Skip to main content

චුල්ල කම්ම විභංග සූත්‍රය …

පින්වත් යාලුවනේ අපි කරුමය කියන වචනෙ ‍නිතර භාවිතා කරනවනෙ. යමක් උනාම “ ‍අනේ කරුමෙක මහත, පුදුම කරුමයක්නෙ” කියන වචන අපි නිතර භාවිතා කරනව. ඉතින් යමක් වෙන්න කර්මය පමණක් නෙවෙයි. නියාම ධර්මවල ඉතරි කරුණුත් බලපානව කියල හිතන්න ඕනි. ඒ කියන්නෙ උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම යනනියාම ධර්ම පහෙන් එකක් පමණයි කර්මය කියන්නෙ. මේ ගැන මම කලින් පලකල ලිපිවල ඇති. කියවල බලන්න. දැන් මෙතනදි කථා කරන්න හදන්නෙ කර්ම නියාමය ගැනයි.
දැන් මේ කියන්න යන්නෙ කර්මය ගැන කියවෙන සූත්‍රයක් පිලිබදවයි. ඒ තමා චුල්ල කම්ම විභංග සූත්‍රය.මේ සූත්‍රය අයිති වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ තුන්වෙනි කාණ්ඩය වන විභංග වග්ගයට.මේ සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක්ගේ කර්මවිපාකයක් ඵලදීමෙන් ඒ කෙනා වෙනත් ප්‍රතිසන්ධියක් ලබන්නේ නැතුව මිනිසත් භාවයක් ලබනවානම් ඒ කර්ම විපාකය හේතු කරගෙන ඒ මිනිසත් භවයේදී ප්‍රති විපාක ලැබෙන හැටි. ඔන්න ඉතින් බලන්නකො ඔයාලම කියවල.
බුදු හාමුදුරුවෝ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින දවසක තෝදෙය්‍ය කියන බමුණාගේ පුතා වුන සුභ කියන මානවකයා බුදුන් වහන්සේ හමුවෙන්න ඇවිත් උන්වහන්සේට මෙහෙම කියනවා.
මිනිසුන් අතර,
1. අල්පායුෂ මිනිසුන් දක්නට ලැබෙනවා.
2. දීර්ඝායුෂ්ක මිනිසුන් දක්නට ලැබෙනවා.
3. බොහෝ ආබාධ සහිත මිනිසුන් දක්නට ලැබෙනවා
4. නිරෝගිමත් මිනිසුන් දක්නට ලැබෙනවා.
5. යසස නැති මිනිසුන් දක්නට ලැබෙනවා
6. මහා යසස් ඇති මිනිසුන් දක්නට ලැබෙනවා.
7. අල්පභෝග ඇති මිනිසුන් දක්නට ලැබෙනවා
8. මහා භෝග ඇති මිනිසුන් දක්නට ලැබෙනවා.
9. නීච කුලීන පුද්ගලයන් දක්නට ලැබෙනවා.
10. උසස් කුලීන පුද්ගලයන් දක්නට ලැබෙනවා.
11. ප්‍රඥාවෙන් අඩු මිනිසුන් දක්නට ලැබෙනවා.
12. මහා ප්‍රඥාවන්ත මිනිසුන් දක්නට ලැබෙනවා.

ඉතින් මේ මානවකයා බුදු හාමුදුරුවන්ගෙන් අහනවා “ස්වාමීනි,මේ විදිහට මිනිසුන් අතරේම විවිධාකාර වෙනස් වීම් දකින්න ලැබෙන්නේ ඇයි?” කියලා.

බුදු හාමුදුරුවෝ මෙහෙම පිළිතුරු දෙනවා.

“මානවකය,සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත.කර්මය දායාද කොට ඇත.කර්මය ඥාති කොටගෙන ඇත.කර්මය පිළිසරණ කොටගෙන ඇත.කර්මය විසින් සත්ත්වයා හීන ප්‍රහීන තත්වයට පත් කොටගෙන ඇත”

මෙහෙම දේශනා කරන බුදුහාමුදුරුවෝ ඊළඟට මිනිසුන් ඒ ඒ විදිහට වෙනස්කම් සහිතව ඉපදීමට හේතුත් දේශනා කරනවා.

1. කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ ලේ පෙරුණු ආයුධ ඇතිව සතුන් මරන්නේ ද ඒ රැස් කල පව නිසා මරණින් මතු අපායේ නූපද මිනිසත් බව ලබයි නම් අඩු ආයුෂයෙන් මරණයට පත්වෙනවා

2. කාන්තාවක් හෝ පුරුෂයෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වී ජීවිතය ගත කරයිද මරණින් පසු සුගතිගාමී නොවී මිනිසත් බව ලබයි නම් දීර්ඝායුෂ්ක වෙනවා.

