Skip to main content

බුද්‍ධ ධර්‍මයෙන් වූ ලෝක ශාන්තිය …

බුදු රජාණන් වහන්සේ නිසා ලෝකයට සිදු වූ ශාන්තිය අපමණ ය. සියල්ල කියත් ලිපිය දික්වන බැවින් ඉන් කිහිපයක් ඉතා සැකෙවින් ලියනු ලැබේ.

නිදහස

අද මුළු ලොව ම එක සේ පැතිරී පවත්නා අරුම පුදුම වරප්‍රසාදයක් නම් නිදහස යි. නිදහස යනු කුමක් දැයි නිසි ලෙස නොදන්නා ඉතා පිටිසර වැසියා පවා නිදහස ගැන කථා කරයි. මේ නිදහස පිළිබඳ අදහස් ලැබුනේ කොහෙන් ද? සර්‍ව ලෝකෝත්තම අපේ බුදුරජාණන් වහන්සේ ගෙන් ය. එ මෙන් උන් වහන්සේ ලබා දුන්නේ අද බොහෝ දෙනා බලාපොරොත්තු වන නිදහස නෙ‍ා වේ.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මනුෂ්‍යයනට මෙ බඳු නිදහසක් නොතුබුණේ ය. නිදහසේ සිතන්නට වත් ඉඩක් නො වී ය. විශේෂයෙන් ආගමික නීති රීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳගෙන තුබුණේ ය. ලෝකය බොහෝ දියුණු යැ යි සිතන මේ විසි වන ශත වර්‍ෂයේ පවා ඇතැම් ආගම්වල නිදහසේ කථා කරන්නට, දැනගන්නා අදහසින් වත් ආගමයේ සමහර කොටස් පිළිබඳ ප්‍රශ්න කරන්නට, අන්‍ය ආගමික පොතක් බලන්නට අවසර නැත. බුදුරජාණන් වහන්සේ තම සවුවනට ඒ බැමිවලින් මිදී නිදහසේ හිතන්නට ඉඩ දුන් හ. බුද්ධ ධර්‍මයේ රහස් නැති හෙයින් ඕනෑ ම තැනෙකින් ප්‍රශ්න කරන්නට ඉඩ දුන් හ. එ හෙයින් මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩි දියුණු විය. එහෙත් මෙ කල බොහෝ දෙනා බලාපොරොත්තු වන බාං ළිහා හළ ගොනුන් මෙන් නිදහසේ හැසිරෙන, කතා සහ ක්‍රියා කරන නිදහසක් ප්‍රකාශ නො කළ හ. උන් වහන්සේ ප්‍රකාශ කළේ සුදුස්සාට සුදුසු තැන දිය යුතු නිදහස ය. යමකු එය වරදවා පාවිච්චි කරනුවා නම් එය ඔහු ගේ වරද මිස දුන්නහු ගේ වරද නො වේ. නිසි පමණට යෙදීමෙන් මැරෙන්න යන්නවුන් සුවපත් කළ හැකි තරම් අගනා බෙහෙත් නුසුදුසු ලෙස පමණට වඩා යෙදීමෙන් සුවයෙන් සිටින්නවුන් මරන්නට තරම් පොහොසත් වේ. එ සේ වුවොත් එය යෙදූවහු ගේ වරද මිස සොයා දුන්නහු ගේ වරද නො වේ. මෙසේ සුදුස්සාට සුදුසු තැන සුදුසු පරිදි දිය යුතු නිදහස ලොවට පළමු වරට ප්‍රකාශ කළේ මා ගේ බුදුපියාණන් වහන්සේ ම ය.

අවිහිංසා

ඉටු දෙවියා සතුටු කරන්න‍‍ට ය, තාවකාලික ස්වර්ගරාජ්‍යය ලබන්නට ය කියා අශ්වමෙධය – අශ්වයන් මරා ලෙයින් හා මසින් ඉටුදෙවියා පිදීම – පුරුෂ මෙධය – ක්‍ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ පුරුෂයන් මරා මසින් හා ලෙයින් ඉටු දෙවියා පිදීම – ආදී භයානක යාගයන් ගෙන් එකල දඹදිව පිරී පැවැත්තේ ය. එබඳු භයානක යාග හෝමයන්ගෙන් පිරී පැවැති කාලයෙක උපන් මහාකාරුණික වූ බුදුපියාණන් වහන්සේ එය බෞද්ධයන් විසින් නො කටයුතු යැ යි ද, හැම දෙනා ම කුරුකුහුඹුවන් දක්වා හැම සතුන් කෙරෙහි සම මෙත් පැතිරවිය යුතු යැ යි ද වදාළ හ. මෙසේ අති භයංකාර යාග හෝම නැවැත්වීමට දම් දෙසා දුප්පත් අසරණ සතුන් හට මහා ශාන්තියක් සලසා දී වදාළේත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය.

