Skip to main content

මීළඟ නීතිගත සංස්ථාව කුමක් වේවි ද?

මනුෂ්‍යයනට මෙන් ම සුරාවටත් දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කාලයෙහි වෛදිකයන් අතර සෝමපානය ආගමික මද්‍යපානයක් ව තුබුණු අතර සුරාමේරය යන දෙකොටසට අයත් විවිධ මද්‍යපානයන් තිබුණා. මෙකලත් එබඳු පානයන් ඇත.

බුදුරජාණන් වහන්සේගේ චාරිකා දේශනා නිසා නොබෝ කලෙකින් භාරතයෙහි මධ්‍ය දේශය පුරා බුද්ධ ධර්මය පැතිරී ගියේ ය. උන්වහන්සේගේ පඤ්චශීල ප්‍රතිපදාව නිසා බෞද්ධයන් අතර මද්‍යපානය නැත්තට ම නැතැයි කිවයුතු තත්ත්වයක් ඇති විය.

මිහිඳු මහරහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු ලක්වැසියන් බෞද්ධ වුණ නිසා ශ්‍රී ලංකාවේ ද මත්පැන් නැත්තට ම නැතිවුණා යැයි කිව යුතු තත්ත්වයක් එළඹිණ. ඒ සුන්දර තත්ත්වය විදේශිකයන්ගේ ආක්‍රමණය පැමිණෙන තුරු හොඳින් පැවැතිණ.

විදේශිකයන්ගේ ආක්‍රමණයෙන් පසු මේ රටවැසියා ද මත්පැනට පුරුදු විය. සිංහල බෞද්ධයන් හට මත්පැන් පානය ගිජු කිරීම අපෙන් සිදුවුණු විනාශයෙකැයි සර් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා ද පඅවැසී ය.

මේ භයානක විපතින් සමාජය බේරා ගන්නට 1912 දී වීරෝදාර පුරුෂයන් එකතු වී ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ආරම්භ කරන ලදී. පසුව එහි සභාපති ධුරයට පත් වූ කලුකොඳයාවේ සිරි පඤ්ඤාසේඛර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සුරා විරෝධී ව්‍යාපාරය ඉහළට ම ගෙන ගියා. එහි පුතිඵලයක් වශයෙන් වැඩි ඡන්දයෙන් සුරාහල් 7931 ක් වසා දමන ලදී.

1953 පමණ කාලයෙහි සුරා සූදු විරෝධී බලමණ්ඩලයක් පත් කැර ගත්තේ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ නිවසෙහි දී ය. එහි සභාපති කලුකොඳයාවේ මහානා සමිඳු ය. උප සභාපතිවරු ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එච්. ඩබ්ලියු. අමරසූරිය යන වියත්තු ය. සම ලේකම්වරු ජී. පී. වික්‍රමආරච්චි රාළහාමි හා වර්තමාන ජනාධිපති ආර්. ප්‍රේමදාස ශ්‍රීමතාණෝ ය. මම එහි කාරක සභිකයෙක් වීමි.

1956 ට පැමිණි 2500 බුද්ධ ජයන්ති කාලයෙහි ඇති වූ ප්‍රබෝධය නිසා බෞද්ධයෝ පඤ්චශීල ප්‍රතිපදාවෙහි හොඳින් යෙදුණහ. එහෙයින් මත්පැන් පානය ද හොඳට ම අඩු විය. 1946 ජනගහනය 62 ලක්‍ෂයයි. එම වර්ෂයෙහි අපරාධ සංඛ්‍යාව 34,000. 1955 ජනගහනය 85 ලක්‍ෂයයි. අපරාධ සංඛ්‍යාව 18,000. මිනිහා හැදුණාම අපරාධ අඩුවන සැටි නුවණැසින් බලන්න.

මිනිසා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගතිමින් රටත් හදා ගනිමු” යන බොදු පිළිවෙත පසෙක තබා සල්ලි සල්ලි සල්ලි කියා සල්ලි රජ කළා. මිනිහා යකාට ගියා. සුරා සූදුව දුරාචාරය රජ වුණා. දැන් සුරාව නීතිගත සංස්ථාවක්, සූදුව නීතිගත සංස්ථාවක්. තව නීතිගත සංස්ථා දෙකක් එන්න තිබෙනවා. ඒ මත්කුඩු නීතිගත සංස්ථාව හා ගණිකා නිවාස නීතිගත සංස්ථාවයි.

