Skip to main content

ශ්‍රීමත් ජනාධිපතිතුමා වෙතට යි …

(උතුරේ කැරෙන ත්‍රස්තවා දී ක්‍රියා එන්න එන්න ම උත්සන්න වෙමින් පවත්නා සේ ය. මේ වූ කලි අද ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදුවී ඇති බලවත් ම තර්ජනයෙකි. මේ උවදුර නැති කරනු වස් අප මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කලෙක සිට සාධරණ විසැඳුම් මඟක් ඉදිරිපත් කැර ඇත. එය එළි පෑදුම් කැරෙන මේ සන්දේශයෙහි කාලෝවිත භාවය සලකා මෙහි ලා ‍මෙ සේ පළ කරන්නට අදහස් කෙළෙමු)

ශ්‍රීමත් ජනාධිපතිතුමනි,

යාපනේ කලබල පසුගියදා ඇති වූයේ 1977 තේ අගෝස්තු 16 වැනිදා උදේ ය. 19 වැනිදා වන විට ලංකා පුරා ම පැතිරි ගියේ ය. යෝජනා පහකින් යුත් මගේ සන්දේශය අගෝස්තු 22 වැනිදා මහරගම මන්ත්‍රී දැන් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ප්‍රෙමරත්න ගුණසේකර මහතා මඟින් ජනාධිපතිතුමා අතට පත් කෙළෙමි. එය ඔබතුමා අතට පත් වු බව නිසැක වම දන්නේ ඒ සන්දේශ පිටපත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දෙන ලදු වැ පුවත් පත්වල පළ වූ නිසා ය.

එ සේ පුවත්පත්වල පළ කරවීම නිසා මාත් තව බොහෝ දෙනාත් අනුමානයෙන් සිතුවේ ජනාධිපතිතුමා ඒ යෝජනා පහ පිළිගන්නට ඇත කියා ය. විපක්‍ෂ නායක ඒ අම්ර්තලිංගම් මන්ත්‍රීතුමාටත් අපට පහළ වූ සිතිවිල්ල ම ඇති වී එබඳු සන්දේශයක් ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවෙන් පුවත්පත් වලට දීම වැරදි ය යි ප්‍රකාශ කළා. ඒ සන්දේශයෙහි ලියූ එක් වාක්‍යයක් නම්, “මේ යෝජනා පහ ක්‍රියාත්මක කළොත් ශ්‍රි ලංකාවේ නැවැත කවරදාක වත් ජාතිවාදී කෝලාහල ඇති වන්නේ නැත” යනු යි.

ශ්‍රීමත් ජනාධිපතිතුමා ධර්මිෂ්ඨ නිවහල් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවැ හිතන්නට ඇත්තේ හිතවත් වැ සංග්‍රහ කළ විට රෞද්‍ර සතුනුත් මෙල්ල වී හිතවත් වන්නා සේ හිතවත් වැ සංග්‍රහ කළ විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත් හිතවත් වේවි කියා ය. ඉතින් උණ ලඩාට වතුර දෙන්නාක් මෙන් දුන්නා දුන්නා දුන්නා තමයි. අන්තිමේ දී සිංහලයන් බොහෝ දෙනෙකු විරුද්ධත්වය දක්වද්දී ඇතැම් දමිළයන් ගේ බලවත් බලා පොරොත්තුවක් වන දිසා සංවර්ධන සභාත් දුන්නා. ඊළම හැරෙන්න වුවමානා අනෙක් සියල්ල ම දුන්නා යැ යි ඔබතුමාත් ප්‍රසිද්ධියේ කියා තුබුණා.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි, ඔබතුමා ගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිය අනුවැ අවුරුදු තුනක් මුළුල්ලේ හිතවත් වැ සාධාරණ වැ සංග්‍රහ කළා. ‘කොටි’ සංවිධානයක් නිසා ඔවුන් ස්වල්පයක් වත් මෙල්ල වුණේ නැති බව පසු ගියදා යාපනේ සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් ගෙන් පෙනේ. ඔබතුමා හොඳ හිතින් ගිය මඟ වැරදුණා. මොනවා කරන්න ද? ඔහොම තමයි ලෝකේ හැටි! දැන් ඉතින් තවත් මඟක් සොයන්න යි තිබෙන්නේ. එය කළ හැක්කේ ජනාධිපතිතුමාට මයි. එයට සුළු උපකාරයක් වශයෙන් 1977 අගොස්තු 22 වැනිදා ඔබතුමා අතට පත් කළ සන්දේශයේ යෝජනා පහ තවත් විවරණ ඇති වැ වීවෘත සන්දේශයෙකින් ඉදිරිපත් කරන්නේ මෙය කියවන එබතුමාටත්, රටටත්, හිතවත් අය ඔබතුමා සමඟ මේ ගැන කතා කරාවි ය යන බලාපොරොත්තුවෙනි.

