Skip to main content

දුම් බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම යන දුසිරිත් වලින් සමාජය බේරා ගැනීම …

දුම්බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම ඈතඅතීතයේ පටන් තිබිණ. එයින් දුම්බීම හා මත්ද්‍රව්‍ය ගැනීම තිබුණේ බෙහෙතක් වශයෙනි. වෛද්‍යවරු යම් යම් ආබාධවලට දුම්වැටි ඉරීම නියම කළහ. එය බොහෝ විට ම කළේ දුම්වැටිය පිටින් තබා ගෙන කටින් හෝ නහ‍යෙන් ඉරීම යි. කටේ තබා ඉරීම ද නො තිබුණා නොවේ. වෛද්‍යවරු අබිං, කංසා, ගංජා මත්ද්‍රව්‍යවල විෂ මරා එය බෙහෙත් සමඟ මිශ්‍රණය කිරීම ඉතා සුළු වශයෙන් එදාත් තිබුණා. අදත් තියෙනවා.

පුරාණයෙහි ද මත්පැන් පානය ආගමික වශයෙනුත්, සාමාජික වශයෙනුත් තිබුණා. බුදුරජාණන් වහන්සේ කවර ආකාරයෙකැ මත් පැන් පානයක් වත් පිළිගත්තේ නැත. එහෙයින් ගිහි සමාජයේ නිත්‍ය ශීලය වන පන්සිල්හි මත්පැන් බීමෙන් වැළකීම ඇතුළත් කළහ. එකල ද විවිධ මද්‍යපාන තුබුණත් වෙන් වශයෙන් නම් නො කියා එදා තිබුණු ප්‍රධාන මද්‍යපාන වර්‍ග දෙකක නම් ඇතුළත් කොට ‘සුරා මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන සික පදය ප්‍රකාශ කළහ.

මත් වීමටත්, ප්‍රමාදයටත් හෙවත් සිහි සැලකිලි නැති බවටත් හේතුවන මත් පැන් බීමෙන් වැළකෙන සික පදය සමාදන් වෙමි යන සිකපදය සමාදන් වැ රැකීමෙන් බුද්ධ ධර්‍මය පැතුරුණු හැම රටෙක ම මත්පැන් බීම ක්‍රමයෙන් නැති වී ගියා. කෙනෙකු හදිසියෙන් මත්පැන් ටිකක් බීවත් අන් අය දැන ගන්නවාට කැමති වුණේ ම නැත. බෞද්ධයන් මත් පැන් පිළිකුල් කළ බව විදේශීය උගතුන් ද ලියා ඇත. පුරාණයෙහි බෙහෙතකට විනා නිකම් දුම්වැටි ඉරීම හෝ මත් ද්‍රව්‍ය ගැනීම තුබුණේ නැතැයි කීම තරමට අඩුව පැවති බව කිව හැකිය.

බුදු රජාණන් වහන්සේ මත්පැන් බීමේ ආදීනව හා විනාශය විවිධ සූත්‍රයන්හි හා කතාවන්හි පැහැදිලිව ම ප්‍රකාශ කොට ඇත. එයින් සිඟාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත කරුණු හය වටහා ගත්තත් ප්‍රමාණවත් වේ. මෙහි ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ මත් පැන් බීමේ ආදීනව වුවත් දුම්බීමේ හා මත්ද්‍රව්‍ය ගැනීමේ ආදීනව ද අංශ කීපයකින් මීට සමාන වේ.

  1. ධන හානිය

මත්පැන් හා දුම් කොළ බදු වශයෙන් රජයට රුපියල් කෝටි 590 ක් ලැබෙනවා. මත්පැන් නිසා රජයට දරන්නට සිදුවන වියදම කොපමණදැයි සඳහනක් නැත. එහෙත් අන් රටවල වියදම් අනුව ගණන හිතා ගැනීම අපහසු නො වේ. ප්‍රංශයේ සෑම රෝහලක ම හැම ඇඳන් සියයකට ම ඇඳන් 40 ක් මත් පැන් රෝගීන් සඳහා වෙන් කරන්නට සිදුවී ඇත. එහෙයින් රෝහල් සඳහා පමණක් රජයට දරන්නට සිදුවී ඇති අතිරේක වියදම රං පවුම් කෝටි සියයකි. යුරෝපයෙහි අන් රටවලත් එසේම ය. මේ අනුව ශ්‍රී ලංකාවේ ද මත්පැන් රෝහල් – පොලිසිය – අධිකරණය – බන්ධනාගාර – ආදී විවිධ අංශ වලින් වැය වන මුදල් එකතු කළ විට ආදායමට වැඩි වනු ඇත. මිනිසා හා සමාජය නරක් වීමෙන් සිදුවන අසීමිත අලාභය මීට ඇතුළත් කළේ නැත.

