Skip to main content

අපිත් අෂ්ඨාංග සීලය සමාදන් වෙමු.

ඉතින් යහලුවනේ මේ කථාකරන්න යන්නෙ ඉතාම වැදගත් මාතෘකාවක්.  පොහොය දවසෙ ඔයාල හැමදෙනෙක්ම  මේ පොයට සිල්ගන්න යන්න උත්සාහ කරන්න. ‍අඩුතරමින් මේ පෝය දවසෙන්වත් පටන්ගන්න උත්සාහ කරන්න. බුද්ධකාලයේ පවා නි‍වසේ සිට සිල් සමාදන් වූ උවස උවැසියන් හිටිය යාලුවනේ සිල් රෙදි පොරව ගෙන පන්සලට ගිහින් සිල් ගන්න එක තමයි වැදගත්ම දේ. හිතට එකගව එහෙම යන්නම බැරිකෙනෙක් ඉන්නවනම් ගෙදර හරි වැඩකරන තැන සිල්පද අට සමාදන්වෙලා ආරක්ෂා කරන්න. ඒක හරිම වටින දෙයක්. උච්චාසයන මහා සයන කියන ශික්ෂාපදය විස්තර කරල තියෙනව. ඇරත් ඔයාල හිතට එකගවනම් සිල් සමාදන් වෙන්නෙ පුටුවක ඉදගත්ත කියල ගැටලුවක් නෑ. මොකද වැඩකරන තැන බිම ඉදගන්න බෑනෙ. ගෙදරදි වගේනම් පුලුවන්.

යාලුවනේ සමාදන්වෙන්න ඕනි ශික්ෂාපද තේරුමත් එක්ක මම දාල තියෙනව. මේවගෙ තේරුම හිතින් හිතාගෙන පාලියෙන් කියවන්න. බලන්න පළවෙනි ශික්ෂාපදය බොහෝ අය කියවන්නෙ මම සතුන් නොමැරීමේ ශික්ෂාපදය සමාදන් වෙමි කියල. මේ බලන්න මේක කියවල ඒක විතරමද කියවෙන්නෙ කිය. අන්න ඒනිසයි බුද්ධ භාෂිතයෙන්ම මේදේවල් භාවිත කරන්න කියන්නෙ. මෙන්න සිල්පද අට.

1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන් වහන්සේලා ජීවිත හේතුවෙන් වත් සතෙක් මැරුවේ නැහැ. මැරෙව්වේ නෑ. මරාගත් සතුන්ගේ මස්මාංශ ආදිය ආහාරයට ගනිමින් මරණය වර්ණනා කලේ හෝ අනුමත කලේ නෑ. සියලු සතුන්ට මෛත්‍රිය වැඩුවා. ඒ උතුම් රහතන්වහන්සේලාට අනුව අද දවසේ පෙහෙවත් පුරන මම සතුන් මරන්නේ නෑ. අනුන් ලවා මරවන්නෙත් නෑ. නසාගත් සතුන්ගේ මාංශ ආදිය ආහාරයට ගන්නෙත් නෑ. සියලු සතුන්වෙත මෙත්සිත පතුරවමි.

2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ඒ රහතන් වහන්සේලා ජීවිත හේතුවෙන් වත් අනුන්සතු වස්තුව හොරෙන් බලෙන් මංකොල්ලෙන්, වංචාවෙන් ගත්තේ නෑ. ලද දෙයිනි සතුටු උනා. වටිනාකම් අඩුදේ වටිනාකම් වැඩිදේ හැටියටත්, වටිනාකම් වැඩිදේ වටිනාකම් අඩුදේ හැටියටවත් තක්සේරු කලේ නැහැ. රන් නොරන් කරලා, නොරන් රන් කරලා නොයෙකුත් කූඨ ගණුදෙනුවල යෙදිලා උන්වහන්සේලා වාදය කලේ නැහැ. උන්වහන්සේලාට අන්ව අද දවසේ පෙහෙවත් පුරන මම ලද දෙයිනි සතුටු වෙමි. නොලත් වස්තුව පතා කරන තරග කිරීමෙන් වෙන්වෙමි.

3. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන්වහන්සේලා ජීවිතය හේතුවෙන් හෝ ගිහි අබ්‍රහ්මචරියාවේ (ගෘහස්ත කටයුතු) හැසිරුනේ නැහැ. යම් දවසක ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේද ඒ ගිහි අඹුසැමි, දූ දරු ආදී අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව උන්වහන්සේලා කාලය ගතකලා. බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයන් යම්සේ එකලාව බ්‍රහ්මවිහරණයෙන් කල්ගතකරන්නේද, එසේම එකලාව තනි තනිව අද දවසේ අප විසින් පෙහෙවත් පිරිය යුතුය. දූ දරුවන්, නෑදෑයන් පැමිණියද ඒ අය දෙස ඇස ඔසවා බැලීම් ආදියෙන්ද ඔවුන් පිලිබදව කරන කථා සල්ලාප කිරීම් ආදියෙන් ද වෙන්ව බ්‍රහ්මචාරී ශීල ගුණයට අනුව වාසය කරමි. රහතුන් අනුකරණය කරමින් පෙහෙවත් පුරමි.

4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන්වහන්සේලා ජීවිතය හේතුවෙන්වත් මුසාවාදය ඇසුරුකලේ නැහැ. සත්‍යයෙන් සත්‍යයම ගලපා කථාකලා. සියලු ආකාරයෙන් මුසාවාදයෙන් වෙන්ව විහරණය කලා. මොකක්ද උන්වහන්සේලා දුරුකල මුසාවාදය, මේ ලෝකයේ නිත්‍ය සැපය ආත්මයක්ය යන අදහස මුසාවාදයක්. (අපි කියන සෑම බොරුවක්ම කියන්නේ මේ මත පදනම්වෙලානෙ.) එසේනම් උන්වහන්සේලාගේ සත්‍යය වචනය කුමක්ද? මේ ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යන්නයි. ඒ උන්වහන්සේලාට අනුව මුසාවාදයෙන් වෙන්ව පෙහෙවත් පුරන මමද ඇසත් ඇසට පෙනෙන රූපයත්, කණත් කණට ඇසෙන ශබ්දයත්, නාසයත්, නාසයට දැනෙන ගන්ධයත්, දිවත් දිවට දැනෙන රසයත්, කයත්, කයට දැනෙන ස්පර්ෂයත්, සිතත් සිතට නැගෙන සිතිවිලිත් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන් හා අනාත්ම වශයෙන් මෙනෙහි කරමි. සත්‍ය වචනයට එක්ව පෙහෙවත් පුරමි.

5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන්වහන්සේලා ජීවිතය හේතුවෙන් හෝ සුරාවෙන් මත්ව කටයුතු කලේ නෑ. ඇසින්රූප දැක, කණින් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ ආග්‍රාණය කර, දිවෙන් රසයන් විද, කයින් සීතල ආදී ස්පර්ශයන් විද, සිතින් සිතිවිලි සිතා මත්වූයේ නෑ. බාහිර ලෝකයේ මිහිරියාවෙන් වෙන්ව, සරාගයෙන් වෙන්ව විහරණය කලා. ගිහිකාලයේ යම් ධන මද, කුල මද, නිල මද, බල මද ආදී, යම් මද ගතියක් චණ්ඩ ගතියක් වූයේද, ඒ සියල්ල බහාතබා ඒවායින් වෙන්ව තැන්පත්ව විහරණය කලා. ප්‍රමාදය පිණිස පවතින සියලු අකුසල් දහම් දුරුකොට අප්‍රමාද විහරණයට අනුව පෙහෙවත් පුරන මමද සියලු අකාරයේ මත්වීම් පිණිස පවතින කටයුතු වලින් වෙන් වෙමි. අප්‍රමාද විහරණයෙන් විහරණය කෙිට නිවනට පැමිණීම පිණිස උත්සාහ කරමි.

6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ඒ රහතන් වහන්සේලා ජීවිතය වෙනුවෙන්වත් ජීවිතය ඇසුරුකලේ නෑ. යම් දවසක ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේද, එතැන් පටන් ගිහි චර්යාවට දැන් විකාලයයි, ධර්මයට විනයට කාලයයි දැනගෙන ධර්මයට විනය අනුව කාළය ගතකලා. කාලයට නොගැලපෙන කටයුතු භජනය කලේ නෑ. උදේ ඉර නරගුනු වෙලාවේ පටන් දවල් දවල් ඉර මුදුන්වන වෙලාව තෙක් ආහාරපාන සදහා යොමු කරගත්තා. සවස් වරුවේ ආහාරපාන ගැනීම වැලකුනා. සවස්වරුවේ යම් ගිලන් බවක් ඇතිනම් ඊට සුදුසු ගිලන්පසක් භාවිතා කලා. බුලත්විට, බීඩි, සුරුට්ටු සිගැරැට් ආදී මත් දෑ භාවිතා කලේ නැහැ. ඒ රහතන් වහන්සේලාට අනුව අද දවසේ පෙහෙවත් පුරන මමද විකාල භොජනයෙන් වෙන් වෙමි. ධර්මයට විනය අනුව කාලය ගතකරමි.