යෝජනා – 1

සමහර දමිළයන් සිංහලකමත් බෞද්ධකමත් දූෂණය කෙරෙමින් ලොව පුරා බොරු පතුරුවා ඇත. ඒවා බොරු බව පෙන්වාදීමට ඉතිහාසයත් සංඛ්‍යා ලේඛනත් ඇතුළු වැ කුඩා පොතක් සිංහල දෙමළ ඉංග්‍රිසි යන තුන් බසින් ම මුද්‍රණය කවා ප්‍රචාරය කිරීම යි. තවද දකුණු ඉන්දියාව දන්නේත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කියන බොරු ම යි. එ හෙයින් මේ පොතුත් රැගෙන උගත් වැදගත් නියෝජිත පිරිසක් ගොස් දකුණු ඉන්දිය‍ා රජයට කරුණු පෙන්වාදීම යි. සුළු ජාතියන් ව දමිළයට කිසි අසාධාරණයක් කැරැ නැති බව පැහැදිළි කැරැදීම යි. ශ්‍රී ලංකාව තරම් සුළු ජාතිකයනට සාධාරණ වැ සලකන රටක් ලොවැ කොහි වත් නැති බව ඔප්පු කැරැදීම යි. සාධක වශයෙන් ශ්‍රි ලංකාවෙහි මුද්දරේ මුදල් කොළේ පවා දෙමළ වචන යොදා ඇතත් දමිළයන් ගේ මුල් රට වන ඉන්දියාවේ වත් එ බන්දක් කැරැ නැති බව පෙන්වාදීම යි.

තවද ඒ ඉංග්‍රීසි පිටපත් ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ මාර්ගයෙන් ලොව පුරා වගකිව යුත්තන් අතට පත් කිරීම යි. එය කියවන බුද්ධිමත් ජනතාව ශ්‍රී ලංකාව තරම් සුළු ජාතිකයනට සාධාරණ වැ සලකන රටක් ලොවැ කොහි වත් නැතැ යි හිතනු ඒකාන්ත යි. එ බන්දක් සිදු නො වූ නිසා ලොව පුරා බොරු ප්‍රචාරය කොපමණ තිබෙනවා දැ යි කිව හොත් පසුගියදා සර්වජන ඡන්ද බලය පිළිබඳ සම්මන්ත්‍රණයට පැමිණි ඇතැමුනට සිදු වූ අකරතැබ්බය සිහියට ගන්න. කෙසේ වුවත් එය පිළිබඳ වැ ශ්‍රීමත් ජනාධිපතිතුමා ගේ කතා ඉතා වැදගති. මේ සමහර දම්ළයන් ගේ බොරු නිසා අපේ තත්ත්වය බිමැ හෙළාගත්තා නො වේ දැ යි බ්‍රිතාන්‍යයෙහි උගතුන් ද සිතනවා නො අනුමාන යි.

