Skip to main content

සිරිලක පිළිම කලාව

බුද්ධ ප්‍රතිමාවක් සකස් කරන්නේ, ශාස්තෘන් වහන්සේ, මේ “ යැයි සිතා “ පූජාවිධි” පවත්වා, සිත සකස්කර ගැනීමටත්, සසර දුකින් නිදහස්වීමට අවශ්‍ය කරන ශක්තිය පිළිම වහන්සේ තුලින්, සිතට ගෙන, සිතේ ඇති, කෙලෙස් නමැති මලකඩ ඉවත් කොට , දමා, සැනසීම උදාකර ගැනීමටත්ය.බුදු පිළිම නිර්මාණය කවදා කොහේ කෙසේ වූයේදැයි ස්ථිර සාක්ෂි දැනගැනීමට නැත. බුදු පිළිම නිර්මාණයට පෙර උන්වහන්සේ සංකේත මඟින් පිළිබිඹු කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පද්මය, ශ්‍රී පාදය, ධර්ම චක්‍රය, බෝධීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වෙනුවට නිර්මාණය විය. ක්‍රි. පූ. 1 වන සියවස්වලට අයත් “සාංචි” වැනි ස්ථානවල මූර්ති හා කැටයම් වල බුදු පිළිමය වෙනුවට “ගසක්” පෙන්වා “බුදුවරයා” යැයි ලියා තිබුණි. එහෙත් “කෝසල බිම්බ වර්ණනාව“ නම් ග්‍රන්ථයේ උන්වහන්සේ ජීවමාන කාලයේදීම ඇන්ද බව සඳහන් වෙනවා. පුරාවිද්‍යාඥයන් ප්‍රතිචාර නොදැක්වුවද, “අව්‍යදාන කල්පනාව“, “දිව්‍ය දානය” වැනි මහායානික ග්‍රන්ථ අනුව බුදුන් ජීවමාන සමයේ ප්‍රතිමා නෙළු බව සඳහන් වේ.
එහෙත් බෞද්ධ මූලාශ්‍රවල සඳහන් වන්නේ අශෝක රජතුමා මහා කාල නාග රාජයා ලවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අනූන අසූවක් අනුව්‍යඤණයෙන් හා ව්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් වට කරන ලද මනරම් බුද්ධ රූපයක් නෙලා ඊට සතියක් පුරා පූජෝපහාර කළ බව මහා වංශය සඳහන් කරයි. (මහාවංශය 37 පරිච්ඡේදය 89 – 95 පිටු)
ලෝකයේ විවිධ බෞද්ධ රටවල, ඒ රටවල වෙසෙන කලාකාමිහු , බුදුරජාණන් වහන්සේ, මනසින් ග්‍රහණය කොටගෙන, පිළිම නෙළති. බුදුරජාණන් වහන්සේ , දීර්ඝ කාලයක් ධර්ම දේශනා කළ , දීර්ඝ කාලයක් වැඩ සිටි භාරතයේද , කලාකාමින් පිළිම නෙළා තිබේ. බුදුරජාණන් වහන්සේ, තම රටටද වැඩියා යැයි විශ්වාස කරන මියෙන්මාර් , හා තායිලන්ත වාසී කලාකාමීන් ද විවිධ මාදිලියේ පිළිම නෙළා තිබේ. බොහෝ කලාකාමින් මනසින් ග්‍රහණය කරගෙන ප්‍රතිමා නෙළා ඇත. ‘මහායානය ‘ පිළිගත් රටවල පිළිම වහන්සේලාද, විවිධ හැඩතල වලින් , නිර්මාණය වී තිබේ.පිළිම වහන්සේලා, නෙළීමේ කලාව භාරතයේ අපට උරුම වී ඇතැයි , ඇතමෙකු සිතන නමුත්, භාරතයේ ඇති පිළිම වහන්සේලා , හා ලංකාවේ දක්නට ලැබෙන අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සුවිශේෂී ප්‍රයත්නයක ප්‍රතිඵල ලෙස දකිමි. බුදුරජාණන් වහන්සේගේ, “ අරහං “ ආදී ‘නව අරහාදි ‘ බුදුගුණ සිතට ගෙන,අජීවි කළුගල් වලට ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ යැයි සිතාගැනීමට හැකිවන අයුරින්, නිර්මාණය වී තිබීම ආශ්චර්ය ජනකය, අද්භූතය. සැතපෙන හා හිටි පිළිම වහන්සේලා ගැන නිරීක්ෂණය කළත් විවිධ රටවල දක්නට ලැබෙන පිළිම වහන්සේ වඩා ‘බුදුගුණ ‘ කැපී පෙනෙන ආකාරයෙන්, අපේ කලාකරුවා මූර්තිමත් කර ඇති ආකාරය අතිවිශිෂ්ඨය.
අපේ පැරණි කලාකරුවන් බුදුරජාණන් වහන්සේ, මෙවැනි ගුණ සමුදායකින්, යුක්ත උත්තමයන් වහන්සේ නමක යැයි” මනසින් දැක නෙළා ඇති , පිළිම වහන්සේලාට වඩා ලංකාවේ ඇතැම් දෙනෙකු අගය කරන්නේ , වෙනත් රටවල නෙලා ඇති , පිළිමවහන්සේලාටය. මේ රට තුල වසර දහස් ගණනක් ඉපැරණි බුද්ධ පිළිම ලොව කිසිදු තැනක නොමැත. එහෙත් ඒවා පසෙක ලාස සමඑරු වෙනම සංස්කෘතීන් ගොඩ නැංවීමට උත්සාහ කරති.

