Skip to main content

පළමුව අපි සමඟි වී ජාතිය සමඟි කරමු.

සමස්ථ ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ ස්වර්ණ ජයන්ති උත්සවය පවත්වන මේ දවස්වල බොදු සමඟිය ගැන ලියන්නට අදහස් කෙළේ මේ හැඟීම් දියුණු වුව හොත් එය බොදු සමුළුවේ ස්වර්ණමය සිහිවටනයක් වෙනවා ඇතැ යි සලකාගෙනැ ය.

සුඛා සංඝස්ස සාමග්ගි’ – සංඝයා ගේ සමඟි බව ලෝකයාට සුවයෙකි; සෙතකි; ශාන්තියෙකි යනු බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රකාශය යි. මේ දේශනාව අනුවැ සංඝයා ගේ අසමඟි බව ලෝකයාට විපතෙකැ යි ද ප්‍රකාශ වේ.

සංඝයා ගේ සමඟිය සඳහා නෙ‍ායෙක් ධර්මෝපදේශයන් ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ මසකට දෙවරක් භික්‍ෂූන් එක් රැස් විය යුතු බව ද වදාළ හ. මසකට දෙවරක් රැස්වීමෙන් ලැබුණු ප්‍රයෝජන දෙකකි.

භික්‍ෂූන් රැස් වන්නේ පාමෙ‍ාක් දෙසීමට ය. එහෙත් ඊට ප්‍රථම රැස් වන භික්‍ෂූන් ඔවුනොවුන් කථාවෙහි යෙදීම සිරිත යි. ඒ කතාවට ලැබුණු නම ‘පටිසන්‍ථාර’ යනු යි. එහි තේරුම ‘උඩින් ඇතිරීම’ යි. යම් කිසි මේසයක් හෝ පුටුවක් හෝ උඩ ඇතිරිල්ලක් අතුළ හොත් ඒ මේසේ පුටුවේ පැල්ලම් ආදියක් තුබුණා නම් වැසී යයි. නෙ‍ාපෙනී යයි. එය සිදු වූයේ පටිසන්‍ථරණයෙනි.

පුහුදුන් ලෝකයා අතර ඔවුනොවුනට නුරුස්නා කතා බහ ගති පැවැතුම් ඇති වීම සිරිත යි. මෙබඳු කරුණු නො සිතා මැ සිදු වුවත් ඔවුනොවුන් ගේ සිත් බිඳීමට හේතු වෙයි. ඒ අතර පොහොය කිරීම සඳහා භික්‍ෂූහු රැස් වෙති. එයින් ඔවුනොවුන් හමු වීමට අවස්ථාව සැලැසෙයි. එවිට ඒ භික්‍ෂූහු පිළිසඳර කථාවෙහි යෙදෙති. එයින් නො දැන පමණක් නොවැ, දැනැගෙන හෝ සිදු වූ වරදක් අඩු පාඩුවක් වුවත් වැසී යයි, අමතක වෙයි, සිත්වලින් ඈත් වී යයි. එයින් සමඟිය ඇති වෙයි.

අනතුරු වැ භික්‍ෂූන් සීමා මාලකයට රැස් වී පාමොක් දෙසීම කරනු ලැබේ. එයින් කරනු ලබන්නේ උපසම්පන්න භික්‍ෂූනට අයත් ප්‍රතිපත්ති මාලාව – විනය නීති මාලාව – මතක් කැරැ දීම යි. අවසානයෙහි විශේෂ මතක් කිරීමක් කරනු ලබන්නේ මෙසේ ය, තත්‍ථ සබ්බෙහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්‍ඛිතබ්බං’ -මේ ශික්‍ෂාපදයෙහි සමඟි වූ, සතුටු වූ, විවාද නොකරන්නා වූ සියල්ලන් විසින් මැ හික්මිය යුතු ය, පිරිය යුතු ය යනු යි.

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වන අපේ මැ අවිචාරවත් කම් නිසා ඉතා සුළු කරුණුවල දී පවා බේද වීම ඉතා සුළු කරුණක් වී ඇත. එය මහාශාසන පරිහානියෙකි. මෑත කාලයෙහි බහුල වශයෙන් පැවැතියේ නායක කාරක ආදිය නිසා ද විහාරවල අධිපතිකම් නිසා දැ යි ආදි කරුණු නිසා භික්‍ෂූන් භේද වීම යි. දැනට ඉතා භයානක ලෙස භික්‍ෂූන් ගේ භේදයට කාරණය වී තිබෙන්නේ පක්‍ෂ දේශපාලනය යි.

