Skip to main content

මෙහෙණි සස්න යළි පිහිටුවීම කාලෝචිත ද?

මෙහෙණි සස්නේ ඇතිවීමත් වැඩි වීමත් නැති වීමත් පිළිබඳ කෙටි සටහනක් මුල දී ම සඳහන් කරන්නේ ඒ පිළිබඳ යෝජකයන් ද ඇතුළු ව බුද්ධිමත් ශාසන භාරධාරී ගිහි පැවිදි උතුමන් ගේ සැලැකිල්ලට භාජනය කරවනු සඳහා ය.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය මෙහෙණි සස්න ඇති කරන ලෙස කීප වරක් ම ඉල්ලා සිටි අතර බුදුරජාණන් වහන්සේ “ගෝතමිය, කම් නැත, තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව ගිහි ගෙයින් නික්ම අනගාරික වූ ශාසනයෙහි මාගම ගේ පැවිද්ද නුඹට රුචි නොවේ.” (චුල්ල වග්ග දෙවැනි කාණ්ඩය – බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක පරිවර්තන පිටු 407) යනුවෙන් ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කොට වදාළ සේක. එයින් කලකට පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය තමාත් ශාක්‍ය කුමාරිකාවන් 500 ක් සමඟ හිස මුඩු කොට කහට පෙවූ වස්ත්‍ර හැඳ පෙරව කපිලවස්තුවේ සිට පා ගමනින් ම විශාලා මහනුවරට ගොස් පැවිද්ද ඉල්ලා සිටියා ය. එ වර ද ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ සේක. එසඳ අනඳ මා හිමියන් වහන්සේ ඉදිරිපත් වී නොයෙක් කරුණු කියා ස්ත්‍රී පක්‍ෂයට පැවිද්ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිය හ. බුදුරජාණන් වහන්සේ එයින් සිදු වන ශාසන හානිය පෙන්වා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ට ගරු ධර්ම පිළිගන්නවා නම් පැවිද්ද ලබා ගත හැකි බව ප්‍රකාශ කළ හ.

බුදුරජාණන් වහන්සේ ශාසන හානිය ගැන දේශනා කළේ මෙසේ ය.:

“ආනන්දය, ඉදින් මාගම තථාගතයන් වහන්සේ විසින් ප්රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව ගිහි ගෙයින් නික්ම අනගාරික ව ශාසනයෙහි පැවිද්ද නො ලැබුවා නම්, ආනන්දය, මාර්ග බ්රහ්මචර්ය බොහෝ කල් පවතින්නට තිබුණේ ය. අවුරුදු දහසක් ප්රතිවේධ සද්ධර්මය පවතින්නේ ය. ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ විසින් ප්රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව මාගම ගිහි ගෙයින් නික්ම අනගාරික වු ශාසනයෙහි පැවිදි වුයේ ද ආනන්දය දැන් අවුරුදු පන් සියයක් කල් පමණක් ම ප්‍රතිවේධ සද්ධර්මය පවතින්නේ ය.” (චුල්ලවග්ග, දෙවැනි කාණ්ඩය – සිංහල පරිවර්තනය පිටු 417) මෙසේ වදාළේ වී නමුත් අෂ්ට ගරු ධර්ම පිළිගැනීම නිසා එකී ශාසනාන්තරය දුරු වී ගිය බව අටුවාචාරීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.

