Skip to main content

‘පිටසක්වලට තෙරුවන් සරණ පතන දිනය අත ළඟයි‘

පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවයේදී කතාවක් කරමිනි.
සුප්‍රකට ගණිතඥයකු සහ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හැම් තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කරයි.

බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ වදාළ දේශනාවන්හි විශ්ව සම්භවය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර පනහක කාලපරාසයක දී බටහිර තාරකා විද්‍යාඥයින් විසින් නවීන විද්‍යාව යොදා ගනිමින් සොයා ගන්නා ලද සිද්ධාන්ත අතර විශාල සමානකමක් දැකිය හැකි බව ද මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘතුවිය වටා භ්‍රමණය වන බවයි. පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වන බවට කල සොයා ගැනීම් අවලාද ලෙස ප්‍රතික්ෂේප කළා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවකු පවා දන්නා සත්‍යයක් බවට පත්වී තිබෙනවා.


අද වනවිට විද්‍යාඥයින් චන්ද්‍ර ග්‍රහයා මතුපිටට කිහිප වතාවක්ම මිනිසුන් ගොඩ බැස්සවීමටත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් සියලුම ග්‍රහලෝක වෙත පරීක්ෂණ යාන යැවීමට සමත්වී සිටිනවා. මේ එකම තැනකවත් අද දවසේ පෘතුවියේ වැනි ජීවීන් ඇතිබවක් පෙනෙන්නට නැහැ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත්වන ක්ෂීරපථහි අනන්ත අප්‍රමාණ සුර්යයන් ගෙන් ආලෝකමත් වන වෙනත් ග්‍රහලෝක ඇතිබවත් ඉන් බැහැරව විශ්වය පුරා එවැනි හෝ ඊටත් වඩා පුළුල් මන්දාකිනි විශාල ප්‍රමාණයක් ඇති බවත් දැන් සාක්කි සහිතව සොයාගෙන තිබෙනවා. මේ අතර පෘතුවියට සමානකම් පෙන්වන එවැනි වායුගෝල,ජලය සහ ගුරුත්වාකර්ෂණයක් සහිත ග්‍රහ තාරකා බොහෝ ගණනක් ඇති බවත් ඒවායේ පෘතුවියට සමාන හෝ ඊට වඩා දියුණු ජීවීන් සිටිය හැකිබවත් අනුමාන කරනවා.
පෘතුවියත් අනෙකුත් ග්‍රහලෝකත් අතර ඇති සිතන්නට බැරි තරම් විශාල දුරප්‍රමාණය මෙම නිරීක්ෂණ පැවැත්වීමේදී මිනිසා මුහුණ දෙන ප්‍රබලම ගැටලුව බවට පත්වී තිබෙනවා. මතු යම් දවසක මෙම ගැටලුවට නිසි විසදුම් සොයාගන්නට හැකිවේවි.
බුදුදහම අද ආගමක් ලෙසට පත්ව ඇතත් බුදුරජානන් වහන්සේ පෙන්වා දුන් කරුණු අදාළ වන්නේ බෞද්ධයන්හට පමණක් නොවන බව පෙන්වාදීම වැදගත්. උන්වහන්සේ පෙන්වාදුන්නේ විශ්වයේ පවත්නා සත්‍යතාවය මිස අලුතින් සොයාගත් ධර්මයක් නොවේ.
බුදුන් වහන්සේ පවසා ඇති කරුණු විශ්ලේෂණය කරනවිට ලෝකධාතු, චුලනිකා ලෝකධාතු, මජ්ජමී ලෝකධාතු සහ මහා සහශ්‍රී ලෝකධාතු වැනි දේ තුලින් අප්‍රමාණ සුර්යයන් සහ ඒවායින් ජීවය ලබන අප්‍රමාන ආකාශ වස්තු ඇති බවත් ඒ අතර අප්‍රමාන පෘතුවි ලෝක ඇති බවත් පැවසෙන බව පෙනියනවා. සිත ඇති කය නැති කය ඇති සිත නැති වැනි සත්ව විශේෂයන් පිළිබඳවත් සමහර සුත්‍ර දේශනා වන්හි සඳහන්වී තිබෙනවා.වර්තමානයේ බටහිර විද්‍යාඥයින් පවත්වන පරීක්ෂණ වලින් පෙනියන්නෙත් මේ සත්‍ය තාවයමයි.”
මේ සියලු දේශනා එළිදැක්වුණේ මීට වසර 2600 කටත් වඩා පෙර කාලයකදී බුද්ධිය ඉහළ මට්ටමකට දියුණුකර ගැනීමෙන් බවත් මෙම අදහස් වර්තමානයේ නවීන විද්‍යාව තුලින් සොයාගෙන ඇති තොරතුරුවලින් සත්‍ය බවට සනාථ කළ හැකියි.
විශ්වයේ වෙනත් අභිඤ්ඤා සම්පන්න ජීවීන් සිටිනවාද කියා සොයා බැලීම සඳහා අද බටහිර තාරකාවිද්‍යාඥන් ප්‍රමුඛත්වය දෙන බව පෙනෙන්නට ඇති නිසා වැඩිකල් නොගොස් මේ සම්බන්ධ නිශ්චිත තොරතුරු සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කල හැකියි. ඉදිරි කාලයකදී පිට සක්වල ජීවීන්හට තෙරුවන් සරණ පැතීමේ අවස්ථාවක්ද උදාවනු නොඅනුමානයි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබීය. සෙනසුරාදා දහම් පාසල් සිසුහු සීල සමාදාන වූහ. වැඩිහිටියෝ 200ක් පමණ ද පෙහෙවස් සමාදන් වූහ. පිංකම ආරම්භ වූයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් විසින් බෞද්ධ කොඩිය එසවීමෙන් පසුවය. දවස පුරාම බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් ද, භක්තිගීත ගායනයක්ද පැවැත්විණි.
මෙවර පින්කමේ වැඩකටයුතු සඳහා දායකවුනු උදව් උපකාර කල සියලුම දෙනාහට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල හිමියෝ පුන්යානුමොදන කළහ.

උපුටාගැනීම – http://lankadeepa.lk/index.php/articles/235260?utm_source=twitterfeed&utm_medium=facebook

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.