Skip to main content

පිරිතේ ඇති ගුණ

මහා තෙජවන්‍තතාය සමන්‍තතො සත්‍තානං භයං උපද්‍දවං උපසග්‍ගං ච තායති රක්‍ඛතීති පරිත්‍තං” යනු මහා සද්‍දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ‍ෙලසින් ම වළකා ආරක්‍ෂා කෙරේනු යි, පරිත්ත – පිරිත් නම් ‍ෙව්.

“විපත්‍ති පටිබාහාය         – සබ්‍බසම්‍පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය       – පරිත්තං බ්‍ර‍ෑථ මංගලං”

විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙ වැනි වාරයන්හි සබ්බ දුක්ඛ විනාසය” වෙනුවට පිළිවෙළින්, සබ්බ භය විනාසාය” සියලු භය වැනැසීම පිණිසත් සබ්බ රෙ‍ා‍්ග විනාසාය” සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනවි.

මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහාසංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළ යි. මෙහි පිරිතකින් බලාපෙ‍ාරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ. සියලු විපත්ති වළක්වා සියලු දුක් – භය – රෝගයන් විනාශ කොට, දීර්‍ඝ‍ායුෂ සම්පත් නිරෝග සම්පත් ආදිය ලබා ගැනීම, පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපො‍ෙරාත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කරගැනීමට පිටතින් ලැ‍ෙබන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයක ගේ එක්වීමේ බලය ආධාර වේ.

බාහිර උපකාරක ධර්ම

මෙකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යැයි වෙන ම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ් නැත. උන් වහන්සේ දෙසූ සූවාසූදහසක් ධර්මස්කන්‍ධයන් අතුරෙන් යම් යම් ලෙඩ දුක් ආදී විපත් පැමිණ අවස්ථාවන්හි දී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්‍රකාශ කළ සූත්‍රයන් එක්කොට පිරිත් යයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන් ගේ ක‍්‍රියාවකි.

මහා කරුණා සමාපත්තියෙන් නැඟිට ලොව බලා වදාරා සත්ත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්‍ර ධර්‍මයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේ ගේ මහා කරුණාව කා වැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදා මෙන් ම අද ද සත්ත්වයන් ගේ දුක් දුරු කොට සම්පත් ළඟා කර දීමේ බලය රඳා පවතින්නේ ය.

මේ පිරිත් සූත්‍රයන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මයයි. මනුෂ්‍යයන් ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන් ම කිසි කලෙක වෙනස් නෙ‍ා වන සත්‍යයන් වන චතුරාය්‍ය‍‍ර්‍ සත්‍යය ආදී උසස් ධර්මයන් ගෙන් ද යුක්ත ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ම දේශනා කළ රත්නත්‍රයේ ගුණ ද ඇතුළත් ය.

අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි මේ නිර්මල ධර්මය නිසා ලොවට සැලැසුණ ශාන්තිය අති විශාල ය. සියලු දුක් නැතිකොට පරම සුවය ලැබූවන් ගේ සංඛ්‍ය‍‍ාව නො කිය හැකි තරම් ය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අද ද නො අඩු ව පවතී. සියලු දුක් නැවැත නූපදනා ලෙසට ම නැසිය හැකි ය. එසේ නම් සාමාන්‍ය දුක් කරදර විපත් නැසීම ගැන කවර කතා ද? එහෙයින් මේ පිරිතෙහි සත්‍ය වූ ධර්ම බලය ද රඳා පවත්නේ ය.

අප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො අප්පමාණො සංඝො” යි වදාළ පරිදි බුද්ධ – ධම්ම – සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත ය. අප්‍රමාණ ය. මේ බුදුගුණ ඇසීම් මාත්‍රයෙන් පවා සසර දුක් නැති කළවුන් ගේ සංඛ්‍යයාව ද විශාල ය. ඇතැම්හු ඍද්ධි විශේෂයක් නැති ව ද මේ බුදුගුණ බලයෙන් අහසින් පවා ගියහ. ඒ බුදුගුණ බලය අද ද නො අඩු ව පවතී. දහම් ගුණ හා සඟ ගුණ ද එසේ ම ය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්‍රයෙහි ගුණ බලය ද රඳා පවත්නේ ය.

