හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි .... - IFBC Organization | Dhamma

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.

කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත මානව සමාජයම, තිරිසන් ගති පැවතුම් ඇති අය බවට පත්වෙන බවත් කියැවෙනවා. සමාජය යහමග කරා මෙහෙයවන යහපත් කතුන් බෞද්ධ සමාජය තුළ හැඳින්වෙන්නේ උපාසිකා යන නමින්..

බෞද්ධ කාන්තාවන් අනෙකුත් ආගම් අදහන කාන්තාවන් හා සසඳන විට වැඩි ප්‍රවණතාවකින් ආගමික ස්ථාන කරා ඇදෙන බව තීරණය කරයි නම්, ඒ සඳහා හේතු බොහොමයක් තිබෙන්නට පුළුවන්. බියෙන් ත්‍රාසයට පත්වූවෝ වනාන්තර, පර්වත, ආරාම, රූක්ෂ ෙචෙත්‍ය වන්දනා කරමින් සරණ පිහිට පතන බව බුදුරදුන් දේශනා කළා.
බුදු සමයේ එන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස අතර ගිහි පිරිස නියෝජනය කරන්නේ උපාසක උපාසිකාවන්. බුදුසමයට අනුව උපාසක උපාසිකා දෙපිරිස නිර්වචනය වෙන්නේ කෙසේද, සැබෑ උපාසිකාවකගේ ගුණරුව කෙසේද යන්න ගැන අප මෙහිදී විමසුවා.
උපාසක යන වචනයේ තේරුම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කරා එළඹෙන, තෙරුවන් ඇසුරු කරන තැනැත්තා යනුයි. ඒ පුරුෂයෙක් නම් උපාසකයකු වේ. ඒ කාන්තාවක් නම් උපාසිකාවක් වේ.

ස්ත්‍රී – පුරුෂ සියල්ලෝ උපාසිකත්වය ගැන දැනගත යුතු කරුණු බොහෝයි. මෙහිදී අයහපත් නැතිනම් නරක උපාසිකාව උපාසක චණ්ඩාලිය නමිනුත්, යහපත් නැත්නම් හොඳ උපාසිකාව උපාසිකා රත්නය යනුවෙනුත් හඳුන්වනවා.

උපාසක චණ්ඩාලිය යනුවෙන් හඳුන්වන්නේ

ශ්‍රද්ධාව නැත්තිය,
දුශ්ශීල තැනැත්තිය
අසන දකින දේවල හොඳ නරක දෙකින් ශුභාශුභ සිද්ධ වෙතැයි පිළිගන්නා තැනැත්තිය,
අසන දකින දේවලින් ශුභාශුභ වන බවම සලකා කර්මය නොසලකන තැනැත්තිය,
බුදු සසුනෙන් පිටත පින්පිණිස දීමට සුදුස්සන් සොයයිද එහිම පළමුකොට දෙයිද,
එබඳු තැනැත්තිය යන මේ කරුණු පහින් යුත් තැනැත්තිය උපාසක චණ්ඩාලියකි.

ඒ අතර උපාසිකා රත්නයක් ලෙස හැඳින්විය හැකි කතුන්ද වෙත්.

ශ්‍රද්ධාව ඇත්තිය,
සිල්වත් තැනැත්තිය,
අසන දකින දේවල හොඳ නරකින් ශුභාශුභ සිද්ධ වෙතැයි පිළිනොගන්න තැනැත්තිය,
කර්මය විශ්වාස කරන තැනැත්තිය,
බුදු සසුනෙන් පිටත පිනට දීමට සුදුස්සන් නොසොය පළමු කොට ශාසනයටම දීම.
මේ ධර්මතා පහින් යුත් තැනැත්තිය උපාසිකා රත්නයක් වේ.
උපාසිකාවක් තුළ දැකියහැකි ගුණ දහයකි.
සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපතිකොට ඇත්තේ වෙයි.
දන්දීමෙහි ඇලුණේ වෙයි.
සර්වඥ ශාසනයාගේ පිරිහීම දැක එය නගාසිටුවීමට උත්සාහ කරන්නේ වෙයි.
අසන දකින දේවල හොඳ නරකින් ශුභ අශුභ වේය යන මිථ්‍යාදෘෂ්ටිය දුරුකොට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේ.
ජීවිතය නිසාවත්, සර්වඥයන් වහන්සේගෙන් අනෙකකු තමාගේ ශාස්තෘෘවරයා වශයෙන් නොදක්වයි.
කායකර්ම, වාක්කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි.
සමගියෙහි ඇලුණේ වෙයි.
ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි.
අන්‍යයින් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නොවෙයි.
බුදු සරණ, දහම් සරණ සංඝයා සරණ ගියේ වෙයි.
මෙම කරුණු දහය සපිරි උපාසිකාව උපාසිකා ගුණයෙන් යුක්ත වෙයි.