මෙසේ ශාසනයට අනතුරක් යැයි ප්‍රකාශ කරත්දීත් මෙහෙණි සස්න පිහිටුවීමට ඉදිරිපත් වීම ගැන අනඳ මාහිමියන් වහන්සේට එකල ද විසූ සංඝයා දොස් පැවරූ බව සඳහන් වේ. බලවත් ඉල්ලීම පිට මෙහෙණි සස්න අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ වැඩි ආරක්‍ෂාව සඳහා ප්‍රධාන ශික්‍ෂාපද තුන්සිය එකොළහක් (311) ක් පැන වු සේක.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙහෙණි සස්න පිටරටවල ද පැතිරී ගියේ ය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවෙහි ද මෙහෙණි සස්න පිහිටියේ ය. එය එකොළොස් වැනි සියවස දක්වා නිර්මල ව පැවති බව ඉතිහාසයෙන් පෙනේ. මහා විජයබාහු රජතුමා ගේ කාලයෙහි හට ගත් නොයෙක් අර්බුද නිසා භික්‍ෂු ශාසනය ද පිරිහිණ. ඒ සමග ම භික්‍ෂුණී ශාසනය ද පිරිහෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මහා විජයබාහු රජතුමා බුරුම රට රාමඤ්ඤ දේශයෙන් ත්‍රිපිටකධර භික්‍ෂූන් වහන්සේලා ගෙන්වා භික්‍ෂු ශාසනය නැවත පිහිට වු නමුත් භික්‍ෂුණී ශාසනය පිහිට වු බවක් සඳහන් නො වේ. එහෙයින් භික්‍ෂුණී ශාසනයෙහි අවසානය මහා විජයබාහු රජතුමා ගේ කාලයේ යයි සිතිය හැකි වේ.

ලක් රජය කළ මහානාම රජතුමාගේ කාලයෙහි ශ්රී ලංකාවෙහි මෙහෙණින් වහන්සේලා චීනයට ගොස් මෙහෙණි සස්න පිහිට වූ බව චීන ධර්ම ග්රන්ථ වල සඳහන් වේ. මෙකල චීනය, වියට්නාමය ආදී රටවල මෙහෙණි සස්න ඇතත් දැන් පවත්නා මෙහෙණි සස්න ථෙරවාද විනයානුකූල පිළිගත නො හැකි යනු මුල පටන් ම ථෙරවාදී ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා ගේ අදහස විය. බුරුම, සියම්, කාම්බෝජය, ලාඕසය යන ථෙරවාද බුද්ධ ධර්මය පවතින එකද රටක වත් මෙහෙණි සස්නක් නැත. රටවල මෙහෙණි සස්න ඇති කරවන කතාත් නැත. එය විනයානුකූලව නො කළ හැක්කක් හෙයිනි.

මෑතක සිට ශ්‍රී ලංකාවෙහි වරින් වර මෙහෙණි සස්න පිහිටුවීමේ ප්‍රශ්නය පැන නැගී ඇත. මේ සම්බන්ධ ව නොයෙක් අය තම තමන්ගේ අදහස් පළ කරමින් පුවත්පත් වල ලිපි ලියා ඇත. ඔවුන් මහ උගතුන් විය හැකි වුවත් ධර්ම විනය නො දත්තවුන් බව හොඳට ම පැහැදිළි ය. ඔවුනට දොස් නො පැවරිය යුතුය. කරුණු පැහැදිළි කර දුන් විට උගතුන් නිසා කාරණය පිළිගන්නවා ඇත.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වු කාලයෙහි අන්ධ විශ්වාසයට තිබුණු තැන නැති කොට බුද්ධි විශ්වාසයට මුල් තැන දී ඇත. “නාචින්තයන්තෝ පුරිසො විසෙසමධිගච්ඡති”. නො සිතන තැනැත්තා විශේෂ දියුණුවක් ලබන්නේ නැතැයි ප්‍රකාශ කෙරෙමින් ජනතාව සිතීමට පුරුදු කරන ලදි. කාලාම සුත්‍රයේ සිතීමේ කලාව පුරුදු කරන ලදි. මහාපදේශ දේශනාවෙන් සිතීමේ හා සිතීමෙන් පැන නඟින ප්‍රශ්න තර්කානුකූල ව විසඳා ගැනීමේ මාර්ගය දේශනා කරන ලදි. ධර්ම ප්‍රශ්නයක් නම් අනෙක් ධර්ම පද සමඟ සසඳා බලා තීරණය කර ගත යුතු ය. උපසම්පදාව විනය කර්මයකි. එහෙයින් මෙ කලැ භික්‍ෂුණී උපසම්පදාවක් විනයානුකුලව කළ හැකි දැයි නුවණින් විමසා බැලිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි උපසම්පදා ක්‍රම අටක් තිබුණු බව පැහැදිලි ය.