කරුණා මෛත්‍රී සහගත සිත

භික්‍ෂූන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේ ද කරුණා මෛත්‍රී සහගත සිතිනි. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ – රෝග – අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය. කවර කලෙක වුව ද පිරිත් දේශනා කරන භික්‍ෂූන් වහන්සේලාට නියම කර තිබෙන්නේ වේසාලියා තීසු පාකාරන්තරෙසු තියාමරත්තිං පරිත්තං කරොන්තො ආයස්මා ආනන්දත්‍ථෙරො විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා” යි කියූ පරිදි එදා විශාලා මහ නුවර පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ මෙන් කරුණා මෛත්‍රී සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි. කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා ගේ කරුණා මෛත්‍රී බලය ද රඳා පවතින්නේ ය. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා හැම සූත්‍රයක් පාසා ම එ‍්තෙන සච්ච වජ්ජෙන සොත්ථි තෙ හොතු සබ්බදා” – මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදා ම සෙතක් ‍ෙව්වා” යි සත්‍ය ක්‍රියා කෙරෙති. සත්‍ය ක්‍රියාවෙහි පුදුම බලයක් පවත්නේ ය.

සච්චෙන වාචෙනුදකං හි            ගාධති

විසම්පි සච්චෙන හායන්ති පණ්ඩිතා

සච්චෙන දෙවො ථනයං            පවස්සති

සච්චෙ ඨිතා නිබ්බුතිං පත්‍ථයන්ති

 

සත්‍ය ක්‍රියා බලයෙන් ගැඹුරු දියෙහි ද බැසගනී. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එන විට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි මෙන් ගමන් කොට පැමිණියේ සත්‍ය ක්‍රියා බලයෙනි.

සත්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකි ය. රජු විසින් විෂ පෙවූ ඊයෙන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැති ව ඇද වැටුණේ ය. මරණාසන්න ව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අඳ දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුළුමනින් ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේ ය.

සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ. සිරිසඟබෝ ආදී ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සවූ සැටි ඉතිහාසය දන්නවුනට මතක ඇත.

සත්‍යයෙහි පිහිටියාහු නිර්වාණය ප්‍රාර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇතත් දැන දැන බොරු නො කීම නියත විවරණ ලැබූ බෝධිසත්ත්වවරුන්ගේ ධර්‍මතාවෙකි. සත්‍යයෙහි පිහිටා කරන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්‍ය ලෙඩදුක් නැතිකොට සුවපත් වීම එතරම් අසීරු දෙයක් ද?

සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා ද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍යයේ බලයෙන් සෙතක් ශාන්තියක් සැලසේවා! ලෙඩ දුක් දුරු ‍ෙව්වා! දිගාසිරි නිරෝගී සම්පත් ලැබේවා! කියා සත්‍ය ක්‍රියා කරන විට නො සැලැසෙන යහපතක් නැතැයි කිව යුතු ය. මෙසේ පිරිතෙහි සත්‍ය ක්‍රියා බලය ද නො අඩු ව ම රඳා පවත්නේ ය.

දෙවිවරු

ගෙවල් හා මහා වෘක්ෂ ආශ්‍රය කරගෙන සාමාන්‍ය දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ. පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන්ට ද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිත ය. සම්‍යග්දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් තමන්ගේ හිත මිත්‍ර මහේශාක්‍ය දෙවියනට ද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම භූමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්‍ය ප්‍රේතාදීහු වෙතොත් එතැනින් බැහැර වී යති. එහෙයින් ප්‍රේතාදී අමනුෂ්‍යයන් නිසා ඇති විය හැකි කරදර තිබුණා නම් එය නැති වී යයි. එසේ ම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝ ද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත් දුරුකිරීම් සම්පත් ළඟා කර දීම් ආදී සුළු සුළු උපකාර නො කෙරන්නාහු නො වෙති.

මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුව ද විපත් දුරුකොට සම්පත් ළගා කර දීම කළ හැකි බව නුවණින් කල්පනා කරන කා හට වුව ද වැටහේ ම ය.

අභ්‍යන්තරික උපකාරක ධර්ම

පිරිතේ හාස්කම් හා කර්ම වේගය

ශ්‍රද්ධාව හා පඤ්ඤාව ද යොනිසෝ මනසිකාරය හා උපට්‍ඨිත සතිය ද යන මේ ධර්මයන් නිසා තමන්ගේ සන්තානයෙහි පහළ වන කුසල චිත්තයෝ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙති.

