Skip to main content

උගුල්වල සිර වූ සාවුන් මුදා හැරීම …

හ්‍යුනැං (HUINENG) නමැති අතිපූජ්‍ය ඒ චීන මහා ස්ථවිරපාදයාණන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.ව. 638 – 713 දක්වා වූ කාලයේ ය. ඉතා දිළිඳු පවුලක උපත ලද ඒ මහා භාග්‍ය සම්පන්න සංඝ නායකයාණන් වහන්සේට කුඩා කල අකුරු කිරීමට පාසලකට යෑමේ අවස්ථාව පවා නොලැබුණි. එසේ වුවද උන්වහන්සේ ජන්ම දායාදයක් ලෙස ලැබූ ආශ්චර්යජනක බුද්ධි බලයකින් හා ප්‍රඥා මහිමයකින් ද යුක්ත වූ සේක.

එම ශක්තිය හේතුකොට ගෙන බුද්ධ ධර්මය ගැන දැනගත් වහාම ධර්මානුකූ®ලව හැඩගසාගෙන පැවිදි ජීවිතයට ඇතුළත් විය. දුෂ්කරතා මධ්‍යයේම බොහෝ වෙහෙස මහන්සියෙන් ධ්‍යාන වඩවා මාර්ගඵල අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත්වූ සේක. උන්වහන්සේගේ ගුරු දේවයාණන් වූයේ චෑං ධර්ම ශාස්ත්‍ර පීඨයේ පස්වන කුලපති මහෝපාධ්‍යයන් වහන්සේ ය. එම දීපව්‍යාප්ත ධර්ම ශාස්ත්‍ර පීඨයේ පළමු කුලපතිවරයාණන් වහන්සේට භාරතයෙන් (ඉන්දියාවෙන්) පිරිනමන ලද අති ගෞරවණීය ‘’කුලපති බෝධි ධර්ම නාමධාරී’’ ඓතිහාසික චීවරය හා පාත්‍රය ද හ්‍යු නැං මහා ස්ථවිර පාදයාණන් වහන්සේට එහි පස්වන කුලපති ආචාර්යෝත්තමයාණන් වහන්සේ විසින් පිරිනමනු ලැබීය. ඒ අනුව ජපාන ජාතිකයින් පවා සෙන් යන නමින් හඳුන්වනු ලබන චීනයේ මහා ධර්ම ශාස්ත්‍ර පීඨයේ හයවන කුලපති පදවියට පත්වූයේ  (HUINENG) හ්‍යුනැං ස්වාමීන් වහන්සේ ය.

මාර්ගඵල අවබෝධය ලැබීමෙන් අනතුරුව හ්‍යුනැං කුලපති හිමියන්ට පරපණ නැසීම පිළිබඳව මහා සංවේගයක් ඇතිවිය. විශේෂයෙන් මානව වර්ගයාට ආහාරයකට ගතහැකි දේ ස්වභාව ධර්මයා විසින් නිපදවා තිබියදීත් ආහාරය සඳහා සතුන් දඩයම් කිරීමෙන් මිනිසා තමාටම කරගන්නා අනර්ථය ගැන මහත් සිත්තැවුලට පත්වූහ. ආහාරය සඳහා සත්ව ජීවිත විනාශ කිරීමේ විපාක සඳහන් කළ උන්වහන්සේ එම සාපරාධී ක්‍රියාව වහාම නතර කරන මෙන් ප්‍රකාශ නිකුත් කළ නමුත් කිසිවකු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බව දැනගන්ට ලැබී මහත් සේ කලකිරීමට පත්විය.

වන සතුන් ඝාතනයෙහි යෙදෙන දඩයක්කාර කණ්ඩායම් එවකට චීනයේ සෑම ප්‍රදේශයකම වනගහනවල හා කඳුකරයේ කඳවුරු බැඳගෙන මාස ගණන් දඩයමෙහි යෙදෙන බැවින් ඔවුන්ගේ සාපරාධී ක්‍රියා මැඩලීමට මගක් කල්පනා කෙළේය. බොහෝ දුර කල්පනා කළ කුලපති ස්වාමීන්වහන්සේ හිස කෙස් බූ ගෑම නවත්වා වැඩෙන්ට හැරියේය. හිසකෙස් වැඩුණු පසුව සිවුර වෙනුවට සාමාන්‍ය ඇඳුම් වලින් සැරසිණ. දැන් කුලපති ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙකි. ස්වාමීන් වහන්සේ නමක් සේ නොපෙනේ.