“යො ධම්මං පස්සති සෝ මං පස්සති” යන දේශනා තුළින් බුදු පිලිමයක් තිබිය යුතු ආකාරය අපට සිතා ගත හැක. මින් කියැවෙන්නේ ධර්මය දුටු විට බුදුන් ඇසට පෙනෙන බව නොවේ. ධර්මය දැක ඒතුලින් දකින බුදුන් නිර්මාණය විය යුතු බවයි. නමුත් යම් යම් අය අනුකරණ වලට මුලාවී කරන බුද්ධිගෝචර නොවන ක්‍රියා නිසා, අනාගතයේදී නොසිතූ, නොපැතූ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සැක සිතේ. මේ පිළිම නිර්මාණව කල අතීත කලා කරුවා සැබැවින්ම සැදැහැවන්තයන් විය. ඒ ඇත්තන්ට නිතර උපාසක තැන, සිල්වත් තැන යන නම භාවිතා විය‍.

බුදුරජාණන් වහන්සේගේ දසබල ගුණයන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිර්මාණත්වක ව ඉදිරිපත් කර මථුරා, ගන්ධාර, අමරාවතී, භුංග, අන්ද්‍ර, ආදි යුගයන්හි සෙල් පිළිම නිර්මාණයේ කලාකරුවන් යෙදිණි. ඒ නිසාම පිළිම නිර්මාණ කරුවා අපමණ ගුණයන්ගෙන් හෙබි පිළිම නිර්මාණයේ වැඩි වශයෙන් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ පිළිබිඹු වන ලෙස නෙළීමට උත්සාහවන්ත විය. අසමසම, වීතරාගී අප්පටි ප්‍රගගත වූ බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණයන් කිසිම නිර්මාණ කරුවකුට මූර්තිමත් කළ නොහැකි ය.

එක් වරක් උපගුත්ත හිමියන්ට බුද්ධ වේෂයෙන් මාරයා පෙනී සිට ඇති බව ග්‍රන්ථාරූඪ තොරතුරු වලින් පැවසේ.

මේ සියල්ල මෙසේ සටහන් වෙද්දී බුදුන් වහන්සේ දෙව්ලොව වැඩ සිටි විටක කොසොල් රජතුමාගේ ඉල්ලීම පරිදි මුගලන් මහා රහතන් වහන්සේ එහි වැඩම කොට බුද්ධ සෙවණැල්ල රෙදි කඩකට ගත් බවත් එයින් පිළිමයක් නෙළු බවත් “කෝසල ධම්බ වර්ණනාවේ” සඳහන් වේ. දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

යේ ජීව ලොකේ පටිමා කරෙයිය
කිමානි සංඝං ලහෙතෙ මුනින්ද
පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං
ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි
(යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?)

එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

“මුනින්ද රාජේන සුදෙසියෙත – ධම්මේන ලෙවෙයිය
පණිතං දෙසං කිමානි සංසං ප්‍රතිමාලංච
දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං”

යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්‍රණීත ධර්මය ලියන්නේ ද, ප්‍රතිමා නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද? යනුවෙනි.

එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

භයානකා පාසික සතත සංතුලෙ
දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ
මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ
හරායරේ ලේඛක බිම්බ කාරනා

“භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්‍රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස – කෝසල බිම්බ වර්ණනාව)

කරෝති කාරාපයති – ජන බට්ටං නරො ඉධ
සොල ලෙප්පටෙකට්ඨෙ – මහන්තං බුද්දකං කිචාති
“මහරජ, ගල්, මැටි, වස්තර, ලී යන මේ ද්‍රව්‍ය වලින් මහත් වූ හෝ පිළිමයක් කරන්නේ නම් බොහෝ අනුසස් වැඩේ.”

මේ අනුව පිළිම නෙළීම හෙවත් මූර්ති නිර්මාණ බුදුන් වහන්සේ අනුදැන වදාරා ඇත.

බුදුන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ හඳුන්වනුයේ “කායික ලක්ෂණ” නමිනි. බ්‍රහ්මායු ලක්ෂණ සූත්‍රයේ මහා පුරුෂ ලක්ෂණ විස්තර වේ. එහි සඳහන් සියලු ලක්ෂණ පිළිම නිර්මාණයේදී මූර්ති ශිල්පියාට මූර්තිමත් කළ නොහැකිය. මෙහිදී මූර්ති ශිල්පියා එක්තරා සීමාවකට කොටුවේ. මහා පුරුෂ ලක්ෂණ වල සඳහන් බුදුරජාණන් වහන්සේගේ හඬ (බ්‍රහ්මස්වරය), දත්ත සතළිස, සමදත්ත දිගු දිව, පහුත ජීවා, රහසඟ ආදී අභ්‍යන්තරික ලක්ෂණ පිළිම කලාවේ දර්ශනය නොවේ.

පිළිම කලාවේදී මහා සතිපට්ඨාන සූත්‍රය, “කරණිය මෙත්ත සූත්‍රය” වැඩීම අනුව, “ඉරියාපත සතර” හෙවත් ඉදීම්, හිටීම්, සැතපීම් හා යෑම වශයෙන් වන ඉරියව් වලින් එකකින් පිළිම නිර්මාණය වේ. ඉදි පිළිම හෙවත් ඔත් පිළිම ගැන විමසා බැලීමේදී ඒ ඉරියව්ව හඳුන්වන්නේ “ආසන” නමිනි. ආසන යනු ඉඳගැනීමට ගන්නා උපකාරයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී ගත්ත ද මෙහිදී එය ඉඳගන්නා ක්‍රමය ලෙසයි හඳුන්වනුයේ. බුදුන් වහන්සේ ඉඳගන්නා ක්‍රම හෙවත් “ආසන” වර්ග හතරකි. ඒවා පද්මාසන, වීරාසන, භද්‍රාසන සහ වජ්‍රාසන නම් වේ. එහෙත් “සේරණ්ඩ සංහිතාව“ නම් සංස්කෘත ග්‍රන්ථයේ ආසන වර්ග තිස් දෙකක් (32) ගැන සඳහන් වේ.

සේරණ්ඩ සංහිතාව අනුව වජ්‍රාසනය නම්,

ජඩිඝාභ්‍යඞ වජවත් කෘත්වා
ගුද පර්ශ්වේ පදාවුභොග
වජ්‍රාඝන භවෙදෙනත්
යෝගිනාම් සිද්ධායකම්
“කෙණ්ඩා දෙක වජ්‍ර (දියමන්තියක්) මෙන් දැඩි කොට දෙපතුල් ගුද මාර්ගය (තට්ටම) දෙපස තැබීමෙන් මේ යෝගීනට සිද්ධදායි වූ වජ්‍රාසනය වන්නේය. වජ්‍රාසනය යනු සිද්ධාසනයට නමෙකැයි “භඨයෝග ප්‍රදීපකාවේ” සඳහන් වේ. මෙයට හොඳම උදාහරණය අනුරාධපුර මහමෙව්නා සමාධි පිළිම වහන්සේ වේ. බුදු බව පතා අප බෝසතාණන් වහන්සේ චතුරංග වීර්යය ඉටා බෝ කඳට පිටදී පෙරදිග බලා වජ්‍රාසනයෙන් (අජේය වීර්යංකයෙන්) වැඩහුන් සේක. දකුණු පාදය, වම් කලව මත තබා, දකුණු කලව මත කතිරයක් සිටින සේ එරමිණිය ගොතා හිඳ ගැනීම පත්මාසනය නම් වේ. මෙහිදී බුදුන් වහන්සේගේ සුමට, සුමුදු, සිරි පතුල් පැහැදිලිව දැකගත හැකි ය.