ආරෝග්‍යශාලා

මහාකාරුණික වූ බුදුපියාණන් වහන්සේ ගිලනුනට සියතින් ම උපස්ථාන කොට එය මහ පින්කමක් යැ යි ද ප්‍රකාශ කෙළෙන් බෙ‍ෟද්ධයෝ ග්ලා‍නොපස්ථානයෙහි උනන්දු වූ හ. “ලෝකයෙහි පළමු වරට ආරෝග්‍ය ශාලාවන් පිහිටුවීමේ ගෞරවය ඒකාන්තයෙන් ම බෞද්ධයන් හට හිමි වන්නේ ය” යි කොපල්ස්ටන් බිෂොප්තුමා කී ය. මේ ගෞරවය හිමි විය යුත්තේ ලොව අසහාය රාජයා වූ ධර්‍මාශෝකයනටය‍.

බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය හා ආදර්ශය මුදුනින් පිළිගත් අශෝක රජතුමාණන් ඉන්දියාවේ ලංකාවේ පමණක් නො ව ආසියාව, අප්‍රිකාව, යුරෝපය යන තුන් මහාද්වීපයන්හි ආරෝග්‍යශාලා පිහිටුවීම පිළිබඳ ව ශිලා ලේඛන හා වෙනත් නොයෙක් පුරාණ වස්තූහු දෙස් කියති. ලංකා ආදී අනෙක් රටවල බෞද්ධයෝ ද බොහෝ ආරෝග්‍යශාලා ඇති කළ හ. මහා වංශයේ තරම් ගිලන් හල්, සූතිකාගාර ගැන අන් කවර රටෙක ඉතිහාසයෙක වත් සඳහන් නො වේ යනු උගතුන් ගේ පිළිගැනීම යි. ආරෝග්‍යශාලා නිසා දෙ ලොවට සිදුවන ශාන්තිය කොපමණ දැ යි කවුරුත් දනිති.

මෙසේ ආරෝග්‍යශාලා පිහිටුවීමෙන්, ග්ලානොපස්ථ‍ානයෙන් හා වෙදකම පින්කමක් ලෙස කරන්නට බො‍ෟද්ධයනට ඉගැන්වීමෙන් ද ලොවට අපමණ ශාන්තියක් සලස්වා දී වදාළේත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය.

බෙහෙත් උයන් වැවීම

බුදුරජාණන් වහන්සේ ගේ “සදා පුඤ්ඤප්පවඩ්ඪන” සූත්‍ර දේශනාව අනුව ධර්මාශෝකාදී බෞද්ධ රජවරු බෙහෙත් වැවීම ද ආරම්භ කළ හ. අශෝක රජතුමා අප්‍රිකාදි රටවල නැති බෙහෙත් ලංකා ඉන්දියා රට වලින් ගෙන ගොස් එහි සිටැවූ බවත් ලංකා ඉන්දියාදි රටවල නැති බෙහෙත් ඒ ඒ රටවලින් ගෙනවුත් මෙහි සිටැවූ බවත් ශිලාලේඛනවල සඳහන් වේ. පසුගියදා ගල්ඔයේ තිබී සොයාගත් බෙහෙත් උයන සිංහල බෞද්ධ රජුන් ගේ ආරෝග්‍යශාලා සේවයෙහි පමණ දක්වන පිළිබිඹුවකි. මෙසේ ක්‍රමානුකූල බෙහෙත් වැවීම ආරම්භ වීමෙන් ලොවට මහා ශාන්තියක් සලසා දී වදාළේත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය.