7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරන මභ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහත් වහන්සේලා දිවි හිමිකොටත් නැටුම් ගැයුම් වැයුම් උසුලු විසුලු සංගීත දර්ශන ආදියන් වෙන් උනා. මල් මාලා දැරීම, සුවද විලවුන් ආදිය ගැල්වීම, උන්වහන්සේලා අතහැරියා. පෙරහැර පැවැත්වීම්, සල්පිල් පැවැත්වීම් ආදී ශාසනයට නොගැලපෙන තටයුතු වලින් වෙන් උනා. ඒ රහතන් වහන්සේලාට අනුව අද දවසේ පෙහෙවත් පුරන මම නඅටුම් ගැයුම් වැයුම් ආදී අසුලු විසුලු දර්ශන බැලීමෙන්, සුවද විලවුන් ආදිය ගැල්වීමෙන් රන් රිදී ආභරණ ආදිය පැලදීමෙන් වෙන්වෙමි.

8. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන්වහන්සේලා දිවිහිමි කොටවත් උස් ආදන මහ ආසන දැරීමෙන් වෙන් උනා. උන්වහන්සේලා අත්හරින ලද උස්ආසනය කුමක්ද? සභාපති, ලේකම්, මහනායක, අනුනායක, අධිකරණ නායක, ප්‍රදේශ නායක, ආදී තනතුරු උස් ආසනද, ගිහි ගෙදරකදීනම් අම්මා, තාත්තා, අයියා, අක්කා ආදී වශයෙනුත් උස් ආසන තියෙනවා. අද දවසේ අපි ඒ කිසිම උස් ආසනයක් පරිහරණයක් කරන්නේ නෑ. ඒවගේම රහතන්වහන්සේලා මහසයනය දුරුකලා. මහසයනය කියන්නේ මහ සම්මත කුල සිරිත්වලට අනුව කටයුතු කිරීමයි. මේ අය රජුගේ, මේ අය රොඩී කුලයේ, ආදී වශයෙන් කඅල භේදයෙන් කටයුතු කලේ නෑ. සගමහලු පිලිවෙල ගරුකලා. පළමුව උපසම්පදාව ලබාපු උන්වහන්සේට පසු පස්සේ දෙවනුව උපසම්පදාව ලද උකන්වහන්සේ ආදී අනු පිලිවෙලින් උන්වහන්සේලා වාහරණය කලා. ඒ උතුමන් අනුව අද දවසේ පෙහෙවත් පුරන මමද සියලු ලොකුකම් ආදිය බහාකබා නිහමානී විහරණයට පැමිණ වාසය කරමි. මානයෙන් හුවාදක්වා කරන කටයුතු වලින් වෙන්වෙමි. සියලුදෙනා සමාන ශ්කෂාපද ඇති උපාසක උපාසිකාවන් සේ සලක ඔවුනොවුන් කෙරේ ගරුකාර සිත් ඇතිව වාසය කරමි.

ඔය සිල්පද ටික ආරක්ෂා කරන්න උත්සාහ කරන්න.
යහලුවනේ සිල් ගත්තම නොකල යුතු කථා තිස් දෙක් තියෙනව. මේ බලන්න.

