සිත සනසන පිරිත් දෙසුම …

පින්වත් යාලුවනේ මම අද කියන්න යන්නේ ඉතාම වැදගතු පිරිත් දේශනාවක්. ඒ තමයි ජින පඤ්ජරය. ජිනපඤ්ජරය කියන්නෙ අපේ රටේ රහතන්වහන්සේලා සකස්කරන ලද පිරිතක්. (ජය පිරිත තායිලන්ත පිරිතක්ලු.) මේ පිරිත හරිම බලගතු පිරිත් සූත්‍රයක්. ඊට කලින් මම හිතුව පිරිතේ අගය කියැවෙන ලිපියක් පලකරන්න. මේ ලිපිය ප්‍රේමසිරි ඈපාසංහ මහත්තය බුදුසරණට ලියපු ලිපියක්. මොහොතක් කියවල බලන්න‍කෝ.
ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ආදි යුගයේ සිට දෙවි දේවතාවන්ගෙන් ආශිර්වාදය ලබාගනු වස් මනසින් මවාගත් දෙවියන් ඉදිරිපිට භක්තියෙන් යුතුව ගීතිකා ගයනු ලැබූහ. සතුරු උවදුරු වලින් ආරක්ෂාව, සතුරන් ජය ගැනීම, නිරෝගි බව, සම්පත් වර්ධනය, දරුපල ලැබීම, අව්වැසි ලබා ගැනීම සඳහා ගීතිකා ගයා ඇත. පිරිත ද ආරක්ෂාව අරබයා ගයන්නා වූ සුමිහිරි දේශනාවකි. පිරිත යන සිංහල වචනය පාලි ‘පරිත්ත’ ශබ්දයෙන් ප්‍රභවය වී ඇත. පාලි පරිත්ත ශබ්දය සංස්කෘත ‘පරිත්‍ර’ ශබ්දයේ විකාශනයකි. සර්ව ප්‍රකාරයෙන්ම ආරක්ෂාව සලසාදීම යන්න මෙහි අර්ථයයි.
දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබ ප්‍රබෝධවත්ව සිටීමට හේතු කාරක වන බව මම අත්දැකීමෙන් දනිමි. වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ තුන් සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ක්‍ධංග පිරිත, ධජග්ග සූත්‍රය, අටවිසි පිරිත, මහා ජයමංගල ගාථා, ජය පිරිත, ජිනපඤ්ජරය, සීවලි පිරිත, අභිසම්භිදානේ පිරිත දිනපතා ශබ්දයෙන් සජ්ඣායනා කිරීමෙන් මාගේ් ගතට හා සිතට සිසිලක් ලැබෙන අතර මාගේ් කටහඬ ආරක්ෂා කර ගන්නට ද ඉන් ලැබෙන පිටුවහල ඉමහත්යැයි මම විශ්වාස කරමි.
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට බුදු දහමේ හරය ඇතුලත් වේ. එයට සූත්‍ර විනය අභිධර්ම වර්ගකොට ඇති ත්‍රිපිටකයේ සෑම වැදගත් කරුණක්ම අඩංගු වේ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා, වනයක සතුන්ගේ අඩි වලට සම කළහොත්, ඒ සියල්ල බහාලිය හැකි ඇත් අඩිය ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අපට හැඳීන්විය හැකිය. බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාරන ලද සේක.
බුදුදහම ආගමක් පමණක් නොවේ. වියතුන්ට, උගතුන්ට, නැණවතුන්ට තේරුම්ගත හැකි දර්ශනයකි. ඒ බැව් දම්සක් පැවතුම් සූත්‍රයෙන් සක්සුදක් සේ පැහැදිලි වේ. නූතන විද්‍යාවට ගැලපෙන දර්ශනයක් එහි දක්නට ලැබේ. ගැලවුම්කරුවෙකු දෙවියකු පිළිබඳ විශ්වාසයක් එහි නොමැත. තමාගේ් විමුක්තිය උදාකර ගැනීම තමා සතුවේ. එහි පෙරමග සලකුණු දැක්වෙන මැදුම් පිළිවෙත පිළිබඳ අපූරු විග්‍රහයක් දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ.
