Skip to main content

ඉසිවර දෑසින් කියූ අනාවැකි …

 

“අද රටේ ඇතුළතින් සිංහල බෞද්ධ කම ගෙවීගෙන යන වේගය අනුව තව අවුරුදු 10 ක් පමණ යන විට කොළඹ මෙන් ම මහනුවර ගාල්ල ආදී ලංකාවේ ප්‍රධාන නගරවල ද බෞද්ධ බලය පිරිහී යා හැකි යි. බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවේ අද බුද්ධාගම ආගමක් වශයෙන් නොපිළිගන්නාක් මෙන් ම මේ ක්‍රමයට ගිය හොත් අවුරුදු දෙතුන් සීයක් යන විට මේ රටේ ද සිංහල බෞද්ධ කම නැති වී ලංකාව ද ඉන්දුනීසියාවක් විය හැකි යි”

සමස්ත ලංකා ත්‍රෛනිකායික මහාසංඝ සභාවේ

සිවු වැනි සංවත්සර උලෙළේ දී

ලංකාදීප 1972.05.08

***

“බෞද්ධයන් සමඟි ව කටයුතු කිරීම අවශ්‍ය බව අවධාරණයෙන් ම මා පවසන්නේ ඔවුනට ඇති විය හැකි ගැහැට හිරිහැර වළක්වාලීම පිණිස මිස වෙනත් ආගම්වලට විරුද්ධ ව ක්‍රියා කිරීමට හෝ ඒවා පිළිකුල් කිරීමට හෝ එසේත් නැති නම් එම ආගම් කෙරෙහි සිත් බිදවන්නට හෝ නොවේ.”

ගම්පොළ පැවැත්වුණු සමස්ත ලංකා බෞද්ධ

මහා සම්මේලනයේ වාර්ෂික සමුළුවේ දී

දිනමිණ 1973.08.22

***

“විදේශ රටවල් හදන්න හැදු සැලැසුම් කොපි කිරීමෙන් අපේ රට හදන්න බැහැ. කොහේ වත් ගිහින් සැලැසුම් පිළියෙළ කරන්න අපට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ගේ ධර්‍මයෙහි කියා දෙන ධර්ම සැලැස්ම අනුව සැලැස්මක් සකස් කිරීමෙන් අපේ රට අපට උවමනා විදියට දියුණු කරගන්න පුළුවන්. අතීතයේ අපේ රට පෙරදිග ධාන්‍යාග‍ාරය බවට පත් වෙලා තිබුණේත් ධර්මද්වීපයක් බවට පත් වෙලා තිබුණේත් මුතුන් මිත්තන් සිංහල බෞද්ධකම රැකගත් බොදු පිළවෙත් අනුව රට හැදූ නිසයි”

බුලත්සිංහල අක්‍ෂිදාන සංගමයේ 5 වන සාංවත්සරිකෝත්සවයේ දී

දවස 1973.09.19

***

“මෙවර කලබලවලට මුල් හේතූන් නොදනිතත් ප්‍රධාන හේතුවක් වූයේ අදූරදර්ශී අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් වෙන ම දෙමළ රාජ්‍යයක් ඉල්ලීමත්, සිංහලයන් ප්‍රකෝප කරවන අඥාන කතා පැවැත්වීමත් ය. අපේ අග්‍රාමාත්‍යතුමා ප්‍රවේසමින් කථා කරන්නැ යි ඔවුනට අවවාද කළත් එය ප්‍රමාණවත් නොවේ. මේ කාරණයට වටමේස සාකච්ඡාවක් අවශ්‍ය නැතැ යි කියති. ඔවුනට අනාගතයේ දී හෝ බලාපොරොත්තුවක් ඇති කැරැගන්නට ඉඩ නෙ‍ාතබා වෙනම රාජ්‍යයක් හැටියට ලක් පොළොවෙන් බිම් අඟලක් වෙන් කැරැ නෙ‍ාදෙන බව අපේ අග්‍රාමාත්‍යතුමා අභීත ස්වරයෙන් කිව යුතු ය. දෙමළ ජනතාව‍ අපේ සහෝදරයන් ලෙස සලකන බවත් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් පෙර මෙන් අදත් ඉදිරියටත් සපුරා දෙන බවත් කිව යුතු ය. එහෙත් ඇතැම් අන්තවාදී දේශපාලකයන් ගේ වෙන ම දෙමළ රාජ්‍යයක් වැනි අසාධාරණ ඉල්ලීම් වටමේස සාකච්ඡාවටවත් නොගන්නා බවත් මේ රජය බලයේ සිටින තාක් කල් එබන්දකට ඉඩ නොදෙන බවත් කෙළින් ම කිව යුතු ය”

