සිරුරට ඇති ආශාව අත්හරිමු. - IFBC Organization | Dhamma

(  ‍මුහුණුපොතෙන් අදුනගත්ත මගේම සහෝදරියක් වගේ අක්කකෙනෙක් 2012 දෙසැම්බර්  පහළොස්වෙනිද මහරගම පිළිකාරෝහලට දානයක් දුන්නා. ඉතින් මේ පිලිකා රෝගීන්ගේ සිත සනසා ගන්නට බණපදයක් සකසා දෙනලෙස මට ඉල්ලීමක් ලැබුන. මම බොහොම සතුටින් ඒ කාර්යය ඉටුකරල දුන්න. ඔබත් මේ ලිපිය කියවල ජීවිතයට සැනසුමක් ලබාගන්න උත්සාහ කරන්නන. )

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං’ ව කලිංගරං

පින්වත් අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනේ. ඔබ වැනි ‍අයෙකු අමතමට ලැබීම මා පෙර කල පිනක්දැයි මට සිතේ. මා එසේ කියන්නේ ඇයිදැයි මේ ලිපිය කියවීමේදී ඔබට අවබෝධ වේවි.

මා ඉහතින් දක්වල තියෙන්නේ ධම්මපදය කියන පරමපූජනීය පොත් වහන්සේගේ චිත්තවග්ගය කියන කොටසට අයත් නවවන ගාථාවයි. මේ ගාථාවෙ සරලම තේරුම මම මේ විදිහට ඔයාලට කියල දෙන්නම්.

මේ සිරුර මෙලොව තුළ පවත්නේ සුළු කලකි. විඤ්ඤාණයෙන් එහෙම නැතිනම් අපේ සිත සිරුර ඉවත් වූ තැනේ සිට මේ සිරුර වැඩක් නැති පණක් නැති දර කඩක් වගේ දිරා පසට එක් වෙනව.

පින්වත් අම්මේ තාත්තේ, සහෝදර සහෝදරියනේ, අපි හැමදාම හිතුවෙ මේ ලෝක තමයි අපේ ජීවිතේ කියල නේද? අපි නිරන්තරයෙන්ම හිතුවෙ මේ මගේ සිරුර, මේ මගේ අම්ම තාත්ත, මේ මගෙ සහෝදර සහෝදරියො කියල නේද? ඒත් පින්වතුනේ මේ කිසිම දෙයක් අපිට අයිති නෑ කියල අපි තේරුම් ගන්න වෙනව. මම ඒක ඔයාලට පෙන්වන්නම්. හොදින් හිතන්න. මේ සිරුර අයිති මටනම් මට පුලුවන්ද මගේ සිරුර වයසට යන එක නවත්තන්න, මට බඩගිනි එනකොට නවත්තගන්න, මම‍‍ ලෙඩවෙන එක නවත්තගන්න. මට ඕනෙ විදිහට සිරුරේ යම් යම් කොටස් වෙනස් කරගන්න. බැහැනේද? මගෙ අම්ම, තාත්තටවත් මගෙ සිරුර වයසට යන එක නවත්තන්න පුලුවන්ද? නැතිනම් අම්ම තාත්තගෙ සිරුර අපිට ආරක්ෂා කරගන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතල බලන්නකෝ එහෙනම් මේව මගෙ කියල කියන කථාව බොරුවක් නේද? ඇත්තටම කාගෙද මේ සිරුර. පින්වතුනේ මේ සිරුර අයිති වෙන්නෙ මේ පරිසරයට. පරිසරය තමයි අපව නිර්මාණය කරන්නෙ. ඒවගේම පරිසරය තමයි අපිට ජීවය දෙන්නෙ. අපිට පුලුවන් මේ සිරුර අපිට ඕනි වැඩකට පාවිච්චි කරන්න පමණයි. ඊට පස්සෙ පරිසරය කියපු දවසට අපිට මේ සිරුර දාල යන්න වෙනව නේද?

පින්වත් හිතවතුනේ මේ සිරුර අපි කුලියට පදවන වාහනයක් වගෙයි. මේ බලන්න. අපි කුලියට පදවන වාහනේක අයිතිකාරය වෙන කෙනෙක් නේද? මම කලින් කීවනෙ අපිට මේ සිරුර  අයිති නෑ කියල. ඉතින් අපිට දෙන වාහනය පිරිසිදු කරගන්න එක අපේ වගකීමක් තමයි. නමුත් අනවශ්‍ය විදිහට මේක සරසල හැඩකරන එකෙන් පලක් නෑ. ඇයි ? කාරනා දෙකක් නිසා.

පළමුවෙනි එක මේ වාහනේ අපිට අයිති නැති නිසා.

දෙවෙනි එක අපි මේ වාහනේ කවද හරි දාල යන්න වෙන නිසා.

ඉතින් පදවන වාහනේ හිමිකරු බලන්නෙ වාහනය කොයිතරම් හොදින් පදවනවද කියලයි. අපි මේ වාහනේ නුසුදුසු පාරවල්වල රැගෙන ගියොත්, වාහනය අන් අයට හිරිහැරයක් වෙන්න පාවිච්චි කලොත් මොකද වෙන්නෙ. මේ වාහනේ අයිති තැනැත්තා අපිට දඩුවම් කරනව නේද? ඉතින් අපේ කාලය ඉවර උනහම අපි මේ වාහනේ අතහැරල වෙන වාහනේකට යන්න ඕනි අනිවාර්යෙන්ම. ඊලග වතාවෙ අපට ලැබෙන වාහනේ මොකක්ද කියල තීරණය වෙන්නෙ කලින් වාහනේ පාවිච්චි කරපු විදිහටයි නේද?

පින්වතුනේ මේ ශරීර කූඩුව කියන්නෙත් ඒ වගේම දෙයක් තමයි. අපි පින් පව් හොද නරක හැදිනගෙන අපේ ගමන නොගියොත් අපිට විදින්නෙ සතර අපාවල වැටිල දුක් විදින්නයි. අපි නිවැරදි මාවතේ නොගියොත් අර වාහනේ අයිතිකරු අපිට පරණ වාහනයක් ඊලග වතාවෙ දෙනව වගේ අපිට තිරිසන්, පෙරේත වගේ ආත්ම භාවයක උපදින්න ලැබෙලව.

පින්වතුනේ අපේ ලොව්තුරු තථාගත බුදුපියාණන් වහන්සේ හැමවිටම දේශනා කලේ ජීවිතය අනිත්‍ය දෙයක් බවයි. හරියටම තණකොලයක් අග තියෙන පිනිබින්දුවක් වගෙයි. කොයිවෙලේ බිමට වැටෙයිද කියන්න බෑ.අන්න ඒ නිසා අපිට මේක දාල යන්න වෙනව කියන කාරනය ගැන අපි දුක්වෙලා පලක් නෑ. කවදා නමුත් අපිට යන්නම වෙනව. නමුත් අපිට හිතෙන්න පුලුවන් අපේ අම්ම තාත්ත, අයිය අක්ක,නංගි මල්ලි, දුව, පුතා, බිරිද හෝ සවාමි පුරුෂය දාල යන්නෙ කොහොමද කියල. ඒත් පින්වතුනේ අපි මේ සංසාරෙ මැරෙමින් ඉපදෙමින් ආපු දුර කොයිතරම්ද කියල අපිට මතකනම් අපි මේ ගැන දුක්වෙන්නෙ නෑ. මේ ලෝකෙ සත්තු හරි මිනිස්සු හරි අමනුස්සයො හරි අතරින් අපට දෙමාපියෙක්, සහෝදර සහෝදරියෙක් දුවෙක් පුතෙක්, ඥාතියෙක්, නොවෙච්ච කෙනෙක් හොයා ගන්න බෑ කියල බුදු පියාණන් වහන්සේ දේශනා කලා. කල්පයක් ඇතුලත අපි ඉපදිල මැරිල, ඉපදිල මැරිල අපි අතහැරල යන මේ කුණු ශරීරයෙ ඇට සැකිලි ගොඩ ගැසුවොත් ඉන්දියාවෙ තියෙන වේපුල්ල පර්වතයටත් වඩා උසට හිටිනව කියල බුදු හිමියන් දේශනා කලා. අපි මේ අපේ අම්ම, තාත්ත, දුව, පුතා, බිරිද කියල අල්ලන් ඉන්නෙ රූපයක් පමණයි. හොදයි හිතන්න. ඔබට ලගින්ම ඉන්න රෝගී තැනැත්තා හෝ තැනැත්තිය දෙස බලන්න. ඔහු හෝ ඇය සමග ඔබ හිතවත් කමක් තිබුනත් ඔහු හෝ ඇය ඔබේ ඥාතියෙක් නොවෙයිනෙ. ඉතින් ඔබ ඥාතීන්ට සලකන අයුරින් ඔහුට සලකන්නේ නෑ නේද? නමුත් ඔහු පෙර භවයක ඔබේ අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක් වෙන්න පුලුවන්. ඒත් අපි මේ භවයේ ඔහුට සලකන්නෙ හිතවතෙක් විදිහට පමණයි.

