හෙළ කුල කත කොහි ගියාද?

පසුගියදා කාන්තා දිනය මහ ඉහළින් පවත්වන ලදී. කාන්තාවගේ අයිතීන් ලබා ගැනීමට හා පුරුෂ පක්‍ෂය කරන සෑම දෙයක්‌ම, ක්‍රියාකාර කමක්‌ම, ඒ වනිතාවන්ටත් කළ හැකි බවටත්, ගෘහස්‌ථ හිංසනයද, සිදුවෙන සමාජ අසාධාරණකම් පිළිබඳවත්, කරුණු සාකච්චා කිරීම ඉතා අගනේය. ජනමාධ්‍ය තුළින්, මේවා අසන්නට දකින්නට ලැබුණි. සමහර අය විවිධ ආකාරයෙන් පාරම් බෑහ.

ඒ වෙනුවෙන් කිසිවකුගේ විරුද්ධත්වයක්‌ ද නැත. දියණියක්‌, සොහොයුරියක්‌, බිරිඳක්‌, නැන්දණියක්‌, මාතාවක්‌ (අම්මා කෙනෙක්‌), මිත්තනියක්‌, වන්නේද? මෙම කාන්තාවමය.

බුදුරජුන් සමයේ ඉන්දියාවේ බමුණු සමාජය, කාන්තාව ගැහැණිය, අවශ්‍ය වේලාවට වාදනය කිරීමට ගෙන බිත්තියේ එල්ලා තැබූ “වීණාවක්‌” ලෙස සළකමින්, ඇය වහළියක්‌ මෙන් තබා ගැනීමට මේ බමුණන් හැම විටම උත්සාහ කළහ.

බුදුරජාණන් වහන්සේ එම අසාධාරණත්වයට එරෙහි වෙමින් බමුණන්ගේ මේ පහත් ගතිය හෙළා දකිමින් කාන්තාවගේ ශේ්‍රෂ්ඨත්වය මතුකර පෙන්වා දෙමින් තුන් ලෝකයට තිලක වූ ශේ්‍රෂ්ඨ නම් වූ බුදු පදවිය (බුද්ධත්වය) හැරුණු විට තවත් බුදු පදවියක්‌ පෙන්වා දුන්සේක. ඒ උතුම් වූ මව් පදවියයි. අම්මා ගෙදර බුදුන් මෙන් හඳුන්වා දුන් සේක. විශාකා මහා උපාසිකාව ප්‍රමුඛ ගිහි කාන්තාවන්ද, සසුන එළිය කළ ෙ€මා, උත්පලවන්නා ආදී අග්‍ර ශ්‍රාවිකාවෝද වූහ. ශේ්‍රෂ්ඨතම කාන්තා චරිත අපේ ඉතිහාසයේද හමුවේ. ශ්‍රී ලංකාවට ශ්‍රීමහා බෝධි ශාඛාව වඩමවාගෙන පැමිණියේ සංඝමිත්තා මෙහෙණියෝය. දළදා වහන්සේට රැකවරණය දෙමින් තම හිසේ කෙස්‌ වැටියේ සඟවාගෙන ශ්‍රි ලංකාවට වැඩම කළේද “හේමමාලී” නම් ඒ උතුම් කාන්තාවය.


වර්තමානයේ හෙළ කාන්තාව දෙස බලන විට මහත් කලකිරීමෙන් හා වේදනාවක්‌ මෙන්ම පිළිකුලක්‌ ඇතිවේ. අනාදිමත් කාලයක සිට අපේ මෑණිවරු අඛණ්‌ඩව පවත්වාගෙන ආ දේශීය වූ අපේම අනන්‍යතාවය, විනාශවී ඇත.

විදේශවලින් ඒරොප්පෙන් එන ඕනෑම කුණු ගොඩක්‌ අප්‍රසන්න මෝස්‌තරයක්‌ වුවත් මහ ඉහළින් සිතා දොaතින් වැළඳ ගැනීමට තරම් අද මේ රටේ කාන්තාව බොළඳවී ඇත.

ඕනෑම රටක සංස්‌කෘතිය හා ජාතිකත්වය දේශීයත්වය කැපී පෙනෙන්නේ ඒ රටේ වනිතාවගෙනි.