තමන් වහන්සේ විසින් නමාගත් වම් පාදය මත දකුණු පාදය සිටින සේ ඉඳ ගැනීම “වීරාසනය” නම් වේ. මෙහිදී අපට දකුණු සිරි පතුල පමණක් ඉහළ සිට බැලූ විට දැකගත හැකි ය. ශ්‍රී ලංකාවේ පිළිම වල බහුල ලෙස මෙය දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නැති, එහෙත් ඉන්දියාව ගන්ධාර ප්‍රදේශ වල දැකිය හැකි භද්‍රාසනවල තරමක් උසට තනන ලද ආසනයක හිඳ කලවා දෙපසට විහිදා පාදෙක පීඨියක හෙවත් පඩියක් වැනි තැනක තබා වැඩ සිටින බුදුන් වහන්සේ දැකිය හැකිය.

පිළිම කලාවේ බෙහෙවින් ප්‍රචලිත ක්‍රමය වන්නේ වජ්‍රාසනයයි. අප ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූවේ වජ්‍රාසනගතවයි. මේ ක්‍රමය බොහෝවිට පද්මාසන ක්‍රමයට සමාන ව පෙනේ.

බුදුන්වහන්සේගේ ‘ආසන ක්‍රමය’ මෙන්ම වැදගත් වන්නේ උන්වහන්සේ ධර්මය දේශනා කරන විලාසය හෙවත් දෑත් හසුරුවන ආකාරයයි. එය ‘මුද්‍රා’ නමින් හඳුන්වනු ලැබේ.

මූර්ති ශිල්පියා මේ ඉරියව් හෙවත් ‘මුද්‍රා’ හය (6) ආකාරයකට ඉතා සූක්ෂ්ම ලෙසත් කලාත්මක ලෙසත් නෙළා ඇත. ධ්‍යාන හෙවත් සමාධි, ධම්ම චක්‍ර, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව, වරද මුද්‍රාව, භූ®මි ස්පර්ශ මුද්‍රාව යනුවෙන් එය පෙන්වා දිය හැකිය.

අප ගෞතමයන් වහන්සේ වීරාසනයෙන් හෝ පද්මාසනයෙන් හිඳ උඩු අතට විවෘත කළ වම් අත්ල මත දකුණු අත්ල තබා සිටීම සමාධි හෙවත් ධ්‍යාන මුද්‍රාව නම් වේ. අනුරාධපුර චීර ප්‍රසිද්ධ සමාධි පිළිම වහන්සේ සහ කොළඹ කෞතුකාගාරයේ ඇති “තොළුවිල” පිළිම වහන්සේ මෙයට නිදසුන් වේ.
බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීම සංකේතවත් කරන මහා භාරතයේ ගුප්ත යුගයට අයත් ප්‍රසිද්ධ සාරනාත් පිළිමය ධම්මචක්‍ර මුද්‍රාවට වඩාත් ප්‍රසිද්ධ සාක්ෂියකි. මේ මුද්‍රාව ලංකාවේ එතරම් සුලබ නැත. එහෙත් පද්මාසන ක්‍රමයට වැඩ සිටින බුදුන් වහන්සේ දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන දබරඟිල්ල හා මහපටඟිල්ලේ තුඩු දෙක කවයක් හෙවත් රවුමක් ලෙස සෑදෙන සේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීම “ධර්ම චක්‍ර මුද්‍රාවෙන්” පෙන්නුම් කෙරේ.

දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැර අත්ල ඉදිරියට සිටින සේ විවෘත ව තැබීම “අභය මුද්‍රාවේ” ලක්ෂණයකි. මේ මුද්‍රාවේ ව්‍යංගාර්ථය වන්නේ, අන්‍යයන්ගේ බිය නැති කිරීම උන්වහන්සේ ගන්නා උත්සාහයයි. මේ මුද්‍රාවට ම “විවරණ මුද්‍රාව“ යැයි ද කියති. වැඩි වශයෙන් හිටි පිළිමවල මේ මුද්‍රාව දැකිය හැකිය. සුප්‍රසිද්ධ අවුකන පිළිම වහන්සේ ආසන්නතම උදාහරණයයි. මෙවැනි වූ සමහර ප්‍රතිමාවල එක අතක අභය මුද්‍රාවත් අනික් අතින් වරද මුද්‍රාවත් දැක්වෙනවා.

මුද්‍රා ගැන සොයා බැලීමේදී විතර්ක මුද්‍රාව දැනුවත් වීම වැදගත් වේ. ව්‍යඛ්‍යාත මුද්‍රාව වින් මුද්‍රාව නමින් ද හඳුන්වනු ලබන විතර්ක මුද්‍රාව හිටි පිළිම මෙන්ම හිඳි පිළිමවල දැකිය හැකි ය. ඉතා විරල වූ මේ මුද්‍රාවේ ලක්ෂණ නම් දකුණු අත උඩට නවා දබරඟිල්ල මහපටඟිල්ල උඩ කවයක් ලෙස නිර්මාණය කර තැබීමයි.

අප බුදුරජාණන් වහන්සේ මාරවිජය සාක්ෂාත් කර තැබීම “භූමි ස්පර්ශ” මුද්‍රාවෙන් පිළිබිඹු වේ. තමන් වහන්සේ බුදු බවට පත්වන බව දැන එය කඩාකප්පල් කිරීමට පැමිණි මාරයාට, තමන් වහන්සේගේ දානපාරමිතා බලයට සාක්ෂි වශයෙන් භූමිය පෙන්වා වදාළ සේක. එය සංකේතවත් කරන මුද්‍රාවයි භූමි ස්පර්ශ මුද්‍රාව. පද්මාසනයෙන් වැඩ සිට දකුණු අත දකුණු දණහිස උඩින් අතේ සියලු ඇඟිලි දිග හැර ඇතුළට සිටින සේ හෙවත් භූ®මියට පහත් කර භූ®මිය ස්පර්ශ කරන ආකාරය මේ මුද්‍රාවෙන් සංකේතවත් කෙරේ.

උතුම්, ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා හෙවත් පොරොන්දු සංකේතවත් කරන මුද්‍රාව “වරදාන මුද්‍රාව“ ලෙස හැඳින්විය හැකිය. දකුණු අත පහත් කොට අත්ල ඉදිරියට පෙනෙන සේ ඇඟිලි දිගහැර තැබීම මෙහි මූලික ලක්ෂණයක්. වැඩි වශයෙන් “හිටි පිළිම වහන්සේ” වරද මුද්‍රාවෙන් දැකිය හැකිය. ලංකාවේ සුලබ නොවූවත් මහායානික බුදු දහම පවතින රටවල හිටි පිළිම හා ලෝහ පිළිමවල මේ මුද්‍රාව දැකිය හැකිය.
ඉහත සඳහන් කිසිම මුද්‍රාවකට අයත් නැති “මුද්‍රාවකින්” යුතු පිළිම ලංකාවේ දී දැකිය හැකි ය. අපගේ මහත් ගෞරවයට පාත්‍ර වූ පොළොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය මෙයට උදාහරණයකි. දෑත ළය මත තබා කතිරයක් ආකාරයට තබා සිටින ඉරියව්වකින් ඒ පිළිම වහන්සේ නෙළා ඇත. මෙවැනිම වූ පිළිමයක් තිස්සමහාරාම යටාලතිස්ස ආරාමය අසල කෞතුකාගාරයේදී දැකිය හැකි ය. එතරම් විශාල නොවූව ද මේ මුද්‍රාවෙන් යුතු පිළිම වහන්සේ පිළිබිඹු කරනුයේ “ගෞතම බුදුන් වහන්සේ, තුන් ලොව දිනූ බව සොම්නස් සහගත චිත්තයෙන් යුතුව“ බලා සිටින බව එක් විද්වත් මතයකි. එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ප්‍රකාශ කරනුයේ ත්‍රිභංග හිටි පිළිම වහන්සේ “පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්” යුතුව ලොව වෙත බලන බවයි. එය ද බැහැර කරන තවත් විද්වතුන් පිරිසක් ප්‍රකාශ කරනුයේ එය තෛ‍්‍රයිලෝක විජිත මුද්‍රාව නමිනි. එහෙත් සමහරුන්ගේ මතය වන්නේ, අප ගෞතමයන් වහන්සේ පරිනිර්වාණයට පත්වනවිට රහත් ව නොසිටි ආනන්ද හාමුදුරුවන් වහන්සේ ශෝකී ව ඒ දෙස බලා සිටින බවකි. එයට හේතු වශයෙන් පෙන්වනුයේ ඒ අසලම බුදුන් වහන්සේගේ සැතපෙන පිළිම වහන්සේ වැඩ සිටින බැවිනි. එහෙත් මේ පිළිම වහන්සේ, පද්මයක් හෙවත් නෙළුමක් මත වැඩ සිටින බැවින් ඒ පිළිමය බුදුන් වහන්සේගේ බව තහවුරු වේ.