කාමසුඛල්ලිකානු යෝගය, හා අත්තකිලමථානුයෝගය යන අන්ත දෙක අතරින් දක්නට ලැබෙන මධ්‍යම ප්‍රතිපදාව නිවනට මාර්ගය බව මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් බුදුන් වහන්සේ වදාළ සේක.
සිදුහත් කුමරු සියලු ලෞකික සැප සම්පත් වින්දේය. අතට පයට දැසි දස්සන් යාන වාහන ඉතාමත් රසවත් ආහාර පාන ඒ ඒ සෘතුවලට සරිලන ලෙස තනන ලද රම්‍ය, සුරම්‍ය, සුබ නම් වූ දෙව්විමන් වැනි මාලිගාවල ඉහළම සැප සම්පත් වින්දේය. දිව්‍යාංගනාවක් මෙන් ශෝභමාන කුමාරිකාවක් වූ යසෝදරාවන් විවාහ කර ගත්තේ ය. මෙම කාල සමය තුළදී කාම සුඛල්ලිකානු සුවය වින්දේය. විමුක්තිය නිවන් මග පසක්කර ගන්නට එය බාධාවක් බව සිදුහත් කුමරුට වැටහිණි. තම රහල් කුමරු උපත ලද දිනයේ ම සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගියේය. චක්‍රවර්තී රජකම පවා ලබන්නට තරම් කුසලතාවයක් භාග්‍යයක් වාසනාවක් තිබුණු සිදුහත් කුමරු තම දිවියේ ඉහළම පරිත්‍යාගය සිදු කළේය.
ඉන්පසු සිදුහත් කුමරු වනවාසි දිවියක් ගත කරමින්, තම සිරුරට අනන්ත දුක් දීමෙන් විමුක්තිය ලබා ගන්නට උත්සාහ කළේය. එය ද නිශ්ඵල උත්සාහයක් බව සිදුහත් කුමරුට වැටහුනේ වසර හයක් තම සිරුරට දුක් දීමෙන් පසුවය.
නැණ ඇස උදාකර ගැන්මෙන් නිවනින් සැනසුම ලබාගත හැක්කේ මැදුම් පිළිවෙතින් බව සිදුහත් තවුසා තේරුම් ගත්තේය. සිත දියුණු කරගනිමින් නිවන් මග පිවිසීමේ මාර්ගය ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් ලෝකයාට අවබෝධ කර දුන් සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය – සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නිවන් සුවය ලැබීමට වැදගත් වන්නා වූ සාධකයන් බව පෙන්වා දුන්නේය.
ලොව කිසිම ශාස්තෘවරයාණන් වහන්සේ නමක් මෙවන් බුද්ධිමත් දර්ශනයක් ඉදිරිපත් කොට නොමැත. මෙහිලා බුදුදහම ප්‍රඥාවන්තයින්, නැණවතුන් සඳහා වූ සුවිශේෂි දහමක් බව කදිමට ඔප්පුවන්නේ ද අරිඅටගි මගෙහි පළමු වැන්න ‘නිවැරදි දැක්ම’ ක් නිසාය. කිසියම් තැනැත්තෙකු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, දර්ශනවාදීන් පවා බුදුදහමේ අගය වටහා ගත්තේ දම්සක් පැවතුම් සූත්‍රයේ එන කරුණු කාරණා ප්‍රගුණ කර ගැනීමෙන්ය. අද බටහිර රටවල් පවා බුදුදහමේ අගය තේරුම් ගෙන ඇත. එයට හේතුව බෞද්ධ දර්ශනයේ අන්ධ විශ්වාසයක් නොමැතිකමයි.
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස නුවරෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක යන ගාථාවෙන් ආරම්භ වේ. ධම්මචක්ක සුත්‍රයට ගාථා 18 ක් ඇතුළත් වේ. එහි අවසන් ගාථාව මෙහි පහත දක්වයි.
අථඛෝ භගවා උදානං උදානෙසි අඤ්ඤාසි වත භෝ කොන්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝති. ඉති හිදං අයස්ඛතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසිති)
කොඤ්ඩඤ්ඤ තෙමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේය. පී‍්‍රති වාක්‍යයක් ද පැවැත් වූ සේක. මෙසේ මේ කාරණයේදී කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤය යන නාමය ලැබුණි.