වනගත කඳුකරයේ දඩයම් වෘත්තියෙහි මාස ගණන් යෙදෙන දඩයම් කණ්ඩායමක ආවතේවකාරයෙකු ලෙස ඔහු සම්බන්ධ විය. හ්‍යුනැං වෙඩි තැබීම් හෝ උගුල් ඇටවීම් හෝ කළේ නැත. දඩයම් කණ්ඩායම් නායකයින් ඔහුට පවරා තිබුණේ් සතුන් කොටුකරන දැල් මුරකිරීමය. ඔහුට වුවමනා වූයේ ද එම කාර්යය ම ය. සාවකුªහෝ මුවකු හෝ දැලට කොටු වූ විට අනෙක් දඩයම්කරුවන් ඒ අවට නැතිවිට හ්‍යුනැං වහාම ක්‍රියාත්මක වෙයි. කෙසේ හෝ සතාට උගුලෙන් ගැලවී යාමට ඉඩ සලසයි. දඩයක්කාරයින් ඒ අසල සිටියේ නම් ඔහු කරන්නේ එම සතාගේ ජීවිතයත් අපේම ජීවිත හා සමාන බව කියා ජීවිත හානියේ මහා පාපකර්මය ගැන කරුණු පැහැදිලි කොට සතා මුදා හරින ලෙස කන්නලව් කිරීමය.

මේ ආකාරයට ඔහු දඩයක් කාරයින් සමග වසර දහසයක් ගත කළේය. ඒ දහසය වසර තුළ ඔහුගෙන් අභයදානය ලැබූ සත්ව සංඛ්‍යාව අති විශාලය. ඔහු කළ සේවාව එපමණක් නොවේ. තම දඩයම් කණ්ඩායමේ සියලු දෙනාගේම සත්ව ඝාතන චින්තනය වෙනස් කොට පුනරුත්ථාපනයද කෙළේය. ඔහුගේ කණ්ඩායමේ සිටි සියලුම දඩයක්කාරයෝ සත්ව ඝාතනයෙහි මහා පාපකාරී ක්‍රියාව හා එහි ආදීනව දැන ගෙන ජීවිකාව සඳහා වෙනත් සාධාරණ රැකියාවක නිරත වීමට මං පාදාගත්හ. ඔවුහු ස්වකීය ගම්දනව් පුරා සත්ව මාංශ මිනිස් ආහාර පිණිස නොගැනීමේ ආරංචිය පතුරුවා හරින්නට පටන් ගත්හ. ටික කලකින් චීනයේ ප්‍රදේශ කීපයකම ජනතාව නිර්මාංශ ආහාරයට ඇබ්බැහි වූ බව වාර්තා විය.

එයින් අනතුරුව හ්‍යුනැං කුලපති ස්වාමීන් වහන්සේ නැවත ස්වකීය ධර්මශාස්ත්‍ර පීඨයේ කුලපති පදවිය භාර ගත්තේ සාම්ප්‍රදායානුකූ®ල චීවරධාරි මහෝපාධ්‍යාය හිමිනමක් ලෙස ය. මහා ප්‍රාඥයකු වූ මහා බහු ශ්‍රැතයකු වූ උන්වහන්සේගෙන් බොහෝ ශාස්ත්‍ර උගැන්ම පිණිස සැතපුම් ගණන් දුර ගෙවා එම ධර්ම පීඨයට පිරිස රැස්වූහ. අන්‍ය ආගම් ඇදහූ බොහෝ දෙනා ඔහුගේ න්‍යාය අනුගමනය කරමින් බෞද්ධයින් බවට පත්වූහ. උන්වහන්සේගේ ධර්ම න්‍යාය චෑං හෝ සෙන්  (ZEN) යන නමින් බොහෝ රටවලට ව්‍යාප්ත වී ගියේය. චීනයෙන් කොරියාවටත් එයින් පසුව ජපානයටත් ව්‍යාප්ත වූ (ZEN) ධර්ම න්‍යාය යුරෝපයේ රටවල ව්‍යාප්තව දැනට ඇමරිකාව දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.