තවද ඒ මුද්‍රාවෙන් යුතුව පිහිටි ගලෙන් නිර්මිත ලොව එකම විශාලතම පිළිම වහන්සේ වනුයේ, ගල් විහාරයේ ඇති පිළිම වහන්සේ ය. මේ ශ්‍රී ලාංකීය අපට ආඩම්බරයකි.

ශ්‍රී ලංකාවේ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේ මෙරටට පැමිණි , මහා භාරතයේ අග්‍රමාත්‍යයතුමා වූ, නේරුතුමා අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ දුටු විගස පිළිම වහන්සේ,දෙස සෑහෙන වේලාවක් බලා සිට මෙහි අනුරුවක් සකස් කර මට ලැබෙන්න සලස්වන්න යැයි බණ්ඩාරනායක අගමැතිතුමාට දන්වා සිටියේ, භාරතයේ පිළිම වහන්සේ නැති නිසා දැයි” කල්පනාකර බැලීම කාලෝචිතය.

අපේ පෞරාණික අතිවිශිෂ්ඨ කලාකාමියා විහාරයට ඇතුළුවන තැන පියගැට පාමුල ආසන්නයේ දී, මූර්තිමත් කළ, සඳකඩපහණින්, ඔබ විහාරයට වන්දනාමාන කිරීමට යා යුත්තේ , මේ අදහස මුදුන්පත් කරගන්න අදහසින් විය යුතු යැයි සංකේත වත්ව ඉදිරිපත් කර ඇති ආකාරය , කෙතරම් බුද්ධගෝචර දැයි සිතුවාද , නොමැතිනම් කීපවරක් බුද්ධිමත්ව සිතන්න. අපේ කලා සම්ප්‍රදායයන් අතිශ්‍රේෂ්ඨත්වය මතු කරන්නේ අනෙක් සම්ප්‍රදායන් හෙළා දකින අදහසින්, නොව අපේ සම්ප්‍රදාය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමේ උදාර පරමාර්ථය නිසාය.

තව කරුණු කීපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි. මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ මාහිමි අනුරාධපුරයේ මහා විහාරයට ගොස් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමට අවසරය ලබා දෙන්න යැයි මතක් කළ අවස්ථාවේදී අපේ අති පුජනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා උන් වහන්සේට පෙන්වා දුන්නේ එසේ නම් ‘අනෙතො ජටා බහි ජටා ‘ යන ගාථා රත්නයට විස්තරයක් රචනා කරන ලෙසයි. උන් වහන්සේ එය පිළිගෙන විශුද්ධි මාර්ගය ලියා පිළිගැන්වූ විට ත්‍රිපිටක පොත් පරිශීලනය කිරීමේ භාග්‍යය උන් වහන්සේට හිමි විය.