චිත්ත වේගය අතිශීඝ්‍ර ය. ප්‍රමාණය දැක්වීමට උපමාවක් ද නැත්තේ ය. සාමාන්‍ය ඇසට පෙනෙන දෙයින් ඉතා වේගයෙන් ක්‍රියා කැරෙන්නේ විදුලි කෙටීම ය. චිත්ත වේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කොටන ක්‍ෂණයෙක දී සිත් සිය ගණනක් ඇති විය හැකි ය. ඒ සිත් නිකම් උපදිනවා නොව ලැබුණු අරමුණු අනුව වීථි ප්‍රතිපන්න ව වේගයෙන් දුවත්. එය එසේ නම් පැයකදී දවසක දී ජීවිත කාලයක දී කොපමණ සිත් පහළ විය හැකි ද?

මෙසේ පහළ වන්නා වූ හැම චිත්ත වීථියක ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුසලාකුසල කර්ම යයි කියන්නේ මේ සිත් හතට ය. මේ ජවන් සිත් වලට පෙර උපදින්නේ වොත්‍ථපන හෙවත් මනොද්වාරාවජ්ජන නමින් ක්‍රියා සිතෙකි. ඒ අවස්ථාවෙහි යොනිසෝ මනසිකාරයත් එළඹ සිටි සිහියත් තිබුණා නම් නිසි මඟට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයොනිසෝ මනසිකාරයත් මුට්ඨස්සතියත් තිබුණා නම් අකුසල් ජවන් සිත් පහළ වෙයි‍. මේ හත අතුරෙන් පළමු ජවන් සිත අ‍ාසෙවන ප්‍රතයයක් නැති හෙයින් ඉතා දුර්වල ය. විපාක දෙතොත් දිට්ඨධම්මවෙදනීය විපාක වශයෙන් මේ ජාතියෙහිම පමණක් විපාක දෙයි. හත් වැනි ජවන් සිත මුල් හයෙන් ලැබෙණු ආසේවන ප්‍රත්‍යය නිසා ඉතා ප්‍රබල ය. උපපජ්ජ වේදනීය විපාක වශයෙන් ලබන ජාතියෙහි ම විපාක දීමට ශක්තිය ඇත්තේ ය. මේ ජවන් සිත් දෙකේ විපාක මේ ජාතියෙහි හා මීළඟ ජාතියෙහි විපාක දිය නො හැකි වුවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නො හැකි වෙයි.

මෙකී දෙ සිත හැරුණු විට ඉතිරි ජවන් සිත් පහේ ම අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානා තුරු විපාක දීමට ශක්තිය අ‍ැත්තේ ය. එක ජීවිතයක දී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්‍යාව නො කිය හැකි තරම් වේ. එය එසේ නම් මේ සංසාරයෙහි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සැරි සරනා අය කොපමණ කර්ම රැස්කර ඇද්ද? එහෙයින් සෑම රජකු තුළ ම මහ හිඟන්නකු වීමේ කර්ම ශක්තිය මෙන් ම, සෑම හිඟන්නෙකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක් ද ඇත්තේ ය. එසේ ම මන්‍දායුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන් ම දීරඝායුෂ්ක වීමේ හා සුවපත් වීමේ කර්ම ද නො කිය හැකි තරම් රැස්කර ඇත.

නිල මැස්සා අසුචියට හා මී මැස්සා සුවඳට ඇදී යන්නාක් මෙන්, මේ ජාතියෙහි අකුසල කර්ම කරන්නා වෙතට පෙර ජාති වල කරන ලද අපරාපරිය වේදනීය අකුසල් කර්ම ද, කුසල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල් කර්ම ද විපාක දීමට ඇදී එයි.

ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ.

සසර සැරි සරන කාලවල දී රැස්කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබා දීමට ශක්තිය ඇති කුසල කර්මයන්ගේ ප්‍රමාණය සීමාතික්‍රාන්ත ය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩ දුක් ආදිය දුරු කොට ආයුරාරෝග්‍යාදී සම්පත් ලබාගැනීමේ බලාපොරාත්තුව අනුව සසර දී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරුවී සම්පත් සැලැසෙයි.