මෙ කල මත්පැන් බොන පුද්ගලයෙකුට අඩුම ගණනේ දිනකට රුපියල් පනහක් වත් වියදම් වනු ඇත. කසිප්පු වත් ඉන් අඩුව බොන්නට නො හැකි වනු ඇත. එය එසේ නම් මසකට රුපියල් එක්දහස් පන්සියයකි. අවුරුද්දකට රුපියල් දහඅට දාහකි. අවුරුදු දහයකට එක්ලක්ෂ පනස් දහසකි. අවුරුදු විස්සක් බොන්නට ලැබෙන්නේ නැත. ඊට පෙර මැරෙනවා. ඉදින් ජීවත් වැ සිටියොත් රුපියල් තුන් ලක්ෂායකි. බීම සඳහා රුපියල් පනහකට වඩා වියදම් කරන අය ඒ අනුව වියදම් ලේඛනය සාදා ගත යුතු ය.

  1. කෝලාහල, අපරාධ බහුල වීම

වර්‍තමාන සමාජයේ විශේෂයෙන් ගම්බද සිදුවන මිනීමැරුම්, සාහසික අපරාධ සියයට අසූවක් පමණ මත්පැන් සම්බන්ධ යැයි කිව හැකි ය. සමාජයට අළුතෙන් පැමිණි මත්ද්‍රව්‍ය නිසා අපරාධ අධික වනු ඒකාන්ත යි.

  1. විවිධ රෝග හට ගැනීම

මත්පැන් බීම කායික හා මානසික රෝගවලට හේතුවකි. ශ්‍රී ලංකාවේ විස්තර වශයෙන් විග්‍රහ කොට නැතත් අන් රටවල විග්‍රහ කොට ඇත. ප්‍රංශයේ රෝහල් වල රෝගීන්ගෙන් සියයට හතළිහක් මත්පැන් රෝගීන් ය. ලිවර් සිරෝසිස් වැනි රෝගයන් ගෙන් මැරෙන සංඛ්‍යාව වසරකට 30,000 ක් පමණ වේ. ඉන්දියාවේ ක්‍ෂය රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ අධික මත්පැන් පානය නිසා බව වාර්තා වේ. යුරෝපයේ දියුණු රටවල පිස්සන් කොටුවල සිටින අයගෙන් සියයට 59 ක් පමණ මත්පැන් පිස්සන් බව කියති. ශ්‍රී ලංකාවේ ද මේ සියළු විනාශ දියුණු වෙමින් පවතී.

  1. බේබද්දෙක යන අපකීර්තිය

බේබද්දා යන වචනය සිංහල නොවේ. ලක්ෂ ගණනක් වචන ඇති සිංහල භාෂාවේ බේබද්දා යන්නට තනි වචනයක් නැත. එයට ළඟින් යන වචනය නම් : සුරාධූර්ථ, සොඬ යන වචන යි. පුරාණ ලංකාවේ මත්පැන් බීම ඉතා තදින් පිළිකුල් කළහ. නොක්ස් තුමා ද එය ලියා ඇත. මෙකල මත්පැන් බීම මහ නම්බුකාර වැඩක් වී ඇත. ඒ වැරැදි හැඟීම නැති කිරීමට මත්පැන් බොන්නා පිළිකුල් කිරීම රට පුරා පැතිර විය යුතු ය.

  1. විළිබිය නැත්තකු වීම

මත්පැන් බොන්නා විළිබිය නැත්තෙකි. ඔහුට මනුෂ්‍යකම අමතක වේ. පිරිමිකම, ගැහැණුකම අමතක වේ. කියන දෙය දන්නේ නැත. කරන දෙය දන්නේ නැත. ඇඟේ වස්ත්‍රය ඇත් ද, නැද් ද දන්නේ නැත. තිරිසනාට අන්ත වේ.

