Skip to main content

එළු දිවක් කළ මහා ආශ්චර්ය ….

ක්‍රි.ව. 618 සිට 907 දක්වා වූ ටෑං රාජ්‍ය වංශික සමය චීන ඉතිහාසයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයකි. එවකට ප්‍රධාන නගරයේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විය. පෑන් කුවෝ (P’an kuo) නමැති මෙම චිත්‍ර ශිල්පියාගේ දක්ෂතා නිසාම ඔහු ඉතාම ලාබාල කාලයේදී රජයේ තනතුරකට පත්කරනු ලැබුවේය. ඕනෑම දෙයක් වහා අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණ ඔහුට එම ආයතනයේ විශාල හිතවතුන් පිරිසක්ද වූහ.

ඔවුන්ගේ කණ්ඩායමට එක් දිනක් සුසාන භූමියක් සමීපයේ රාජකාරියේ යෙදීමට සිදුවිය. සොහොන් කොත් අතර එළු එ‍ෙඬ්රකුගේ රංචුවෙන් මගහැරී සිටින එක් එළුවකු ඔවුන්ට දැකගත හැකිවිය. එළුවා ස්වාධීනව නිදැල්ලේ තණකමින් ඔබ මොබ සැරිසරනු දුටු පිරිස එළුවා වටකර අල්වාගෙන තමාගේ නිවාසය දෙසට දක්කාගෙන ගියහ. එසේ යනවිට එළුවා තම පුරුදු හඬ නැගුවේය. මේ හඬ අසා එළු එඬේරා එළුවා සොයා එතියි බියපත් වූ පෑන් කූවෝ එළුවා වෙතට පැන දිව ඇද මුලින්ම ගලවා ගත්තේය. ඔහුගේ මේ ක්‍ෂණික දක්ෂතාවය ගැන මහත් ආඩම්බරයෙන් උදන් ඇනුවේය.

තම නිවෙස කරා ගෙන යන ලැබූ එළුවාට නොයෙක් වද හිංසා කොට මැරූ ඔවුහු එළුවා පුළුස්සා වයින් සමඟ මිශ්‍ර කොට ප්‍රණීත ආහාරයක් බවට කා බී විනෝද වූහ.

ඊළඟ වර්ෂයේදී පෑන් මහත්සේ කලබලයට පත් වූයේ ඔවුහු දිව ටිකින් ටික කොටවන හෝ හැකිලෙන ගතියක් තමාට දැනෙන්නට වූ බැවිනි. ටික දිනකින් දිව සම්පූර්ණයෙන්ම කොටවී කථා කිරීමට බැරි තත්ත්වයක් උදාවිය. කථා කිරීමට නොහැකිවීමේ හේතුවෙන් ඔහුගේ රැකියාවද අහිමි විය. තම දිව යථා තත්ත්වයට පත්කර ගැනීමට ප්‍රතිකාර ගැනීමට ඔහු මහත් වෙහෙසක් දැරුවේය.

චෙං යු චිං පෑන්ගේ රැකියා ස්ථානයේ අධිපතිවරයාය. පෑං තම අලස භාවය නිසා තමාට කථා කළ නොහැකියයි බොරුවක් කියතියි සැක කළ චෙං යු චිං ඔහුගේ මුව විවර කොට තමාට දිව පෙන්වන ලෙස පෑං ට නියෝග කෙළේය. පරීක්‍ෂණයේ දී චෙං යු චිං මවිතයට පත්කරමින් ඔහුගේ දිව සම්පූර්ණයෙන්ම අතුරු දන් වී ඇති බව දුටුවේය. ඔහුට දිව වෙනුවට දිව මුල කුඩා ගැටයක් වැනි යමක් පමණක් දැකගත හැකිවිය. මෙසේ වීමට හේතුවක් තමා දන්නේ නම් එය හෙළි කරන ලෙස චෙං යු චිං පෑං ට පලකළේය. පෑං චිත්‍ර ඇඳීමට භාවිත කරන කුඩා බුරුසුවක් ගෙන තමාට මතක ඇති සිදුවීමක් ලියා විස්තර කළේය. “ අප කණ්ඩායමක් එළුවකු සොරකම් කරගෙන යන විට එළුවා කෑ ගසන්ට විය. කෑ ගැසීම නතර කිරීමට උගේ දිව අල්ලා ඇද ගලවා දැමීම”යි එම විස්තරයේ විය.

