සොළොස්මස්ථානයන්හි පහළොස්වැනි ස්ථානය ලෙස සඳහන්ව ඇත්තේ සේල චෛත්‍යයය. අප මීට ප්‍රථමයෙන් තිස්ස මහා විහාරය පිළිබඳව කතා කළෙමු. එය සොළොස්මස්ථානයන්ගේ අටවන ස්ථානයයි. නවවන ස්ථානයේ සිට දා හතර වැනි පූජනීය ස්ථානයන් පිළිබඳව මීට ප්‍රථමයෙන් අටමස්ථාන යටතේ හඳුනා ගත් නිසා ඊළඟට ඇති ස්ථානය සේල චෛත්‍යය නම් වෙයි.

අද අපේ කථිකාවතට භාජනය වන සේල චෛත්‍යය පිහිටා ඇත්තේ ඓතිහාසික මිහින්තලා පුද බිමෙහිය. ස්ථිර වශයෙන්ම සේල චෛත්‍යය නිර්ණය කිරීමටද ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක මත විනිශ්චයකට එළඹීමේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නගී.

මෙය නිරාකරණය කර ගැනීම උදෙසා ඉතිහාසගත කරුණු සමඟ වඩාත් නිවැරැදිව එකඟ වීමට පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මතු කරගන්නා ලද සාධකයන් සමඟ එය සසඳා බලා වඩාත් නිවැරැදි තැනකට එළඹීමට අපි උත්සාහ කළෙමු. එතැනදී වඩාත් නිවැරැදි දත්තයන් සපයා ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතායන්ගේ ‘පුරාවිදු පරියේෂණ’ නම් පර්යේෂණාත්මක ග්‍රන්ථයේ අඩංගු කරුණු පාදක කර ගැනීමට සිදු විය. එහි සඳහන් වන්නේ මෙසේය.

කුටකණ්ණතිස්ස රජතුමා (ක්‍රි.පූ. 41 – 91 ) චේතියපබ්බතයෙහි තමා විසින්ම පිහිටුවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට සෙල්මුවා දාගැබක් කරවූ බව මහාවංශයේ (34 වැනි පරිච්ඡේදයෙහි) කියැවෙයි. ඔහු එම භූමියේ බෝධියක් රෝපණය කරවූ බවද සඳහන් කර තිබේ. මිහින්තලේ වට දා ගෙය අසල ඉතා පැරැණියයි සැළකෙන බෝ වෘක්‍ෂයක් අදත් දක්නට ඇත. මෙය කුටකණ්ණතිස්ස රජු රෝපණය කරවූ බෝධියම යැයි කිව නොහැකි බව සැබෑව. එහෙත් එක් බෝ ගසක් මළ කල එතැන තවකක් සිටුවීම සිරිතකි. කෙසේ වෙතත් කුටකණ්ණතිස්ස රජු විසින් සිය ශෛලමය ස්තුපය ඉදි කරනු ලැබූ භූමියේ දාගැබටත් බෝධියටත් අමතරව විශාල උපෝසථාඝරයක් ද පිහිටි හෙයින් එය එතරම් කුඩා බිමක් විය නොහැකිය. වටදාගෙය අද පිහිටා තිබෙනු දක්නට ඇති තලවුව මේ අවශ්‍යතාවය සපුරාලයි. මිහින්තලේ මෙම භූමියේ ඇති වටදාගේ ඇතුළත ඇති දා ගැබ ඓතිහාසික ලියකියවිලිවලත් තුන්වැනි සියවසෙහි ශිලා ලේඛනයේත් සඳහන් සිලාචේතියම විය යුතු යැයි පිළිගත යුතු වේ.

පූජාවලිය සහ සද්ධර්මාලංකාරය වැනි සිංහල සාහිත්‍යය ග්‍රන්ථවලින් පැහැදිලි වන මහා වංශ විස්තරය අනුව මෙම ස්තුපය ඉදිකර ඇත්තේ බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩ වදාළ තුන් වැනි අවස්ථාවේ මඳ වේලාවක් ධ්‍යානයට සමවැදී හුන් ස්ථානයේ ය. මේ අනුව මෙය බෞද්ධයන් ඉතා පූජනීය ලෙස සලකන සොළොස්මස්ථානයෙන් එකකි.

එය සනාථ කිරීම සඳහා මහා වංශයේ සඳහන් කරුණුත් කැණීම් වලින් මතු කරගත් සාධකත් ඒ බව සනාථ කරන හබරණ දිග ගල් සන්නසෙහි සඳහන්ව ඇති සටහන්ද මහාචාර්ය පරණවිතානයන් විමර්ශනය සඳහා පාදක කර ගෙන තිබේ. ඒ අනුසාරයෙන් අපට සිතාගත හැක්කේ මිහින්තලයේ ඇති අම්බස්ථල දාගැබද සේල චෛත්‍යයද එකක්ම බවයි.

ඓතිහාසික කරුණු අනුව අම්බස්ථල චෛත්‍ය පිහිටි ස්ථානය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස නරේන්ද්‍රයාණන් සම්මුඛ වූ ස්ථානය වශයෙන්ද හඳුන්වති.

එසේ නම් මෙම ස්ථානය මහා ආශ්චර්යවත් බවක් රැඳී පවිත්‍ර වූ ද අති පූජනීය වූ ද බිම්කඩක්ම ය. සම්බුදු දහමින් තුන්ලෝකයම ආලෝකවත් කළ අප ගෞතම බුදුපියාණන් වහන්සේගේත් ඒ සද්ධර්මයෙන් අප මාතෘභූමිය ආලෝකවත් කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත් පාදස්පර්ෂයෙන් පිවිතුරු වූ බිමෙක මේ සේල චෛත්‍යය ගොඩනැඟී තිබීම බෞද්ධයන් වූ අපට සුවිශේෂී වූ කාරණයකි.

චන්ද්‍රාලෝකයෙන් බැබළෙන ශෛලමය තලාව ඇත්තේ ද එතැනය. චන්ද්‍ර කාන්තී පාෂාණය කියන්නේ එයටයි. පුදුමයක් ද? සම්බුදු පහසින් ආලෝකවත් වුණු ශෛල කලාව දෙවන වරටත් අනුබුදු පහසින් ඔපවත්වන විට මේ අසහාය පා කමල් පිළිගත් රථ කළු ගල් පවා මුදු මෙලෙක් නොවන්නේ ආලෝවත් නොවන්නේද? එවන් සුපචිත්‍ර වූ තැනකදී දරදඬු සිතක් වුව මුදු මොළොක් වී නිවී පහන් වී සැනසෙනවා සහතිකමය.

කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයන් වහන්සේ ( Katharagama Kiriwehera Sthupa )
ජේතවන චෛත්‍යරාජයන් වහන්සේ ( Jethawana Sthupa )

Join the discussion One Comment

  • Dhammachethiya says:

    මෙය වටිනා තොරතුරු ඇතුළත් වෙබ් අඩවියකි. ඔබ සැමට බොහෝ පින්….

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.