එක්තරා භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයට වැඩිය නිවසට. ඒගෙදර හිටිය වයසක ආච්චි අම්මා කෙනෙක්. ගෙදර දූ දරුවො අම්මවත් ගෙන්වල අර භික්ෂූන් වහන්සේට දන් පිලිගැන්වූව. හැබැයි ගෙදර මිනිස්සු අර අම්මට කිසිම සැලකිල්ලක් තිබුනෙ නෑ. වැරහැලි ඇදගෙන වගෙයි ඒ ආච්චි අම්ම හිටියෙ.

ඉතින් දවස් කිහිපයකින් අර භික්ෂුන්වහන්සේ දැනගත්ත දවස් කිහිපයකින් ඒ ආච්චි මිය ගිය බව. ඒ භික්ෂූන් වහන්සේ භාවනාවට සමවැදිල බැලුව මේ ආච්චි දැන් කොහෙද කියල. ඉතාම වාසනාවන්ත පොහොසත් දෙමාපිය දෙන්නෙකුගෙ කුසේ පිලිසදගෙන ඉන්නව දැක්ක. තව ටික දවසකින් ඇය මෙලොවට එන්න ඇති. දැන් ඉතින් ඒ අම්ම තාත්ත ඒ බිලිදියව පණ වගේ රකිනව ඇති. දුහුල් සලු පිළි , වටිනා ඇතිරිලි මත නිදිකරවල ඇති. ලෝකෙ වටිනාම වස්තුව ලැබුන කියල දොණිව බදාගන්නව ඇති. ඒත් ඔබට මතකයි නේද? මේ විදිහට ඉන්නෙ කලින් භවයෙ වැරහැලි ඇදන් වැහැරුනු ශරීරයක් ඇදන් හිටිය, කාගෙන්වත් සැලකීම් නොලබපු අර ආච්චි අම්ම නේද? ඉතින් පැහැදියි නේද ඔයාලට අපි මේ අම්මල, තාත්තල, දුවල, පුතාල කියල අල්ලන් ඉන්නෙ මායාවක් පමණක් බව. පේනව නේද අපිට මේ භවයෙ වගේම පෙරභව වලත් මේ විදිහටම ඥාතියො හිත මිතුරන් පිරිවරා ඉන්න ඇති බව. ඒත් මේ හැමදෙයක්ම වෙනස්වෙන බවත්, අපිට අයිතියක් නැති බවත් නිසා අපි කොයිතරම් දැගලුවත් ඵලක් වෙන්නෙ නෑනේද?

හොදයි දැන් මම අර කලින් කීව ගාථාව දේශනා කරන්න හේතුව මම කියන්නම්. සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්තා. උන්වහන්සේ ප්‍රසිද්ධ වූයේ “තිස්ස” යන නමින්. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති උනා. එය සිදු වූයේ මේ විදිහට. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම්ද, නෙල්ලි ගෙඩි තරම්ද, අවසානයේදී බෙලි ගෙඩි තරම්ද විශාලත්වයට පත් උනා. ඒවා පැසවා පැළී හිල් වන්නට ද වූ අතර මුළු ශරීරයම වේයන් කෑ පරඬැල් කොලයක් සේ කුඩා සිදුරු හා ඊටත් කුඩා සිදුරුවලින් යුක්ත උනා. එතැන් සිට උන්වහන්සේ “පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ” යැයි ප්‍රසිද්ධ උනා. පසුව දවස් කිහිපයකින් ශරීරයේ ඇට බිඳුණ. එබැවින් බැලීමටත් අපහසු වූ අතර පෙරවු සිවුරු සැරවවලින් හා ලේ වලින් යුක්තව පුස් කෑ පැණි යොදා සාදන කැවුම් වගේ පෙනෙන්නට උනා. ශිෂ්‍යයෝ උන්වහන්සේ දෙස බැලීමට ඇති අපහසුකම නිසා අත්හැර ගියා. එබැවින් උන්වහන්සේ කිසිවෙකු ගේ පිහිටක් නොමැතිව ඇඳටම සීමා වී වැතිර සිටිය.

එකල බුදුරදුන් ගේ නුවණ නමැති දැල තුළට ශරීරය කුණුවී ගියත් රහත්වීමට හේතුවන පිනින් අඩු නොවු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණා. පිනවතුනේ කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයි බුදුහාමුදුරුවො කලින් උන්වහන්සේව නොදැක්කෙ කියල. කොයිම පුද්ගලයෙක් උනත් බුදු ඇසට පේන්නෙ ඒ පුද්ගලයගෙ පින් මතුවෙනන විටයි. යම් කෙනෙක්ගෙ පවක් පඩිසන් දෙනකොට ඒ පුද්ගලයව බුදු ඇසට පේන්නෙ නෑ. ඉතින් බුදුපියාණන්වහන්සේ භික්ෂු සංඝයා රැස්කරවල ඇහුව පින්වත් මහණෙනි අසවල් ස්ථානයේ භික්ෂුවක් ගිලන්ව සිටින බව  දන්නේ නැද්ද කියල? භික්ෂුන් වහන්සේලා දන්න බව ඇගවූව. උන්වහන්සේට කිසිවෙක් උපස්ථාන නොකරන්නේ මන්දැයි ඇසුව. උන්වහන්සේ අන් අයට උපස්ථාන නොකරන නිසා යැයි භික්ෂූන් වදාල. බුදුපියාණන් වහන්සේ “ මහණෙනි, ඔබට මවක් නැත,පියෙක් නැත, සොහොයුරෙක් නැත, ඔබට ඇත්තේ ඔබම පමණයි. ඉදින් එක් අයෙක් අනිකාට උපස්ථාන කල යුතුය” කියල “ යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේනම් හේ මට උපස්ථාන කලා හා සමානය”යි දේශනා කලා.

