Skip to main content

දෛනික දළදා බුදු පුද තේවා .

දළදා වහන්සේ රාජ්‍ය උරුමයෙහි සංකේතය වූයෙන් දළදා තේවාව රජ මාලිගාවේ සේවාවන්, වතාවත් හා සමඟ සම්මිශ‍්‍රණය වී රාජකාරි ස්වරූපය ගෙන වර්ධනය වී ඇත. වර්තමානයෙහි පවත්නා බොහෝ දළදා තේවා විධි සිව්වන පරාක‍්‍රමබාහු රජු දවස කෙරුණු දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. නායක්කර්වංශික රජවරු යටතේ ඇතැම් හින්දු ආගමික පුද සිරිත් ලක්ෂණ ද, වර්තමාන දළදා පුද සිරිත්වලට එක්වී ඇති බවක් දක්නට ලැබේ. රජ මාලිගාවේ රජුට ඉටු කෙරෙන බොහෝ සේවාවන්ට සමාන සේවාවන් දළදා වහන්සේ විෂයෙහි ද ඉටුකළ බව අද දක්වාත් පැවතගෙන එන දළදා තේවා විධි තුළින් අනාවරණය වේ.

පෙර රජ දවස දිනපතා ශ‍්‍රී දළදා මාලිගාවෙහි පැවැත්වෙන අමුතු මුල්තැන් බුද්ධ පූජාව රජ මාලිගාවේ මුල්තැන්ගෙයි සම්පාදනය කොට හේම කදක තබා රජු විසින් ම දළදා මාලිගාව වෙත පයිංඩ කළ බව කියැවේ. දළදා සිරිතේ නව වන ව්‍යවස්ථාවේ “මහරජු දළදා ගෙට ගොස් වඳනා කල සියලු පිරිවර පිටත රඳවා පිරිසිදුව ආදර බුහුමන් ඇතුව ගෙට වැද මුසුන් ගෙන ගෙට ඇමැද අත් දෙව රුවන් හා මල් ආදිය පුද නව අරහාදී බුදු ගුණ මෙනෙහි කැර පුද වැඳ පන්සිල් සමාදන් විය යුතුය” “රජවරුන්ගෙන් පොහොයක් පාසා පොහොතලියක් පූජා කළ යුතුය.” “රජ ඇමතියන් තමන්ගේ තරාතිරමට අනුකූලව මාණ්ඩලික තලිය ඇතුළුව දවස එක් කෙනෙකු බැගින් බත් පාත‍්‍ර පූජා කළ යුතු විය. මේ කරුණු තුළින් දළදා තේවා සම්බන්ධයෙන් රජුගේ සබැඳියාව මනාව පැහැදිලි වේ.


ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ලෙස කටයුතුª කළේ ආනන්ද මහතෙරුන් වහන්සේ ය. උන්වහන්සේ විසිපස් වසරක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ගේ සෙවනැල්ලක් සේ පැවතෙමින් ගෞරවයෙන්, භක්තියෙන්, ස්නේහයෙන් සියලු බුද්ධෝපස්ථාන බුදු පුද ඉටුකළහ. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත සියලු ධර්මය අසා දැන බහුශ‍්‍රැතභාවයෙන්, ධාරණ ස්මෘතියෙන් අගයන්ගෙන් ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි දැක් වූ සෙනෙහස, ගෞරවය අපරිමිත ය. පිවිතුරුය. කිසිදු ලාභ ප‍්‍රයෝජනයන් හෝ ප‍්‍රශංසාවන් අපේක්ෂා නො කර ස්වකීය ජීවිතය බුද්ධෝපස්ථානයට කැපකළ ශ‍්‍රාවකයන් වහන්සේ නමකි.

වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුද දක්වනුයේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර වැඩසිටින ශ‍්‍රී දළදා වහන්සේ වෙත ය. ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටු කළා වූ සියලු චිරාගත සාම්ප‍්‍රදායික බුද්ධෝපස්ථාන බුදු පුද, තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ එම විහාර වාසී මහා සංඝ රත්නය වෙත ය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කැරේ.