තව ද දෙමිළ බසින් මුද්‍රිත පොත් හැම දෙමළ ගෙදරකට ම ලැබෙන්න සැලැස්වීම යි, දමිළ දේශපාලකයන් දමිළ ජනතාව බොරුවෙන් මුළා කැරැගෙන සිටිනවා. මෙ බඳු පොතක් ලැබුණා නම් ඔවුන් හරි අවබෝධයක් ඇති කැරැගෙන මෙ බඳු සාධාරණ තත්ත්වයක් අපට දී තිබිය දී අප පොළඹවා බිල්ලට දෙන්න හදනවා යැ යි බොරුව ගෙන යන දේශ පාලකයනට විරුද්ධ වැ නැගී සිටින්නට හොඳට ම ඉඩ තුබුණා.

කවර හේතුවක් නිසා හෝ එ බඳු පොතක් නිකුත් නොවුණ නිසා සන්සෝනි කොමිසම පත් කළ පසු මේ කාර්ය මට හැකි පමණින් සපුරන්නට අදහස් කැරැගතිමි. සේදවත්තේ ධම්මරුචි ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කොට මා ළඟ තුබුණු තොරතුරු හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙළෙන් උන් වහන්සේ ද ඒ ගැන අතිශයින් උනන්දු වු හ.

ඉතිහාසඥයන් ද පිළිගත් නීතිවේදීන් ද මහරගම ධර්මායතනයට කැඳවා ගෙන බොහෝ වාරයක් සාකච්ඡා කොට එක් රැස් කැරැගත් පසු ධම්මරුවි ස්වාමීන් විසින් සන්දේශය ඉංශ්‍රීසියෙන් ලියන ලදි. උතුර හා යාපනය පිළිබඳ වැ දමිළයන් කියන ඉතිහාසය බොරු බව මෙ රට හා පිට රට ඉතිහාසඥයන් ගේ කරුණු අනු වැ ඔප්පු කැරැ ඇත. විවිධ සංඛ්‍යා ලේඛන අනුවැ දමිළයනට අසාධාරණයක් වී ඇතැයි කීම බොරු බවත් හැම අසාධාරණ තත්වයක් වී තිබෙන්නේ මහජාතිය වූ සිංහලයනට බවත් පැහැදිළි වැ ම පෙන්වා ඇත. සිංහල බසින් ද ලියා ඇති මේ සන්දේශය දැන් දෙමළ බසට පරිවර්තනය කරනු ලැබේ.

1979 ජුනි 11 වැනිදා මේ සන්දේශය සන්සෝනි කොමිසමට ඉදිරිපත් කරන ලදි. පිළිගත් නීතිවේදින් වන වෝල්ටර් විමලචන්ද්‍ර, ඩබ්ලියු. පී. ගුණතිලක, එච්. ම්. ජී. හේරත් යන මහත්වරුන් ගේ මාර්ගයෙන් සන්දේශයේ කරුණූ තර්කානුකූල වැ දවසක් මුළුල්ලේ ඉදිපත් කරන අවස්ථාවෙහි දී වෙනදා පැන පැන කතා කරන දමිළ නීතිවේදින් එක ද ප්‍රශ්නයක් ඇසුවේ නැත. කටයුතු අවසන් කරන්නට මත්තෙන් සන්සෝනි මහතා නිහඬ වැ සිටින දමිළ නීතිවේදීන් ගෙන් මේ කරුණූ ගැන ඔබ කියන්නේ මොනවා දැ යි ඇසි ය. ඔවුන් කීවේ “පසු ව උත්තර දෙන්නම්” යනු යි.

මේ දර්ඝ සන්දේශය සිහල, දෙමළ, ඉංග්‍රීස තෙ බසින් කුඩා පොත් හැටියට මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන්නට සිතා ජාතික හැඟීම් පෙන්වන ධනවතුන් කිහිප දෙනෙකු සමඟ ථා කෙළෙමි. ඔවුහු නිහඬ වූහ. ඒ අතර සිරිසෝම රණසිංහ මහතා ඉදිරිපත් වී ඉංග්‍රීසි පොත මුද්‍රණය කළා. බ්‍රිතාන්‍යය ජර්මනිය ඇමරිකා යන රටවලට පොත් පන්සියයක් පමණ යවන්නට පිළිවන් වී ය. “ඊළාම් ද ට්‍රැත්” (සැබැ ඊළම) නමැති පොත වුවමනා කෙනෙකුට ලබාගන්නට පුළුවන.