ඉතින් බුදුපියාණන් වහන්සේ  භික්ෂූන් වහන්සේත් සමග එහි වැඩමවා පළමුව රෝගී තෙරුන් වහන්සේ ඇඳ පිටින්ම ඔසවාගෙන ස්නානය කරන තැනට ගෙන ආව. සිවුරු සේදීමට දමන ඔරුවක් ගෙන්වාගෙන උණුවතුර එයට වත්කොට තෙරුන් වහන්සේ පොරවාගෙන සිටි සිවුරු ඉවත්කොට ඒවා උණු වතුරෙන් සේදූ හ. පසුව බුදුරදුන් රෝගී තෙරුන් ළගට ම වී තමන් වහන්සේගේ අතින්ම උණුවතුර වත් කරවා ඇඟ අත ගා නැවූ සේක. තෙරුන් වහන්සේද නිරෝගී භාවයට පින නැතත්, ශ්‍රක බ්‍රහ්ම ආදීන් ගෙන් පවා අත් පා සේදීම් ආදී උපස්ථාන ලබන බුදුරදුන්ගෙන් එම උපස්ථාන ලැබීමට තරම් පින ඇති බැවින් එම දිය නෑවීම ලබමින් වැඩ හුන්හ. බලන්න තුන්ලෝක පියාගේ කරුණාව කොතරම්ද කියල. දිය නාවා අවසන් වූ විට සේදූ සිවුරු වේලී තිබින. ඒවා ගෙන අවුත් උන්වහන්සේට පෙරවීමෙන් පසුව සැරව කුණු ඉවත් වී ශරීරය සැහැල්ලු බවට පත්වූ හෙයින් සිත එකඟ කොටගෙන ඇඳෙහි වැතිර සිටිය.

බුදුරජාණන් වහන්සේ රෝගී තෙරුන්ගේ හිස සමීපයෙහි වැඩ සිටිමින් උණුවතුර පොවා ඉන්පසුව ආහාර අනුභව කිරීමක් කරවන්නාක් මෙන් මෙසේ දෙසූහ.

“මහණෙනි, ලී දඬුවලින් ප්‍රයෝජන ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති ලී ඇද නැතුවම  කපා ගනිති. ඇද ලී ඇද ඇතුවම ද කපාගනිති. සිදුරු තිබෙන ස්ථාන, දිරීමට පත්වූ ස්ථාන ගැටිති සහිත ස්ථාන කපා එතැනම දමා යත්. දඬු හා ලෑලි සොයාගෙන පැමිණි කෙනෙක් එතැනින් ගැලපෙන දඬු හා ලෑලි කපාගෙන යන නමුත් කපා දැමූ දඬු හා ලෑලි එපරිද්දෙන්ම රැගෙන නොයත. එහිත් ඇදපලුදුතැන් කපා දමා යත්,ඉතින් කපා දමා ඉතුරුවන කොටස්  යටට තැබීමට ගන්නා ලී කැබලි ආධාරකයකට ප්‍රයෝජනයක් ඇති නමුත් මෙම ආත්ම භාවයේදී ශරීරයේ ඇති කුණු කොටස් තිස් දෙකින් එක කොටසක් හෝ පාද ආධාරකයකට යනාදි වූ කිසිම දෙයකට ගැනීමට නොහැකි හෙයින් කපා දැමු දඬු කෑලි ආදිය තරම්වත් ප්‍රයෝජනයක් නැත. එම නිසා මේ සිරුරෙහි රූප අරූප ජීවිතය ද නැතිවන්නා සේ සැප පහසු අගනා ඇඳන්වල නිදා සිටිය ද වළ දැමීම යනාදිය මහ පොළොවේම වන බැවින් වැඩිකල් යාමට පෙර අත්හැර දැමු ලී කැබැල්ලක් මෙන් මහ පොළොවටම පැමිණෙයි.”

පින්වතුනේ මේ කියන දේ සරළ අර්ථය මේකයි. කපල ඉවත් කරන ලී කැබැල්ලක් උනත් අඩුම තරමෙ අඩයක් විදිහටවත් පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මේ කුණුවෙලා යන සිරුරින් මෙච්චරයි කියල ගන්න වටින දෙයක් තියෙනවද කියන කාරණයයි.

සෑම දෙයකටම සිරුර උචිත නොවෙතත් සිත දුබල නොවී පවත්නා නිසා මේ ආකාර වූ කිලිටි ආත්මභාවය දිගටම පවතියි. ශරීරයේ කෙස්,ලොම් , නිය, දත් හා හම යන අංග පහ හැර ඊට වඩා වෙනත් කුණු කොටස් නැති දිව්‍ය ආත්මභාව හා බ්‍රහ්ම ආත්මභාවයන්ද නොමැතිවීම නිසා සසර අවසන් කිරීමටද උත්සාහ කළ යුතුය”

මේ ආකාරයට ලොව්තුරා පියාණන් වහන්සේ දිගින් දිගටම ධර්මය දේශනා කලා. මෙම දේශනාව අවසානයේදී පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අර්ථ,ධර්ම ,නිරුක්ති, ප්‍රතිභාන වශයෙන් වශයෙන් ඇති දැනීම උපදවා රහත් බව ලැබ කෙලෙස්වලින් හටගන්නා රෝගයෙන්ද සුවපත් වී ආයුෂ ප්‍රමාණය ද අවසන් වූ බැවින් පිරිනිවන් පෑ වදාල. තවත් බොහෝ පිරිසක් නිවන් දුටුවහ. බුදුහු උන්වහන්සේගේ සිරුර ආදාහනය කරවා අවසානයේ ධාතු ලබාගෙන චෛත්‍යයක්ද කරවූහ.

සෙසු භික්ෂූන් වහන්සේලා “ ස්වාමීනි, තෙරුන් වහන්සේ මෙතරම් දැඩි දුකකින් පීඩා විඳි ශරීරයේ වේදනාව බලවත් වූ බැවින් මරණය සිදුවන විට පැවැති සිතේ පිරිසුදුකම කෙසේද? කවරනම් තැනෙක ඉපදුණ සේක් දැ”යි විමසූහ. බුදුහු උන්වහන්සේ රහත්ව පිරිනිවන් පා වදාළ බව දේශනා කළහ. රහත් වූ බැව් අසා “ ස්වාමීනි, රහත්වීමට තරම් සුදුසු මෙබඳු වූ පින් තිබිය දීත් සිරුර කුණූ වුයේ ඇයි? සිරුරේ ඇට සියල්ල බිඳී ගියේත් ඇයි? රහත් භාවයට පත්වීමත් කෙසේ සිදු වී දැ”යි විමසූ හ. “ මහණෙනි, මේ සියල්ලක්ම වෙනත් අයෙකු විසින් කරන ලද දෙයක් නොවෙයි” තම තමන් විසින්ම කළ දේවල් යැයි, බුදුහු පැහැදිලි කළහ. පසුව කර්මයේ ස්වභාවය අසා දැන ගනු කැමතිව සිටි භික්‍ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. “ මහණෙනි, මේ තෙමේ කාශ්ෂප බුදුරදුන් කාලයෙහි පක්ෂීන් අල්වා බැඳ විකුණා ජීවත්වීම සිදුකරන වැදි පවුලක ඉපදී මොනර, කුකුළු ආදි වූ පක්ෂීන් අල්වාගෙන නො මරා ඇති දැඩි කිරීම සඳහා බොහෝ දෙනාට දෙයි. පක්ෂීන් ඉතිරිව ඇත්නම් මරා මස් කන්නවුන්ටත් විකුණයි. විකුණා ඉතිරි වූ පක්ෂීන් මරා තැබූ විට නරක් වන නිසා පියඹා යාමට නොහැකි වන ආකාරයට කකුල් ඇට ආදිය බිඳ දමා විකුණයි. ඉතා වැඩියෙන් පක්ෂීන් ලැබුණි නම් ඔහු ද පිසවාගෙන කයි.

මොහුට එක් දිනක් මස් ව්‍යාංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යාංජනයක් ද ඇත. මස් ව්‍යාංජනයෙන්  යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යාංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ  විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක.

පින්වත් යාලුවනේ මේ සිද්ධියෙන් අපේ ජීවිතය ගැන අපිට මොනතරම් නම් සත්‍යය අවබෝධ වෙනවද?

මේ බලන්න.

