Skip to main content

සුමන බුද්ධ වංශය ( Sumana Buddha Wanshaya )

මංගල බුදුරදුන් ට පසු කාලයෙ හි සියලු ධර්මයෙන් අසම වූ,  සියලු සත්වයන් ට උතුම් වූ,  සුමන නම් ලෝකනායක තෙම විය. ඒ කාලයෙ හි ඒ සුමන බුදුරජහු ද මෙඛල නම් නුවර දී චතුරාර්ය සත්‍ය ධර්ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.

ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බොධිය ට බුදුබව ට පැමිණ නිවන් නමැති නුවරක් මැවී ය.   ඒ දහම් නමැති පුරයෙ හි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී ය. ඒ වීථියෙ හි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද,  සිව්පිළිසිඹියාවන් ද,  ෂඩ් අභිඥවෙන් ද, අට සමවත් ද පැතිර වීය.

යම් කෙනෙක් නො පමාවූවාහු ද,  පඤ්චචෙතොබලයෙන් සිතේ ඇනුණු උල් පසින් තොරවූවාහු ද,  ලජජාවෙන් හා වීර්යයෙන් යුක්තවූවාහු ද,  ඒ ඒ දෙවි මිනිස්සු මේ උතුම් ගුණයන් පහසුවෙන් ගණිත්. මෙ සේ සුමන ශාස්තෘන් වහන්සේ මේ ආකාරයෙන් මහජනයා සසර සයුරෙන් ගොඩලමින් කෝටි ලක‍ෂයක ට පළමුවර සිව්සස් අවබෝධ කරවූ සේක.
මහාවීරතෙම යම් කලෙක තීර්ථක සමූහයා ට අවවාද කළ සේක් ද,  ඒ දෙවනවර දම් දෙසුමෙ හි දී කෝටි දහසක් දෙනා ධර්මය අවබෝධ කළාහු ය. යම් කලෙක දෙවියෝ ද,  මිනිස්සු ද, සමගිවූවාහු, එක් සිත් ඇත්තාහු නිරෝධය නිවන පිළිබඳ ප්‍රශ්න ද, සිතේ හටගත් සැකය විචාළාහු ද, ඒ කාලයෙ හි නිවන් දක්වන දම් දෙසුමෙ හි දී කෝටි අනූ දහසක් දෙනා ට තුන්වනවර ධර්මය අවබෝධ විය.

මහාඍෂි වූ සුමන බුදුරදුන් ට හොඳ නරක දෙකෙ හි සම ව පවත්නා තාදී ගුණ ඇති,  රාගාදී කිලුටු නැති මහතුන් ගේ රැස්වීම් තුනක් විය. වස් විසූ භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණය දැන් වූ කල් හි කෝටි ලක‍ෂයක් භික‍ෂූන් සමග තථාගතයන් වහන්සේ පවාරණය කළ සේක. ඉන්පසු නිර්මල වූ කසුන් පව්වෙ හි රැස්වීමේ දී කෝටි අනූ දහසක ගේ දෙවන රැස්වීම විය. යම් කලෙක සක්දෙව් රජ බුදුන් දැකීම ට එළඹියේ ද, එ කල් හි කෝටි අනූ දහසක් දෙනා ගේ තුන්වන රැස්වීම විය.
මම ඒ කාලයෙ හි මහත් ඍධි ඇති,  වැඩුනු කුසල් රාශියක් ඇති,  නමින් “අතුල” නම් වූ නාගරාජයෙක් වීමි. ඒ කාලයෙ හි මම නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන් ගේ දිව්‍ය තූර්යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේ ට උවටැන් කළෙමි. කෝටි ලක‍ෂයක් භික‍ෂූන් ට ආහාර පානයෙන් සංග්‍රහ කළෙමි.   එක එක නම ට පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියෙමි.
ලෝකනායක වූ ඒ සුමන නම් බුදුරජහු ද, මෙයින් අපමණ කල්පයේ දී මෙතෙම බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ මංගල බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන්ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ සුමන බුදුරදුන් ගේ ද, වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි. සුමන බුදුරදුන් ගේ උපන් නතරය “මෙඛල” නම් වීය. පියතෙම “සුදත්ත” නම් රජ ය. වැදූ මව “සිරිමා” නමැති බිසව වූවා ය. ඒ සුමන බුදුහු බෝසත් කල අවුරුදි නව දහසක් ගිහිගෙයි විසී ය. චන්ද්‍රය,  සුචන්ද්‍රය,  වටංස ය යි උතුම් තුන් පහයක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ සැටතුන් දහසකි.   බිරිඳ “වටංසකී” නම් වූවා ය.  පුත් තෙම “අනූපම” නම් වීය.

සුමන ජිනරාජතෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කළේය. නො අඩු දසමසක් මුළුල්ලෙ හි බුදුවීම පිණිස  ප්‍රධාන වීර්යය මහා උත්සාහය කළේ ය. මහාවීර වූ සුමන නම් ලෝනාහිමිහු බඹහු විසින් අයදනා ලද්දේ,  මෙඛල නම් උතුම් නුවරෙ හි දී දම්සක් පැවැත්වූ සේක. සුමන බුදුරජුන් ට “සරණ” ද,  “භාවිතත්ත” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙමේ “උදාන” නම් වීය. “සොනා” ද, “උපසොනා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. අපමණ  පිරවර ඇති ඒ සුමන බුදුරජහු ද නා ගස මුල දී සිව්සස් අවබෝධ කළ සේක. “වරුණ” ද,  “සරණ” ද, යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූ හ. “මාලා” ද,  “උපමාලා” ද, යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ.

ඒ සුමන බුදුරජහු උසින් අසූ රියනක් උස්වූයේ,  රන් පහන් කනුවක් සේ දස දහසක් සක්වළ බැබලවී. ඒ කාලයෙ හි අවුරුදි අනූ දහසක් ආයුෂය පවතී. ඒ සුමන බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර කතරින් එතර කළ සේක.

සම්බුදුරජතෙම එතර කළ යුතු සත්ත‍වයින් සසරින් එතර කරවා අවබෝධ කළ යුතු සත්ත‍වයන් ට සිව්සස් අවබෝධ කරවීය. නැවත අස්තය ට ගිය තරු රජ සඳ මෙන් පිරිනිවි සේක.

ඒ රහත් භික්ෂූහු ද,  අසදෘශ ඒ සුමන බුදුරජහු ද, යන මහ පිරිවර ඇති උන්වහන්සේලා අසම වූ ශෝභාව දක්වා පිරිනිවි සේක. සමාන නො කළ හැකි ඒ බුදු නුවණ ද, තුලනය නො කළ හැකි ඒ බුද්ධාදී තෙරුවන් ද යන සියල්ල අතුරුදන් විය.   නො පෙනී ගියේ ය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

කීර්තිය දැරූ සුමන බුදුරජහු ද අංගාරාමයෙ හි දී පිරිනිවි සේක. එ හි ම උන්වහන්සේ ගේ ජින සෑය සිව් යොදුනක් ව උස් ව බඳින ලදී.
[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, සුමන බුද්ධ වංශය]

උපුටාගැනීම – www.thiryak.org

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.