ඊට අමතරව තවත් සුවිශේෂ ගුණ අටකි.

මේ සස්නෙහි උපාසිකා තොමෝ

තමා ශ්‍රද්ධාවන්ත වී අනුන්ද ශ්‍රද්ධාවෙහි පිහිටුවයි.
තමන් සිල්වත් වී අනුන්ද ශීලසම්පතෙහි පිහිටුවයි.
තමන් දන්දෙන්නේ වී අනුන්ද දන්දෙන ස්වභාවයෙහි පිහිටුවයි.
තමන් භික්ෂු සංඝයා දකිනු කැමැත්තේ අනුන්ද භික්ෂුන් දැකීමෙහි යොදවයි.
තමන්ද දහම් අසනු කැමැත්තේ අනුන්ද දහම් ඇසීමෙහි යොදවයි.
තමන් ඇසූ ධර්මය දරන්නේ අනුන්ද ධර්මය දැරීමෙහි යොදවයි.
තමන් දරන ධර්මයේ අර්ථය පරීක්ෂා කරන්නේ අනුන්ද ධර්මයේ අර්ථ පරීක්ෂාවෙහි යොදවයි.
තමන් ධර්මයට අනුකූලව පිළිවෙත් පුරන්නේ, අනුන්ද ධර්මානුකූල පිළිවෙත්වල යොදවයි.
මෙම කරුණු අටින් යුත් උපාසිකාව තමාගේ යහපත පිණිසද, අන්‍යයන්ගේ යහපත පිණිසද යොමුවූ තැනැත්තියක් වෙනවා.

එසේම භික්ෂුවකගේ ඇසුරට නුසුදුසු පවුල් කීපයක් සිටින බවද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා.
භික්ෂුන් දුටුකල්හි සතුටින් හුනස්නෙන් නොනැගී සිටී.
සතුටින් නොවඳිත්, සතුටින් ආසනයක් නොදෙති.
ඇත්තාවූ දෙය සඟවති. බොහෝ ඇත්ද ස්වල්පයක් දෙති.
ප්‍රණීත දෑ ඇත්ද අප්‍රණීත දෙයක් දෙති, නොමනා කොට දෙයි.
ධර්මශ්‍රවණයට නොසිටිති. දේශනා කරන ධර්මයට සතුටු නොවෙති.

මෙබඳු ගති සිරිත් ඇති පවුල්වලට භික්ෂුව නොයා යුතු බව බුදුරදුන් දේශනා කොට ඇත. එබැවින් උපාසිකාවන් මෙම දුර්ගුණ දුරලිය යුතුයි. පත්ත නික්කුජ්ජන කර්මය කළ යුතු නොහික්මුණු උපාසිකාවන්ගේ දුර්ගුණ 8 ක් වෙනවා. ඒවා නම්

භික්ෂූන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නිය,
භික්ෂූන්ට අනර්ථය කිරීමට උත්සාහ කරන්නිය,
භික්ෂූන්ට ආවාසයෙහි නොවිසිය හැකිවනු පිණිස උත්සාහ කරන්නිය.
භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කරන්නිය.
භික්ෂුන් භික්ෂූන් හා බිඳවන්නිය.
බුදුන්ගේ අගුණ,
ධර්මයේ අගුණ හා
සංඝයාගේ අගුණ කියන්නිය.
මේ අංග අටින් යුක්තියට පත්ත නිකුජ්ජනය කළ යුතුයි. යම් උපාසිකාවක් මේ කරුණු අටින් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතුය. එතැන් පටන් කිසිම භික්ෂුවක් ඇය දෙන දෙයක් නොපිළිගත යුතුය. පාත්‍රය මුනින් අතට නැමිය යුතුය.

කර්මය කරනු ලැබූ උපාසිකාව නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටියහොත් නැවත සංඝයා රැස්ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඇයට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවසර ලැබේ. බුදුරදුන් ගිහියන්ට පනවා ඇති එකම දඬුවම මෙයයි.

සැබෑ උපාසිකාවක් විසින් නොකට යුතු වෙළෙඳාම් පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බවත්, වනරතනහිමියන් පැහැදිලි කළහ.