  1. අපි කරන කියන දෙයමයි බොහෝ වෙලාවට අපිට ඵල විපාක ලබා දෙන්නෙ.
  2. අපේ ශරීරයේ පැවැත්ම මොන තරම් නම් නිස්සාරද කියන එක
  3. සත්ව හිංසනය මොනතරම් දරුණු විපාක ලබා දෙනවද කියන එක
  4. රෝගීන්ට සලකන එක බුදු හාමුදුරුවන්ට සලකනව හා සමානයි කියන එක

 

අපි මොනතරම් නම් මේ සිරුරට ආදරය කරනවද? අපේ ශරීරය පොඩ්ඩක් වත් අපිරිසිදු වෙන්න දෙන්නෙ නැතිව නිරන්තරයෙන් පිරිසිදු කරනව නේද? හැමවෙලේම සෙන්ට් පව්ඩර් ගාල මේක පුලුවන් තරම් සුවදවත් කරන්න නේද අපේ ඇත්තො හදන්නෙ. ඒත් පින්වත් යාලුවනේ මේ ශරීරය නවදොරකින් අශූචි පිටවෙන මේ කුණු ශරීරය ඇතුලෙ මොනතරම් ජරාවක් පිරිල තියෙනවද? සොටු, සෙම, අශූවි, ආදී අපි දකින්නත් අකමැති ජරාවෙන් තමයි මේ සිරුර හැදිල තියෙන්නෙ. බලන්න අනතුරක් වෙලා කෑලි කැඩුනු සිරුරක් අපි දකින්නවත් කැමතිද? ඔලුව රෝදයකට අහුවෙලා පොඩිවෙලා ගිය මිනියක් දකින්න කැමතිද? නෑ නේද? එහෙනම් ඇයි අපි අමතක කරන්නෙ මේ සිරුර ඇතුලෙත් තියෙන්නෙ ඔය දහ ජරාවමයි කියල. යාලුවනේ මේ ශරීරය ඇතුලෙ පණුවො කැදලි පිටින් පිරිල ඉන්නෙ. පණුවො ලක්ෂ ගණනක් මේ සිරුර ඇතුලෙ ජීවත් වෙනව. ඔයාල අහල ඇති කෙස්, ලොම්, නිය, දත් ආදී කුණුප කොටස් තිස් දෙකක් තියෙන විත්තිය.

ඉතින් පිනවතුනි අපි  කාටත් මේ සිරුර දුකක්. මේ සිරුර ලෙඩ වෙනඑක, මහලුවෙන එක, දිරායන එක අපි කාටත් දුකක්. පින්වතුනේ ඔබට, මට පමණක් නොවෙයි. ලොව්තුරා බුදු වූ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මේ ජීවිතය ගැන කළකිරීම නිසයි ගිහිගේ අතහැරල දාල ගියෙ. ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක් දැකල කළකිරුණු උන්වහන්සේ අන්තිමට පැවිදි රුවක් දැකලයි සැනසුනේ. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේට පවා නොයෙක් ලෙඩරෝග වැළදුනා. හිසේ කැක්කුම, කොන්දෙ කැක්කුම විතරක් නෙවෙයි. උන්වහන්සේට පිරිනිවන් පාන්න සිද්ධ උනේ ලේ අතීසාරය හැදිලයි. ඉතින් අපි දුක්වෙලා පලක් තියෙනවද මේ ලෙඩවීම්ගැන, දුක්වීම් ගැන, මරණය ගැන. කිසිම විටක ඒගැන දුක් වෙන්න එපා. අපෙ ජීවිතත් හරියට ගහක හැදෙන ගෙඩි වගේ. සමහර විට පුංචි කාලෙම ඒව බිමට වැටෙනව, සමහර විට නෑඹුල් වයසෙදි, සමහර විට පැහෙනකො, සමහර විට ඉදුනහම.  ඉතින් බලන්න කො. අපෙත් අම්මලගෙ දරුවො කුසේදිත් මැරෙනව, පුංචි සිගිත්තොත් මැරෙනව. නැත්නම් ළමා කාලෙදි, තරුණ කාලෙදි, මැදි වයසෙදි, ඒත් නැතිනම් වයස ගිහිල්ලත් මැරෙනව. ඔය සෑම දෙයක්ම සිද්ධවෙන්නෙ සොබාහමේ රීතියට අනුවයි.

 

පින්වතුනේ අපිට මේ රීතිය වෙනස් කරන්න පුලුවන් කමක් නෑ. මේ බලන්න ලෝකෙ හැමදෙයක්ම වෙනනෙ යම් කාරණා පහක් මත. ඒවට කියන්නෙ නියාම ධර්ම කියලයි. මොනවද මේ නියාම ධර්ම පහ.

  1. උතු නියාම
  2. බීජ නියාම
  3. ධම්ම නියාම
  4. කම්ම නියාම
  5. චිත්ත නියාම

කියන කාරනා පහ අනුවයි.

උතු නියාම 

උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ.

බීජ නියාම

බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය.

ධම්ම නියාම

ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍ර ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.

කම්ම නියාම

කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.   කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත.

චිත්ත නියාම

චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි.

ඉතින් පින්වතුනේ අපි කාටවත් මේ කරුණු වලට පිටින් යන්නනම් බැහැ. මතක තියාගන්න ලොව්තුරු බුදුපියාණන් වහන්සේට පවා මේ නියාම ධර්මවලට යටත්වෙන්න සිද්ද උනානම් අපි කවුද?

දැන් අපිට හොදින්ම පැහැදිලි මේ ශරීරය ආරක්ෂා කරන්න තරම් වටින වස්තුවක් නොවන බවත් ශරීරය ලෙඩවීම, මහලුවීම, විනාශවීම අපි කාටවත් නවත්තන්න බැරි බවත්, අපි අපේ අම්මල, තාත්තල, දුවල, පුතාල කියල අල්ලන් ඉන්නෙ බැදීම් පමණක් බවත්.

එහෙනම් අපි දැන් දැනගන්න ඕනි මේ ඉපදීම, ජීවත්වීම, ලෙවීම, මේ සියල්ලම දුකක් බව, මේව අපිට දුක් විපාකම ගෙනත් දෙන බව. දරුවෙක් මේ ලොවට උපදිනකොට මොනතරම් නම් දුකක් විදිනවද? දස මාසයක් තිස්සෙ කුසතුල හරියට අතපය බැදල හිරකරල වගේ කිසිම නිදහස් වීමක් නැතිව මොන දුකක් විදිනවද? ලෙඩ උනාමත් ඒවගේ. කන්න බොන්න විදිහක් නෑ, තමන්ට තනියම තමන්ගෙ වැඩක් කරගන්න නෑ, කෑම බීම් ආස විදිහට කන්න නෑ, ‍වතුර ටිකක් නාල පිරිසිදු වෙන්න විදිහක් නෑ, මොන දුකක් විදිනවද බලන්න, ඊලගට වයසට ගියහමත් ඒවගේ, සමහර විට දූ දරුවො පවා නොසලකනව, ගෙදරින් පන්නනව, කන්න දෙයක් නැතිව පාරවල් ගනෙ හිගා කනව, ඉන්න හිටින්න තැනක් නැතිව අව්වට ‍වැස්සට හිසට වහලක් හෙවනක් නැතිව විදින දුක් අනන්තයි. අප්‍රමාණයි. මරණයත් වේදනාකාරයි. සමහරු ගොඩක් දුක් විදිනව මරණයට. මේ සියල්ලම දුකක් නේද? අපි මේ සංසාරෙ පුරාවට එලුවො, කුකුල්ලු, ආදී සතුන් වෙලා කී වාරයක් හිස ගැසුම් ලබන් ඇද්ද? පින්වතුනේ මේ සංසාරෙ පුරාට අපි හිසගැසුම් ලැබූ වාරවලදි ගලාගෙන ගිය ලේ මො සතර මහා සාගරයේ ජලටත් වැඩියි කියලයි බුදු හාමුදුරුවො දේශනා කලේ. ඔයාලට මම කියන්න ඕනි නෑනෙ මීට වඩා. මේ සංසාරෙ දුක මොනතරම්ද කියල.

