Skip to main content

මාලිගාවේ දුම් අල්ලලා හවස ‍දොරවල් වැහුවට පස්සේ මොනම හේතුවකටවත් ආයේ අරින්නේ නෑ

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පත් සිරුර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදී දහස් ගණනක් භික්ෂු භික්ෂු”න් බැතිමතුන් රැසකගේ ගරු බුහුමන්, සාදු නාද මැද ආදාහනය කළේ මේ දැන් බුදු හිමියන්ගේ අධිෂ්ඨානයෙන් විසිරී නොගිය ධාතු කොටස් පෙළහර පාමින් තිබුණේ… එයිනිදු වටිනාම සර්වඥ ධාතු කොටස් හතර වන දළදා වහන්සේ සිවු නම ඛෙදා හදා ගන්න මහ කලබගෑනියක් ඇතිවෙන්න ගියේ.

ඒ අතරේ තමයි ඛේම රහතන් වහන්සේ එක් දළදා වහන්සේ නමක් රැගෙන අහසට පැනනැංගේ. අනෙක් දළදා වහන්සේ තුන් නම සක්දෙව් රජ තම විමානයට එකකුත් අනෙක් දෙකෙන් එකක් නා ලොව නා රජුද, ඊළඟ දළදාව ගන්ධාර දේශයේ රජුටද හිමි කරමින් තමයි දළදා වහන්සේ සිවු නම ඛෙදී ගියේ. ඛේම මහරහතන් වහන්සේ අත් කරගත් වාම ශ්‍රී රදනක දළදාව කලිඟු රට බ්‍රහ්මදත්ත රජුට දුන් බවයි පසුව සැල වුණේ. අපි මේ කතා කරන්න යන්නේ අන්න ඒ දළදා වහන්සේගේ ගමන් මඟ පිළිබඳවයි. කතා සාගරයක් ගෙනෙන මේ දළදා වහන්සේගේ ගමන් මඟ පුරා කෙරුණු කෙරෙන වත් පිළිවෙත්වලින්ම අපි විශේෂාංග ලිපි පෙළ අරඹමු. සාම්ප්‍රදායික ලිපියකට වඩා එහා ගිය දැනුමක් සමඟ ඔබත් මේ ලිපි පෙළ සමඟ එක්වෙන්න. මින් පෙර අප නොදත් බොහෝ දේ දළදා වහන්සේගේ අනුහසින් මේ ලිපි පෙළේ මුතු මෙන් ඇතිරේවි. ඔබ ඒ හැමදේම එකතු කරගන්න. ඉතින් මට හිතුණා මේ විශේෂාංග ලිපි පෙළ අහඹු තැනකින්ම පටන් ගන්න. දළදා වහන්සේ සම්බන්ධව සියලුම දේ ඇතුළත් වෙන මේ ලිපි රැස ඔබේ දැනුම් පැස තව විශාල කරාවි.

ඉතින් කෝරාල මහත්තයා කොහොමද?…
දළදා වහන්සේගේ පිහිටෙන් හොඳින් ඉන්නවා…
අපි කතා කරමුද දළදා වහන්සේට කරන පුද පූජා ගැන…
හොඳයි… බුද්ධ පූජාව තමයි මුලින්ම. මෙහේ විතරයි මේ විදියට බුද්ධ පූජාව සකසන්නේ. මේ කරන පූජාවන් මෙහෙට ආවේණිකයි…
ආවේණිකයි කිව්වේ…

ආවේණිකයි කිව්වේ මේ මාලිගාවේ විතරක් කරන හින්දා. වෙන තැනක එහෙම කරන්නේ නෑ. බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන චේතනාවෙන් බැතියෙන් තමයි මෙහේ බුද්ධ පූජාව තියන්නේ. චාරිත්‍ර පවා තියෙනවා මෙහෙට විතරක් ආවේණික…
කොහොමද බුද්ධ පූජාව පටන් ගන්නේ…

දළදා වහන්සේට කරන බුද්ධ පූජාව පටන් ගන්නේ හවස ගිලන්පසෙන්…
ඇයි හවස…
ඒ තමයි රජ කාලේ ඉඳලා කෙරුණු සිරිත. හවස ගිලන්පස පූජාවන් දෙකක් තියෙනවා. එකක් හතට. අනෙක හතයි තිහට…
මොනවද ඒ ගිලන්පසට තියන්නේ…

