Skip to main content

සිරිපා මලුව යට ඇති අදුරු ගුහා‍වේ කථාව සත්‍යයක්ද?

බුදු රදුන් වහන්සේගේ සිරිපා සටහන ඉදුනිල් මැණිකක් මත තබා ඇති බවත්, එම සිරිපා සටහන වසා පර්වතයක් තබා දැනට ඇති ශ්‍රීපාද ලාංඡනය කොටා ඇති බවත් පුරාණයේ සිටම බෞද්ධයන් අතර විශ්වාසයක් හා පිළිගැනීමක් පවතී.
සිරිපා මළුවේ කැපූ කළු ගල් අතුරවා මළුව වටා ශක්තිමත් අන්දමින් ප්‍රාකාරය බන්දවා 1940දී ප්‍රතිසංස්කරණය කරන ලදී.
සිරිපා සටහන පිහිටි පර්වතයත්, සමන් දෙවි මැදුරත් අතර තිබුණු දොළොස්මහේ පහන එතැනින් ඉවත්කොට එහි කළු ගල් ඇතිරවීමට පොළව හෑරීමේදී එතැනින් අදුරු වූ ගැඹුරු කුහරයක් පෑදුනු බවත්, එම කුහරයෙන් දක්නට ලැබුණු පරිදි බාල්ක වැනි විශාල ගල් කුළුණු මත මෙම පර්වතය තබා ඇති බව විශ්වාස කළ හැකි බවත්, මළුවෙහි ගල් ඇතිරවීමට අවහිර කිරීමට මෙන් කළු දෙබරුන් මතුවී වැඩ කළ කම්කරුවන්ට අනින්නට වූ බවත් එකල ශ්‍රී පාදස්ථානයෙහි භාරකාර ධුරය දැරූ සිඩ්නි එල්ලාවල මහතා තමන් වහන්සේ සමග පැවසූ බව රාජකීය පණ්ඩිත කිරි ඇල්ලේ ඥාණවිමල හිමියෝ සදහන් කරති.
මෙම අදුරු ගුහාවට එළිය වැටෙන කුහර කීපයක් මළුවට පහලින් මහගිරි දඹය වටා ඇති අතර දෙබරුන් රිංගන්නේ එම කුහර වලින් බවත් කියනු ලැබේ.
සමන් දෙව් රජුන් හෝ වෙනත් රජෙකු විසින් හෝ සිරිපා සටහන තැබූ ඉදුනිල් මැණික වසා එහි ආරක්ෂාව පිණිස මෙසේ ගල් කුලුණු මත මෙම පර්වතය තැබුවා විය හැකිය. කෙසේ වෙතත් සිරිපා මළුවේ අදුරු ගුහාවක් ඇති බව ඉහත සිද්ධියෙන් ද හෙළිවේ.
ඊට වැඩි යමක් දැන ගන්නට නම් ඒ ගැන පර්යේෂණ කළ යුතුය.

— 1987 අප්‍රේල් 21 වන දින කල්පනා සගරාවෙන් උපුටා ගන්නා ලදී ——

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.