එහෙනම් දැන් අපි කරන්න ඕනි මොකක්ද? මේ දුකින් නිදහස් වෙන්න ආකාරය තමයි අපි දැනගන්න ඕනි. අපි ඒකට මොකක්ද කරන්න ඕනි කියල බලමු. යම් පුද්ගලයෙක් ඔය මම කියපු සෑම දුකකටම මුහුණ දෙන්නෙ යම් හේතුවක් මත නෙ. මොකක්ද මේ හේතුව. ඒ තමයි ඉපදීම. අපි ඉපදුනොත්නෙ ලෙඩවෙන්න වෙන්නෙ. ඉපදුනොත් තමයි වයසට යන්න වෙන්නෙ, නොයෙක් පීඩා විදින්න වෙන්නෙ, හිස්ගැසුම් ලබන්න වෙන්නෙ, සමාජයේ නොයෙක් වධ බන්ධන වලට ලකවෙන්න වෙන්නෙ, දූදරුවන්ගෙ දෙමාපියන්ගෙ ගැටලු ඇතිවෙන්නෙ. මරණයේ වේදනාවන්ට ලක්වෙන්න වෙන්නෙ. මම හරි නේද? අපි ඉපදීමක් නැතිනම් මේ සියලු දුක් වේදනා අහවරයි නේද? නිවන් දකිනව කියන්නෙ අන්න ඒකටයි. නැවත ඉපදීමක් නැති කර දැමීම. හරියට පහනක් නිවුනම දැල්ලට වෙච්ච දෙයක් නැතිවෙනව වගේ අපිටත් නිවන් දැක්කම ආයිත් මේ දුකට වැටීමක් සිද්ධ නොවී මේ සංසාරය කියන හිරගෙදරින් නිදහස් වෙනව.

හොදයි දැන් අපි බලමු මේ හිරගෙදරින් නිදහස් වෙන්න පුලුවන් කොහොමද කියල. ඒකට අපි පුලුවන් තරම් පින්දහම් කරන්න ඕනි. සිල් රකින්න ඕනි, බණ භාවනා කරනන ඕනි. මේ බලන්න. අපි හැමෝම දන්නව පන්සිල් පද පහ. හරිම සරලයි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමය වරදවා නොහැසිරීම, බොරු නොකීම, අරක්කු හා අනිකුත් මත් ජාති භාවිතයෙන් වැලකීම. මේ කාරනා ටික ඔයාලට ඔතන ඉදන් ඉතාම හොදට කරන්න පුලුවන්. අපිට සරල විදිහට පෙනුනට මේ පන්සිල් රැකීමෙන් ඔයාලට පුදුම සහනයක් එනව. ශරීරයේ සියලු අපහසුතාවයන් දුරුවෙනව. ඒටික මම ඉදිරියෙදි කියන්නම්.

ඊලගට පින්දහම් කිරීම හරිම වැදගත්. දැන් ඔයාලට හිතෙන්න පුලුවන් ඔතන ඉදන් පින්දහම කරන්නෙ කොහොමද කියලබුදුහාමුදුරුවො දේශනා කරපු වේලාම සූත්‍රය පොඩ්ඩක් අපි කියවල බලමු. හරිම සරළ විදිහට. අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ ‘සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් ඒ දානය ක්‍රමානුකූලව සියතින්ම සාදා ශ්‍රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් ඒ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්‍රමයෙහි බවයි. ඒ වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. ඒ වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන. ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාම බ්‍රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත්‍ර අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත්‍ර අසූහාර දාහක රන්පුරවා ද, ලෝහ පාත්‍ර අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්‍රරක් රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් ද සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. සූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්‍රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්‍රාහ්මණගේ මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් ඒ කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහ බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සොවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. ඒ වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්.  පසේ බුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. ඒ සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

ඒ වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්‍ර භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. ඒ වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍ය සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

හොදයි. දැන් ඔබට දානය ගැන පැහැදිලි වෙන්න ඇති. එතකොට බුදුහාමුදුරුවො තමන්ගෙ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරල තියෙනව බුදු පියාණන්වහන්සේ ඇතුලු මහරහතන් වහන්සේලාට දෙන දානයටත් වඩා මහ පින්කමක්ලු. ‍සැදැහැ සිතින් තෙරුවන් සරණ යන එක. ඊටත් වඩා උතුම් මෛත්‍ර භාවනාව කරන එක, ඊටත් වඩා උතුම් අනිත්‍ය සඥ්ඤාව වඩන එක. ඒ කියන්නෙ පිලිකුල් භාවනාව. ඉතින් පින්වතුනේ ඔය තුනවිදිහම ඔයාලට කිසිම වියදමක් නැතිව කරගන්න පුලුවන් නේද? පේනව නේද මොනතරම් වටිනා පින්කම්ද මේව කියල. ඔයාලට මහා පින්කම් කරන්න වැඩි ඈතක යන්න ඕනි නෑ. ජීවිතයට සැනසීම ලබාගන්න මේ පින්කම් හරිම වටිනව. ඒ විතරක් නෙවෙයි. දන් දෙනව කියන එකත් හරිම සරල දෙයක්. මේ බලන්න. අල්ලපු ඇදේ ඉන්න ලෙඩාට ඔයා කන විස්කෝතුවක්, කෙහෙල්‍ගෙඩියක් සැදැහැ සිතින් දෙන්න. කහට උගුරක් බීල විසිකරන සීනි ටික අසරණ කූඹියෙකුටවත් ආහාරයක් වෙන්න කියල හිතාගෙන විසිකරන්න. බත්කාල අවසන් බත් පිඩ සතෙකුට, කුරුල්ලෙකුට ආහාරයක් වෙන්න කියල විසිකරන්න. බත්කාල අත හෝදනකොට පොළවෙ ඉන්න පණුවෙකුට මේ ඉදුල් ආහාරයක් වෙන්න කියල හිතාගෙන අත හෝදන්න. මේවත් පුදුම විදිහට ඔයාලට පින් රැස්කර දෙන පින්කම්.