පිරිතෙහි කොතරම් බලයක් ඇතත් අසන්නා තුළ කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නො ලැ‍ෙබ‍යි. එසේ ම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසඟ ව හෝ නො සැලැකිල්ලේ හෝ අසා සිටීමෙන් ද නියම ගුණය නො ලැබෙයි. විශ්වාසය ඇතත් ශ්‍රද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වූවොත් පිරිතෙහි නියම ගුණය නො ලැබිය හැකි වෙයි.

පිරිත ඇසීමට ප්‍රියවී තිබෙන්නෙ‍් කුමක් නිසා ද?

මේ ලෝකවාසීන් අතර ප්‍රිය යැයි මිහිරි යැයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට ප්‍රිය වූ ශබ්දය කෙනෙකුට ප්‍රියතර නො වේ. තවත් ‍ෙකනෙකුට ප්‍රියතම වේ. අන් කෙනෙකුට අප්‍රිය වේ. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාට ම එක හා සමාන ව ම ප්‍රිය යැයි කිව හැකි ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් මාතෘකා කොට සත් දවසක් ධර්‍ම දේශනා කරනුවා යැයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනයෙහි පිරිස අඩු වෙයි. තෙ වැනි දිනයෙහි ඊටත් අඩු වෙයි. හත් වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකි ය. දේශකයන් වහන්සේ ඉතා විචිත්‍ර ලෙස දේශනාව කරති. ඉතා මැනැවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දින හතේ ම එක ම ධර්මය නම් මහජනයාගේ ප්‍රිය භාවය දිනෙන් දින ම අඩුවීම නො වැළැක්විය හැක්කකි.

හත් වැනි දවසෙක පිරිත් දේශනාවක් යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි ද විශාල පිරිසක් පැමිණෙනුවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙයි. හත්වැනි දිනය වන විට පසු වී ආ කෙනෙකුට සමීප විය නො හැකි කරම් අතිවිශාල ජනකායක් පැමිණෙනුවා ම ය. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ ප්‍රීතිය නම් නො කිය හැකි තරම් වේ.

පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්‍ම ‍ෙද්ශනා කරන විට ද ප්‍රකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුව ද එය දේශකයන්ගේ වචනවලිනි. පිරිත් දේශනා කරන විට එය දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් නො වෙනස් ව බුද්ධ වචනය ම කියති.

අකුරු නිසි ලෙස යෙදීමෙන් අ‍ැතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් අකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතු වන තරම් දරුණු විය හැකි ය. අප්‍රිය විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකළ ඇතමුන් විශ්වාස නො කරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටවීමේ බලය යි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමග ම ප්‍රකට වෙයි.

පිරිතෙන් ආයුෂ වැඩෙන්නේ කෙසේ ද?

පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.

සත්ත්වයාගේ උප්පත්තිය ලබාදෙන කර්මයට ජනක කර්මය යයි කියනු ලැබේ. සෑම දෙනා ම උප්පත්තියත් සමඟ මරණයත් ගෙන එති. ඔවුනට ජීවත්විය හැකි කාල පරිච්ඡේදය හෙවත් ආයුෂ ද එහි ම ඇතුළත් වී ඇත්තේ ය. යමකු අවුරුදු හැටක් හෝ හැත්තෑවක් හෝ අසූවක් හෝ ජීවත් වන්නට පිළිවන් කර්ම ශක්තියකින් උපන්නා නම් නියමිත කාලයට වඩා දවසක් වත් ජීවත්විය නො හැකි ය. එහෙත් ඊට කලින් මරණය නම් සිදුවිය හැකි වේ. යමකු අවුරුදු අසූවක් ජීවත්වන්නට පිළිවන් කර්මයකින් උපන්නත් එ‍් අවුරුදු අසූව ම ජීවත් වන්නට ඉඩ නොදී උපපීඩකාදී කර්ම බලයෙන් නොයෙක් බාධා පමුණුවා මරණය සිදු කරන්නට ඉඩ තිබේ. ඉදින් යමකු මේ මේ දෙයින් විපත්ති – ලෙඩදුක් හා මරණය ද සැලසෙන්නේ ය, මේ මේ දෙයින් සම්පත් – නීරෝග භාවය හා දීර්ඝායුෂ සැලැසෙන්නේ යයි දැනගෙන සිහියෙන් නුවණින් හා සැලැකිල්ලෙන් ක්‍රියා කළොත් ඔහුට උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය ම භුක්ති විඳින්නට පිළිවන් වෙයි.

