතහොත් වැලිතලාව මත හෝ ඉඩක්‌ සලසා ගත යුතුය. ආශ්වාස ප්‍රශ්වාස කරන හඬ ඔහුටම ඇසෙන තරම් හාත්පස නිශ්ශබ්දතාව ගලා ගොස්‌ තිබුණි.

මේ මුදු වැලිතලාව සිය ඉරණම් ගමන හා දිගු සබඳතාවක්‌ තිබෙන ස්‌ථානයක්‌ විය යුතු බව ඔහුගේ සිතට දැනුණි. සැබැවින්ම එම උරුවේල නදිය අසබඩ වැලිතලාව යට අපූර්ව කතාවක්‌ සැඟවී තිබිණ. අද එතැන මිනිස්‌ කට හඬින් තොරය. එහෙත් එය කලක්‌ මුළුල්ලේ අප්‍රමාණ තවුසන් ගැටුණු පන්සලකි. මේ රමණීය වැලිමළුව ඉදිවූයේද ඒ තවුසන් අතින්මය. ඒ කෙසේද යත්? කිසියම් ව්‍රත සීලයක පිහිටි දහස්‌ ගණන් තවුසෝ එහි වූහ. ඉන් කිසියම් කෙනෙක්‌ කවර හෝ දිනක කවර හෝ කාය වාක්‌ වසයෙන් ඇවැතක්‌ සිදු කළේ නම් ඒ සඳහා නියමවූ දණ්‌ඩනයක්‌ විය. එනම් තමන් විසින් මෙආකාර ඇවැතක්‌ කරන ලදැයි කියමින් ඒ උරුවේල නදියට බැස, එහි පත්ලට කිමිද වැලි ගොටුවක්‌ රැගෙන එහි විසුරුවීම එම දණ්‌ඩන නියමය විය.

මෙසේ අප්‍රමාණව නදියෙහි කිමිදුණු තවුසන් විසින් දිගු කලක්‌ මුළුල්ලෙහි තම තමන්ගේ කාය වාක්‌ ඇවැත් වෙනුවෙන් හිලව්වට මෙන් ගොඩ ගැසූ වැලිගොටු තැන්පත්ව ඒ රමණීය වැලිතලාව නිමවී තිබුණි. එහි කිසි දිනක අපවිත්‍ර දැයක්‌ නොගැවිණි. මහ වැසි වැටී නදිය උතුරා ගියත් වැලිතලයට මඳ හෝ හානියක්‌ නොවීය. සිව්පා සතකු තබා කුරුල්ලකුගේ පා සටහනක්‌ තරම්වත් නොලද හෙයින්ද වැලිතලාව මනාව සෝබාමත්ව තිබුණි.

එවේලෙහි සිදුහත් තවුසාට මෙවන් සිතිවිල්ලක්‌ පහළ විය. තමන් දැඩි අධිෂ්ඨානයෙන් අබිනික්‌මන් කර යොදුන් ගණනින් ගෙවා ආ ගමන තවමත් අවසන්ව නැත. ඒ විමුක්‌ති මඟ සොයා ජීවිතය වෙළා ගත් දුක්‌, තැවුල් අවසන් කිරීමට වීර්ය වැඩිය යුතුය. මේ ඒ සඳහා මනාව සැකසුණු බිමය. මිනිස්‌ කටහඬක්‌ නැත. ජලයද ආහාරයට සුදුසු වන දලු, මුල් හා පලද සුසැදි වනපෙතය. විවේකීව සියලු කටයුතු කළ හැකිය යනාදී වශයෙන් සිහි කරන්නට වූ සිදුහත් තුළ ඉතා බලවත් අධිෂ්ඨානයක්‌ද නැගුණි.

පළමු රැය නිර්බාධිතව, සන්සුන්ව ගෙවූ සිදුහත් තවුසා එතැන් පටන් සිය සිරුරට නොයෙක්‌ පීඩා දෙමින් සිත දමනය කර ගැනීමට වෑයම් කළේය. එය මහා දුෂ්කර ක්‍රියාවක ඇරඹුම විය. තමන් සොයා යන ප්‍රඥව නමැති ආලෝකය දැක ගැනීමේ එකම මඟ දුෂ්කර ක්‍රියාව බවද සිදුහත් සිතීය. දින ගණන් නිරාහාරව සිටීම සිදුහත්ට සාමාන්‍ය දෙයක්‌ විය. ඇතැම් දිනක තල් ඇටයක්‌ තරම් ඉතා සුළු දෙයක්‌ ආහාරයට ගැනීමට සිදුහත් තවුසා හුරු විය. රැයය දවාලය යන වෙනස පවා නොමැතිව කයට වද දෙමින්ම සැනසීම සොයා ගත හැකිය. යන සිතිවිල්ලෙන්ම ඔහු එහි පසු විය.