පසුගිය මැතිවරණයේ දී අපේ භික්‍ෂූන් වහන්සේ දේශපාලනයෙහි දෙපිලකට බෙදී මහ සටන් වැදීම කොතරම් පාඩුවක් ද යනු දැන් වත් වටහාගැනීම ඉතා අවශ්‍ය කරුණෙකි. සමහර විට එසේ කළේ හොඳ අදහසින් විය හැකි ය. එහෙත් එය ශාසනාභිවෘද්ධියට බලවත් පාඩුවක් බව නො කියා ම බැරි ය. ඒ භේදය දිගට පවත්වාගෙන යෑම ඊටත් වඩා බලවත් ශාසන පරිහානියෙකි. එහෙයින් මාගේ ගරුතර සබ්‍රහ්මචාරී භික්‍ෂූන් වහන්සේ ඔවුනොවුනට ඔවුනොවුන් විසින් කැරුණු කතා හා ක්‍රියා හා සම්බුද්ධ ශාසනයේ නාමයෙන් අමතක කොට සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට හා අභිවෘද්ධියට එක බෞද්ධ හඬක් ඇති කිරීමට පුරෝගාමී වන සේක් වා යි ශාසනාලයෙන් ආරාධනය කරමි.

මෙකලැ ආගමික සමඟිය හා ජාතික සමඟිය ගැන ඉතා උනන්දු වෙන් කතා කරනු ක්‍රියා කරනු අසන්නට දක්නට ලැබෙයි. එය ඉතා යහපත් දෙයකි. එහෙත් එය පිරිසිදු අදහසින් කරනවා ද නැත හොත් සිංහලයන් ගේ බෞද්ධයන් ගේ නැඟී එන ප්‍රබෝධය නිහඬ කරන්නට කරන උපක්‍රමයක් දැයි නුවණින් සොයාබැලීම ද ජාතික හා ආගමික වශයෙන් ඉතා යහපත් ක්‍රියාවෙකි.

තව ද මේ රටෙහි නියම ජාතික සමඟියක් හා ආගමික සමඟියක් ඇති වන්නේ ජනගහනයෙන් සියයට හැත්තෑවකට ළංවන සිංහල බෞද්ධයන් සමඟි වූ දාට ය යි නොපැකිළ කියනු කැමැත්තෙමි. සිංහල බෞද්ධයන් ගේ සමඟියෙන් අන්‍ය ජාතිකයනට අන්‍ය ලබ්ධිකයනට ස්වල්ප වූ ද හානියක් නොවනවා පමණක් නොවැ ඔවුන්ගේ සම්පූර්ණ ආරක්‍ෂාව හා අභිවෘද්ධිය ද සැලැසෙනු ඒකාන්ත යි. ඇතැම් අන් අය සමඟි වන්නේ සිංහල බෞද්ධයනට පහර ගැසීමට ය. සිංහල බෞද්ධයා සමඟි වන්නේ අන්‍යයන් ගහන පාරවල් වළක්වාගැනීමට ය. එහෙයින් ඇතැම් අන් අය ගේ සමඟිය හෙල්ලක් බඳු ය. සිංහල බෞද්ධයා ගේ සමඟිය පලිහක් බඳු ය.

සිංහල බෞද්ධයන් භේද වැ සිටින විට එය ආයුධයක් කැරැගෙනැ අන්‍ය ජාතිකයෝ අන්‍ය ලබ්ධිකයෝ සිංහල බෞද්ධයන් කොනිච්චන්නට පටන් ගනිති. එවිට සිංහල බෞද්ධයා නොසංසුන් වෙයි. මේ කරුණ හරියට තේරුම් නොගත් ඇතැම් බෞද්ධයන් පවා කලබලකාරයන් හැටියට සිංහල බෞද්ධයාට චෝදනා කිරීම සිරිතක් වැ පවතී. ඉදින් සිංහල බෞද්ධයා සමඟි නම් කොනිච්චන්නට තබා ඉඟියෙකින් වත් සිංහල බෞද්ධයාට රිදවන්නට මොන යකකු වත් ළං වන්නේ නැත.

මෙසේ සිංහල බෞද්ධයා සමඟි නම් මේ සිංහල බෞද්ධ රටෙහි සිංහල බෞද්ධයාගේ සාධාරණ අයිතිවාසිකම් සැලැසෙනු ඇත. එවිට සිංහල බෞද්ධයා ගේ ස්වභාවික ලක්‍ෂණය අනුවැ අන්‍ය ජාතිකයන් ගේ අන්‍ය ලබ්ධිකයන් ගේ සාධාරණ අයිතිවාසිකම් නොඅඩු වැ මැ සලසා දෙනු ඒකාන්ත ය.

මේ කරුණු හොඳින් නුවණින් සලකා බලා පළමු වැ අපේ භික්‍ෂූන් වහන්සේ සමඟි සම්පන්න වී ආදර්ශයත් උපදේශයත් දී සිංහල බෞද්ධ ජනතාව සමඟි කළ යුතු වේ. එය මැ මේ රටෙහි ජාතික සමඟියත් ආගමික සමඟියත් වනු ඇත.

නා නා විධ ශාසනික හා සමාජ සේවා කටයුතුවලැ යෙදී සිටින සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනය ස්වර්ණ ජයන්තියේ සිහිවටනක් වශයෙන් බොදු සමඟියෙහි පුරෝගාමී වෙනවා ඇතැයි ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමි.

ලංකාදීප 1968.12.22

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.