  1. එහි භික්ඛු උපසම්පදා

  2. සරණාගමන උපසම්පදා

  3. ඔවාදපටිග්ගහන උපසම්පදා

  4. පඤ්හ ව්‍යාකරණ උපසම්පදා

  5. ගරු ධම්ම උපසම්පදා

  6. දූතෙන උපසම්පදා

  7. අට්ඨ වාචික උපසම්පදා

  8. ඤත්තිචතුත්‍ථකම්ම උපසම්පදා

යනු ඒවා යි. බුද්ධ කාලයෙන් පසු විනයානුකුල වුයේ 7 වැනි හා 8 වැනි උපසම්පදා විනය කර්ම දෙක පමණ ය. උපසම්පදා විනය කර්මයට සීමා සම්පත්ති, පරිස සම්පත්ති, කම්ම වාචා සම්පත්ති යි සැකෙවින් සම්පත්ති තුනක් ඊට අනුකූලව එකතු විය යුතු ය.

සීමා සම්පත්ති නම් උදකුක්ඛෙප සීමාවක් නැත්නම් විනයානුකූල සම්මත බද්ධ සීමාවක් තිබීම යි. පරිස සම්පත්ති නම් උපසම්පදා විනය කර්මයකට ප්‍රමාණවත් සංඝයා සිටීම යි. කම්ම වාචා සම්පත්ති නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඤත්තිචතුත්‍ථ කම්මාවාචා ප්‍රකාශ කිරීම යි. මෙසේ කර්ම වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් පසු පාත්‍ර සිවුරු අධිෂ්ඨානයෙන් උපසම්පදාව පිහිටීම යි.

භික්‍ෂුණීන් සඳහා අට්ඨවාචික උපසම්පදා කර්මය නියමිත යි. භික්‍ෂුණීන් සඳහා ද යට කී සම්පත්ති තුන තිබිය යුතු ය. අට්ඨ වාචික උපසම්පදාව නම් භික්‍ෂුණී සංඝයා විසින් උපසම්පදාපෙක්‍ෂිකාව විනයානුකූලව විමසා ඤත්තිචතුත්‍ථ කම්ම වාචා ප්‍රකාශ කරවා ගත යුතු ය. භික්‍ෂුණී සංඝයා විසින් ඤත්තිය ඇතුළු ව කර්ම වාක්‍ය සතර වරක් කීමත් නිසා භික්‍ෂු සංඝයා විසින් ඤත්තිය ඇතුළු ව කර්ම වාක්‍ය සතර වරක් කීමත් නිසා අට්ඨ වාචික උපසම්පදා නම් වෙයි.

මෙකල ද ථෙරවාදී බෞද්ධ රටවල උපසම්පදා විනය කර්ම කරන්නේ උදකුක්ඛෙප සීමාවක හෝ විනයානුකූල බද්ධ සීමා‍ෙවක ය. අඩුම ගණනේ උපසම්පදා භික්‍ෂූන් පස් නමක් වත් සිටිය යුතු ය. එහෙත් භික්‍ෂූන් සමුහයක් පමුණුවා ගැනීම සිරිත යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කර්ම වාක්‍ය කියනු ලැබේ. පාළි කර්ම වාක්‍ය කියන විට අකුරක් හෝ හරියට උච්චාරණය වුණේ නැත්තම් ඒ වාක්‍ය නැවතත් කියන සේ නියම කිරීම ප්‍රමුඛ ව සිටින මහා තෙරුන් වහන්සේ ගේ සිරිත යි. කර්ම වාක්‍යයට එතරම් සැලකිල්ලක් දක්වනු ලැබේ.