වාර්ෂිකව ඇසළ මාසයට එළඹෙන පසළොස්වක පෝය මුල් කොටගත් වස් සමාදන් වන දිනයේ දී මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම ගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමා ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී දළදා තේවා මුර මාරුවීම සිදු වේ. එම අවස්ථාවේ දී ඉහළ මාලයේත්, පල්ලේ මාලයේත්, පත්තිරිප්පුවේත්, තේවා භාර ස්වාමීන් වහන්සේලා වැඩ සිටින පන්සලේත් ඇති භාණ්ඩ ලේඛන ශ‍්‍රී දළදා මාලිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවා පෙන්වා භාණ්ඩ භාරදීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාළ යතුරු භාරගැනීම හා භාරදීම සිදු කැරේ.

එය පෙර පිනෙන් ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අදාළ පාර්ශවය තේවා කටයුතු භාර ගැනීමෙන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වර්ෂයේ තේවා භාර හිමිවරුනට වස්වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතුව පවතින සාම්ප‍්‍රදායික තේවා භාර කාරිත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශවයේ තෙරුන් වහන්සේලා තුන් නමක් යොදවා ගැනීම පෙර සිරිතයි. එම තුන් නම පත්කරනු ලැබූයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක් නමක් වශයෙනි. එහෙත් මෑතකදී සිට ගන්ධ කුටියට තවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ද පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් ද පත්කිරීම සිදුවේ. බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කළා වූ සියලු බුද්ධ උපස්ථාන එසේම අදත් ශ‍්‍රී දළදා තේවා භාර ස්වාමීන් වහන්සේලා ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා ද ඉටුකරති.

තේවා කටයුතු නියමිත භික්ෂූන් වහන්සේලාට ගිහි භාරකාර දියවඩන නිලමේතුමා, කාරියකරවන කෝරාල, වට්ටෝරුරාළ, ගෙපරාළ, කත්තියන රාළලා දෙදෙනා, සඳුන් කපුරාළ, හක්ගෙඩි අප්පු, දොරේ ආරච්චි,, පල්ලේමාල රාළ, මුළුතැන් රාළලා දෙදෙනා ආදී ගිහි සේවා කට්ටල දෙකක සහාය ද ලැබේ. ඇතුල් කට්ටලය හා පිට කට්ටලය වශයෙන් හැඳින්වෙන්නේ මේ තේවා කට්ටල දෙකයි.

මීට අමතරව හේවිසි, තම්මැට්ටම්, මඟුල් බෙරය, හොරණෑව ආදී භාණ්ඩ නියමිත තේවාමුර සඳහා වාදනය කිරීමට පනික්කි මුර හතරක සහාය ලැබේ. නානුමුර මංගල දිනවල, පසළොස්වක පෝය දිනවල හා වෙනත් උත්සව අවස්ථාවන්වලදී කවිකාර මඩුව ශ‍්‍රී දළදා ගුණ ගායනා කරති. අලුය 5.15 ට පමණ හේවිසි කරුවෝ අලුයම් දුරය අරඹති. ඒ හේවිසි පද ඇසෙත්ම තේවා භාර තෙරුන් වහන්සේලා හා ගිහි නිලකරුවෝ තේවා කටයුතු සඳහා සූදානම් වෙති. තේවාවෙහි නියුක්ත වන තෙරුන් වහන්සේලා අඳනය ඇඳ, දෙපට සිවුරක් පොරවා, එය නො ගැලවෙන සේ ක‍්‍රමවත්ව පළල් පටියකින් බඳිනු ලැබේ. අනතුරුව සඟල ඉවුර වම් උරමත දෙපැත්තට එල්ලෙන සේ දමා නැවත ද පටියකින් බඳී. මෙසේ පටි බැඳගෙන තේවා කටයුතු සඳහා සූදානම් වන්නේ දළදා වහන්සේ උදෙසා ඉටුකෙරෙන පූජා විධි කිසිම අවහිරයකින් තොරව ඉතා ගෞරවයෙන් සිදුකිරීම සඳහා ය. උඩමාලේ ගිහි සේවක පිරිස ද තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසී නියමිත වේලාවට තේවා භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ ලැගුම් ගෙට පැමිණ සිටිය යුතුය.