මේ දුෂ්කර ක්‍රියාව ඇරඹු කල්හිම සිදුහත් තවුසා සිටි ඉසව්වට තවත් අමුත්තෝ පස්‌ දෙනෙක්‌ පැමිණියහ. ඒ අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අසසජි යන පස්‌වග තවුසෝය. සිදුහත් අබිනික්‌මන් කළ වග ඇසු ඔවුහු උරුවේල නදිය අසබඩට පැමිණියෝ සිදුහත් තවුසන්ගේ දුෂ්කර ක්‍රියාවද දැක පහන් සිත්ව ඔවුන්ට අතවැසි වන්නෙමුයි එහි නතර වූහ. මේ පස්‌වග මහණුන්ද විමුක්‌තිය සොයමින් විවිධ ගුරුවරුන් සමගද වෙනත් යෝගීන් සමගද දිගු කලක්‌ ගෙවූහ. සිදුහත් තවුසා දුටු වේලෙහිම ඔවුන් ඒකාන්ත වශයෙන්ම විමුක්‌ති මාර්ගය සොයා යනු ඇති වග සිතා සිදුහත් විසින් යම් සත්‍යයක්‌ පසක්‌ කර ගනීද එය තමන්ටද පිහිට වනු ඇතැයි නිගමනය කළහ.

මේ කාලය තුළ සිදුහත් තවුසා විසින් ඔවුන්ගේ සිරුරට දෙන ලද පීඩාව පස්‌වග මහණුන්ගේද විස්‌මයට හේතු විය. එන්ට එන්ටම සිදුහත්ගේ සිරුර කෘශව යන අයුරු ඔවුහු දුටුහ. සිදුහත් වැදහොත් තැනින් නොනැඟිට එක ඉරියව්වේම දින සති ගණන් පසුවන අයුරු ඔව්හු බලා සිටියහ. මේසා ආහාර වැරීමෙන් ඔහුගේ ජීවිතයද අනතුරකට පත් නොවේදෝ යන බියද පස්‌වග මහණුන් තුළ වැඩුණි. එසේ සිතන ඔවුන් තුළ මහා සංවේගයක්‌ද උපනී.

මේ තරම් වීර්යෙන්ද ධෛර්යෙන්ද යුත් මිනිසකු මනු ලොව තබා කිසිදු සත්ත්ව ලොවක නොසිටිය හැකි බව ඔවුන්ගේ අදහස විය. කිසියම් සම්‍යයක්‌ දෙවි කෙනකු හෝ සමූහයක්‌ විසින් සිදුහත් රැක බලා ගනු ඇතැයිද ඔවුන්ට හැඟුණි. ස්‌වභාවයෙන්ම රුසිරියෙන් යුතු සිදුහත් විරූපීව, කාලවර්ණව අඳුනා ගත නොහැකි තරමටම වෙනස්‌වී ඇති වග පස්‌වග තවුසෝ දුටුහ. ඇස්‌ ගිලිණි. හකු පෑදිණි. ඉළ ඇට මතුවිණි. උකුල් ඇටද අත්පාවල ඇටද ගණන් කළ හැකි තරමටම පෑදිණි. උදරයට අත ගෑවුණු කල පිටකොන්ද අතට දැනෙන තරමටම සිරුර කෘශ විය. එහෙත් සිහිය මනාව පිහිටියේය. දර්ශන මාත්‍රයෙහි හෝ කිසිදු දුබලතාවක්‌ නොවීය. ස්‌මරණ ශක්‌තියද මඳකින් හෝ නොසෙල් විණි.