ලංකාවෙන් චීනයට ගිය භික්ෂුණීන් වහන්සේ

සිංහල භික්‍ෂුණීන් වහන්සේ චීනයට ගියේ මහානාම රජතුමාගේ කාලයෙහි ‘නන්දි’ නම් වෙළද මහතා සමඟ ය. නැන්කි නගරයට නැවෙන් ගොස් ගොඩවුණු විට ගෞරවයෙන් පිළිගෙන ආරාමයට පමුණුවා ඇත. එහි සිටි භික්‍ෂුණීන් ගෙන් මහණ උපසම්පදාව ලබා ගත්තේ කෙසේ දැයි ලංකාවෙන් ගිය භික්‍ෂුණීන් ඇසීමෙන් පසු චීනයට කලින් පැමිණි ගුණවර්මන් භික්‍ෂුවගෙන් යැයි කී විට එය වැරදි බව පෙන්වා දී ඇත. ඒ වරද පිළිගත් එදා භික්‍ෂුණීන් විසින් නියම උපසම්පදාව ලබා දෙන්නැයි කරන ලද ආයාචනය අනුව ලංකාවෙන් තවත් භික්‍ෂුණීන් ගෙන්වා ගෙන භික්‍ෂුණී ශාසනය පිහිටුවා ඇති බව ප්‍රංශ ජාතික සිල්වත් ලේවී පඬිතුමාගේ කෘතිවල සඳහන් වී ඇත.

1946 දී චීනයට ගිය දූත මෙහෙය

දෙවන ලෝක යුද්ධය අවසන් වනුවත් සමඟ ම චීනයෙහි කිර්තිධර ව සිටි තායි ෂු යතීන්ද්‍රයන් වහන්සේ විසින් යෙදුනු ලෝක හා බෞද්ධ රටවල සංචාරයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විට ථෙරවාද භික්‍ෂූන් කෙරෙහි මහත් පැහැදීමක් ඇති කර ගත්තා පමණක් නොව සිය රටෙහි නියම භික්‍ෂු ශාසනයක් නැති බව වටහා ගන්නා ලදි. උන් වහන්සේ සිය රටට ගොස් එහි ප්‍රභූන් සමඟ සාකච්ඡා කොට ථෙරවාද භික්‍ෂු ශාසනය පිහිටුවා ගන්නට, විශේෂ භික්‍ෂූන් පමුණුවා ගන්නට ලංකා මහාබෝධි සමාගමටත් එකල මෙහි වාසය කළ උන්වහන්සේ ගේ ශිෂ්‍ය ෆාන් ස්වාමීන් වනහන්සේටත් ලියුම් එවන ලදි. ෆාන් ස්වාමීන් වහන්සේ විසින් මහාබෝධි සමාගමත් සමඟ සාකච්ඡා කොට ඒ කටයුත්තට මමත්, සෝම, ඛෙමින්ද යන ස්ථවිරයන් වහන්සේලා දෙනමත් 1946 දී චීනයට වැඩම කරන ලද්දෙමු.

තායි ෂු යතීන්ද්රයන් වහන්සේ හා ප්රධාන බෞද්ධයන් සමඟ කරන ලද සාකච්ඡා අතර එකක් නම් ඔවුන් සුදානම් කොට සිටි පිරිස ථෙරවාද භික්‍ෂු ජීවිතයට පුහුණු කොට ලංකාවෙන් අවශ් ප්රමාණයට භික්‍ෂූන් ගෙන්වා ගෙන සීමා සම්මත කැර උපසම්පදා කරවා ථෙරවාද භික්‍ෂු ශාසනය පිහිටුවීම යි.