යමෙක් මයිල් අසූවක් යන්නට ප්‍රමාණවත් පැට්‍රල් හා එංජින් තෙල් දමා ගත් හොඳ මෝටර් රථයක් ගෙන මඟට බසී. ඔහුගේ රථයෙහි මයිල අසූවක් දුවන්නට හැම ශක්තියක් ම සම්පූර්ණ ව ඇතත් ඒ ගමන වළක්වා දැමිය හැකි බාධා අතරමඟ දී කොපමණ පැමිණේවි ද? මඟ අවුරා සිටින ජනයා – පාර හරහා දුවන පනින ළමයින් – මඟ ගමන් කරන තිරිසනුන් – ඉදිරියට එන රථවාහන – කඳු පල්ලම් වංගු මාර්ග බාධක ආදී බාහිර බාධා රාශියකුත් තමන්ගේ නො සැලැකිල්ල, නිදිමත, වෙරිමත, ආදී ඇතුළතින් පැන නඟින බාධාවනුත් නිසා – මයිලෙන් – දෙකෙන් – විස්සෙන් – තිහෙන් ගමන වැළැකී යන්නට පිළිවන. එසේ ම නිදිමත ආදී නො සැලකිලිත් නැතුව පිටතින් පැමිණෙන නොයෙක් බාධාත් මඟ හරවා ගෙන සිහියෙන් හා නුවණින් රථය පැදෙව්වොත් මයිල් අසූව ම යන්නට පිළිවන. කොතෙක් සැලැකිල්ලෙන් රථය පදවාගෙන ගියත් මයිල් අසූවකට වඩා නම් යා නොහැකි ය. ඊට වඩා යාමට එහි ද්‍රව්‍ය ශක්තිය නැති හෙයිනි. එසේ යමෙක් අවුරුදු අසූවක් ජීවත් වන්නට කර්ම ශක්තිය ඇති ව උපන්නත් එය නියම කාලයට ප්‍රථම සිදී යන්නට හේතුවන නොයෙක් බාධා පැමිණෙයි. ඉදින් ඒ තැනැත්තා ආහාර – විහරණ – සෘතු – පුද්ගලාදී සප්පායයන් නිසිසේ පවත්වමින් සිහිනුවණින් ක්‍රියා කළොත් සියලු බාධා මැඩගෙන අවුරුදු අසූවම ජීවත් වෙයි. කොතෙක් සිහි නුවණින් ක්‍රියා කළත් ඔහුට නම් අවුරුදු 80 ට වඩා ජීවත්විය නොහැකි ය. ඊට වඩා ඉඳීමට කර්ම ශක්තිය නැති හෙයිනි.

පිරිත් කියවා ගැනීමෙන් මුලින් සඳහන් කළ පරිදි බාහිර උපකාරක ධර්මය, ආභ්‍යන්තරික උපකාරක ධර්මය යන උපකාරක ධර්මයන්ගේ බලයෙන් තමන් විසින් සසර දී රැස් කරන ලද ආයුෂ වර්ධනය කළ හැකි කර්ම ඉදිරියට පැමිණීමෙන් උපතින් ලැබූ ආයුෂ අතරමඟ නො සිඳ සම්පූර්ණයෙන් ගෙවන්නට පිළිවන් වෙයි.

දිගාසිරි ලැබීම

පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුරජාණන් වහන්සේ ගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදුරජාණන් වහන්සේ ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදුරජාණන් වහන්සේ වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.

මේ කුමාරයා උපන්නේ ද අවුරුදු එකසිය විස්සක් ජීවත් වන්නට කර්ම ශක්තිය අ‍ැති ව ය. එහෙත් ඔහු විසින් සසර දී කරන ලද අකුසල කර්ම බලයෙන් යකකුට බිලිවී ජීවිතයට අනතුරක් වීම මෙදිනට එළඹ තුබුණේ ය. පිරිතෙහි බලයෙනුත් බුද්ධානුභාවයෙනුත් පිරිත් ඇසීමට පැමිණි මහේශාක්‍ය දෙවියන්ගේ බලයෙනුත් යක්‍ෂයාට ඉදිරියට එන්නට නො හැකි වීම නිසා ඒ බලවත් කර්මය මඟ හැරී ගියේ ය. එයින් උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ විඳින්නට පුළුවන් විය.