ආයුධ වෙළෙඳාම , වහල් වෙළෙඳාම, මස් වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම යන වෙළෙඳාම් පහ උපාසිකාවක් විසින් නොකළ යුතුයි. අතපය වෙහෙසවා දහඩිය වගුරුවා. ධාර්මිකව ලද දෙයින් රැකිය යුතුය. සම්මා ආජීවයෙන් දිවි පැවැත්විය යුතුය.

ඒ වගේම උපාසිකාවක් සතු සමාජ වගකීම්ද වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ උපාසිකාව වියුක්ත විය යුතුයි. විනීත විය යුතුයි. විශාරද විය යුතුයි. බහුශ්‍රැත විය යුතුයි. ධර්මධර විය යුතුයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත විය යුතුය. සිල්වත්ව තමා වෙත පැමිණියන්හට වත් පිළිවෙත් කරමින් පිළිසඳරින් ගුණදම් වැඩිය යුතුය. ධර්මය අනුව හැසිරිය යුතුය. චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ආර්ය අෂ්ටාංගික මාර්ගය , උගෙන කීමය, දේශනා කිරීමය, පැනවීමය, පිහිටුවීමය, විවෘත කිරීමය, විභජනය කිරීමය, ප්‍රකට කිරීමය, උපදින පරවාද ඛණ්ඩනය කරමින්, ධර්ම ප්‍රාතිහාර්ය කරමින් ධර්මය නගාසිටුවීම, උපාසිකාව සතු සමාජ වගකීමයි.

බුදු සසුනේ අග්‍රදායිකාව මිගාරමාතා නම් වූ විශාඛා මහෝපාසිකාවයි. බහුශ්‍රැතයන් අතර අග්‍ර උපාසිකාව ඛුජ්ජුත්තරා මහෝපාසිකාවයි. සැදැහැතියන් අතර අග්‍ර උපාසිකාව කෝසල මල්ලිකාවයි. ප්‍රණීත දෑ දෙන දායිකාවන් අතර සුප්පාවාසා මහෝපාසිකාවත්, විශ්වාස කථා ඇත්තියන් අතර නකුල මාතා මහෝපාසිකාවත්, මෛත්‍රී විහාර ඇත්තියන් අතර සාමාවතී මහෝපාසිකාවත් මුල්තැන ගනු ලැබුවා.

එසේම, වියපත් වන විට පිරිමින්ට වඩා කාන්තාවන් පන්සලට ඇදී යාමේ ප්‍රවණතාවයක් ද නැතුවා නොවෙයි. බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ සන්යාසී යන ලෙස ජීවිතය අවධීන් සතරකට බමුණන් බෙදා තිබුණා ගුරුදෙගුරු ආශ්‍රය සහිත ශිෂ්‍ය අවධිය, විවාහකව කම්සුව විඳින තරුණ අවදිය වනගතව සත්‍ය සෙවූ මධ්‍යම අවධිය නිදහස් සංචාරක ජීවිතයක් ගත කරන ජීවිතයේ අවසාන අවධිය, ලෙසින්. අද වන විටද එම අවධීන්ගේ මහා පරිමාණ වෙනසක් සිදුවී නොමැත. ඒ ඒ අවධීන් ගත කරන විට ඒ කටයුතු පැවරේ. වියපත් අවධියක් ගත කරන විට පරලොවට යමක් කරගත යුතුය යන්න ජනිත වේ. එබැවින් වියපත් වූ කාන්තාවන් පන්සලට සමීප වීම දොසක් නැත.

එහෙත් පන්සල් ගිය පමණින් පොහොය දිනට සිල්සමාදන්වූ පමණින් නියම උපාසිකාවක් වන්නේද නැහැ.
ආ‍ලේපිත කොට ඇති ආභරණය රන් කරාබුවක් සේ පෙනේ. එපරිද්දෙන් ඇතැම් අය ලොව හැසිරෙති. බාහිරෙන් ඉතාම අලංකාර සෝබාවන් ඔවුන්ගේ ඇතුළත ඉතා අශුද්ධය අපිරිසිදුය. කිළිටිය.

මින් පැහැදිලි වෙනවා පන්සල් ගිය පමණින් සිල්රෙද්ද පෙරවූ පමණින් උපාසිකාවක් නොවන බව. ඊට මූලික වන්නේ ෙච්තනාවයි.

– පූජ්‍යපාද කළුතර වනරතන හිමිපාණන්.

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් ගෝතම සාක්‍යසිංහ ශාසනය තුල ශීලය හදුනාගැනීම මෙසේ පලකල වගයි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

ශීලය යනු කුමක් වැනිද ?
සම්බුදු දහම හෙළි කළ පෞරුෂය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.