Skip to main content

අවුරුදු සියයෙකින් පසු සිංහලයා ගේ තත්ත්වය …

 පවුල් සංවිධානය මහ ජාතිය කුඩා ජාතිය කිරීමේ කූ‍ටෝපක්‍රමයක් බව ලීවා බොහෝ දෙනට මතක ඇතැ යි සිතමි. පවුල් සංවිධාන සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය දිනෙක පැමිණ හමුවුණා. ඒ අය කියා සිටියේ ඒ සංගමය එබඳු නරක අදහසින් නොපවත්වන්නක් බවත් ඉතා හොඳ අදහසින් පවත්වාගෙනැ යන පුළුල් වැඩ පිළිවෙළක් බවත් ය. එහෙයින් පවුල් සංවිධාන සංගමයට දොස් පැවැරීම ටිකකට නතර කරමු. එහෙත් පවුල් සංවිධාන නමින් කැරෙන කටයුතු පිළිවෙළත් එයින් ලැබෙන ප්‍රතිඵලත් නුවණින් සලකා බලමු.

යම්කිසි රටකට නොදැරිය හැකි තරමට ජනගහනය වැඩි වෙනවා නම් එය අඩු කැරැගැනීම ගැන විරුද්ධ නෙ‍ා විය යුතු ය. එහෙත් පුරාණ ලංකාවේ සමෘද්ධිමත් කාලවලැ පැවැති ජනගහනයත් සමඟ සසඳා බලන විට වර්තමාන ජනගහනය එයින් හතරෙන් කොටසක් පමණ ය යි කිව යුතු ය. එසේ ම මහවැලි යෝජනා ක්‍රමය සම්පූර්ණ වන විට රක්‍ෂාවලට මිනිසුන් මඳි වෙනවා ය, එහෙයින් උත්පත්ති පාලනයට කැමැති නැති බව අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ප්‍රසිද්ධියේ කියා තිබිණි. සමෘද්ධිමත් පුරාණ ලංකාවේ තත්ත්වය පසෙකැ තබා වර්තමාන අග්‍රාමාත්‍යතුමා කියන කතාව සත්‍ය නම් ජනගහනය වැඩි ය කියන කතාව අමූලික බොරුවෙකි.

පවුල් සංවිධානය විවිධ අංශයන් ගෙන් යුක්ත පුළුල් වැඩ පිළිවෙලක් විය හැකි ය. එහෙත් දැන් බහුල වැ කැරෙන බව පෙනෙන්නට තිබෙන්නේ උප්පත්ති පාලනය යි. එය ද අනියම් විධියට යි. තව ටික කලක් යන විට උත්පත්ති වළක්වන බෙහෙත් පෙති හා උපකරණ පදික වෙළෙඳුන් ගෙන් ද ලබාගත හැකි වෙනව‍ා ඇත. ස්වීඩනය වැනි රටවලැ උත්පත්ති පාලනයෙන් හානි විය හැක්කේ සාදාචාර අංශයෙන් පමණ ය. ජාතික හා ආගමික සංඛ්‍යා වශයෙන් හානියක් වන්නට ඉඩක් නැත. ලංකාව විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් සිටින රටෙකි. එසේ ම ජාතීන් හා ආගමිකයන් අතර තරගයක් තිබෙන අවස්ථාවෙකි, බලය ලබාගන්නට හා රක්‍ෂාව රැකැ ගන්නට හිතාගෙනැ ජාති හා ආගම් වශයෙන් සැලැකීම බෞද්ධකමකට හොඳ නැතැ යි කියන කාලයෙකි මේ. මේ කරුණු අනුවැ දැනට කැරෙන උත්පත්ති පාලන ක්‍රමය සිංහලයා ගේ විනාශය පිණිස හේතු වන්නේ නැද්දැ යි නුවණින් සිතා බලන්න.

පවුල් සංවිධාන සංගමය ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන තර්කානුකූල වැ නුවණින් සලකා බලමු. 1962 සිට 1990 දක්වා ඇති අවුරුදු 28 තුළැ සිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය ප්‍රතික්‍ෂේප කළත් 1990 දීත් සිංහල ජන ගහනය තුනෙන් දෙකක් බව පෙන්වා දී ඇත. සියලු සිංහලයන් උත්පත්ති පාලනය කරන්නේත් නැත, සියලු අසිංහලයන් උත්පත්ති පාලනය නොකරන්නේත් නැත. එහෙයින් සිංහලයනට බිය වන්නට කරුණක් නැත යනු ඔවුන් ගේ කියමන යි. එය සත්‍යයෙකි. එහෙත් යම්කිසි විදියෙකින් එසේ වුවොත් සිංහලයා ගේ අනාගතය කෙබඳු දැ යි පළමු සලකා බලමු.