චෙං යු චිං එයින් දැන ගන්තේ එළුවාට අහිමි වූ දිව පිළිබඳ සිදුවීම සමබර කිරීම සඳහා පෑං ගේ දිවද ඔහුට අහිමි වූ බවය. ඔහු තම යටත් නිලධාරීන්ට නියෝග කෙළේ එළුවකුගේ දිව වෙනුවෙන් වන්දි පිණිස එළු සංහතිය වෙනුවෙන්ම බෞද්ධ ප්‍රතිපත්තිය , පරපණ නොනැසීම ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කිරීමටය. ඔහු ඒ සමගම පෑං ට නියම කෙළේ “ නෙළුම් සූත්‍රය” (LOTUS SUTRA ) පිටපත් කරන ලෙසය.

තමා විසින් කරන ලද මහා පාපකර්මය ගැන පෑං මහත් සේ දුක් විය. කිසිම සත්ව මාංශයක් තම ආහාරයට නොගන්නා බවට ඔහු දිවුරා පොරොන්දු විය.බෞද්ධ ධර්මානුකූල ප්‍රතිපත්ති ඉතා පුළුල්ව ඔහු දැඩි උනන්දුවෙන් ආරක්ෂා කළේය. පුද පූජා පැවැත්විය . යාතිකා කෙළේය. වර්ෂයකින් පසුව පෑං ගේ දිව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඔහුට දැනෙන්ට විය. ඒ බව තම ස්වාමියාට ප්‍රකාශ කිරීමට ඔහු චෙංගේ නිවස කරා දුවන්ට විය.

තමාගේ උපදෙස් මග පෙන්වීම යටතේ පෑංගේ පාපකාරී සිතිවිලි අහෝසි කොට ඒ වෙනුවට සෞම්‍ය සිතුම් පැතුම් වර්ධනය කොට ඔහු යහපත් පුරවැසියකු කිරීමට හැකිවීම ගැන චෙං යු ඈං නිහතමානි ලෙස ආඩම්බර විය. පෑං ට නිසිලෙස කථා කිරීමේ හැකියාව ලැබුණ වහාම චෙං ඔහුට සේවාවේ උසස්වීමක්ද ලබා දුන්නේය. චෙං යූචිං ඉතා සාධාරණ ඉතා අවංක සත්පුරුෂයෙක්ය යන අදහස් දැරූ සියල්ලෝම ඔහුට විශාල ලෙස ගරු බුහුමන් කරන්ට පටන් ගත්හ. චීන ඉතිහාසයේ ඉතාම විශිෂ්ට අධිරාජ්‍යයකු වන ටායි ටිසුං (TAI Tsung) අධිරාජයාගේ රාජ්‍ය පද ප්‍රාප්තියෙන් 9 වැනි වර්ෂයේදී ක්‍රි.ව. 635 දී එම අධිරාජ්‍යයේ සුවිශේෂී නිලයක් වන ප්‍රධාන නිරීක්‍ෂක (IMPERIAL CENSOR) ධූරයට චෙං යූචිං පත් කරනු ලැබීය.

චෙං ස්වකීය පදවි ප්‍රාප්තියෙන් පසුව මහා අධිරාජයා බැහැදැක ස්වකීය අතීතය ආවර්ජනය කරමින් මෙසේ පැවසීය.

“ මට මේසා උසස් තානාන්තරයක් ලැබීමට සුදුසුකම වූයේ එළුවකුට අහිමි වූ දිව වෙනුවෙන් එය සමබර කිරීමට දැරූ ප්‍රයත්නයක ප්‍රතික්‍රියාවක් වශයෙනි “”

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.