“වෙන ම දෙමළ රාජ්‍යයක් යන කතා පනතෙකින් නීති විරෝධි කිරීමත් ඊට පසු වැ වෙන ම දෙමළ රාජ්‍යයක අදහස වාචික වැ හෝ ලිඛිත වැ හෝ ප්‍රකාශ කරන අයට නඩු පවරා වරද කරුවන් වන අයට දඬුවම් කිරීමත් කළ යුතු වේ. මෙසේ කිරීම මානව නිදහසට බාධාවක් යැයි ඇතැම් අය කියන්නට පිළිවන. මෙබඳු කරුණුවලින් මානව නිදහස රකින්නට ගිය විට සිදුවන්නේ මානව විනාශය බව අමතක කළ යුතු නොවේ”

එවක අගමැති වැ සිටි ‍ෙජ්. ආර්. ජයවර්ධන මැතිතුමන්

වෙත යැවුණු සන්දේශයෙකිනි.

දවස 1977.08.27

***

“මිනිසා පරිහානියට පත් කොට මුළු රට පංච දුශ්චරිතයෙන් දුරාචාරයෙන් පුරවා මිනිසා ගේ අධ්‍යාත්මය විනාශ කොට රටක් සංවර්ධනය කළ නොහැකි යි. අහස උසට ගොඩනැගිලි හැදුවත් පාර පුරා නවීන යාන වාහන ධාවනය වුවත් අභ්‍යන්තරික සංවර්ධනයෙන් තොර ව රට සංවර්ධනය කළ නොහැකි යි”

මහනුවර පැවැත්වුණු බෞද්ධ තොරතුරු

විමර්ශන කමිටුවේ මහජන මුළුවෙක දී

දිවයින 1982.03.24

***

“1977 කලබල අවස්ථාවෙහි තවත් කවර දා වත් ජාතිවාදී කලබලයක් හට නොගැනීමට උපකාර විය හැකි යෝජනා පහක් රජයට ඉදිරිපත් කෙළෙමි. එයින් උතුරේ ආරක්‍ෂක හමුදා දරු පවුල් සමඟ සිථිර වැ පදිංචි කැරැවීමත් වවුනියාව හා එලිපන්‍ට්පාස් අතර මහ වනාන්තරය ජනාවාසයක් කොට ජනානුපාතයට මිනිසුන් පදිංචි කැරැවීමත් යන යෝජනා දෙකවත් ක්‍රියාත්මක වුණා නම් හටගෙන තුබුණු කලබල නතර වන බවත් මතුවට ජාතිවාදී කලබල නොහටගන්නා බවත් මගේ බලවත් විශ්වාසය යි”

“පසු වැ සුහද වාසය නමින් අදහස් ඉදිරිපත් කළා. සිරිලක් පොළොව ජාති වශයෙන් බෙදී යන්න ඉඩ නොතබා පිළිවන් හැම දිසාවක ම ජනානුපාතය අනුවැ පදිංචි කැරැවීමත් ඔවුනොවුන් ගේ අදහස් හුවමාරු කැරැවීමට ඔවුනොවුන් ගේ බස දැනීමට වැඩ පිළිවෙළක් යෙදීමත් යන මේ දෙක ම ක්‍රියාත්මක කිරීමට තව ම ඉඩ ඇත.”

මේ සියල්ල ම රටේ ජාතික සමඟියක් ඇති කිරීමට විනා අසිංහලයනට විරුද්ධ වැ නොවේ.”

“මේවා ලියන විට මා දමිළයන් සමඟ තදින් විරුද්ධ යයි සමහරුන් සිතනවා. එය වැරැදි ය. මා දමිළයන් සමඟ ස්වල්ප වූ ද විරුද්ධ කමක් නැත. ඔවුන් අපේ ම සහෝදරයන් හැටියට සලකනවා. එහෙත් දේශපාලන පක්‍ෂවලට බෙදී සමහර දමිළයන් පමණක් නො වැ සිංහලයන් ද කරන වැරැදි වැඩට මා තදින් ම විරුද්ධ යි.”

රිවිරැස 1983.02.27

***

ප්‍රඥාප්‍රභා 2

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.