මේ ශාසනික කටයුත්ත අවුරුදු පහකට භාර ගත්තත් අවශ් නම් ජීවිතාන්තය දක්වා වුවත් ඉන්නට කැමැති යයි ධර්ම දූ පිරිස කී විට ඔවුනට ඇති වුයේ බලවත් සතුටකි. එකල චීනයේ අභ්යන්තරහට ගැනුණු අර්බුදකාරී තත්ත්වය නිසා මාස නව‍ෙයකින් එම ධර්මදූත මෙහෙය නිම කිරීමට සිදු විය. එහි සිටිය දී භික්‍ෂු විහාරවලටත් භික්‍ෂුණී උපස්සයටත් යාමට අවස්ථා උදා වූ අතර ඒ දෙපිරිස ම විශේෂයෙන් මෙහෙණන් මහත් භක්තියෙන් ආගමික වතාවත් වල යෙදෙන බව දක්නට ලැබිණි. එහෙත් ථෙරවාද ධර්මයවත් විනයවත් පිළිපදින බවක් තමා දන්නා බවක් වත් දක්නට ලැබුණේ නැත. මේ නයින් ථෙරවාද මහණ සස්න පිහිටුවා ගන්නට ගත් උත්සාහය එකල හටගත් අභ්‍යන්තර යුද්ධය නිසා ව්‍යර්ථ විය.

ශ්‍රී ලංකා මෙහෙණින් වහන්සේලා චීනයට ගොස් මෙහෙණි සස්න පිහිටුවීමේ ප්‍රවෘත්ති ගැන ද එහි දී සාකච්ඡා කැරිණි. ඒ ගැන ඔවුන් දැන සිටියේ නැත. උගතුන් විසින් සෙවිය යුත්තක් බව දක්වන ලදින් එහි සිටි උගතුන් කිහිප දෙනෙකු විසින් ම එය සොයන්නට භාර ගැණින. වජිරාරාමයෙහි කලක් පැවිදිව සිට සිවුරු හළ ලී මහතා මහත් උත්සාහයෙන් සොයා ගත් විස්තර ලංකාවේ පළ කෙරිණි.

චීනයෙන් මෙහෙණි සස්න ගෙන ඒම

උපසම්පදා විනය කර්මයකට සම්පත් තුනක් අවශ්‍ය බව කලින් සඳහන් කැර ඇත. සීමා සම්පත්තිය අනුව මුල් යුගයෙහි සම්මත සීමා තිබෙන්නට ඇත. එහෙත් 1946 දී පරිස සම්පත්තිය අනුව ථෙරවාද විනයානුකූල සංඝයා එහි සිටියේ නැත. කම්ම වාචා සම්පත්තිය අනුව බුදුරජාණන් වහන්සේ වදාළ පාලි කර්ම වාක්‍ය එහි නැත. ඉදින් ථෙරවාද විනය අනුව මෙහෙණි සස්න තබා මහණ සස්න වත් එහි නැත. කරුණු මෙසේ පැහැදිලිව තිබිය දී චීනයෙන් මෙහෙණි සස්න ගෙනවුත් ලංකාවෙහි පිහිටුවන්නයි කීම “කවුදෝ පා තබන්නේ වත් නැති තැන කවුදෝ කරනම් ගහනවා” යන පැරණි කථාව සිහිපත් කරවන සිද්ධියකි.

උවමනා භික්‍ෂුණී නාමය ද? භික්‍ෂුණී ශීලය ද?

කෙනෙකුට පාරමී ධර්ම සපුරා ඇතොත් නුවණ මුහුකුරා ගියොත් පඤ්ච ශීලයෙහි පිහිටා ද නිවන් අවබෝධ කර ගත හැකි ය. ඉහළ ශීලයක පිහිටා නම් වඩාත් හොඳයි. එය එසේ නම් සිල් මෑණිවරුන්ට දස ශීලයෙහි පිහිටා සීල, සමාධි, ප්‍රඤ්ඤා යන ගුණ කඳු තුන වඩා නිවන් අවබෝධ කර ගත හැකි ය. එසේ හැකියාව තිබිය දී විනයානුකූල ව ලබා ගත නොහැකි උපසම්පදාව ගැන කතා කරමින් ප්‍රමාද වීමට උවමනා නැත. වුවමනා භික්‍ෂුණී නාමය ද? භික්‍ෂුණී නාමය ඇතත් නැතත් භික්‍ෂුණී ශීලය රකින්නට බාධාවක් නැත. ටික කලකට පෙර අභාවප්‍රාප්ත වු ජර්මන් ජාතික උප්පලවන්නා දස සිල් මෑණියෝ භික්‍ෂුණියනට අයිති ශික්‍ෂා පද රකිමින් නිර්වාණාවබෝධය ලඟා කර ගත්හ. උගත් ධර්ම විනය දන්නා සුධර්මා වැනි දස සිල් මෑණිවරු භික්‍ෂුණී ශාසනයක් පිහිටුවන්නට බැරි බව ප්‍රසිද්ධියේ ම කියන අතර උගත් ධර්ම විනය නොදත් කණ්ඩායමක් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් භික්‍ෂූන් වහන්සේට ද දොස් කියති.