3. කාන්තාවක් හෝ පිරිමියෙක් ආයුධ වලින් හෝ මුගුරු වලින් සතුන් පීඩාවට ලක් කර ආබාධ සිදුකර මිය පරලොව ගිය විට දුගතිගාමී නොවී මිනිසත් බව ලබයි නම් ආබාධ සහිත කෙනෙක් බවට පත් වෙනවා.

4. ඉහත කරුණින් වැළකෙන කෙනා සුගති ගාමී නොවී මිනිසත් බව ලබයි නම් නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා.

5. කාන්තාවක් හෝ පිරිමියෙක් නිතරම කෝපයෙන් සිටියිද,එසේම වචන ප්‍රකාශ කෙරේද,විරෝධයට පත්වේද,කෝපයෙන් ද්වේශයෙන් නොසතුටු වේද,හේ මියගිය පසු නරකයේ නූපදී මිනිසත් බව ලැබුවහොත් දුර්වර්ණ වෙනවා.

6. ඉහත කරුණ නොවී මිනිසත් බව ලැබුවහොත් පැහැපත් දැකුම්කලු කෙනෙක් බවට පත්වෙනවා.

7. කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ ඉරිසියා කරයි නම්,අනුන්ගේ ලාබ සත්කාර ආදියට ඉරිසියා කරයි නම්,ද්වේශ කරයි නම්මියගිය පසු නරකයේ නූපදී මිනිසත් බව ලැබුවහොත් අල්පභෝග සහිත කෙනෙක් වෙනවා.

8. එම කරුණින් වෙන් වන කෙනා සුගතිගාමී නොවී මිනිසත් බව ලැබුවොත් මහා භෝග සහිතව උපදිනවා.

9. කාන්තාවක් හෝ පිරිමියෙක් මහනුන්ට හෝ බමුණන්ට හෝ ආහාර පාන,වස්ත්‍ර,යාන,මල් ගඳ විලවුන්,ශයනාගාර,පහන්,තෙල් නොදෙන්නේ නම් අල්ප සම්පත් තිබෙන කෙනෙක් බවට පත්වෙනවා.

10. එම කරුණින් මිදී සංග්‍රහ කරන කෙනා සුගතිගාමී නොවී මිනිසත් බව ලබයි නම් සම්පත් ලබන පුද්ගලයෙකු බවට පත්වෙනවා.

11. කාන්තාවක් හෝ පිරිමියෙක් අධික මානයෙන් සිටීද,වන්දනාමාන කල යුත්තාට නොකරයිද,ආසනයෙන් නැගී සිටිය යුතු කෙනාට එසේ නොකරයිද,අසුන් පැනවිය යුත්තාට නොපනවයිද,සත්කාර කල යුත්තාට නොකරයිද එම තැනැත්තා මියගිය පසු දුගතිගාමී නොවී මිනිසත් බව ලැබුවහොත් නීච කුලවතෙක් වේ.

12. එලෙස නොවී කටයුතු කරන තැනැත්තා මරණින් පසු සුගතිගාමී නොවී මිනිසත් බව ලැබුවහොත් උසස් කුලවතෙක් බවට පත්වේ.

13. කාන්තාවක් හෝ පුරුෂයෙක්,මහණෙකු හෝ බමුණෙකු හෝ ලඟට ගොස් කුසල්,අකුසල්,සාවද්‍ය,නිරවද්‍ය,සෙවිය යුත්ත,නොසෙවිය යුත්ත අසා දැන නොගනීද මිය ගිය පසු දුගතිගාමී නොවී මිනිසත් බව ලැබුවහොත් ප්‍රඥාවෙන් අඩු තැනැත්තෙකු වෙනවා.

14. එසේ නොවන තැනැත්තෙකු මරණින් පසු සුගතිගාමී නොවී මිනිසත් බව ලැබුවහොත් මහා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා.
ඔන්න දැක්ක නේද? සමහර ආගම්වල ඇත්තො සියල්ල දෙවියන්ට පවරල සියල්ලෙන් නිදහස් වෙන්න හදනව. ඒත් අපිට පැහැදිලි වෙනව නේද යමක් කර්මය නිසා සිදුවෙනවනම් ඒ තමන් කරගත්ත දෙයන් නිසා පමණක් බව. ඒ නිසා බොරුවට නොපෙනෙ, නොදකින, නිමාක දෙවියන් ට සියල්ල පවරල ඇගබේරගන්න උත්සාහ කරන්න එපා. මොකද අපි කරන දේවල් කාගෙ නමින් කරල අත පිහදාගන්න හැදුවත් අපිට විපාක විදින්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා නිරන්තරයෙන් දෙලොව යහපත ගැන සිතා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව.
අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.