යෝජනා -2

හමුදාව විමධ්‍යගත කොට ඇත. ඒ අනුවැ දකුණ බස්නාහිර නැඟෙනහිර උතුර මැද යන දිසාවන්හි ස්ථීර හමුදා මධ්‍යස්ථාන ඇත. උතුරට එ බන්දක් නැත. යාපනේ සිටින්නේ යන එන හමුදාවකි. එහි සිදු වන දේ අනුවැ ප්‍රබල පාබළ හමුදා ඒකකයකුත් ඉතා අවශ්‍ය යි. එ හෙයින් දහසෙකින් යුත් පාබළ හමුදාවකුත් පන්සියයකින් යුත් නාවික හමුවදාකුත් ඔවුන්ගේ පවුල් සමඟ පදිංචි කරවන්න. නිවාස හා මධ්‍යස්ථානය හැදීමට රජයේ ඉඩම් ඇත. මෙ සේ කරීම අසාධාරණයක් නො වැ සාධාරණ ක්‍රියාවක් බව බුද්ධිමත් ලෝකය පිළිගන්නවා ඇත.

දැන් කැරෙන පිළිවෙළ මෙය යි. යාප‍නේ කලබලක් ඇති වුණා ම කොළඹින් මහා හමුදාවක් යවනවා. යවන්න කතා කරන කොට ම ආරංචිය යාපනේට යනවා. එහි සිටින ‘‍කොටින්’ ගෙන් කොටසක් ඉන්දියාවට පනිනවා. කොටසක් කොළඹ පනිනවා. කොටසක් උඩරටට පනිනවා. මහා හමුදාව යාපනේට ගොස් අනන්ත කරදර විඳගෙන ස්ථීර හමුදා ඒකකයක් හදන තරමේ වියදමක් කැරැගෙන එහෙ මෙහෙ දුව පැන ටික දවසකට පසු යාපනේ සම්පූර්ණ සාමයෙන් යුක්ත යි කියා ආපසු එනවා. පැනල ගිය කොටි ආපසු යනවා. කොටි නටනවා. මේ වැඩ පිළිවෙළ හමුදාවටත් නින්දාවක් රටත් නින්දාවක්.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි, භික්‍ෂූන් හට අයිති නැති වැඩ ගැන කතා කරනවා යැ යි වරදවා ගන්නේ නැති වැ සාවධාන වැ සිතා බලන්න.

යෝජනා-3

යාපනේ සිංහලයන් පදිංචි කැරැවීම. මේ කටයුත්ත ගැන ඔබතුමා වත් රජය වත් වෙහෙසෙන්නට වුවමාන නැත. දෙ වැනි යෝජනාව අනුවැ පාබළ හා නාවික සෙබළුන් එක් දහස් පන්සියයක් ස්ථීර වැ පදිංචි කරවන විට ජනතාව හෝ හෝ ගා ගොස් පදිංචි වෙනවා. අවශ්‍ය වන්නේ රජයේ ඉඩම්වල නිවාස හදා දීම පමණ යි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමාට යාපනේ සිංහලයනට නිවාස හදාදෙන්න බැරි වුණා නොවැ? මෙන්න හොඳ අවස්ථාවක්. ජාතික සේවයක්.