1962 දී සිංහලයෝ 74 ලක්‍ෂයෙකි. ද්‍රවිඩයෝ 23 ලක්‍ෂයෙකි. මුස්ලිම්වරු 6 ලක්‍ෂයෙකි. ඉදින් මේ අවුරුදු 28 තුළැ සිංහයන් පමණක් උත්පත්ති පාලනය කළොත් 1990 දී සිංහලයන් එක් කෝටි විසි ලක්‍ෂයක් ද, ද්‍රවිඩයන් හතලිස් හය ලක්‍ෂයන් ද, මුස්ලිම්වරු පහළොස් ලක්‍ෂයක් ද විය හැකි ය. මේ විසි අට අවුරුද්ද තුළැ සිංහලයන් ගේ වැඩි වීම සියයට 62 කි. ද්‍රවිඩයන්ගේ වැඩි වීම සියයට සියයකි. මුස්ලිම්වරුන් ගේ වැඩි වීම සියයට එකසිය පනහකි. මේ ක්‍රමයට අවුරුදු විසි අටෙන් විසි අටට ගණන් හදාගෙන ගියාම මේ වර්ෂයේ සිට අවුරුදු 145 කින් එ නම්, 2114 දී ද්‍රවිඩ ජනගහනය සිංහල ජනගහනය ඉක්මවා යයි. 2121 දී මුස්ලිම් ජනගහනයත් සිංහල ජනගහනයත් ඉක්මවා යයි. 2135 දී මුස්ලිම්වරු පළමු වැනි ජ‍ාතිය වෙති. ද්‍රවිඩයෝ දෙ වැනි ජාතිය වෙති. සිංහලයෝ තුන් වැනි ජාතිය වෙති.

සිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය නොකිරීමත් අසිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය නොකර නොසිටීමත් නිසා 2135 දීත් සිංහලයා තුන් වැනි ජාතිය නොවන්නට පිළවන. එසේ වුවත් සංඛ්‍යා ලේඛන අනුවැ උත්පත්ති පාලනය වැඩි වශයෙන් කරන්නේ සිංහලයන් බවත් අසිංහලයන් ගේ උත්පත්ති පාලනය ද්‍රවිඩයන් අතර සුළු වශයෙන් බවත් මුස්ලිම්වරුන් අතර ඉතා ම සුළු වශයෙන් බවත් පැහැදිළි වැ පෙනෙයි. යම්කිසි විදියෙකින් සිංහලයන් සියයට හැත්තෑපහක් උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියයට විස්සක් උත්පත්ති පාලනය කළත් වර්ෂ 2135 හා 2235 අතර කාලයේ දී සිංහලයා තුන් වැනි ජාතිය වන්නට ඉඩ ඇත. ඉදින් සිංහලයන් සියයට පනහක් උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියයට තිහක් උත්පත්ති පාලනය කළත් වර්ෂ 2235 හා 2335 අතර කාලයෙහි දී සිංහලයා තුන් වැනි ජාතිය වන්නට ඉඩ ඇත.

පවුල් සංවිධාන සංගමයේ සංඛ්‍යා අනුවැ මුස්ලිම්වරුන් උත්පත්ති පාලනය නොකළොත් 1962 හා 1990 අතර කාලයෙහි සියයට 150 ක් වැඩි වෙයි.

ඇමරිකාවේ මුල් පදිංචිකරුවෝ රතු ඉන්දියානුවෝ ය. යුරෝපයෙන් එහි පදිංචියට ගියාහු අවුරුදු හාරසියයකට පෙර ය. දැන් මුල් පදිංචි කාරයන් ගේ තත්ත්වය කෙබඳු ද? ඔවුන් ගෙන් ඉතිරි ටික ඉතිහාසඥයනට පර්යේෂණ පැවැත්වීමට ආරක්‍ෂා කඳවුරුවලැ කොටු කැරැ ඇත. ඒ අතර අලුතෙන් ගිය පදිංචිකාරයන් ගේ ජනගහනය දහ අට කෝටිය තෙක් නැඟැ ඇත. තව අවුරුද හාර සියයකින් සිංහලයාටත් ඔය තත්ත්වය එළැඹෙන්නේ නැද්දැ යි සිතා බලන්න. සිංහලයන් මේ රටෙහි නැති වුණොත් නැති වුණා ම යි. තව අවුරුදු හාර සියයකින් සිංහල නම් මනුෂ්‍ය වර්ගයා ගැන පර්යේෂණ පැවැත්වීමට කැමැති විද්‍යාඥයන් ගේ ප්‍රයෝජනය සඳහා ඒ කාලය වන විට ඉතිරි සිංහලයන් ටික දෙනා ආරක්‍ෂා කඳවුරුවලැ කොටු කැරැ තබන්නට සිදු වනු ඇත.

රටට ජනගහනය වැඩි නම්, පවුලට දරුවන් වැඩි නම්, එය මව ගේ දිවි පැවැත්මට බාධා නම්, දරුවන් ගේ උවමනාවන් පිරිමහන්නට පියාට හැකියාව නැත් නම් ජනගහනය අඩු කැරැගත යුතු ය. එයට අන් ක්‍රමයක් නැත් නම් උත්පත්ති පාලනය හෝ කළ යුතු ය. එසේ නම් සිංහලයන් පමණක් වඳ කරන්නේ නැති වැ රජයේ සම්මත නීතියක් යටතේ හෝ සම්මත ප්‍රතිපත්තියක් යටතේ හෝ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන කවුරුන් අතරත් එක හා සමාන උත්පත්ති පාලනයක් ඇති කළ යුතු ය. ඒ අතර ම අපේ අග්‍රාමාත්‍යතුමන් කියන පරිදි මහවැලි යෝජනා ක්‍රමය සම්පූර්ණ වන විට වැඩට මිනිසුන් මඳි වුණොත් නැවැතත් ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වාගන්නට සිදු වන බව ද අමතක කළ යුතු නො වේ.

සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා, බනිත් වා, බනිත් වා. සිංහල කැක්කුමක් ඇති අය මේ ලිපිය කියවා නුවණින් සලකා බලත් වා! බලත්වා! බලත්වා!

 

ශ්‍රී ලංකාදීප 1969.09.10

ප්‍රඥාප්‍රභා 2

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.