 සිදුහත් දවස මුළුල්ලෙහිම සිටියේ බිම හිඳ සිරුර සෘජුව තබාගෙන වුවද ඇතැම් විටක සුළඟින් සෙලවෙන වැලක්‌ සේ බිම වැතිරෙන්ටද විය. එකල්හි ඔවුනට නැගී සිsටීම අසීරු විය. එහෙත් කිසිවකුගේ අත් උදව්වකුදු නොලැබ තෙමේම නැගී සිටියි. ස්‌වල්ප වේලාවක්‌ සක්‌මන් කරනු රිසිවුව සිරුරට වාරු නැති විය. ඇතැම් දිනක සිදුහත් මියයන්නට ඇතැයි සිතෙන තරමටම දසුන් මැවිණි. එහෙත් සිදුහත් යනු අධිෂ්ඨානයේද වීර්යයෙහිද පරමාදර්ශයම විය.
 මෙසේ පස්‌වග මහණහු සා අවුරුද්දක්‌ම සිදුහත් දෙස බලා ගෙන ඔහු අත්නොහැර විසූහ. මෙම දුෂ්කර ක්‍රියා භූමිය තුළ තවත් කොපමණ කලක්‌ මෙසේ රැඳී සිsටිය හැකි වේදෝ යන සිතිවිල්ලද ඔවුන් තුළ වැඩෙමින් තිබුණි. සැබැවින්ම එයද ස්‌වභාවිකය. තවත් කොපමණ කාලයක්‌ එලෙස රැඳෙන්ටද? මේ දුබල සිරුර යළි කිසි දිනක යථා පරිදි වැඩේද? කය දුබල වූ හෙයින් විමුක්‌ති මාර්ගයට කෙසේ ළංවිය හැකිද? යනාදී දහසක්‌ පැන ඔවුන් තුළම නැගෙන්ටද විය. සත්‍යය ගවේෂණය යනු ලේසියෙන් ළංවිය නොහැකිවා ඒකාන්තය. මේසා දුක්‌ පීඩා දීත් ළංවිය නොහැකිවූ විමුක්‌ති මග යළි කිසිසේත් පාදා ගත නොහැකිය යන සිතිවිල්ලද පස්‌වග තවුසන් තුළ තැන්පත් වන්ට විය.
 මෙකල්හි සිදුහත් තවුසා තුළද එබඳුම සිතිවිලි නැගෙන්ට විය. මිනිසකු විසින් සිය සිරුරට දිය නොහැකි තරම් පීඩා, තැවුල් මම මගේ සිරුරට දුන්නෙමි. ආහාර තබා ජලයද වර්ජිතව පසුවීමි. එකම ඉරියව්වේ සති ගණන් අසීරුවෙන් ගත කළෙමි. මගේ සිරුර මහපොළවටද ඉන් මතු වූ තණ, වැල් පඳුරු ආදියටද වැසී යන තරම් විය. එහෙත් මම ඒ කිසිවකින් අවීර්ය නොවීමි. තමා වටා මාර දිව්‍ය පුත් තෙමේ නිතර සැරිසරන්ටද විය. මා මිය ගිය බව ඔහු මගේ පියාට මෙන්ම යශෝධරාවන්ටද ඉනුත් නොනැවතී මගේ නෑයින්ටද කීය. කිසිවෙක්‌ මරුගේ වදන් නොගත්හ. මට දෙවි බඹුන්ගෙන් රුකුලක්‌ නොලැබුණද ඔවුන් මට ඒකාන්තයෙන්ම ආශිර්වාද කරන්නට ඇත. අව්ව, වැස්‌ස, සුළඟ යන සොබා දහමේ පීඩා මට අපමණව ලැබුණි. තද වැසි වැටෙද්දී මම අඳුරු ගුහාවක ආවරණ ලදමි. විසකුරු නා පිඹුරු ආදී උරගයෝ මා අසලද මා වටාද නිබඳ වූහ. උන්ගෙන් මට කුහුඹුවකුගේ තරම් පීඩාවක්‌ද නොවීය. වෙනත් සිව්පාවෝද මා සමග සම්මුතියකට ආ ලෙසින් මට බාධා නොකරම උන්හ.

මේ සියල්ල මගේ අධිෂ්ඨාන ශීලය ළඟ පසු බා ගියාද විය හැකිය. එහෙත් සයවසක්‌ ඇවෑමෙන් මා ලද යහපත කුමක්‌ද? මට එක්‌ දෙයක්‌ පසක්‌ විය. මේ දුක්‌ පිළිවෙත වඩා මා ලබාගත් ඥනයක්‌, පලයක්‌ නම් නැත. දැන් මේ මග අත්හරින්නට කාලය එළැඹ ඇත. යළිත් ආහාර පර්යේෂණ කර සිරුර නංවා අන්මගක්‌ ගත යුතුය. ඉනික්‌බිතිව බුද්ධ ඥනය ලබා ගැනීමට වෑයම් කළ යුතුය. මම දැන්ම මේ දුකටකිරිය අත්හැරීම පැණසරයයි සනිටුහන් කර ගත්තේය.