තවද සැලැකිය යුත්තකි. ඈත අතීතයේ සිට ම සිරිලක පුරා සිටියෝ සිවු හෙළයෝ හෙවත් සිංහලයෝ ය. දක්‍ෂිණ බෝධි ශාඛාව සමඟ සංඝමිත්තා මෙහෙණිය යාපනේ දඹකොළ පටුනේ දී පිළිගනු ලැබුවේ සිංහල රජතුමා ප්‍රධාන සිංහලයන් විසින්. ඉන්දියාවේ සිට සේන ගුත්තික හා එළාරයන් එන්නට පෙර යාපනේ සිටියෝ ද සිංහලයෝ ය. එයට සාධක බොහෝ ය. බී. හෝස්බර්ග් – ජේ. පී. ලුවිස් යන ඉංගිරිසි සිවිල් නිලධාරීන් දෙදෙනා සිංහල ගම් නම් දෙමළ කළ සැටි දීර්ඝ විස්තරයෙකින් ලියා ඇත. යාපනේ යන්නද පිරිසුදු සිංහල නමක් බව හෝස්බර්ග් මහතා කරුණු සහිත වැ පෙන්වා ඇත. මෑතක දී අනුස්මරණයට මුද්දරයක් නිකුත් කැරුණු එස්. ඥානප්‍රකාසර් පියතුමා ද එය පිළිගෙන ඇත. 1918 දී දමිළ විද්වතුන් හතර දෙනකුන් විසින් නිකුත් කරන ලද ‘යාල්පාන සම්භව කෞමදී’ නමැති දෙමළ පොතෙහි පිටු 123 ක් වෙන් කැරැ තිබෙන්නේ යාපනේ සිංහල ගම් නම් දෙමළ කළ හැටි පෙන්වීමට ය. දමිළයනට ලංකාව පුරා ඉඩම් අරන් පදිංචි වැ සිටින්න පිළිවන් නම්, සිංහලයනට යාපනේ පදිංචි වැ සිටින්නට බැරි ඇයි? යාපනේ පන්සල් භූමි හැරුණු විට සිංහලයනට තිබෙන්නේ ඉඩම් කෑලි හතර යි. විමල් අමරසේකර මහතා දිසාපති වැ සිටි කාලයෙහි රජයේ ඉඩමක් බෙදා දෙන අවස්ථාවෙහි සිංහලයන් තිස් ගණනකට ඉඩම් කෑලි ලැබුණා. 1977 කලබලයෙන් පසු සිංහලයනට ඒවාට යන්න දෙන්නේ වත් නැත.

තවද සිතිය යුත්තක් ඇත. 1971 කලබලයට පෙර කොළඹ දිසාවේ ලංකා දමිළයන් එක් ලක්‍ෂ හාර දහසක් පදිංචි වැ සිටියා. යාපනේ දිසාවේ සිංහලයන් විසි තුන් දාහක් පදිංචි වැ සිටියා. කලබලය සංසිඳුණාට පසු දමිළයන් සියලු දෙනා නැවැතත් කොළඹ දිසාවේ පදිංචි වැ සිටිනවා. යාපනේ සිටි සිංහලයන් විසි තුන්දාහ වෙනුවට එහි තුන්සියයකුත් නැත. පසු ගිය වෙසක් පෝය දා යාපනේ නාගවිහාරයෙහි සිල් සමාදනන් වීමට සිටියේ ළමයිනුත් සමඟ දහ දෙනකු පමණ ලු. මේ කරුණ හොඳින් වැදගත් වැ සලකා බලන විට යාප‍නේ සිංහලයන් පදිංචි කැරැවීම සාධාරණ ප්‍රතිපත්තියක් බව වැටැහෙනවා ඇත.

තව ද රටෙහි ජනතාව සාමයෙන් හා සුහද වැ වාසය කිරීමට හැම ජන කොටස් ම විසිරී සිටිය යුතු ය. ඒ අනු වැ බලන විට මාතර දිසාවට දමිළයෝ අඩු ය. ජනගහණයෙන් සියයට හතක් වන මුස්ලිම්වරුන් දහසය දාහක් සිටින අතර සියයට එකොළහක් වන ලංකා දමිළයන් සිටින්නේ දෙ දහසක් පණ ය. එ හෙයින් මාතර දිසාවට තවත් දමිළයන් යවන්න. මාතර තරුණයනට යාප‍නේට යන්නට පහසුකම් සලස්වන්න. ඔවුන් ගේ ආගමික කටයුතුවලට මමත් යන්නම්. සිංහයට කොටි බිය වෙනවා විනා කොටිනට සිංහන් බිය වන්නේ නැත. ශ්‍රීමත් ජනාධිපතිතුමා වරින් වර යාපනේ කොටි මර්දනය කරන්නට යවන්නේ ද මාතර සිංහයෙකි.