අපේ රටේ සිරි නැරඹීමට හා අපගේ දේශීය දේ නැරඹීමට එන විදේශිකයන්, මෙන්ම ඉබාගාතයේ වල්මත්වී ඔහේ ඇවිදින මත්ද්‍රව්‍ය වලින් මනස විකල් කරගත්, හිපියන්ගේ ඇඳුම්, පිළිවෙළක්‌ නැති, කිළිටු වී ගඳ ගහන, තැන්තැන්වල ඉරුණු, කොහුවුණු, අණ්‌ඩ දැමූ, තැන් තැන්වල සායම් වර්ණ අඳුරු වූ කාන්තා සිරුරේ වැඩි හරියක්‌ නිරාවරණය කරගෙන (විවෘතව) තබාගෙන ඇවිදින මේ හිපියන්ගේ හැසිරීම් රටාව හා කමකට නැති ඇඳුම් ක්‍රම කිසිදු ලැඡ්ජාවක්‌ නැතිව ඒවා නවීන මෝස්‌තර ලෙස සලකා මහත් ආඩම්බරයෙන් නිරුවත පෙන්වීමට හා ස්‌ත්‍රියගේ සිරුරේ අංගෝපාංග මතුකර පෙන්වීමට පියයුරු හා තවත් ස්‌ථාන ප්‍රදර්ශනය වන අයුරින් ඇඳුම් භාවිතයට අපේ රටේ කාන්තාවෝ පෙළඹී සිටීම කෙතරම් නින්දා සහගතද?

අද මේ පුංචි දිවයිනට ඔරොත්තු නොදෙන තරම් විද්යුත් මාධ්‍ය, ගුවන් විදුලි, රූපවාහිනි ආයතන විශාල ප්‍රමාණයක්‌ බිහිවී ඇත. මේ හැම නාලිකාවකින්ම ඉවක්‌ බවක්‌ නැතිව, සමාජයට දෙන්නේ අප්‍රසන්න පූර්වාදර්ශයකි. යම් යම් වෙළෙඳ භාණ්‌ඩ විකුණා ගැනීමට, කාන්තාවගේ නිරුවත විකුණන අයුරු. ඩාන්සිං ස්‌ටාර්ස්‌, රංගන තරු ආදී විවිධ නම් වලින් හඳුන්වන වැඩසටහන් තුළින් “මෝඩ්” වී කාන්තා සිරුරේ නොපෙන්විය යුතු තැන්ද පෙන්වමින් ඉතා අප්‍රසන්න ලෙස සිප වැළඳ ගැනීම්ද, මහත් උජාරුවකින් දක්‌වන්නේ ජීවිතයේ මහා ජයග්‍රහණයක්‌ උදාකර ගත්තා සේය.

දෙමාපියන් සහෝදර සහෝදරියන්ද මෙම දර්ශන කට ඇරගෙන මහා ආඩම්බරයකින් බලා සිටිති. මේ රටේ මහා විශාරද යයි පිළිගන්නා කලාකරුවෝ සහ කලා ශිල්පිනීහුද මෙම රංගන ක්‍රම මහ ඉහළින් වර්ණනා කරති.

අද නවීනතම විලාසිතාව වී තිබෙනනේ කාන්තාව ඇඳුමෙන් පැළඳුමෙන් හා හැසිරීම් රටාවෙන් පිරිමියකු පුරුෂයකු වීමට ගන්නා උත්සාහයයි. සමහර දෙමුහුන් පිරිමින්ද ගැහැණුන් වීමට දරන ප්‍රයත්නයයි.

මේ ආකාරයෙන් පැහැදිලි වන්නේ අපේ සිංහලකම, හෙළ සංස්‌කෘතිය, ඉතා සීඝ්‍ර ලෙස පරිහානිය කරා ගමන් කරන අතර කිසිදු වැදගම්මකට නැති හරසුන් බටහිර ගැත්තන් බවට පත්වීමය. අපේ සිංහලයා ලෝකයේ අයාලේ යන ජාතියක්‌ වීමයි. අනාදිමත් කාලයක සිට අපේ යයි ආඩම්බරයෙන් කිව හැකි කාන්තාවට ගැලපෙන ඇයගේ රූසපුව මතුකර පෙන්වන ඔසරිය, ඉන්දියන් සාරිය, නම් මොස්‌තරය ඇඳුම, තරුණියන්ට හා දැරිවියන්ට නම් ළමා සාරිය, කෙතරම් උචිතද?