දැන් ඉතින් පංසිල් පද පහ රකින්න, තියෙන දෙයක් බෙදාහදාගෙන කන්න, මෛත්‍රී භාවනා කරන්න වගේ දේවල් ඔයාලට පහසුවෙන් පින්කම් කරන්න පුලුවන් විධි කියල දන්නව. ඒ වගේම ඔයාලට බුදුන් වැදල එහෙම පින් රැස් කරගන්න පුලුවන්. නැගිටින්න අපහසු අයට ඇදේ ඉදලම මේව කරගන්න පුලුවන් නේද? ඔව් එහෙම කලා කියල කිසිම ගැටලුවක් නෑ. ඒවගේ පින්කම් වලින් පින් රැස්කරගන්න. ඒ වගේම ඔයාල රැස්කරන පින් කිසිම කෙනෙකුට දෙන්න මැලි වෙන්න එපා. යම් පින්කම්ක් සුලුවෙන් හරි කරල ඒ පින්කම කරන්න උදව් දුන්න හැමෝටවත් සම්‍යදෘෂ්ඨික දෙවියන්ටත් පින් දෙන්න. ඒවගේම තවත් කවුරුහරි පින්කමක් කරනව දැක්කොත් ඒ අය ගැන අමනාප වෙන්නනම් එපා. අපිට කරන්න පුලුවන් පින්කම් එයාල කරනව. අනේ සාධු කියල ඔයාල හදවතින්ම සතුටු වෙන්න. සිටුවරයෙක් දන්සැලක් දෙනව බලන් ඉදල සතුටින් සාධුකාර දුන්න අසරණ හිගන මනුස්සයෙක් මැරිල දෙව්ලොව මහ බල ඇති දෙවියෙක් වෙලා ඉපදුනා. විශේෂත්වය වන්නෙ දන්සල දුන්න සිටුතුමා මේ දෙවියන්ට වඩා පහත් බල ඇති දෙවි කෙනෙක් වෙලයි ඉපදුනේ. පේනව නේද? හදවතින් සතුටු වෙන්න ඒව දැකල. ඊලගට වදින්න පුදන්න ගරුකරන්න ඉන්න අයට අමාරුවෙන් හරි ඒ ගරුත්වය ලබාදෙන්න. පූජනීය මහා සංඝරත්නයට, ඔතන ඉන්න වැඩැහිටි සිල්වත් අයට, තමන්ගෙ අම්ම තාත්ත, ස්වාමියට ගරු කරන්න වදින්න පුදන්න පුලුවන් විදිහට කරන්න.  ඒ විතරක් නෙවෙයි. පුලුවන් වෙලාවට බුදුගේ පිරිසිදු කරල දාන්න. තමන්ගෙ ලගම ඉන්න රෝගියට පුලුවන් විදිහට උදව්වක් කරන්න බලන්න. ඊලගට මේවගේ ධර්මය නිතරම කියවන්න අමතක කරන්න එපා, කියවල විතරක් මදි ඒව පිලිපදින්නත් ඕනි. ඔයාල දන්න ධර්ම කරුණු නොදන්න අයට කියල දෙන්න. හරිම පින්කම් මේව. ඊලගට මේ විදිහට ධර්මය තුලින් බුදු හාමුදුරුවන් අදුන ගන්න. යමෙක් ධර්මය දකීනම් හෙතෙම මාව දකී කියලයි බුදුහිමියන් කීවෙ. බුදු දහම නිවැරදිව හදුනා ගන්න.

හොදයි ඔය කියපු කරුනු එකක්වත් කරන්න බැරි දේවල්ද? හරිම පහසු දේවල්. මේ බලන්න ඔයාල ඕව කරනව කියන්නෙ ලොකු පින්කමක්. ඔවට කියන්නෙ දස පුණ්‍ය ක්‍රියා කියලයි. අපි බලමු මේව මොනවද කියල බුද්ධ දේශනාව අනුව.

  1. දාන                              දන්දීම
  2. සීල                               සිල් රැකීම
  3. භාවනා                         භාවනා කිරීම
  4. පත්තිදාන                     පින් අනුමොදන් කිරීම
  5. පත්තානුමෝදනා          අන් අයගේ පින්කම් දැක සතුටුවීම
  6. වෙය්‍යාවච්ච                 වත් පිලිවෙත් කිරීම ( ඇමදීම ආදිය )
  7. අපචායන                     පිදිය යුත්තන් පිදීම
  8. ධර්මදේශනා                අන් අයට ධර්මය කියාදීම
  9. ධර්මශ්‍රවණා                  ධර්මය ඇසීම
  10. දිට්ඨිජුකම්ම.                 ධර්මරත්නයපිලිබද යහපත් දැකීම

බලන්න පින්කම් කරන එක මොනතරම්නම් පහසු කටයුත්තක්ද කියල. මේ විදිහට නිතර ධර්මයට අනුව හැසිරෙන්න බලන්න. පන්සිල් රකින අතර තුර  මේ ටිකත් කරන්න බලන්න. කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීමත් නවත්තල දාන්න උත්සාහ කරන්න. පරුෂ වචන කියන්නෙ කුණුහරප වගේ දේවල්, හිස් වචන කියන්නෙ වැදගැම්මක් නැති ඕපදූප. දේශපාලනයයි, එක් එක්කෙනාගෙ අඩුපාඩුයි කියවල අපිට වැඩක් වෙන්නෙ නෑනෙ නේද? ඊලගට කිසිම දේකට අශා කරන්න එපා ඔනැවට වඩා. හැම දේම වෙනස්වෙන සුලුයි කියල මම කීව. කිසිම දෙයක් පවතින්නෙ නෑ. නිරන්තරයෙන් කැඩෙන බිදෙන එක ලෝකෙ හැටියක්. ලාභය අලාභයෙන් කම්පා වෙන්න එපයි කියල අටලෝදහමෙදි කීවෙ අන්න ඒක නිසයි.

ඊලගට කාත් එක්කවත් වෛරය ඇතිකරගන්න එපා. අනුන් නසන්න හිතන්න එපා තුන් හිතකින්වත්. ඔබට ඒව කරන්න බැරි උනත් “ අනේ මේකට මැරෙන්න ගහන්න පුලුවන්නම්” කියලවත් හිතන්න එපා. මම කලින්ම කීව නේද අපි ඔක්කොම සංසාරෙ කවද හරි දිනක ඥාතියො වෙලා ඉන්න ඇති කියල. ඉතින් ඔබ වෛර කරන්නෙ පෙර ආත්මෙක ඔබේම අම්මට, තාත්තට, දුවට, පුතාට වෙන්න පුලුවන්. ලෝකෙ හැමෝ එකවගේ නෑ. එහෙමනම් බුදු හාමුදුරුවො අවුරුදු 45ක්ම බණ කියන්න ඕනි නෑ. එක සූත්‍රයක් දේශනා කරල ඔක්කොටම නිවන ලබා දෙන්න පුලුවන්නෙ. ඒනිසා යමෙක් ඔබට බනිනවනම් ඒක ඔබේ වැරැද්දක්ද බලන්න. වැරැද්දක් නම් ඔහුට ස්තුති කරල වැරැද්ද හදාගන්න. ඔබ නිවැරදිනම් සද්ද නැතිව ඉන්න.  එයාගෙ මෝඩකමට ඔයා කෑ ගහල වැඩක් නැති නිසා. ඊලගට මම කලින් කිව්වෙ බුදු දහම ගැන බුදු හිමියන් ගැන යහපත් සිතක් ඇතිකරගන්න කියල. ඒකට කියන්නෙ ශ්‍රද්ධාව කියල. ශ්‍රද්ධාව කොටස් දෙකක් තියෙනව ඒ අමූලික ශ්‍රද්ධාව සහ අකාරවතී ශ්‍රද්ධාව කියල. අමූලික ශ්‍රද්ධාව කියන්නෙ බුදුහාමුදුරුවො ගැන බොරුවට බයවෙලා, බුදුහාමුදුරුවො මට විනකරයි කියල දඩුවම්වලට බයෙන්, එහෙම නැතිනම් මුලාවෙන් කරන වැදුම් පිදුම් තමයි අමූලික ශ්‍රද්ධාව කියන්නෙ. බුදුදහම හරියට අවබෝධකරගෙන සිදුකරන වැදුමු පිදුම් පින්කම්වලට කියන්නෙ අකාරවතී ශ්‍රද්ධාව කියල. මේටිකත් අමාරුද? නෑ. හරිම පහසුයි. මේ බලන්න ඔයාල පන්සිලුත් රැකගෙන මේව කරනකොට එතනදි දස අකුසල් වලිනුත් වැලකුණා. ඒ මොනවද?