මෙහි දී ශක්‍රයාගේ පුවත පිළිබඳ ප්‍රශ්නයක් පැන නගී. ශක්‍රයා ආයුෂ ගෙවීම නිසා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැන්දේ ය. උන්වහන්සේ දීඝායුකො හොතු” යි වදාරනුවාත් සමඟ ම ශක්‍රයා මැරී නැවැතත් ශක්‍රාත්මභාවයක් ලැබුවේ ය. එය ක්‍ෂණයකින් සිදුවූවක් නිසා අන්‍යයනට නො පෙනුණත් මැරී ඉපදීමක් විනා ගෙවී ගිය ආයුෂ අන් ලෙසකින් දික්වීමක් සිදු නො වේ.

පිරිතෙන් නීරෝගී භාවය ලැබෙන්නේ කෙසේ ද?

පිරිත් දේශනාකරන භික්‍ෂූන් වහන්සේ හැම සූත්‍රයක් පාසා එතෙන සච්චවජ්ජෙන සබ්බරොගො විනස්සතු” “මේ සත්‍ය වචනයෙන් සියලු රෝග වැනසේවා යි” ප්‍රාර්ථනා කෙරෙති. සාමාන්‍ය අයට වඩා භාවිත සිත් ඇති සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා කරුණාවෙන් හා මෛත්‍රියෙන් කරන ප්‍රාර්ථනාවෙහි ලොකු බලයක් පවතී. බොරු නො කියන විහිලු නො කරන පිරිසක් කෙනෙකු මැදි කරගෙන “පිස්සා පිස්සා” යි බොහෝ වේලාවක් කීවොත් නො වරදවා ම පිස්සු වැටෙන්නට පිළිවන. එසේ ම සත්‍ය වූ ධර්මය ප්‍රකාශ කොට “නීරෝග වේවා! නීරෝග වේවා!” යි ගුණවත් පිරිසක් විසින් සත්‍ය ක්‍රියා කරන විට නීරෝග වීම පුදුමයක් නො‍ ‍ෙව්. නීරෝගී වන්නට තමන්ගේ සිත තුළ තිබෙන විශ්වාසය හා බලාපොරොත්තුව ද ඊට ආධාර වෙයි. පිරිත් අසා සිටින විට මුලින් සඳහන් කළ පරිදි පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් බෙහෙත් ඇඟට අල්ලයි. ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි.

බුදුරජාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධ පින්වතුන් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.

පිරිතෙහි ද වචන ශක්තිය ඉතා උසස් ලෙස පිහිටා ඇත්තේ ය. නොතේරෙන බසකින් කියද්දීත් පිරිත් ඇසීමට මෙතරම් ප්‍රිය වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සිතින් හොඳ දෙයක් අරමුණු කොට හොඳ දේ සංග්‍රහ කොට හොඳ හැටියට අකුරු යොදා ප්‍රකාශ කළ නිසා ම ය.

මහජනයා නා නා උත්සව සඳහා එක්රැස් වෙති. එබඳු අවස්ථාවල දී පැමිණ සිටියවුන්ගේ මූණු දෙස කල්පනාවෙන් බලන්න. “හිතේ ස්වභාවය මූණෙන් පෙනෙයි” යන ප්‍රස්ථා පිරුළ අනුව ඒ ඒ අයගේ ඇතුළත, කෙබදුදැයි මූණුවලින් දැනගත හැකිවෙයි. ඉතා ඉහළ ප්‍රීති උත්සවයකට පැමිණිවුන් අතර ද හැමදෙනා ම එක ලෙස සතුටු වන්නාහු නො වෙති. ඉතා ඉහළින් සතුටු වන්නාවුන් අතර ද නියම ප්‍රමෝදයක් නැත. කටපුරා සිනා සී සතුට පෙන්වන්නට උස්සහ දරති. එහෙත් ඔවුන්ගේ හිත පුරා රාග – ද්වේෂ – මෝහ – මද – මාන – ඊර්ෂ්‍යාදී කෙලෙසිලි නිසා නියම සතුටක් සැනසිල්ලක නැත. ඒ අතරට පැමිණි කෙනෙකුට ද කට පුරා හිනා සතුටක් හැර හිත පුරා නියම සතුටක් ඇතිකර ගත නො හැකි ය. පිරිතක් අසන්නට පැමිණි පිරිසක් දෙස ද කල්පනාවෙන් බලන්න. බොරු හිනා නැත. එහෙත් පිරිස සිටින්නේ කොපමණ සතුටකින් ද? නො සතුටින් සිටිනා කෙනෙකුදු සොයාගත නො හැකි වෙයි. පිරිත කියවාගන්නා බලවත් රෝගියා ද සිටින්නේ ඉමහත් ප්‍රීතියකිනි. මීට හේතුව කවරක් දැයි සලකා බලමු.

