ඉන්දියාවේ පැවැත්වුණු ධර්ම සංගායනා අතුරෙන් ප්රමුඛස්ථානයක් දිය යුත්තේ තුන්වැන්නට ය. ධර්මාශෝක රජතුමා ගේ දායකත්වයෙන් හා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වුණු තෙ වැනි ධර්ම සංගායනාවට සහභාගි වූ රහතන් වහන්සේ ගේ සංඛ්‍යාව හා ගත වූ කාලය ද අනෙක් දෙකට ම වඩා අධික ය. පරවාද මථනය කෙරෙමින් කථාවස්තු ප්‍රකරණය ප්රකාශනය වීම හා ප්රත්යන්තදේශවලට ධර්ම දූතයන් යැවීමට තීරණය කිරීම ද මේ සංගායනාවෙන් සිදු වුණු විශිෂ්ටතම සේවාව යි.
ලංකා ධර්මදූත පිරිසෙහි ප්‍රධානත්වය පැවැරුණේ මිහිඳු මහරහතන් වහන්සේට ය. අනෙක් පළාත්වලට යාමට නියම වුණු රහතන් වහන්සේ ඒ ඒ දිනවල පිටත් ව ගිය අතර මිහිඳු මහ රහතන් වහන්සේ මඳක් පමා වූහ. එ වකට ලක් රජය කෙළේ මුටසිව රජතුමා ය. වයෝවෘද්ධ වැ දුර්වල වැ සිටි මුටසිව රජු කලැ ශාසන ප්‍රතිෂ්ඨාපනය නොකළ හැකි බව දැන වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ඔහු පුත් දේවානම් පියතිස්ස කුමරුන් රජ වන තුරු බලා සිටියහ.
මුටසිව රජු ඇවෑමෙන් දේවානම් පියතිස්ස කුමාරයෝ ලක් රජයට පත් වූහ. පොසොන් සැණකෙළිය ලංකාවේ තුබුණු ජාතික උත්සවයෙකි. එ වකට ධර්මය නො දැනැ සිටි සිංහල රජවරු සැණකෙළියෙහි අංගයක් වශයෙන් දඩයමේ ගියහ. එ දා, පොසොන් දා දේවානම් පියතිස්ස රාජයාණෝ දහස් ගණන් ජනයා පිරිවරා ගෙන දඩයම් සඳහා මිහින්තලා වන පියසට වන්හ. ලක් දිවැ බුදු සසුන් පිහිටුවීමට කල් බලමින් සිටි මිහිඳු මහ රහතන් වහන්සේ ද එ දා පොසොන් දා මිහින්තලාවට මැ වැඩම කළහ. පිරිවර සහිත වූ මාහිමියාණෝ ගල්තලාවෙකැ වැඩ සිටියහ.