යෝජනා 4

වවුනියාව හා එලිපන්ට්පාස් හා අතර මහ වනය ශුද්ධ කොට ජනපදයක් කරවා ජන අනුපාතයට ජනතාව පදිංචි කැරවීම යි. අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනායක මැතිතුමා ජනපද පිහිටවූයේ එ ලෙසිනි. දෙමළ හා මුස්ලිම් වරු සියයට තිහ යි. සිංහල සියයට හැත්තෑව යි. සමානුපාතිකය අනු ගමනය කරන රජයකට ජනානුපාතිකය අනුගමනය කිරීම දුෂ්කර කාර්යයක් නො වේ. හැබැයි ප්‍රමාද නො කැර පටන්ගන්න. වවුනියාව හා එලිපන්ට් පාස් හා අතර මහ වනය කපකපා දෙමළ සංවිධාන මඟින් අනවසරයෙන් දමිළයන් පදිංචි කරවන ආකාරයට තවත් ඉඩ දුන්නොත් නොබෝ කලෙකින් වවුනියාවෙන් එහා නිකම් ම ඊළම් වෙනවා ඇත. ඊළමට අයත් වන දිසා සංවර්ධන සභා හයේ ම පාලන බලය ඔවුන් අතට පත් වී ඇත. ඉඩම් පරිහරණය දිසාවලට අයිති රාජකාර්යයක් බව අමතක කළ යුතු නො වේ.

යෝජනා -5

ඊළම් කතා රාජ්‍ය සභාවේ පනතකින් නීති විරෝධී කරන්න. සිංහලයාට තිබෙන එක ම රටේ, සිංහලන් වෙසෙන එක ම රටේ බාගයකට සමාන කොටසක් දමිළයන් වෙන් කැරැගන්න සටන් කරද්දී සිංහලයා ඉවසා සිටින්නේ බෞද්ධකම හැරැ අන් කවරක් නිසා ද? නියම ඊළම් සිතියම මෙහේ පෙන්නනේ නැත. නියම සිතියම පෙන්නා තිබෙන්නේ ජර්මනියේත් ඇමරිකාවේත් මුද්‍රිත සිතියම්වල ය. හම්බන්තොටින් පටන්ගෙන මූදුකරයේ දිගට ම මඩකලපුව, තිරිකුණාමලය, යාපනය, පුත්තලම, හලාවත දක්වා ද ඉන්දියානු දමිළයන් වායස කරන මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල හා රත්නපුර දිසාව ද අනාගත ඊළමට අයත් වේ. මුද්‍රිත හැබෑ ළම් පොතෙහි මේ සිතියම පළ කැරැ ඇත.

සිංහලයෙනි, ඉවසන්න, කලබල වන්න එපා. මේ ජුනි මාසේ යාපනේ සිදු වූ කලබල අවස්ථාවෙහි දී සිංහලයන් ඉවැසු ආකාරය ඉතා වැදගත් ය. සිංහලයනුත් කලබල වුණොත් රජයට ලොකු කරදරයෙකි. රටට විශාල පාඩුවකි. මෙ බඳු අවුල් විසඳිය යුත්තේ රජයක් විසින් ම ය. ජනාධිපතිතුමා සාමකාමී වැ මේ අවුල් නිරවුල් කරනවා ඇත.

ජනාධිපතිතුමනි, මේ යෝජනා පහ ක්‍රියාත්මක කළොත් ඔය ඊළම් ඉලව්ව ඉබේ ම ඉවර වෙනවා ඇත. හැබැයි පමා කරන්න එපා. එ සේ වුවත් ජනතාව ද සාමකාමී වැ කරුණු කියා සිටිය යුතු වේ.

