Skip to main content

පෙර විසූ කඳ පිළිවෙළ (පුබෙබනිවාසානුස්සති) සිහි කරන්නා වු භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලද සෝභිත මහරහතන් වහන්සේ …

සෝභිත මහරහතන් වහන්සේ පෙර විසූ කඳ පිළිවෙළ (පුබෙබනිවාසානුස්සති) සිහි කරන්නා වු භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේන්ගේ පූර්වාර චරිතාපදානය පහත දැක්වෙන පරිදිය.

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන් මෙතුමා දිනක් බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවක පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයෙහි තබනු දැක ” මම ද අනාගත බුදු කෙනෙකුගේ ශාසනයෙහි මෙ බඳු පදවියක් ලබන්නෙමි” යි අධිෂ්ඨාන කොට සත් දවසක් මුළුල්ලෙහි මහ දන් පවත්වා අවසාන දිනයෙහි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කෙළේ ය.

බුදුරජාණන් වහන්සේ අනාගතය බලා වදාරා එය සඵල වන බව දැන ” කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදු රජුන්ගේ ශාසනයෙහි ඔබගේ ප්‍රාර්ථනාව සිද්ධ වන්නේ ය ” යි විවරණ දුන් සේක. හෙතෙම දිවි ඇති තාක් පිකොට දෙව් මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද සෝභිත නමින් ප්‍රසිද්ධව වාසය කෙළේය, පසු කාලයක දී හෙතෙම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී තුනුරුවන් සරණ ගොස් පසුව පැවිදිව විදසුන් වඩා රහත් විය.

සෝභිත මහරහතන් වහන්සේ නිතරම පෙර විසූ කඳ පිළිවෙළ ගැන සිහි කරමින් එහි අන්තයට ගොස් වාසය කළ සේක. උන්වහන්සේ ක්‍රමයෙන් පෙර විසූ ජාති සිහි කරනුයේ කල්ප පන්සියයක් අසංඥ කලයෙහි සිතක් නැතිව සිටි කාලය පවා හැඳින ගත් සේක. බුදුරජාණන් වහන්සේ මේ කාරණය අරමුණු කොට එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං පුබෙබනිවාසං අනුස්සරතානං යදිදං සොභිතො යනුවෙන් වදාරා, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන භික්ෂුන් අතුරෙන් මේ සෝභිත භික්ෂුව අග ස්ථානයෙහි තැබූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.