දස සිල් මෑණිවරුන්ට අවංක හිතවත්කමක් ඇත්නම් රජයත් ජනතාවත් කළ යුතු වැඩ ඇත. මෙකල ද දස සිල් මෑණිවරුන්ගෙන් සියයට අනූවක් ජීවත් වන්නේ දුක සේ ය. සිවුපසය හරියට නැත. ධර්ම විනය ඉගෙනීමට හා භාවනා පුහුණුවට ද පහසුකම් නැත. රජයත් හිතවත්කම් කතා කරන කණ්ඩායමත් සංවිධානය වී සිවුපසය හා ඉගෙනීමේත් භාවනා කිරීමේත් පහසුකම් සලසා දීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් යෙදුවොත් භික්‍ෂුණී ශාසනය යන නම නැතත් රහත්, අනාගාමී, සකදාගාමී, අඩුම ගණනේ සෝවාන් දස සිල් මෑණිවරුන් වත් දක්නට ඉඩ ඇත.

මේ කරුණු හොඳින් නුවණින් සොයා බලා ධර්මයට විනයට එකඟ ව පිහිටුවන්නට පිළිවන් කමක් නැති මෙහෙණ සස්නක් ගැන කථා කරමින් තර්ක කරමින් කාලයත්, ඥානයත්, ශ්‍රමයත් අපතේ යවන්නේ නැතිව දස සිල් මෑණිවරුනට ශීලයෙන් ගුණයෙන් නුවණින් දියුණු වන්නට පහසුකම් සලසා දෙන මෙන් කරුණාවෙන් දන්වා සිටිමු.

ශ්‍රී ලංකාව, බුරුම, සියම්, ලාව, කාම්බොජ යන ථෙරවාදි සම්බුද්ධ ශාසනය පවතින ප්රධාන රටවල් එකක වත් මෙහෙණ සස්නක් නැත. එහෙයින් ථෙරවාදී විනය අනුව මෙහෙණ සස්න පිහිටුවීමට දැනට කිසිම අවකාශයක් නොමැති බව ඉතා පැහැදිලි ය. චීනය, වියට්නාමය ආදී මහායාන රටවල මෙහෙණ සස්න නමින් පැවිදි සංවිධානයක් ඇතත් ථෙරවාදී බෞද්ධ රටවල් පහේම ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේ මුල පටන් පිළිගත්තේ නැත. මෙ බඳු විනය විරෝධී කරුණක් ගැන නැවත නැවතත් කතා ‍කරමින් කාලය නාස්ති නො කරන මෙන් රජයටත් ජනතාවටත් කරුණාවෙන් දන්වා සිටිමු.

මෙහි ප්‍රකාශ වන්නේ 1988 ජුලි 23 වනදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි රැස් වුණු ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා තුන්සියයකට අධික මහා සංඝ සභාව පිළිගත් ධර්ම මාර්ගය යි. නුවණැත්තෝ මධ්‍යස්ථ ව සලකා බලත් වා!

දිනමිණ 1997.01.02

ප්‍රඥාප්‍රභා 7

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
අජිත් ද අල්විස් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.