බුද්ධ රශ්මි මාලා

බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ගේ හිසවටා තිබෙන රශ්මි මාලාව ගැන බෞද්ධයෝ හොඳින් දනිති. අතිපණ්ඩිත ඇතැමුන් එය ගැන සැක උපදවතත් නියම උගතුන්හට නම් කිසිදු සැකයක් නැත. අපේ ඇසට පෙනුණත් නො පෙනුණත් හැම දෙනාගේම ශරීරයෙන් රශ්මියක් නිකුත් ‍ෙවන බව විද්‍යාඥයෝ පිළිගනිති. කෙනෙකුගේ රශ්මිය පරීක්ෂා කොට ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නට ද පිළිවන් බව නවීන විද්‍යාඥයෝ කියති. ධර්මයෙහි සඳහන් සම්මුති සත්‍යය පවා කොතරම් ස්ථිරදැයි මෙයිනුත් තහවුරු වෙයි. ඒ නිසා බුදුරජ‍‍ාණන් වහන්සේගේ රශ්මි මාලාව ගැන විද්‍යාඥයනට පුදුමයක් වන්නට කරුණක් නැත. උන් වහන්සේගේ අතිපවිත්‍ර අදහස් නිසා රශ්මි මාලාව ද ඉතා ප්‍රභාස්වර ය. මේ රශ්මිය ද හිරුරැස් සඳ රැස් මෙන් අන්‍යයන්ගේ කයෙහි ස්පර්ශ වෙයි. පිරිසිදු සිතැත්තා තුළින් නිකුත්වන රශ්මිය ද ඉතා ශාන්තිකර හෙයින් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියාහු ප්‍රීතියෙන් ඔද වැඩුණු සිතැත්තෝ වූහ.

පිරිත් දේශනා කරන සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලාගේ සිත් කරුණා මෛත්‍රියෙන් පිරිලා ය. ඒ අවස්ථාවෙහි දී උන් වහන්සේලාගේ ශරීරයෙන් නිකුත්වන රශ්මිය ද අතිපවිත්‍ර ය, ශාන්තිකර ය. පිරිත් අසා සිටින්නෝ ද පඤ්ච ශීලයෙහි පිහිටා ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් ද යුතුව පිරිත් අසති. එවිට ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ ද ඉතා සංසුන් රශ්මියෙකි. මෙසේ නිකුත්වන රශ්මි ධාර‍ාවෝ අවට හැම තැන ම පැතිරී යෙති. මනුෂ්‍යයන්ගේ ශරීරවල කාවැදී යති. ගෙයි බිත්ති වල පවා හැපී සිටිති. මෙසේ තමන් තුළ හට ගන්නා පිරිසිදු අදහස් නිසාත් බැහැරින් අවුත් තම ශරීරයෙහි හැපී සිටි පවිත්‍ර රශ්මි ධාරාවන් නිසාත් පිරිත් අසන්නට පැමිණෙන හැම දෙනාට ම අපමණ ප්‍රීතියක් ඇතිවෙයි. පිරිත් දේශනා කළ තැන ඒ උපකරණ සියල්ල ම බැහැර කළ පසුත් දින කීපයක් යන තුරු එහි පැමිණි ආගන්තුකයකුට වුව ද අමුතු හැඟීමක් පහළ වෙයි. ඒ අවට පැතිරුණු ශාන්ත රශ්මිය නිසා ඔහු තුළ ද සංසුන් බවක් ඇති වේ. මෙහි ඇති සත්‍යතාව එබඳු අවස්ථාවක දී කල්පනාවෙන් සිටින්නකුට මැනවින් දත හැකි වෙයි.

∼❦∽

සිංහල බෞද්‍ධයා 1953.09.26, 1953.10.03, 10, 17

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.