ඉන්පසු පට ලේන්සුවකින් එතූ යතුරු මිටිය තේවා භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් වට්ටෝරු රාළට භාර දෙනු ලැබේ. ඔහු මහත් ගෞරවයෙන් යතුරු මිටිය උර මත තබාගෙන වැඩ සිටින මාලිගාව කරා යතුරු පයිංඩ කිරීම අරඹයි. උදෑසන තේවා මුරයේදී පන්දම්කරු අත් පන්දම රැගන ඉදිරියෙන් පසෙකින් ගමන් කරයි. ඉන්පසු පළමු ව යතුරු පයිංඩ කරන වට්ටෝරු රාළ ද, අනතුරුව පිළිවෙළින් තේවා භාර නාහිමිපාණන් වහන්සේ, දෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, තෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, පල්ලේමාලේ තේවා භාර ස්වාමින් වහන්සේ, පත්තිරිප්පුවේ ස්වාමින් වහන්සේ හා ගිහි සේවක පිරිස ගමන් කරති.

හේවිසි මණ්ඩපය අසලට ළඟාවූ විට පැන් බඳුනෙන් පා දෝවනය කරගෙන ඇත් දත් වාහල්කඩ ඉදිරියේ සඳගල අසලදී යතුරු මිටිය ලිහා පල්ලේමාලේ යතුර පල්ලේමාලේ රාළට භාර දෙයි. අනතුරුව වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක විවෘත කර ගන්ධ කුටියේ දොර විවෘත කර අවසන් වූ පසු ඝංඨාරය නාද කරයි. තේවා භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දොහොත් මුදුන්දී නමස්කාර කරමින් ධාතු මන්දිරයට පිවිසේ. පත්කඩය එලා පසඟ පිහිටුවා වැඳ පහන් දල්වයි. දූවිලි පිස දමයි. නැවත දෑත් දෝවනය කරගෙන, බොලපැන් පයිංඩ කරන තුරු තේවා උපකරණ සූදානම් කරගනී. මේ අතර ගෙපරාළ බොලපැන පයිංඩ කරගෙන උඩමාලයට පැමිණෙත්ම හේවිසි පූජාව නැවත ඇරඹේ.

බොලපැන පයිංඩ කළ පසු රන් කෙණ්ඩි පුරවා තබයි. මල් ආසනයෙහි පරමල් ඉවතලා අලුත් මල් තබා තිර මෑත් කොට සුළු වේලාවක් වන්දනා කරුවන් සඳහා ඉඩ සලසා දෙයි. මේ අතර වාරයේ කත්තියන රාළ හේමකද පයිංඩ කරයි. මල් පූජා කිරීම අවසානයේ දොරවල් වසා පූජා කටයුතු අරඹති. තේවා භාර හිමිවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ මුව දෝවනය සංකේතවත් කිරීම සඳහා උණු පැන් කෙණ්ඩිය උඩට ඔසවා යළිත් පහත් කොට පූජා කරයි. අනතුරුව රන්මිට යෙදූ දැහැටි පූජා කරයි. පූජාවෙන් පසු දැහැටිය ඉවත්කර රන්මිට ආසනය මත තැන්පත් කරනු ලැබේ. ඉන්පසු තුන්වරක් කාලංසියට පැන් වත් කරයි.

මින් ශී‍්‍ර මුඛය දෝවනය කිරීම සංකේතවත් කෙරේ. සේදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව තෙත මාත්තුව සිදුවේ. මේ පූජා අවස්ථාවේදී ගාථා සජ්ජායනා කිරීම සිරිත ය. තුන් සිවුරු පූජාවෙන් පසු, පා දෝවනය කිරීම සංකේතවත් කරමින් කාලංසියට ජලය ඉවත් කිරීම සිදුවේ. ඉක්බිති ආසන පූජාව ද චාමරයෙන් පවන් සැලීම ද නිමකර මිණිගෙඩි නාද කර මිණි පූජාව පැවැත්වේ. කපුරු පහන් පූජාව සිදු කොට පසඟ පිහිටුවා වැඳ අවසන් වෙත්ම ඝංඨාරය තුන්වරක් නාද වේ. තේවා භාර හිමවරු නැවත දෑත් දෝවනය කරගෙන මල් පූජාව සිදු කරයි. ඉක්බිති සුළු වේලාවක් වන්දනා කරුවන්ට මල් පිදීමට ඉඩ සලසා දීමෙන් පසු නියමිත වේලාවට මල් ආසනය පිරුවටයකින් වසා ඒ මත බුද්ධ පූජාව තැන්පත් කරති. මෙම පූජා චාරිත‍්‍ර කිසිවක් බැතිමතුනට සියැසින් දැකගත නොහැකිය.