හෙළ කාන්තාවගේ පෞරුෂය සුන්දරත්වය ඇයගේ ශිෂ්ඨ සම්පන්න බවද, කොටින්ම කිවහොත් අපේ අනන්‍යතාවය, හැදිච්චකම, මනාව පිළිබිඹු වන්නේය.

අපගේ සියලු සාරධර්ම හා සංස්‌කෘතික අංග වියෑකී යන සෝදා පාළුවට ලක්‌ වෙමින් තිබෙන මේ “නව රැල්ල” කෙළවර වනු ඇත්තේ හරි හැටි ඇඳුමක්‌ නැතිව ගස්‌වල පට්‌ටා වලින් කොළ අතුවලින්, විලි වසාගත්, ප්‍රාථමික වනචාරී යුගයට නැවත ඇදී යැමෙන් හෝ කිසිදු ඇඳුමක්‌ නැතිව සිටීමෙන් විය හැකිය. (අමු හෙළුවෙන් විය හැකිය.)

තිස්‌සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස, බුදුමැඳුර යාබදව, විහාරමහා දේවියගේ පිළිරුවක්‌ (ප්‍රතිමාවක්‌ ඇත.) මෙම ප්‍රතිමාව සැබෑ කුල කතට ඔබින ඔසරියෙන් සැරසී සිටියි. මෙය වසරින් වසර අලුත් සාරියකින්, සරසයි. (ඇඳුම් අන්දවයි.) මෙම කටයුත්ත කිරීමට බොහෝ දෙනා මහත් අභිරුචියක්‌ දක්‌වති.

කාන්තාව විසින්ම තම ඇඳුමට ගරහන මේ යුගයේ ප්‍රායෝගිකවම එය සිදුකිරීම රෝහණයට මෙන්ම මුළු රටේම ගෞරවයට හේතු වන්නකි.

කොළඹ විහාරමහා දේවී උද්‍යානයේද, රුවන්වැලි මහා සෑ මලුවේද, කැලණි විහාරය අසලද, කිරින්ද ගල් පර්වතය මුදුනේද, මේ ශේ්‍රෂ්ඨ මාතාවගේ ප්‍රතිමා මනා පෞරුෂයකින් ගොඩනඟා තිබීම ජාතියේ වාසනාවකි.

මෝඩවූ අලුත් අම්මාවරුන්ට මේ උතුම් වූ ශේ්‍රෂ්ඨ අම්මා තම දරුවන්ට පෙන්විය හැකිය.

තවත් කාන්තා දිනයක්‌ සැමරුවාට පළක්‌ නැත. හෙළ ඌරුව, අපේකම රැකෙන ආකාරයට, දේශයේ වනිතාව, ඇඳුමෙන් පැළඳුමෙන්, ගති සිරිත්වලින් ලෝකයටම ආදර්ශමත් වීමට සාමූහිකව පෙළ ගැසිය යුතුය. කාන්තා දිනයේදීවත් මේ රටේ සාරධර්මවලින් ඇඳුම් විලාසිතාවලින් නොමඟ යන පිරිසට සුමඟට ගැනීමට කාන්තා කාර්යාංශය හා මේ රටේ විවිධ කාන්තා සංවිධාන රජයේ සහායද ලබා ගෙන මතු කාන්තා පරපුර වෙනුවෙන් හරයක්‌ නැති විච්චූර්ණවලින් තොර සරල මෙන්ම ඉතා චාම් ලෙස සැරසී ගත් ජාතියේත්, රටේත්, අනන්‍යතාවය ආරක්‍ෂා කළ දකින්නන්ගේ නෙතට ප්‍රියජනක වූ අප අතරින් සමාජයෙන්, පලාගිය, අපේම හෙළ කුල කාන්තාව, නැවත මේ සමාජයට කැඳවා ගැනීමට උත්සාහ කිරීම, කාන්තා දිනයේදී පමණක්‌ නොව හැම විටම කාන්තාව අතින්ම කළ යුතු මහඟු මෙහෙයක්‌ වන්නේය.

“නිසි ඇඳුමෙන් සැරසුණු හෙළ කුළ කාන්තාව ජාතියට රටට අභිමානයක්‌ වන්නේය.”

උපුටා ගැනීම – http://www.divaina.com/2011/04/03/jana01.html

අවසන් මහ සටන ...
ලොව පළමු වරට ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදාගත් විශ්මිත සන්නිවේදකයාණෝ ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.