  1. ප්‍රාණගාතය හෙවත් සතුන් මැරීම
  2. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම
  3. කාම මිත්‍යාචාරය හෙවත් පස්කම් සැප වැරදි ලෙස විඳීම
  4. මුසාවාදය හෙවත් බොරු කීම
  5. පිසුණාවාචා හෙවත් කේළාම් කීම
  6. පරුෂාවාචා හෙවත් රළු වචන කීම
  7. සම්පප්‍රලාප හෙවත් හිසු වචන කීම
  8. අභිධ්‍යාව හෙවත් දැඩි ආශාව
  9. ව්‍යාපාදය හෙවත් අනුන් නැසීමේ සිත
  10.  මිථ්‍යාදෘෂ්ටිය හෙවත් වැරදි දැකීම

මේ කාරණා තමයි දස අකුසල්. ඉතින් දස අකුසල් නොකිරීම හරිම පිනක්. වචනයෙන් විස්තර කරන්න බෑ. ඊලගට දස අකුසල් නොකිරීම කියන්නෙ දස කුසල් කිරීමයි. ඉතින් බලන්න ඔයාල කරගන්නෙ පුංචි පිනක්ද කියල. ඊලගට නිතර බුදුගුණ සිහි කරන්න. හැම වෙලේම යමක් කරන්න ඉස්සර බුදුගුණ මෙනෙහි කරන්න. හරිම පහසු දේවල්. නැගිටින්න අපහසු අයට ඇදේ නිදාගෙන පවා කරන්න පුලුවන් දේවල්. පුලුවන් කෙනෙක් අර දස පුණ්‍ය ක්‍රියා වලදි කියපු වෙය්‍යවච්ච නැතිනම් වත් පිලිවෙත් කියන දේවල් කරන්න බලන්න. බුදුගේ අවට, බෝධීන්වහන්සේ අවට ශුද්ධ පවිත්‍ර කරල පින් රැස්කරගන්න බලන්න.

ඉතින් මේවගෙන් ලබන්න යම් ප්‍රයෝජනයක් තියෙන්න ඕනිනෙ. මොනවද තියෙන ප්‍රයෝජනය. මම මේව විස්තර කලේ සසර දුක නිවාගන්න විධිය කියලනෙ. ඒ විතරක් නෙවෙයි. ඔයාලට මේ දේවල් පටන් අරන් දවස් තුනක් ඇතුලත ප්‍රථිඵල ලබන්න පුලුවන්. මොනාද ලබන ප්‍රථිඵල.

පින්වතුනේ අපිට සල්ලිවලට ගන්න බැරි වටිනාම දේ මොකක්ද? සැනසීම නේද? ඔයාලගෙ සිත වලාකුලක් වගේ හරිම සැහැල්ලු වෙනව. හිත පුන්සදක් වගේ බබලන්න පටන් ගන්නව. ශරීරය නීරෝගි වෙනව. තියෙන ලෙඩදුක් නිට්ඨාවට සනීප වෙනවම කියනව නෙවෙයි. හැබැයි එහෙම නෑම කියන්නෙත් නෑ. මොකද මේව කරල ලෙඩදුක් සම්පූර්ණ සනීප කරගත්ත අයත් ඉන්නව. මම ඔයාලට කලින් නියාම ධර්ම පහක් කිව්ව නේද? ඒ කියන්නෙ ලෙඩක් හැදෙන්න පාරිසරික හේතු, ජානමය බලපෑම් වගේම කර්මයත් බලපාන්න පුලුවන්නෙ. ඉතින් කර්මය නිසා ලෙඩ වූ අය මේ පින්දහම් කරකොට අර කර්මය සමහර විට යට ගිහින් ඔබේ පැරණි පින්කම් මතුවෙන්න පුලුවන්. එහෙම උනොත් ඔය ලෙඩ ඔයාලගෙ ශරීරයෙ ඉතුරුවෙන එකක් නෑ. සදාකල් නිරෝගී සිරුරක් ඇති වෙන්න පුලුවන්. එහෙ නැතත් ඔයාල ජීවත්වෙලා ඉන්න තාක්කල් ඔයාලට කිසිදු අසහනයක්, අමාරුවක් නැතිව කාල බීල සන්තෝසෙන් ඉන්න පුලුවන් වෙනව සහතිකයි. ඒ විතරක් නෙවෙයි. ඔයාලගෙ ශරීරය පැහැපත් වෙනව, සිරුර බබලන්න පටන් ගන්නව, සිරුරෙ තියෙන ලේ ධාතුව නිසයි ගොඩක් ලෙඩ හැදෙන්නෙ. ලේ අපිරිසිදු වෙන්නෙ හිත නිසයි. හිත පිරිසිදු වෙනව කියන්නෙ ලේ ධාතුව පිරිසිදු වෙනව. ඒත් එක්ක ශරීරයේ බොහෝ ලෙඩ රෝග සමනය වෙනව. ඇස්පෙනීම වගේම කන් ඇසීම ආදී දේවල් බොහොම පැහැදිලි වෙනව.

ඒ විතරක් නෙවෙයි. මේ බලන්න. එය විශේෂයෙන්ම නුවණ හා රූප සෝභාව ලැබීමට හේතුවන පිංකමක්. මියගොස් නැවත උපදින අයෙකු සුගතිගාමීව උපදින අතර. මිනිස්ලොව උපන්නේනනම් ඉතා යහපත් මෙන්ම ධනවත් දෙමාපියන්ට දාව උපදිනව. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. පූර්ණ මෙන්ම බොහොම ආරෝහ පරිණාහ දේහයකින් යුත්තව උපදිනව, ඒ විතරක් නොවේ උපදින්නෙ කාන්තාවක් ලෙසින්නම් පංචකල්යාණියක් ලෙසින් උපත ලබනව. ශරීරය වර්ණවත් වෙනව. නැත්නම් රන්වන් පැහැ වෙනව. හරියටම උණුකර පෙරන ලද රත්තරන් මෙන් ශරීරය පැහැපත්වෙනව. හරියට මැදපු රන් පතක් සේ රන්වන් පැහැති සිනිඳු සමක් ලැබෙනවා. ශරීරයේ දූවිලි සහ කුණු තැවරෙන්නෙ නෑ. හරියට නෙලුම් කොළයකට දිය බින්දුවක් දැම්මම නිකම්ම ලිස්ල යනව යාලුවො දැකල ඇති නේද? අන්න ඒ වගේ ශරීරය මතුපිට දූලි රදන්නෙත් නෑ. ඒ විතරක්ද උෂ්ණය, අව්රශ්මිය, ගිණිරශ්මිය, ආදිය නිසා දාදිය ගලල ශරීරය අපිරිසිදු වන්නෙත් නෑ. කොටින්ම ශරීරය මොනවිදියකින්වත් අපිරිසිදු වෙන්නෙම නෑ. සමාජයේ ජනප්‍රිය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග, දද, කැලලි, වණ, පිළිකා ආදිය ශරීරයේ ඇති වන්නෙත් නෑ. රෝගපීඩා වැලදීම පවා සිදුවෙන්නේ නෑ. කොටින්ම නියාම ධර්ම නිසා ඇතිවන රෝග පීඩාදීන පවා මග හැරෙන්න පුලුවන් තරම් මහ පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. චිත්ත පීඩා දුරුවනව. සිත පිරිසිදුවෙනව. සැහැල්ලු වෙනව. අසහනයන් දුරුවෙනව. සතුරන් ඇතිවෙන්නෙත් නෑ. සතුරන් මිතුරන් බවට පත්වෙනව. කිසිකලෙක ආහාරපාන ආදී දේවලිනුත් කිසිම අඩුවක් වෙන්නෙත් නෑ.