ඒකට තියෙනවා පලතුරු වර්ග, එතකොට ගිතෙල්, දැන් නම් මාජරින්.
තේ, කෝපි එහෙම තියන්නේ නැද්ද?…
නෑ… මේක වෙනමම පූජාවක්. රජ කාලේ ඉඳලා ආව සිරිතට කරන්නේ. ඉස්සර ගිතෙල් ගත්තට දැන් මාජරින් ගන්නේ. ඒ දාන තැටි භාජනවල යම් දුගඳක් කාලයක් යද්දි එන හින්දා. එතකොට මේ ගිලන්පසට ගන්නවා මී පැණි, උක් පැණි, සීනි, සූකිරි, අමු ඉඟුරු, මුද්දරප්පලම්, ඉඟුරු දෝසි, හකුරු, පැණි දෝසි, අඹ, අන්නාසි,
ඒ කියන්නේ වෙන පලතුරු ජාති කෙසෙල්, ගස්ලබු ඒ වගේ ඒවා…
නෑ… ඒවා හවස ගිලන්පස බුද්ධ පූජාවට එක් කරගන්නේ නෑ. එතකොට මේ ගිලන්පසට දැහැත් වට්ටියක් තියනවා. ඒකට තියන්නේ බුලත්, පුවක්, හුනු විතරයි. දුම්කොළවත් තියන්නේ නෑ…

තව මොනවද ගිලන්පසට තියන්නේ…
ඇල් තෙලිජ්ජ ගන්නවා…
ඒ කියන්නේ මල් පැණි…
ඔව්… ඒත් ගන්නේ කිතුල් තෙලිජ්ජ විතරයි…
ඒත් හවසට ගන්න බෑනේ…
පුළුවන්… ඉස්සර ඉඳලම මේ පූජාවට ඇල් තෙලිජ්ජ ගෙනැත් දුන්නු අය හිටියා රාජ නියමයෙන් පත් කෙරුණු. දැන් නම් එහෙම නෑ. දැන් අපි මොනවා හරි පානයක් තමයි පූජා කරන්නේ. අර ඇල් තෙලිජ්ජ කියන්නේ මල් පැණි. පැණි උණුකරන්න ඉස්සර නොපැසුණු පැණි. ගහකින් මැදලා ගන්නේ. ඒවායේ කිසිම මත්වීමක් වෙන්නේ නෑ. මේවා තමයි හවස ගිලන්පසට ගන්නේ…

ඇයි අර පූජා දෙකක් තියන්නේ…
දවසක් රජතුමා එද්දි දළදා වහන්සේ භාරව හිටිය හාමුදුරුවෝ මේ මාලිගාවේ ‍දොරවල්වලට යතුරු දාලා ගිහිල්ලා. රජතුමා පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ. එදායින් පස්සේ තමයි හවස ගිලන්පස පූජා දෙකක් තියන්නේ. පළමුවැනි පූජාව මඟ ඇරුණොත් දෙවැනි පූජාවට හරි එන්න පුළුවන් වෙන්න…
හාමුදුරුවරු ‍දොරවල් වහලා ගියා කියන්නේ…
සාමාන්‍යයෙන් සම්ප්‍රදායේ එනවා මාලිගාවේ දුම් අල්ලලා හවස ‍දොරවල් වැහුවට පස්සේ මොනම හේතුවකටවත් ආයේ අරින්නේ නෑ. රජ්ජුරුවෝ ආවත් අරින්නේ නෑ.

එහෙම ‍දොරවල් වැහුවට පස්සෙ කවුද ඉන්නේ ඇතුළේ…
කවුරුවත් නෑ. දළදා වහන්සේ පමණයි වැඩ ඉන්නේ. කිසිම කෙනෙක් යන්නේ නෑ. අගුළු අරින්නේ නෑ. ඒක රාජ නියමයන්ටත් වඩා එහා ගිය සම්ප්‍රදායක්. එළියෙන් මුරකරුවෝ ඉන්නවා. ඇතුළේ කවුරුත් නෑ. හාමුදුරුනමක්වත් ඉන්නේ නෑ…
ඒ කියන්නේ මාලිගාවේ ‍දොරවල් කීයටද වහන්නේ…

හවස කියන්නේ රාත්‍රි අටට වහනවා. ආයිත් උදේ පහමාරට අරිනවා. එතකම් දළදා වහන්සේ වැඩ ඉන්න කුටිය වහලා…
හරි කෝරාල මහත්තයා එතකොට අර හවස දෙන ගිලන්පස පූජාවන් දෙකම එකම දේද දෙන්නේ…
ඔව්… එකම දේ දෙන්නේ. වෙන වෙනම හදන්නේ….
පෙරහර කාලෙදි ‍දොරවල් ඇරලා තියෙනවා නේද?…
ඔව්… කරඬුව වඩම්මනකම් ඇරලා තියෙනවා. ඊට පස්සෙ නැවත වහනවා. ඒ දින දහයේ විතරයි එහෙම වෙන්නේ…
ඇයි අර විදියට දළදා වහන්සේ තනි කරන්නේ…

සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවානේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයෙදි ඉතිරි වුණු සියලු ධාතු කොටස් අතරින් එකම ධාතුන් වහන්සේ මෙච්චරයි කියලා ප්‍රදර්ශනාත්මකව තියන්නේ. අනිත් ධාතු කොටස් එක එක ස්ථානවල නිධන් කෙරුණා කියලනේ කියන්නේ. ඉතින් මේ දළදා වහන්සේ විතරයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න එන අපි නොදන්න දෙවියන්ට, බ්‍රහ්මයන්ට වන්දනා කරන්න තමයි එහෙම රාත්‍රියට මේ මාලිගාවේ ‍දොර අගුලු දාන්නේ…
උදේ අරිද්දි, රාත්‍රියට වහද්දි එහෙම තව කෙරෙන පූජා තියෙනවාද?…
අපෝ ඔව්… ශබ්ද පූජා කරනවනේ. ඒක අනිවාර්ය දෙයක්. එතකොට උදේ පහමාරට ඇරලා වත් පිළිවෙත් කරලා හයට තමයි බුද්ධ පූජාව තියන්නේ…
වත් පිළිවෙත් කියන්නේ…
ජීවමාන බුදුන් වහන්සේට කරන වත් පිළිවෙත්. රජ කාලේ ඉඳලා කෙරුණු විදියට…
ඒ කියන්නේ…

ඒ කියන්නේ මංවත් දන්නෙ නෑ. ඒවා අනාවරණය නොකරන රහස්. ඉතින් හාමුදුරුවරු මූලික වෙලා කරන්නේ. එතැනින් එහාට ඒ ගැන කියන්න බෑ…
හරි… ඒ කියන්නේ සුවඳ දුම් අල්ලලා එහෙම…
නෑ…නෑ… වෙනත් දේවල්. අප්‍රකට දේවල්…
හරි… කෝරාල මහත්තයා. උදේ හයේ බුද්ධ පූජාවට කොහොමද ලක ලෑස්ති වෙන්නේ…
උදේ බුද්ධ පූජාවට කැඳ තියෙනවා. කිරිබත් තියෙනවා. වෑංජන තිස් දෙකයි. කැවුම් වර්ග හතරයි.
උදේටත් එහෙමයි…

ඔව්… වෑංජන තිස් දෙක කියන්නේ එළවළු ජාති තිස් දෙකක්. පිලී දේවල් නැතිව. හාල් සේරු තිස් දෙකක බත්.
ඒ කියන්නේ සම්බා හරි මොනවා හරි…
එහෙම නෙවෙයි තම්බපු හාල්. සම්බා වුණත් එහෙමයි.

ඇයි එච්චර ගන්නේ…
හාල් සේරු තිස් දෙකක බත් ගන්නේ ඒ තරමට ඕනේ නිසා ඒ පාත්තර පුරවන්න. ඒ තරමට තමයි ඒවා හදලා තියෙන්නේ.
පාත්තර තිස් දෙකක් තියෙනවද?…
නෑ… නෑ… පාත්තර අටයි තියෙන්නේ. අටට තමයි පුරවන්නේ. ඒවා රජ කාලේ ඉඳලා ආව විදිය. එතැන කියන්නේ රජ වාසලේ හැදිච්ච දානය වගේ. රජතුමාගේ ආහාර වේල වගේම ආහාර වේලක්නේ පූජා කරන්නේ.

එතකොට කෝරාල මහත්තයා උදේට ගිලන්පස පූජාවක් කරන්නේ නැද්ද?…
නෑ… අර උදේ බුද්ධ පූජාවට කැඳ එහෙම තියෙනවානේ. එතකොට තව කැවුම් එහෙම තියෙනවනේ…
මොනවද තියෙන කැවුම් වර්ග හතර…
අතිරස, කොණ්ඩ කැවුම්, දැති කැවුම්, දිය කැවුම්… මේවා හැමදෙයක්ම හැමදාම හදනවා…
මුළුතැන්ගේකද හදන්නේ…
ඔව්… අපේ මාලිගාවේ මුළුතැන්ගේ ඉන්නවා හය දෙනෙක්. ඉස්සර නම් රාජකාරි මට්ටමෙන් කෙරුණේ. දැන් එහෙම නෑ. ඒත් ඒ කෙරෙන හැම චාරිත්‍රයක්ම ඒ විදියටම කරනවා.

