Skip to main content

සුනාපරන්තයට වැඩි පුණ්ණ මහරහතන් වහන්සේ …

 පුණ්ණ (සුනාපරන්ත) මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී  ” අනාගතයෙහි රහත් බව ලබා සසරින් එතර වෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කොට මිය පරලොව ගියහ. හේ නැවත බොහෝ කලක් සසර සැරිසරා බුද්ධ ශුන්‍යය කාලයක දී බ්‍රාහ්මණ කුලයක ඉපිද කාමයෙහි ආදිනව දැක ගිහි ගෙයින් නික්ම තවුස් පැවිද්ද ලැබ හිමාලය පර්වතය සමීපයෙහි පන්සලක් කොට විසීය. එකල්හි ඒ තාපසතුමා වාසය කළ පන්සලට සමීපයෙහි වාසය කළ එක්තරා පසේ බුදු කෙනෙක් ආබාධයකින් පිරිනිවන පෑ සේක, ඒ පිරිනිවීමත් සමග මහා ආලෝකයක් පහළ විය.

ඒ දුටු තාපස තුමා ඒ කුමක් නිසා වුවක් දැ යි විමසනුයේ පිරිනිවන් පෑ පසේ බුදුරජාණන් වහන්සේව දැක දර සෑයක් බැඳ උන්වහන්සේ ආදාහනය කෙළේ ය. ඒ දුටු එක්තරා දේවතාවෙක් අහසේ සිට” යහපත සත්පුරුෂය, ඔබ විසින් මහා කුසලයක් කරන ලද්දෙහි ය” යි කීවේ ය. හෙතෙම මෙබඳු බොහෝ පිකොට පසු කාලයකදී අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සුනාපරන්ත ජනපදයෙහි සුප්පාරක පටුනෙහි ගෘහපති කුලයක ඉපිද පුණ්ණ නමින් ප්‍රසිද්ධ ව විසීය. 

පුණ්ණ මානවක තෙමේ ගැල් සමුහයක් ද රැගෙන සැවැත් නුවරට වෙළදාම් පිණිස ගියේ ය. එසමයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වසන ස්ක. හෙතෙම අනික් මිනිසුන් සමග දෙව්රම් වෙහෙරට ගොස් බණ අසා පැහැදී මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පැවිදි විය. පුණ්ණ තෙරුන් වහන්සේ එක් දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ” ස්වාමීනි, මට කෙටියෙන් අවවාද දෙන්න. ඒ අවවාද අසා ගෙන මට මගේ උපරට වූ සුනාපරන්ත ජනපදයට යන්නෙමි” යි පැවසූ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ පුණ තෙරුන් පරීක්ෂා කිරීමට සිතා ප්‍රශ්න කීපයක් විචාළ සේස්ත. ඒ සියලු ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන් පූණ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අසා ගෙන ආපසු සුනාපරන්ත ජනපදයට ම වැඩ එහිදී විදර්ශනා වඩා රහත් වු හ. පුණ්ණ තෙරුන් වහන්සේ සුනාපරන්ත වාසී පන්සියයක් පුරුෂයන් උපාසක බවට ද පන්සියයක් ස්ත්‍රීන් උපාසිකාවන් බවට ද පත් කළ සේක. උන්වහන්සේ එහි රත් සඳුන් ලීයෙන් ගඳ කිළියක් කොට බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂුන් පිරිවරා මෙහි වැඩිය මැනව” යි අධිෂ්ඨාන කොට මල් අස්නක් සෘද්ධියෙන් යැවූ සේක. බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් පන්සියයක් භික්ෂුන් සමග එහි වැඩ එම රත් සඳුන් ගඳකිළියෙහි වැඩ සිටි සේක. පුණ්ණ මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලය තුලම සුනාපරන්ත ජනපදයෙහි වැඩ වෙසෙමින් බොහෝ දෙනාට ධර්මය අවබෝධ කරවා එහිම පිරිනිවන් පෑ ස්ක. උන්වහන්සේ අසු මහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.