මා දන්නා ධනයෙන් උසස් කෙනෙකු ගේ සිද්ධියක් කියන්නම්. ඔහු මත්පැන් අධික ලෙස බොන්නෙකි. ඔහුට වෙරි වීම මහත් ප්‍රීතියකි. (වෙරි සිංහල වචනයක් නොවේ) වෙරිවී නිර්‍වස්ත්‍රව නැටීම වඩාත් ප්‍රීතියකි. දිනක් මොහු රෑ වී ප්‍රසිද්ධ හෝටලයකට ගියා. ඔහු ගියේ ගෙදරට අඳින සරමෙන් ය. මත්පැන් බී වෙරිවී ගැහැණු – පිරිමි පිරිස මැද සරම ලිහා දමා නටන්නට පටන් ගත්තා. එහි සිටි අනෙක් වෙරිකාරයන්ට මහත් සතුටක් වූවත් හෝටල් හිමියනට මහත් කරදරයක් වූයෙන් දුරකථනයෙන් ගෙදරට දැන්වූයේ ය. ගෙදර වාහනය යවා අමාරුවෙන් ගෙන්නා ගන්වා ලදී.

  1. බුද්ධිය මොට වීම

බුදුරජාණන් වහන්සේ “පඤ්ඤාය දුබ්බලිකරණං” බුද්ධිය මොට කරනවා යයි කී කරුණු වර්තමාන විද්‍යාඥයෝ ද මත්පැන් බීමෙන් මොලේ ශෛල පිළිස්සෙනවා යයි කියති. මොලේ ශෛල රාශියකි. එහෙයින් මත්පැන් බීමෙන් වන හානිය එක වර නො දැනුනත් ක්‍රමයෙන් මොලේ ශක්තිය හීන වෙයි. මත්පැන් බීවාම හොඳට ලියන්නට කියන්නට පිළිවන් යයි සමහරු කියති. එලෙසින් මත්පැන් බී ගෙන ලියූ කියූ අයගෙන් සියයට අනූ නවයක් ම අන්තිම කාලයෙහි දුර්‍වල වී අකාලේ මැරුණා.

මත්පැන් පිළිබඳ විද්‍යාඥයන් ගේ අළුත් ම ප්‍රකාශය ඇතුළත් නැවුම් පතක් නිකුත් කොට ඇත. එහි මුල් පිටුවේ ‘නිව් ඩිස්කවරි’ අළුත් සොයා ගැනීම යයි සඳහන් වෙනවා. එනම්, සාදයකට ගොස් අනෙක් අය සමග විනෝද වීමට බීම උගුරක් ගත් විගස ම මොලේ ශෛල පිළිස්සෙන්නට පටන් ගන්නා බව යි.

දුම් බීම

දුම්කොළ බද්දෙන් රජයට මේ වසරේ ලැබෙන ආදායම රුපියල් කෝටි ගණනකි. දුමි බීම නිසා විවිධ අංශ වලින් දරන්නට වන වියදම කවුරුන් වත් දන්නේ නැත. මෙහි නම් මත් පැනින් වන විනාශය තරම් තවත් හානියක් නැතැයි සිතමි. එහෙත් ධන විනාශය නම් මත්පැනට වඩා අධික විය හැකි ය. බදු ගෙවන්නේ වියදම් හැර ලැබෙන ආදායමිනි. කෝටි 399 ක් බදු ගෙවන්නට දුම්කොළ සමාගම කෙතරම් ආදායමක් ලබනවා ඇත් ද? ඒ සියල්ලම දුම් බොන ජනතාව ගෙනි. මත්පැන් බොන්නවුන් ගේ සංඛ්‍යාවට වඩා දුම් බොන්නන් ගේ සංඛ්‍යාව වැඩිය.

මත්පැන් බීම හැම තැනකදී ම නො කළ හැකි ය. දුම්බීමට තැනක් හා වේලාවක් නියම නැත. එහෙයින් හැම තැනකදී ම දුම් බොනවා. මිත්‍රයනට දුම්වැටි දෙනවා. මෙ කල දුම් බොන්නකුට ද දවසකට රුපියල් 20 ක් වත් වියදම් නො කොට බැරි ය. එය එසේ නම් මසකට රුපියල් 600 යි. වසරකට ආදී වශයෙන් ගණන් වැඩි කර බලන්න.