ඒ කියන්නේ දළදා මාලිගාවට පූජාවක්, දානයක් කරන අය නෙවෙයි උයන්නේ…
නෑ… ඒ දානේ භාරගත්ත අය නෙවෙයි උයන්නේ. ඒ අය කරන්නේ ඒ අවශ්‍ය දේ ගෙනැත් දෙන එක විතරයි. උයන්නේ, කපන්නේ, හෝදන්නේ හැමදේම කරන්නේ මෙහේ ඉන්න මුළුතැන්ගෙයි රාජකාරි කරන අය.
එතකොට එහෙම පිළියෙල වෙන දානේ අරගෙන යන්නේ…

ඒක කරන්නේ හක්ගෙඩි රාල කියලා ඉන්නවා රාජකාරි කරන කෙනෙක්. එයැයි තමයි දානේ අරගෙන යන්නේ ඉහළ මාලේට. තව ඉන්නවා කත් තියන රාල කියලා කෙනෙක්. මේ දෙන්නා තමයි එහෙම පිළියෙල වෙන දානේ ඉහළ මාලේට ගෙනියන්නේ.
අර කිව්ව කැඳ ජාතිය මොනවද?
ලුණු කැඳ හදන්නේ. කොළ ජාතිවලින් හදන කැඳ ජාති නෙවෙයි. ඉස්සර හාමුදුරුවරුන්ට උදේට කැඳ දුන්නනේ. ලුණු කැඳ තමයි දුන්නේ. ගොඩාක් අය හිතනවා කොළ කැඳ කියලා. ඒත් එහෙම නෑ. මේ දානේ මහනුවරට විතරක් ආවේණිකයි කිව්වේ ඒකයි…

මහනුවර දළදා මාලිගාව ගැන අප ලියන මේ විශේෂාංග ලිපි පෙළ පටන් ගත්ත තැන ගැන ඔබට විමතියක් ඇති දැන්. ඒත් ඒ ගැන ඔබ හිත වෙහෙසන්න එපා. අද දළදා වහන්සේ සම්බන්ධ සියලුම දේ අපි ඉදිරියට කතා කරනවා. දළදා වහන්සේ නුවර දළදා මාලිගාවට වැඩම කරපු දා දක්වා වෙච්ච හැම දෙයක්ම දළදා මාලිගාවටම විශේෂ වෙච්ච හැම තොරතුරක්ම අප ලිපි පෙළේ එකතු වෙනවා. ඔබට තියෙන්නේ මේ ලිපි පෙළ එකතු කරගන්නයි. ලබන සතියෙත් අපි දළදා වහන්සේට කරන පූජාවන් ගැන කතා කරමු. මාත් එක්ක මේ කතා කළේ මාලිගාවේ දියවඩන නිලමේතුමාට පසුව දළදා වහන්සේට කෙරන පූජාවට සම්බන්ධව වැඩියෙන්ම වගකීම් දරන කෙනා එක්ක. එතුමාගේ නිලය මාලිගාවේ කාරිය කෝරාල නිලමේ දරන කරුණාතිලක මහත්තයායි අපට මුලින්ම අදහස් දැක්වූවේ. ඉතින් අපි ලබන සතියේ ආයේ හමුවෙමු.

අනූ එදිරිසිංහ – මව්බිම ඇසුරිනි

Join the discussion 3 Comments

  • janaka sanjeewa says:

    ආයුබෝවන්

    මේ ලිපිය හරිම වැදගත් ඒ වගේම මේ ලිපිය අපිට පිටපත් කරගන්න පුළුවන් විදියට ලබාදෙනවා නම් ඒක ඊට වඩා වැදගත් මොකද දරුවෙකුට පෙන්නන්න කියලදෙන්න මේ කරුණු ඉතා වැදගත් නිසයි. අපි FB ගියාට පොඩි දරුවෝ FB එන්නේ නැහැනේ ඒකනිසා පිලුවන්නම් වෙනමම හරි මේ ලිපි පෙලේ පිටපත් එවන්න . ලොකු පින්සිද්දවෙන වැඩක් .
    ස්තුතියි.

    තුණුරුවන් සරණයි

  • Roshan says:

    සාධු සාධු සාධු…!

  • sineth lakshan says:

    ගොඩක් වටින ලිපියක්, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ගොඩක් පිං….. බුදුසරණයි!!!!!!!

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.