ඒ විතරක්ද දැසිදස්සො හා පිරිවරත් ඇතිවෙනව. ගිණිබිය, ජල බිය, සොරබිය, රාජබිය, සොරබිය ආදී කිසිම දෙයකින් පාඩුවක් වෙන්නෙත් නෑ. අඩු ආයුෂයෙන් මියයාමක් සිදුවන්නෙත් නෑ මේ පින්කම තුලින් දෙමාපිය, සොහොයුරු හිත මිතුරන් මෙන්ම රටවැසියන් තමන්ට අවනත වෙනව. භවබෝග සම්පත් ඇති, යසස ඇති, රූපසම්පත් ඇති වීම, නෑයන් ලක්ෂපතීන් වීම ආදිය ඇති වෙනව. දෙවියන්ද, මිනිසුන්ද, අසුරයෝද, යක්ෂයෝද ආරක්ෂා කරනව. දෙවි මිනිසුන් අතර සැප විද අවසන් අනුත්තර නිර්වාණ සැප ලබනව. මාර්ගඵල ධාන්‍ය ලබන්නත් පුලුවන් වෙනව.

විශේෂයෙන් ඔය වතාවත් කිරීම කියන්නෙ හරිම කුසලයක්. කුෂ්ට රෝගීන්ට කියාපු ඔසුවක්. කාලයක් කරනකොට ඒ ලෙඩ රෝග නිකම්ම නැතිවෙලා යනව. බලන්න මොන තරම් සුවයක් ඔබට ලබාගන්න පුලුවන්ද කියල.

පින්වත් යාලුවනේ කැලේට දරකපන්න ගිය තාත්තෙක් හා පුතෙක් දවසක් හරි ඇබැද්දියකට මුහුණ පෑව. කරත්තෙ ගොනා ලිහල තිබුන වෙලාවක කැලේට රිංගුව. පුතා කරත්තෙ ලගින් තියල තාත්ත කැලේ ඇතුලට ගියා හරක හොයන්න. නොදැනිම රෑ උනා. තාත්ත නැති නිසා පුතා කරුවලේ කරත්තෙ යට නිදාගත්ත. ඔතනින් ආපු යක්ෂයො දෙන්නෙක් පුතාට හිරිහැර කරන්න කකුලෙන් ඇද්ද? පුතාට එක පාරාටම “ නමෝබුද්ධාය ” කියන වචනය කියවුනා. අර කකුලෙන් ඇද්ද යකා වීසිවෙලා ගියා. අන්තිමට පුතාට කන්නත් ගෙනත් දීල සමාව ගත්ත. පේනවද “බුද්ධ” කියන වචනයේ බරපතලකම කොයිතරම්ද කියල? පින්වතුනේ එහෙමනම් අපි ඔය සදහන් කල කාරණා ටික හරියට කරගත්තොත් මොන තරම් ශක්තියක් අපිට ලැබෙයිද?

බුදු හාමුදුරුවො කියන බණ පදවල ස්වරයට හිත පැහැදිල අහගෙන හිටිය මැඩියෙක් ගොපලු කොලුවෙක්ගෙ කෝටුවකට ඇමිණිල මැරිල දිව්‍ය ලෝකෙ ඉපදුනා කියල ඔයාල අහල ඇති. දොඹමල් දෙකතුනක් කඩල වැල්ලෙ වැලිවලින්ම චෛත්‍යයක් හදල පූජ කරල ඒ පිනෙන් දිව්‍යලෝකෙ ගිය අය ගැනත් අහල ඇති.  තමන්ගෙ කන්න තියෙන බත්පත දන්දීපු මහා විමාන සහිත දිව්‍යපුතකු උන කථා ඔයාල අහල ඇති.

ඔයාල මේ කියපු උපදෙස් හොදින් පිලිපැදල මේ ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගනී කියල මම විශ්වාස කරනව. අන්න ඒනිසයි මම මුලින් කීවෙ ඔබ අමතන්න ලැබීම වාසනාවක් කියල.

එහෙමනම් මේ සිල්පද ටික රැකල දන් පින් ටික දීල ඔයාලත් හොද ජීවිතයක් ගතකරන්න උත්සාහ කරන්න. ඔබට ජය නියතයි.

මෛත්‍රි භාවනාව

මම තරහා නැත්තෙක් වෙම්වා!

ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා!

දුක් පීඩා නැත්තෙක් වෙම්වා !

සුවසේ ජීවත් වෙම්වා !

ශාන්ත සුවයට පත් වෙම්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද

තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද (සිටීනම්)බිරිද සහ දරුවෝද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද හතුරෝද මිතුරෝද, තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද හතුරෝද මිතුරෝද, සේව්‍ය සේවකාදීන්ද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද හතුරෝද මිතුරෝද, සේව්‍ය සේවකාදීන්ද පැවිදි උතුමෝද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද හතුරෝද මිතුරෝද, සේව්‍ය සේවකාදීන්ද පැවිදි උතුමෝද වැඩිහිටි, මධ්‍යස්ථ, බාලයෝද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

මා මෙන් මාගේ දෙමාපියෝද සහෝදර සහෝදරියෝද බිරිද සහ දරුවෝද ගුරුවරුද ඥාතීන්ද හතුරෝද මිතුරෝද, සේව්‍ය සේවකාදීන්ද පැවිදි උතුමෝද වැඩිහිටි, මධ්‍යස්ථ, බාලයෝද අපා, දෙපා සිව්පා පෙනෙන, නොපෙනෙන, දික් වූද, කොට වූද, මධ්‍යම වූද උපන්නා වූද, නූපන්නා වූද, දුර සිටින්නාවූත්, ලඟ සිටින්නා වූත්,  සියලු සත්වයෝද තරහා නැත්තෝ වෙත්වා!

ඊර්ෂියා නැත්තෝ වෙත්වා!

දුක් පීඩා නැත්තෝ වෙත්වා !

සුවසේ ජීවත් වෙත්වා !

ශාන්ත සුවයට පත් වෙත්වා!

නව අරහාදී බුදුගුණ

බුදුපියාණන් වහන්සේ කෙලෙසුන් දුරලූ හෙයින්ද, කෙලෙස් නැමැති සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රය සිද බිදලූ හෙයින්ද, රහසින්වත් පව් නොකල හෙයින්ද, සිව්පසයෙන් කෙරෙන පූජාවන්ට ඉතා සුදුසු වූ හෙයින්ද අරහන් නම් වන සේක.

කිසිවෙකුගේ පිහිටකින් තොරව තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධකරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක

විද්‍යා නම් ඥාන අටකින්ද චරණ නම් ගුණ පහලොවකින්ද යුක්ත වන හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක

සෝභන වූ නිර්වාණ මගෙහි ගමන් කරමින් සුන්දර වූ නිවනට සපැමිණි හෙයින්ද, දෙසියයුතු දහම් කරුනු සුදුසු අවස්ථාවේ දෙසූ හෙයින්ද සුගතෝ නම් වන සේක

උන්වහන්සේ ලෝකය පිලිබදවත් සෙසු ලෝක ධාතුව පිලිබදවත් දතයුතු සියලු කරුණු මැනවින් දැන වදාල නිසා ලෝකවිදූ නම් වන සේක

උන්වහන්සේ දරුණු වූද විෂම වූද පුද්ගලයන් දමනය කල උත්තමයෙකු හෙයින් අනුත්තරෝ පුරිසදම්මපාරතී නම් වන සේක

උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට පියෙකු හා සමානව සසර කතරින් එතෙර වීමට මග පාදා දුන් හෙයින් සත්තා දේව මනුස්සානම් වන සේක

උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අව‍බෝධ කරගෙන අන් අයටද දෙසූ හෙයින් බුද්ධෝ නම් වන සේක

භාග්‍යයෙන් යුක්ත වූ හෙයින්ද සියලු කෙලෙසුන් දුරලූ හෙයින්ද උන් වහන්සේ භගවා නම් වන සේක

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … … 

පරම පූජනීය රන් සිරිපා පියුම වැදපුදා ගනිමු.
ආශ්චර්යවත් කුලීන භික්‍ෂූන් අතර අග තනතුර ලැබූ භද්දිය මහා ශ්‍රාවකයන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.