වර්තමානයේ නොයෙක් අය නොයෙක් අයුරින් තම තමන්ට හිතෙන අයුරින් පිළිම නිර්මාණය කරති. ඒ ඒ අයම ඒවාට නම් තබති. එහෙත් එමගින් බුදුන් දකිනවාදැයි ගැටලුවකි. තම අභිමතය පරිදි නිර්මාණය කරන බුදු පිලිමවහන්සේ නිසා සංස්කෘතියට සිදුවන හානිය ගැන කිසිවෙකු කල්පනා නොකරති. මෙරට සංස්කෘතිය ගොඩනැගුනේ බුදු දහමේ අභාෂය නිසාවෙනි. බුදු දහම සම්මිශ්‍රීත වූ සංස්කෘතියක අගය ඇත්තේ සිහල බොදුනුවන්ට පමණි. අන් අයට එහි අගයක් නැත. එය අහසේ තරු පෙන්වා අතේ ඇති දෑ කොල්ල කෑමට සමානය. මේ සදහා ඇතැමුන් අපට අපහාස කරනු ඇත. නින්දිත චෝදනා එල්ල කරනු ඇත. එහෙත් සත්‍යය මෙය වන්නේය. සංස්කෘතිය විනාශ කරමින් යන නිවනක් බුදු හිමියන් කිසිකලෙක දේශනා කොට නැත. උදාහරණ ලෙස විනය තුල ඇති විශාල ශික්ෂාපද ප්‍රමාණයක් පනවා ඇත්තේ බාහිර සමාජයෙන් පැමිණි චෝදනා නිසාය. මේ බලන්න. භික්ෂූන් වහන්සේ වැසි සමයේ ඇවිදන විට කුඩා පැලෑටි ආදිය විනාශ වීම වැලැක්වීමට වස්කාලය අනුදැන වදාල සේක. ජලය පානය කරන විට සතුන් ගිලී මැරෙන නිසා පෙරනය අනුදැන වදාල සේක. එහෙත් මේවායින් පවක් සිදුවන බව දහම තුල නැත. නමුත් ශික්ෂා පද පැනවූයේ එකල සමාජයට සංස්කෘතියට ගැලපෙන පරිදිය. ඉදින් යමෙක් සංස්කෘතිය විනාශකරන්නට උත්සාහ කරයිනම් එයින් ලැබෙන නිවන කුමක්දැයි ගැටලු සහගතය. මේවා ඔවුන් තේරුම් ගන්නේ නැත. මන්ද ශ්‍රී සද්ධර්මයට මුවාවී සිදුකරන කටයුතු සුරක්ෂිත බැවිනි. කිසිවෙකු එවන් අයෙකුගේ කටයුතු වලට චෝදනා කරන්නේනම් ඒ චෝදනාව සද්ධර්මයට කරන චෝදනාවක් ලෙසින් චෝදනාවෙන් සැගව යා හැකි බැවිනි. මේ ජාතියේ ව්‍යවසනය වගකිවයුත්තන්ට පෙනේවා … … …

ාකාස් උවද බුදුන්වහන්සේගේ අසීමිත ගුණ පිළිබිඹු කරන පිළිම වහන්සේලා නමස්කාර කළ ද ඒ සියල්ල ආමිස පූජාවට අයත් බැවින් බුදුන් වහන්සේ තමා දෙස ඇසපිය නොහෙලා බලාසිටි වක්කලී හිමියන්ට කළ මේ ප්‍රකාශය මෙනෙහි කිරීම වැදගත් වේ.

”කිං වක්කලී ඉමිහා ප්‍රතිකායේන දිට්ඨෙන…
යෝච වක්කලී ධම්ම පස්සෙය්‍ය සෝ මං පස්සෙය්‍ය…”
”වක්කලී මේ කුණු ශරීරය දිහා මොනවා බලන්නද? වක්කලී යම් අයකු ධර්මය අවබෝධ කර ගනී ද එතකොට පුළුවනි ඔහුට මාව දකින්නට”

එමනිසා ආමිස පූජාවෙන් බුදුන් පුදන අතරම උන්වහන්සේ දෙස වදාළ ධර්මය හදාරා ඒ තුළින් උන්වහන්සේ දකිමු. අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබමු.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු මාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා
(සිලුමින හා ලංකාදීප පුවත්පත්වල පලවූ ලිපි ඇසුරින් සකසන ලදි)

 

 

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.