*සිල් දිනයේදී සිදු නොකල යුතු දෙතිස් කථා***
1 – දේශපාලකයන් ගැන කථා.
2 – හොරුන් ගැන කථා.
3 – මැති ඇමතිවරුන් ගැන කථා.
4 – පිරිස් ගැන කථා.
5 – හොල්මන් ගැන කථා.
6 – යුද්ධ ගැන කථා.
7 – ක්රීඩා ගැන කථා.
8 – ආහාරපාන ගැන කථා.
9 – ඇඳුමි පැළඳුම් ගැන කථා.
10 – ඇ‍ඟේ පළඳින මල් මාලා ගැන කථා.
11 – සුවඳ විළවුන් ගැන කථා.
12 – ඤාතීන් ගැන කථා.
13 – යාන – වාහන ගැන කථා.
14 – ගමේ සිදුවන දේ ගැන කථා.
15 – නියමි ගමේ සිදුවන දේ ගැන කථා.
16 – නගරයේ සිදුවන දේ ගැන කථා.
17 – ජනපද වල සිදුවන දේ ගැන කථා.
18 – කාන්තාවන් ගැන කථා.
19 – පුරුෂයින් ගැන කථා.
20 – සුරා වර්ග ගැන කථා.
21 – මග තොටේ සිදුවන දේ ගැන කථා.
22 – නාන තොටේ සිදුවන දේ ගැන කථා.
23 – මිය ගිය උදවිය ගැන කථා.
24 – ඔපදූප කථා.
25 – ලෝකය ගැන කියවෙන බාහිර මතවාද ගැන කථා.
26 – මුහුද ගැන කියවෙන මතවාද ගැන කථා.
27 – වෙනස් නොවන දේවල් තිබෙ යනාදී මතවාද ගැන කථා.
28 – මරණින් මතු කිසිවක් නැත යනාදී දේවල් ගැන කථා.
29 – ගේ දොර ඉඩ කඩමි දියුණු කර ගැනීම ගැන කථා.
30 – අනුන්ගේ හා තමන්ගේ ධන හානිය ගැන කථා.
31 – පංච කාම සැපය ගැන කථා.
32 – ශරීරයට දුක් දීමෙන් නිවන් ලද හැක්කේය යනාදී කථා.

සිල් දිනයේදී සිදු කල යුතු දස කථා දහයකුත් තියෙනව.

1 – අල්පේඡ්ච ජීවිතයේ වටිනා කම ගැන කථා.
2 – ලද දෙයින් සතුටු වීම ගැන කථා.
3 – හුදෙකලා වාසයේ වටිනා කම ගැන කථා.
4 – විවෙකයෙන් බණ භාවනා කිරීම ගැන කථා.
5 – මහත් උත්සාහයෙන් අකුසල් ප්රහාණය කොට කුසල් දහමි උපදවා ගැනීම ගැන කථා.
6 – සිල් රැකීම ගැන කථා.
7 – සමාධිය ඇති කර ගැනීම ගැන කථා.
8 – ප්රඥාව ඇතිකර ගැනීම ගැන කථා.
9 – විමුක්තිය ගැන කථා.
10 – විමුක්ති ඥාණ දර්ශනය ගැන කථා.

පන්සල් යනව නම් බෝමලුව ආදිය අතුපතු ගාල සුද්ධකරන්නත් අමතක කරන්න එපා. මල් අසුන්, පූජා භාදන ආදිය පිරිසිදු කරන එක පහ පින්කම්.

නිරන්තරයෙන් හෙට දවස ධර්මයේ හැසිරෙන්න බලන්න. ඉස්සරෝම හෙට සිල් ගන්න අය අතින් පරණ පුරුදු වලට බොරු කියවෙන්න පුලුවන්. අනිත් සිල් පද කැඩෙන්න පුලුවන්. ඒකට කමක් නෑ. සිල් පදේ කැඩුනගමන්ආයිත් සිල්පදේ සමාදන් වෙන්න. ඔයාලට කිසිම කෙනෙක් දඩුවම් දෙන්නෙ නෑ. ඒ නිසා සිල් පද කැඩෙයි කියල බයවෙන්න එපා. බොහොම යහපත් සිතින් සමාදන් වෙන්න. ඔයාලට උදව්කරන්න අය ඕනිතරම් ඉන්නව අපේ පන්සල්වල.
පිංවත් යාලුවනේ මම හෙට දාන්නම් ඉල් පෝයෙ වැදගත්කම. එමෙනම් හෙට සිල් සමාදන් වෙන්න අමතක කරන්න එපා.
මින් ජනිතවන සියලු පින් සම්බුදු සාම සංදේශය ලෝ පුරා රැගෙන යාමට මට භාග්‍යය උදාවේවා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත්, තවත් කෝටිගණන් අසරණයින් නිවන් පුරට ගෙන යාමටත් මේ පින් හේතු වාසනා වේවා. තවද මේ ලිපි පළකිරීමට මා දිරිමත් කරන, මට මවුන් පියන් හා සමානව ආදරෙන් සලකන දයාබර සොයුරු සොයුරියන්ටත් මේ පුණ්‍යස්කන්ධයෝ ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා … … …
ඔබත් වහ වහා ධර්මයේ හැසිරීමට මහන්සි ගන්න.
අනන්ත බුදු ගුණ ලලෙන් තුන් ලොවම සැනසේවා

Join the discussion 2 Comments

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.