මහාවංශය ආදී වංශ කථාවන්හි සිංහල ජාතියේ ආරම්භය විජය රජතුමා ගෙන් වී යයි කියතත් හැම ඉතිහාසඥයකු ම එය පිළිගන්නේ නැත. ඇතැමුන් සිංහලයා ගේ මුල රාවණා රජු තෙක් ඈතට ගෙන යන්නේ ද කරුණු ඇති වැ ය. ආරම්භය කාගෙන් කවදා සිදු වුවත් සිංහලයා ආර්ය වංශයට අයත් මනුෂ්‍ය ජාතියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නට පෙරැ ද සිංහලයා සෑහෙන තරම් දියුණු ප්‍රෞඪ ජාතියක් හැටියට වැජඹුණු බව පණ්ඩුකාභය රජතුමා ආදීන් ගේ පුවත්වලින් පැහැදිළි වෙයි. සිංහලයා බෞද්ධ වූවාට පසු එවකට ලොවැ කිසි ම ජාතියකට දෙවැනි නොවන තරම් දියුණුවකට පත්වී ය. සිංහලයාට විශිෂ්ට ආගමක්, භාෂාවක්, කලාවක්, ඉතිහාසයක්, සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් ද ඇත. සිංහලයා ආගමට සේවය කෙළේ ය; භාෂාවට සේවයක් කෙළේ ය; ජාතියට සේවය කෙළේ ය.
සිංහලයා ගේ ආගමික සේවාව විශිෂ්ට ය. සිංහලයා බුද්ධාගමය පිළිගත්තේ මහාපරිත්‍යාගයෙකිනි. එනම් තමන් එතෙක් කල් අදහාගෙන ආ ආගම හා ආචාර ධර්ම ස්වල්ප වශයෙන් වත් මිශ්‍ර නොකොට ඉතා පිරිසුදු වැ ය. සිංහලයා ආගමට කළ සේවාව අනුරාධපුර පොළොන්නරු ආදි ප්‍රදේශයනට ගිය කෙනෙකුට වහා ම අවබෝධ වනු ඇත. බුද්ධ ධර්මය පහළ වූයේ භාරතයෙහි ය. එහෙත් එය ආරක්‍ෂා වූයේ ලංකාවෙහි ය. කට පාඩමින් ගෙනා බුද්ධ ධර්මය බැමිණිටියා සාය කාලයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට වළගම්බා රජු ගේ උපකාරයෙන් ග්‍රන්ථාරූඪ කළෝ සිංහල භික්‍ෂූන් වහන්සේ ය. අටුවා, ටීකා, අනුටීකා සකස් වූයේ ද සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමීත්වයෙනි. පාලිය භාෂාවක් හැටියට ඉගෙනීමට උවමනා නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී සියල්ල ම සම්පාදනය වූයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ම ය. මේ කරුණු නිසා බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම හා පාලි භාෂාව වර්ධනය කිරීම පිළිබඳ වැ මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිංහලයා තමා ගේ යයි කිව යුතු කලාව, සාහිත්‍ය, භාෂාව, ආදි හැම දෙයක් ම බුද්ධාගමයෙන් පෝෂණය කැරැගත්තේ ය. සිංහලයාට බුද්ධාගමයෙන් වෙන් වූ කිසිවක් නැතැ යි කිව යුතු තත්ත්වයකට පැමිණියේ ය. ‘බුද්ධාගමය නැතිදාට සිංහල ජාතියක් නැත්තට ම නැතැ’යි ශ්‍රීමත් රාමනාදන් තුමා කීවේ ද එහෙයින් ම ය.