සිංහලයෙනි, දමිළයන් මෙන් ඔබත් හොඳින් සංවිධානය වන්න. අනාගත සිංහල පරපුර ගැන සිතා සංවිධානාත්මක වැ රජයටත් පළාතේ මන්ත්‍රීතුමාටත්, මහ නගර සභාවටත්, දිසා සංවර්‍ධන සභාවටත් සිංහලයා ගේ අනාගතය ගැන කරුණු කියා සිටින්න. මාත් වැඩිහිටි ඔබත් තව ටික කලෙකින් මේ ජීවිතයේ ඇස් පියාගන්නවා ඇත. සිංහලයන් ගේ බෞද්ධයන් ගේ ආරක්ෂාව හා වර්‍ධනය ගැන ලියන්න කියන්න මා නිවන් දකින තුරු උපදින්නේ සිංහල බෞද්ධයන් අතර ම ය. ඔබත් එ සේ ප්‍රාර්ථනා කරන්න.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි, පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා වේ දී ඔබතුමා කළ කතාවෙන් ඔද වැඩුණූ මා මේ කරුණු ඉදිරිපත් කෙළේ ඔබතුමාට වත් රජයට වත් රටට වත් අහිතවත් වැ නො වැ, ඔබතුමාටත් රජයත් රටටත් හිතවත් වැ බව කරුණාවෙන් සලකන්න.

 

රිවිරැස 1981.07.05

ප්‍රඥාප්‍රභා 1

 

මහානායක මාහිමිපාණන් වහන්සේ ගේ පසුව පළ වුණු ලිපියෙකින්…

“1977 අගෝස්තු මාසයේ ඊළම් කලබලය ඇති වූ අවස්ථාවෙහි යෝජනා පහක් ඉදිරිපත් කෙළෙමි මේ යොජනා ක්‍රියාක්මක කළොත් නැවත කවරදාක වත් ශ්‍රී ලංකාවෙහි ඊළම් කලබලයක් ඇති වන්නේ නැතැයි පැහැදිළි වැ මැ සඳහන් කෙළෙමි.”

“ත්‍රිවිධ හමුදා ඒකක යාපනේ ස්ථීර වශයෙන් පිහිටුවා සෙබළුන් පවුල් සමඟ පදිංචි කැරැවීම, ඒ අනුසාරයෙන් යාපනේ සිංහල ජනතාව ගේ පදිංචියට ඉඩ සලසාදීම යන යෝජනා දෙක එදා කරන්නට පිළිවන්කම තුබුණත් දැන් කිරීම දුෂ්කර වේ.”

“වවුනියාව හා එලිපන්ට්පාස් මහ වනය ජනපදයක් කොට විවිධ ජාතික අනුපාතය අනුවැ ජනතාව පදිංචි කැරැවීම, දමිළයන් විසින් සිංහලයනට විරුද්ධ වැ ලොව පුරා ගෙනයන බොරු ප්‍රචාරයට නිසි ලෙස ලිඛිත වැ පිළිතුරු දීම, ඊළම් කතාව රාජ්‍ය සභාවේ පනතකින් නීති විරෝධී කිරීම යන යෝජනා තුන අදත් කළ හැකි ය. ඒ සේ ම කළ යුතු ය.”

එ සේ නො කළොත් සිංහලයා ගේ අනාගතය භයානක යි. අනාගත සිංහලයන් හීන දීන වෙනවා ඇත. එ සේ හීන දීන වන අනාගත සිංහලයන් අද ජීවත් වැ සිටින සිංහලයන් වන අපට ශාප කරනවා ඇත. අපේ රූප පඹයන් මෙන් හදා පෙරහිරින් ගෙන ගොස් පුලුස්සනවා ඇත. මේ කරුණු පිළිබඳ වැ මා විසින් ලියන ලද ලිපි පොතක් හැටියට මුද්‍රණය කරවා තබනවා . එයින් මා ඒ ශාපයෙන් හා පඹයන් ගොඩින් මිදෙනවා.

 

රිවිරැස 1983.05.22

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.