Skip to main content

ස්ත්‍රියක් පසු පස පැමිණී කුණ්ඩදාන තෙරණුවෝ …

අප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සසුන් පිළිවෙත් පිරූ කුණ්ඩදාන නම් භික්ෂුවක් වාසය කළහ. උන්වහන්සේ පැවිදි වු දින සිට එක්තරා ස්ත්‍රියක් උන්වහන්සේ පසු පස හැම විටම, හැම තැනටම එන්නට විය. එහෙත් තෙරුන් වහන්සේ එය නොදක්නා සේක. එහෙත් අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද අවට සිටින ජනයා ද එය දකින්නාහ. උන්වහන්සේ පිඬු සිඟා වැඩිය කල්හි දන් පිළිගන්වන ජනතාව,

“මේ කොටස නුඹ වහන්සේටය. මේ කොටස නුඹ වහන්සේගේ යෙහෙළියටය.”

යනාදී වශයෙන් පවසා දන් බෙදන්නෝය. උන්වහන්සේ යන යන හැම තැන්හිම මේ ගැහැණු රූපය පැමිණෙන බැවින් උන්වහන්සේ කුණ්ඩදාන තෙරුන් වහන්සේ යැයි ප්‍රසිද්ධියට පත්විය. එහෙත් අර්හත් තත්ත්වයට පත්වීමෙන් පසුව එම ගැහැණු රුව උන්වහන්සේ වෙතින් අතුරුදහන් විය.
කුණ්ඩදාන තෙරුන් වහන්සේ පසු පස ස්ත්‍රී රුවක් පැමිණීමට හේතුව පිළිබඳව භික්ෂූන් වහන්සේලා අතර කතා බහක් ඇති වූ අවස්ථාවේ දී එය උන්වහන්සේ විසින් කරන ලද පෙර පෙර කර්මයක විපාකයක් වශයෙන් සිදුවු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළහ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉතා මිත්‍රශීලීව එකම මෑණියන්ගේ දරුවන් මෙන් ඉතා සමගි සම්පන්නව වාසය කළහ. මේ දෙනම එක්ව මාසයකට වරක් පොහොය කරන්නාහ. එක් වී දානය වළදන්නාහ. දිනක් මේ දෙනම පොහොය කරන්නට යන කල්හි තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කළ එක් දේවතාවෙක් උන්වහන්සේලාගේ සමගි සම්පන්න බව දැක එය බිඳ හෙලන්නට සිතුවේය.

ඒ සඳහා අවස්ථාවක් බලමින් සිටි දෙවඟන විසින් උන්වහන්සේලා දෙනමගෙන් එක් නමක් ශරීර කෘත්‍ය සඳහා ගොස් පැමිණෙන කල්හි ස්ත්‍රී රුවක් මවාගෙන අනෙක් භික්ෂුවට නොපෙනෙන ලෙසටත් ශරීර කෘත්‍ය කර පැමිණෙන භික්ෂුවට පෙනෙන ලෙසටත් හිසකෙස් ගවස ගවසා වස්ත්‍රය නැවත නැවත සකස් කරමින් ආවාසයෙහි සිට භික්ෂුව සමඟ එකට සිටියා වු ආකාරයක් දක්වමින් එතැනින් ගියේය. මෙය දුටු ශරීර කෘත්‍ය කොට එන තෙරුන් වහන්සේ ආවාස ගෙයි සිටි තෙරුන් වහන්සේ වෙත ගොස්;

“ඇවැත්නි, තොප නම් මේ භික්ෂු ශාසනයට සුදුසු නොවන්නේය. ;තාප ස්ත්‍රියක් හා ඇසුරෙහි යෙදෙන්නාහුය. එබැවින් අප අතර පොහොය කළ නො හැක්කේය.”

ආදී වශයෙන් කී කල්හි මේ කිසිවක් නොදත් තෙරුන් වහන්සේ හා අනිත් තෙරුන් වහන්සේ අතර වාද විවාද ඇති විය. එනිසා ඔවුන් අතර පැවැති සමගිය බිඳී ගොස් පොහොය කිරීම ද නතර වුයේය. අනතුරුව මේ බව දැනගත් දේවතාවා;

“මා විසින් කරන ලද්දේ ඉතා නපුරු අයහපත් දෙයක්ය” සිතා තෙරුන් වහන්සේලා වෙත පැමිණ;

“ස්වාමීනි, ආවාස ගෙයි සිටි තෙරුන් වහන්සේගේ සීලයෙහි කිසිදු හානියක් නැත්තේය. ඔබ වහන්සේලාගේ මිත්‍රකම බලනු රිසියෙන් මා විසින් එසේ කරන ලද්දෙමි.” යි කියා.

නැවතත් පොහොය කරන්නට උන්වහන්සේලා දෙනම සමගි කළහ. එහෙත් ඒ කරුණින් සිත එකඟ කිරීමට නොහැකි වු බැවින් නිවනට නො පැමිණි ඒ දෙනම මරණින් මතු දෙව් ලොව උපත ලැබීය. දේවතාවා ද කරන ලද අකුසල කර්මය හේතුවෙන් අවීචි මහා නරකයෙහි උපත ලබා බුද්ධාන්තරයක් කල් එහි දුක් විඳ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර ඉපි ද පැවැදි වුයේය. පැවිදි වූ දින පටන් උන්වහන්සේ විසින් දේවතාවෙක්ව සිටි අවදියේ දී කරන ලද අකුසල කර්මය හේතුවෙන් ස්ත්‍රී රුවක් පසු පස ගමන් කළ බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට ධර්මය දේශනා කළහ. ඒ භික්ෂූහුද මාර්ග ඵලාවබෝධයට පැමිණියහ.

ආදර්ශය –

දස කුසල ධර්මයෙහි පිහිට වු සිත ඒ සිතින් යුක්ත තැනැත්තාට ඒ හේතුවෙන් මවුපියාදීන් විසින් නො දෙනු හැකි සක්විති සැප, දිව්‍ය සැප, ධ්‍යාන සැප, ලෝකෝත්තර සැප ආදිය ලබා දීමෙන් ශ්‍රේෂ්ඨයකු කරන්නේය. යහපතෙහි යෙදූ සිතින් ම ශ්‍රේෂ්ඨයකු විනා අන් කිසිවකින් ශ්‍රේෂ්ඨයකු විය නොහැක්කේය. ලෝකෝත්තර සම්පත් ලැබීමෙන් දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් පිදිය යුතු වන්නේත් දස කුසල ධර්මයෙහි යෙදු සිතැත්තේය.

උපුටාගැනීම
http://www.dinamina.lk/2012/04/25/_art.asp?fn=a1204251

මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය පලකරන ලදි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.