දුම් බීමෙන් ඇති වන සෞඛ්‍ය විනාශය ධන විනාශයට වඩා බරපතල ය. දුම් බීම නිසා හට ගන්නා රෝග සංඛ්‍යාව ද අධික ය. විශේෂයෙන් තොලේ දිවේ උගුරේ පෙනහල්ලේ ආමාශයේ මුත්‍රාශයේ පිළිකා වලින් හා ඇම්පිසීමා ආදී රෝග වලින් අමෙරිකාවේ වසරකට මැරෙන සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා යයි.

පෙනහැලි පිළිකාවට ප්‍රධාන හේතුව සිගරට් බීම බව මුළු ලෝකය ම පිළිගෙන ඇත. ලංකාවෙහි කලකට පෙර පෙනහැලි පිළිකා ශල්‍ය කර්‍මයක් තුබුණා නම් අවුරුද්දකට එකක් පමණ ය. දැන් එක වෛද්‍යවරයෙකුට පෙනහැලි පිළිකා ශල්‍ය කර්‍ම සතියකට පහක් හයක් පමණ ඇත. නිතර සිගරට් බොන කෙනෙකු ගේ ජීවිත කාලය එක සිගරට්ටුවකින් මිනිත්තු 5 ½ ක් අඩුවන බව විද්‍යාඥයෝ කියති.

මත්ද්‍රව්‍ය ගැනීම

පුරාණ කාලයෙහි මත්ද්‍රව්‍ය ගැනීමක් තුබුණේ නැත. ඉංග්‍රීසින් ගේ පාලන කාලයෙහි වයෝවෘද්‍ධ අය අබිං ගැනීමට පුරුදු වුණා. එහි ද හානිය දැනගත් බුද්ධිමත් ජනතාව විරුද්ධ වුණා. ඒ විරෝධය සැලකිල්ලට ගත් පාලකයන් අබිං නැතිව ම බැරි අයට අවසර පත්‍ර දුන්නා. එසේ දුන්නේ ද ඔහුගේ මරණයෙන් පසු එය අවලංගු වන පරිදි ය. එදා අවසර පත්‍ර 36,000 ක් නිකුත් කළා. ඉන් පසු අවසර පත් දුන්නේ නැත. ඒ අවසර පත්‍ර ද හීන වී අවුත් දැන් සියයකුත් නැති තරම් ය.

මෙ කල භාවිතයට පැමිණ තිබෙන මත්ද්‍රව්‍ය අතිශයින් භයංකාර ය. කසිප්පු මුදලාලිලා අන්‍යයන් ලවා කසිප්පු ප්‍රචාරය කළාක් මෙන්, මත්ද්‍රව්‍ය ප්‍රචාරය කරන්නේත් එ බඳු ව්‍යාපාරිකයන් පිරිසකි. මේ විපතින් සමාජය බේරා ගන්නට නම් මේ අවාසනාවන්ත ව්‍යාපාරිකයන් මර්ධනය කළ යුතු ය. ඒ අතර මේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් ජීවිත විනාශ වන සැටි වැඩිහිටියනට, ළමයිනට හා තරුණ තරුණියන්ට විද්‍යානුකූල ව පෙන්වා දිය යුතු වේ.

පින්ලන්තය සිගරට් අධික ව බොන රටෙකි. එහි අකාල මරණ වැඩි වන්නට පටන් ගත්තා. සියයට පනහක් මරණ හෘදය රෝග වලින් වයස හතලිහටත් පනහටත් අතරෙහි ය. වෛද්‍යවරු පරීක්‍ෂණ කළා. අධික සිගරට් පානය නිසා ශරීරයෙහි කොරොස්ට්‍රෝල් මේද තෙල් වැඩිවීම නිසා හෘදය රෝග බහුල වන බව පැහැදිලිකර දුන්නා. එය පිළිගත් රජය සිගරට් බීම පාලනය කිරීමට රාජ්‍ය සභාවේ පනතක් සම්මත කොට ක්‍රියාත්මක කළා. අවුරුදු තුනකට පසුව අපේ රට ජාතික විපතින් බේරා ගත්තා යි රජය ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවෙහි ද දුම්බීම, මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය ගැනීම පාලනය කිරීමට රාජ්‍ය සභාවේ පනත් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත.

 

දවස 1987.05.13

ප්‍රඥාප්‍රභා 8

 

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.