 පස්‌වග මහණුන් තුළද මේ වෙනස විමතියට හේතු විය. දැන් සිදුහත් තවුසාණෝ දුක්‌මඟ අත්හැර ඇත්තාහ. කෙමෙන් ඔවුන්ගේ සිරුරෙහි බලද පැහැද වැඩෙයි. මෙබඳු සුඛ මාර්ගයකින් නම් කිසිසේත් ඵලයක්‌ නොලැබෙන්නේය යන සිතින් පස්‌වග මහණෝද වෙන වෙනම කතා කර ඔවුන් අත්හැර යන්නටද අදිටන් කර ගත්හ. අවුරුදු සයක්‌ පමණ දිගු කලක්‌ එක්‌ව සිටි සිය විමුක්‌තිදායකයාණන් හැර යැම ද ඔවුන්ට පහසු නොවීය. ඒ ගැන සිතන හැම කල්හිම හද පැලී යන තරම් සොවක්‌ නැගුණි. එය නොමැනවැයිද ගුණමකු ක්‍රියාවකැයිද තවත් වරෙක හැඟුණි. කෙසේ වුවද අවසානයේදී ඔවුහු බලවත් උත්සාහයෙන් සිදුහත් තවුසාගෙන් සමුගෙන පෙරළා බරණැසට ගියහ.
සිදුහත් සිතට කිසිදු අමුත්තක්‌ නොවීය. මවිසින් කිසියම් අරමුණක්‌ උදෙසා අප්‍රමාණව දුක්‌ ගන්නා ලදද අසාමාන්‍යව උත්සාහ කරනා ලදද ඒ අරමුණ පැහැර හැර නොහැක්‌කේය. මා සමඟ සිටි සියල්ලෝම මා හැර ගියහයි සංවේග විය යුතුද නැත. මිනිස්‌ සිත සසලය. එහි බොහෝ සිතිවිලි නැගෙයි. වැඩෙයි. බිඳෙයි. එහෙත් ඒ සිත ජය ගන්නා තුරු සිතට අස්‌වැසිල්ලක්‌ නම් නොවන්නේමය. මා ජයගන්නා බව ඒකාන්තයෙන් දන්නා අය අතර මපියාණෝද මා සමග සංසාර චාරිකාවේ නිරත වූ යශෝධරාවෝද සිටිති. වරක්‌ මා මගේ පිය රජුන්ට කීවේ මා සොයා යන සත්‍යය හමුවන තුරුම මගේ ගමන සිදුවන බවය. එය ගංගාවක්‌ සේ ගලා යන්නකි. ගලන ගඟ, සමග හමුවන ගල්පරද වෙනත් බාධකද නොතකා ගලන්නේ යම් සේද මේ සිදුහත් නවතාලන්නට කිසිඳු බලවේගයකට නොහැකි වන්නේය ආදී ලෙස සිතන්ටද විය.
මෙසේ කල්පනා කළ සිදුහත් තමන් මෙතෙක්‌ විසූ උරුවේල නදිය අසබඩ පරිශ්‍රය හැර යා යුතු යෑයිද සනිටුහන් කර ගති. පසුදිනට යෙදී තිබුණේ පුර පසළොස්‌වක දිනයයි. වෛශාඛ යෝගයත් එදිනම විය. සන්සුන්ව ගමන් ඇරඹූ සිදුහත් තවුසාණෝ අලුයම් වේලෙහි නුග රුකක්‌ අසල නතර විය. මෙම උරුවේල ජනපදයෙහි සේනානි නම් ගමක්‌ විය. එගම සේනානි සිටුවරයාට සුජාතා නම් මහරුලියක්‌ද වූවාය. ඕ සසෝබනය. දන මන පොබ කරවන්නී පෙර කරන ලද මහ කුසල් ද ඇත්තීය. සුජාතාවන් විසින් සසර පුරා කරන ලද පැතුමක පල සේ උදාවන අපූර්ව නිමේෂයක්‌ සඳහා නේරංජනා නදී තෙර සැකසෙන බව ඕ නොදත්තීය. දෙවි බඹුන් විසින් අහස්‌හි වළාවියන් බැඳ දෙව් කුසුම් අතුරා මොනවට සකසන ලද නදී තීරය උදා හිරු රැසින් රිදී නිම්නයක්‌ සේ සුදිලෙන්නටද විය.

ගාමිණී සුමනසේකර

2. අර නිරාහාරව වැටිල හිටිය සෘෂීන්වහන්සේ ද මේ ... !
ஜ۩۞... පෙරවදන ...۞ ۩ஜ

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.