සිංහල භාෂාව ඉපැරණි ය. පැරැණි තරමට ම ප්‍රාණවත් ය, පොහොසත් ය. මෙකලැ වාග් විද්‍යාඥයන් කියන උසස් භාෂ ලක්ෂණයන් සිංහල භාෂාවෙහි නොඅඩුවැ ඇත.
බුද්ධ ධර්මය ඉතා ගැඹුරු දර්ශනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් එලෙසින් ම ප්‍රකාශ කිරීම මෙකලැ දියුණු වැ තිබෙන ඇතැම් භාෂාවනටත් දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙත් මෙයට අවුරුදු දෙදහසකට පෙර ද සිංහල භාෂාවට ඒ හැකියාට නොඅඩුවැ ම තිබිණි. සම්පූර්ණ ත්‍රිපිටකය පාළියත් සමඟ හෙළ බසින් හදාරන්නට පිළිවන්කම තුබුණා පමණක් නොවැ, අටුවා සියල්ල ම ද හෙළ බසින් ලියැවී තිබිණ. ඉතා ගැඹුරු දර්ශනයක් ඇති දහමෙක අදහස් පැහැදිළි වැ ප්‍රකාශ කළ හැකි භාෂාවෙකින් රටෙකැ පාලන කටයුතු ගෙනැ යෑම දුෂ්කර කාර්යයෙක් නොවේ. එහෙයින් සිංහලයා රාජ්‍ය භාෂාව කිරීමට පැය විසි හතරෙකින්වත් පමා වීමක් වුවමනා නොකෙරෙයි. එහෙත් රාජ්‍ය භාෂා පනත සම්මත වී අවුරුදු දහයක් ගත වී ඇතත් තව ම සිංහලය රාජ්‍ය භාෂාව වී ඇත්තේ ප්‍රකාශවලින් පමණ ය. නීති රීති සම්මත කිරීම තව ම පමා වී ඇති බැවින් නීත්‍යනුකූල වැ ලංකාව පුරා භාවිතා වන එකම රාජ්‍ය භාෂාව දෙමළ යයි කිව හැකි ය. කාගෙ කාගේත් මේ කටයුතු තමන් තමන් ගත් පක්ෂය හා ඒ මඟින් ලබාගත් බලය තර කැරැගන්නට විනා ජාතියට හෝ භාෂාවට හෝ හිතවත් වැ යයි සිතන්නට තරම් ලකුණු තවම දක්නට නැත.