රටෙහි දියුණුවට මුදල් අවශ්‍යයි. සුරා බද්ද රුපියල් එකසිය හැටපන් කෝටිය ඉක්මවා යයි. සුරාව නිසා ලැබෙන ආදායම අති විශාල ය. රජය වර්ෂයකට වරක් ඉදිරිපත් කරන්නේ අයවැය ලේඛනය යි. එහෙයින් සුරාපානය නිසා ආරක්‍ෂා අංශයෙන් උසාවි රෝහල් මගින් වියදම් වන වැය ද බැලිය යුතු ය. මිනිහා නරක් වීමෙන් සමාජයට සිදුවන අලාභය ගණනින් කියන්නට බැරි තරම් ය.

නියම සුරාව නැත්නම් කසිප්පු බී මිනිහා වැනසෙනවා යයි කලින් කීවා. කසිප්පු නීතිගත කළ විට ඒ විනාශය නැති වෙනවා ද? දැනටමත් කසිප්පු බෝතල් එක්කෝටි විසිපන් ලක්‍ෂයක් පමණ බොනවා. නීතිගත කළොත් රජයට විශාල ලාබයක් ලැබෙනවා නොවේ දැයි අසන්නට පිළිවන්. එය බුද්ධ ශාසනයට හෙවත් බොදු පිළිවෙතට ප්‍රමුඛස්ථානය දෙන හෙවත් ධර්මිෂ්ඨ රජයක් විසින් කළ යුතු වැඩක් දැයි ඇසිය යුතු ප්‍රශ්නයක් ද?

තව ද ක්විනින්වල තිත්ත මැකෙන්න උඩින් ගාන සීනි ආලේපය මෙන් බෞද්ධයනට නිග්‍රහ කරන සමච්චල් කරන බෞද්ධ සංඛ්‍යාව අඩු කරන විශාල වැඩ පිළිවෙලක් මේ කාලේ ලංකාව පුරා පැතිරෙමින් පවතී. එහි තවත් උපක්‍රමයක් නම් මේ ය : ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය ආරම්භ කෙළේ දුටුගැමුණු මහරජතුමා ය. නොකඩවා ආ වෙසක් උත්සවය මෙකල ද මහ ඉහළින් පැවැත්වේ.

මෙදා වෙසක් උත්සවයට ආගමික ලකුණු හතර ම යොදා තොරණක් තුබුණු බව පුවත් පත් මගින් දක්නට ලැබිණ. ආගමික සමගිය බොහොම හොඳ ය, අපත් කැමැති ය. ආගමික ලකුණු සියයක් යොදා තොරණක් හැදුවත් අපට කමක් නැහැ. බෞද්ධයන්ගේ උතුම් දිනයට මේ විහිලු කරන්නේ ඇයි? කසිප්පු නීතිගත කරන කතාව ගෙනාවේ පොසොන් උත්සවයටයි. ඇසළ උත්සවයටත් කලින් සඳහන් කළ සංස්ථා දෙකෙන් එකක් වත් ගෙනෙන්නට සිතාගෙන සිටිනවා විය හැකි ය.

ශ්‍රීමත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා අමද්‍යප වීරයෙකි. කුඩා කල පටන් දහම් පාසල් ගිය ශිෂ්‍ය නායකයෙකි. ඉතා දියුණු ව පවත්නා සුචරිත ව්‍යාපාරයෙහි ළමා ආදි කර්තෘ ය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මුදල් ඇමැති ඩී. බී. විජේතුංග මැතිතුමා ශ්‍රද්ධාවන්ත සිල් සමාදන් වන බෞද්ධයෙකි. එතුමන්ලාට බෞද්ධයන් විහිලුවට ලක් කරන මේ වැඩ පිළිවෙළ නුසුදුසු බව වැටහෙනවා ඒකාන්තයි.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව නියම සුරා පාලනය, හොරසුරා මර්දනය, ඒ දෙකරුණ ම සාර්ථක කර ගැනීමට ප්‍රචාරණ යන තෙකරුණ මත ක්‍රියාත්මක කළ යුතු කරුණු හතළිස් දෙකක සැලැස්මක් 1979 දී ගිය රජයට ඉදිරිපත් කළා. අප ඉදිරිපත් කෙළේ එකවර සුරා තහනමක් නොවේ. ක්‍රමයෙන් සුරාපානය හින වී ගොස් අවුරුදු විසි පහකින් සුන්දර ප්‍රතිඵල ලබන වැඩ පිළිවෙළෙකි. රජයට ද අවුරුදු දහයක් පමණ යන තුරු සතේක වත් අලාබයක් නොවනු ඇත.

අවුරුදු දහයකට පමණ පසු රජයට ලැබෙන ආදායම ටිකෙන් ටික අඩු වන්නට පිළිවන. ඒ සමග ම සුරා පානය නිසා විවිධ අංශවලින් වන වියදම ද අඩු වන්නට පිළිවන. වඩා වටින්නේ සල්ලි ද? මිනිහා ද?

 

දිවයින 1990.06.14

ප්‍රඥාප්‍රභා 4

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.