‍වහල් වෙළෙදාම තහනම් කිරීම

බුදුරජාණන් වහන්සේ ගේ කාලයට පෙරත් පසුවත් වහල් වෙළෙඳාම නිසා දුප්පත් සේවකයනට ලැබුණු ගැහැට අපමණ ය. දුප්පත් අසරණ ස්ත්‍රී පුරුෂ ලදරුවන් ද අකරුණාවත් ස්වාමියනට විකුණනු ලදු ව අපමණ කරදර වින්ද බව රජ්ජුමාලාදීන් ගේ පුවත්වලින් පැහැදිළි ව පෙනෙයි. මෙසේ අසරණ සේවක සේවිකාවන් විඳින දුක් දුටු මහා කාරුණිකයාණන් වහන්සේ වහල් වෙළෙඳාම බෙ‍ෟද්ධයන් විසින් නො කටයුතු යැ යි සම්පූර්ණයෙන් තහනම් කළා පමණක් නො ව, දුප්පත් දාස දාසීනට තමන් ගේ සොහොයුරු සොහොයුරියනට මෙන් ඉතා ආදරයෙන් සංග්‍රහ කටයුතු යැ යි ද වදාළ හ. මෙසේ ලොව පළමු වරට වහල් වෙළඳාම තහනම් කිරීමෙන් අසරණ සේවකයනට අපමණ ශාන්තියක් සලසා දී වදාළේත් මාගේ බුදුරජාණන් වහන්සේ ම ය.

ස්ත්‍රීන් හට සැලැසූ සෙත

පෙර ස්ත්‍රී පක්‍ෂය ද නිදහසක් නැති ව වහලුනට දෙ වන නොවන ගැහැට වින්ද පිරිසකි. නොයෙක් නීති රීතීන් ගෙන් බැඳ තැබුවා පමණක් නෙ‍ාව මහත් කරදරවලට ද පත් කෙරෙමින්, ගෑනු දරුවකු ලැබීම මහත් අභාග්‍යයක් කොට සැලැකූ යුගයෙක පහළ වූ බුදුරජාණන් වහන්සේ ඒ හැඟීම්වලට විරුද්ධ ව දේශනා කිරීමෙන් ස්ත්‍රීහු ද විශාල ශාන්තියක් ලැබූහ. එවක පැවැති අවහිරයනුත් ඉන් පසු ලැබූ නිදහසත් සැනැසිල්ලත් සසඳා බලන විට අපේ මවුවරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් දිවි පිදුවත් මඳි යයි කිව යුතු කරම් ය. මෙහෙණි සස්න ඇති කිරීමෙන් හා බුද්ධශාසන දායාදය පුරුෂ පක්‍ෂයට මෙන් ස්ත්‍රී පක්‍ෂයට ද උරුම කර දීමක් වශයෙන් නෙ‍ායෙක් තනතුරු දීමෙන් ද ස්ත්‍රී වර්ගයා ගේ දියුණුවට මඟ පාදා දී වදාළේත් මාගේ බුදුරජාණන් වහන්සේ ම ය.

අත්‍යුත්තම ශිෂ්ටාචාරය

ලෝකයා හට අත්‍යුත්තම ශිෂ්ටාචාරයක් දී වදාළේත් මාගේ බුදු රජාණන් වහන්සේ ම ය. එවක තුබුණු උසස් ම ග්‍රන්ථය වන සෘග්වේදය ආචාර විද්‍යාව පිළිබඳ වද බිමෙකැ යි උගතුන් විසින් කියන ලදි. බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවකයනට කන බොන සැටි, කතා කරන, සිනා සෙන සැටි පවා දේශනා කළහ. අන්‍යයනට කරදරයක් නොවන ලෙස උසස් මහත්මයෙකු ලෙස කෙළ ගසන සැටි පවා ප්‍රකාශ කළහ. උන් වහන්සේ ගේ ආචාර ධර්ම කොපමණ ශාන්තියක් සිදු කළා දැයි කිව හොත් පාර්ලිමේන්තු රාජයා හැටියට සැලැකෙන එංගලන්තයේ පාර්ලිමේන්තුව පවා පිළියෙළ කොට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ සංඝ සභාව අනුකරණය කරගෙන ය යනු යුරෝපීය පණ්ඩිතයින් පවා කියන කතාවෙකි.

සිංහල බෙ‍ෟද්‍ධයා 1953.07.04

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.