උදෑසන බුද්ධ පූජාව සඳහා බතින් පිරවූ මහරන් පාත‍්‍රය, කැඳ පාත‍්‍රය, බතින් පිරවු රිදී පාත‍්‍ර දෙකක්, රිදී ව්‍යංජන තැටි දෙකක්, අවුල්පත් භාජන දෙකක්, කුසලාන, බොලපැන් පිරවූ රන් කෙණ්ඩිය ආදිය ආසනය මත ක‍්‍රමවත්ව, තැන්පත් කර ගාථා කියා ආහාර පූජා කොට තේවා භාර හිමිවරු මඳක් ගන්ධ කුටයෙන් මෑත්වෙති. සුළු වේලාවකින් නැවත ගන්ධ කුටියට වැඩම කොට පූජා භාජන ඉවත් කරති.

මෙසේ බුද්ධ පූජාව පවත්වා අවසන් වූ පසු නැවත වන්දනා කරුවන්ට මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

තේවාවන් සඳහා නියමිත වේලාව අවසන් වූ පසු හක්ගෙඩිය පූගා ඝංඨාරය (ගෙඩිය) නාද කොට යළි දොරවල් එකිනෙක වසා පරීක්ෂා කොට පළමුව ගිහි පිරිස පිටතට පැමිණෙති. දෙවනුව තේවා භාර දෙවන හිමි ද අවසානයේ තේවා භාර නාහිමි ද පහළට වැඩම කරති. ප‍්‍රධාන රිදී දොර වසා අවසන් වී පල්ලේමාලේ යතුරු ද සඳගල අසලට පයිංඩ කළ පසු යතුරු මිටිය එකට ඔතා වට්ටෝරු රාළ විසින් පෙර පරිදි ලැගුම් ගෙට පයිංඩ කිරීම සිදු කරනු ලබයි.

දිනයේ පෙරවරු 9.30 ට ආරම්භ වන දහවල් නවපෑ බුද්ධ පූජාවේ මුල් ම පූජාව වෙන් වන්නේ රජතුමා වෙනුවෙන් ය. ඒ අනුව පළමු මහරන් පාත‍්‍රය රජතුමාට වෙන්වේ. කුඩා රන්පාත‍්‍ර වලින් එක් පාත‍්‍රයක් කාරිය කරවන කෝරාළට ද, වට්ටෝරු රාළට තවත් කුඩා රන් පාත‍්‍රයක් ද, තවත් රන් පාත‍්‍රයක් ගෙපරාළට ද, කත්තියන රාළට රිදී පාත‍්‍රයක් ද තවත් රිදී පාත‍්‍රයක් දොරේ ආරච්චිට ද, පිත්තල පාත‍්‍රයක් හක්ගෙඩි අප්පුට ද වෙන් වේ. පූජා පිළිවෙත් උදෑසන පූජා සිදු කළ ආකාරයට ම ඉෂ්ට සිද්ධ වේ.

සවස ප‍්‍රධාන වශයෙන් ගිලන්පස පූජා දෙකක් පැවැත්වේ. දෙවන ගිලන්පස කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගේ සමයෙහි සිට ආරම්භ වී ඇත. ශී‍්‍ර දළදා වහන්සේ උදෙසා කෙරෙන බුද පුද තේවාවන් සඳහා රජතුමා ද සහභාගිවීම එදා පැවැති සිරිතය. එක් දිනක් රජතුමා ප‍්‍රමාද වී පැමිණි අතර තේවා භාර නාහිමි වේලාව අවසන් වූයෙන් දොරවල් වසා වැඩම කරන ලදී. මේ සිදුවීමෙන් අනතුරුව රජතුමා විසින් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් දෙවන ගිලන්පසක් පූජා කිරීම ඇරැඹිණ.

සවස ගිලන්පස පූජාවට සීනි, සූකිරි, අඹ, ඉඟුරු, මී පැණි, දොඩම්, අන්නාසි, උක් පැණි, හකුරු, මුද්‍රප්පලම්, ඇල්තෙලිජ්ජ, ඉඟුරු දෝසි, ආදි ද්‍රව්‍ය යොදා ගනී.

උපුටාගැනීම – http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad0908024

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.