දම්සක් පැවතුම් සූත්‍රයේ වටිනාකම හා අගය දෙගුණ තෙගුණ වන්නේ එහි සිංහල අරුත් පිළිබඳ අවබෝධයක් ලබාගෙන එය සජ්ඣායනා කිරීමෙන්ය.
අපගේ ජීවිත ආලෝක කර ගැනීමට අවැසි කරුණු කාරණා දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ. දුක්ඛ ආර්ය සත්‍යය ඉස්මතු කරන අතරම ඉපදීම, ජරාව, ව්‍යාධිය, රෝගිවීම, මරණය අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම කැමති යමක් නොලැබීම, කොටින්ම කියතොත් උපාදානස්කන්ධයෝම දුකයයි උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළ සේක. අප භාග්‍යවත් තථාගතයන් වහන්සේ දුක් ආර්ය සත්‍යය අවබෝධ කරගත් බවත්, නොඇසු විරු ධර්මයන්හි සත්‍ය ඥානය පහළ කරගත් බවත්, ප්‍රඥාව පහළ කරගත් බවත් අවිද්‍යාව අන්ධකාරය දුරුකරගත් බවත්, ඥානාලෝකය අවබෝධකරගත් බවත්, විද්‍යාව ආලෝකය පහළ කරගත් බවත් මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් දේශනා කොට වදාළ සේක.
නැණ ඇස පහළවීම, විද්‍යාව පහළ වීම, ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගාථා රැසකදීම පුන පුනා සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ බුද්ධාගම නැණවතුන් උදෙසා විශේෂිත ආගමක් දර්ශනයක් බවයි.
ධම්මචක්කපවත්තන සුත්‍රයෙහි අටවන ගාථාව කෙරෙහි අපි අවධානය යොමු කරමු. අප තථාගත බුදුපියාණන් වහන්සේ තම ධර්මය ඉතා අපූරුවට විග්‍රහ කරමින් මුළු ලොවට නැණ ඇස පහදාදීමට අවශ්‍ය දර්ශනය මෙසේ කෙටියෙන් වදාළ සේක. එකි අදහස් පුන පුනා ප්‍රකාශ කළසේක.
මහණෙනි, මේ දුක්ඛ ආර්යය සත්‍යය වේ. පෙර නොඇසූ විරූ ධර්මයන්හි සත්‍ය ඥානය චක්‍ෂුස පහල විය. එහි දැනීම ඇති විය. ප්‍රඥාව පහළ විය. විද්‍යා හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහල විය. අවිධ්‍යාන්ධකාරය දුරු කරන ඤාණාලෝකය පහල විය. ඒ මේ දුක්ඛ ආර්යය සත්‍යය. පිරිසිඳ දත යුතුය. මහණෙනි මට පෙර නොඇසූ පිරූ ධර්මයන්හි සත්‍ය ඤාණය පහල විය. විද්‍යාව පහල විය. ප්‍රඥාව නැමැති ආලෝකය පහල විය.
මෙම ගාථාව අප බුදු දහමේ හරය, දර්ශනය ඉතා කෙටියෙන් අපට පසක් කර දේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ඇල්බර්ට් අයිස්ටයින් පවා බුදුදහම නුවණැත්තන් සඳහා වූ ආගමක් බව පෙන්වා දෙයි.
එමෙන්ම දර්ශනවාදීන් වූ බර්ට්‍රම් රසල්, ශ්‍රී ජවහර්ලාල් නේරු, අබ්දුල් කලාම් වැනි වියතුන් බුදුදහම සිත දියුණු කරන ඉතාමත් වැදගත් සත්‍ය දර්ශනයක් බවත්, එය වත්මන් ලෝකයට ගැළපෙන බුද්ධිමතුන්ට විශේෂිත ආගමක් බවත් පවසා ඇත. සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන් අධිෂ්ඨාන පූර්වකව සිහිපත් කරන ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි,පිරිත. එහි ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා බෝ සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන්දෙන විටත් හඬනගා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කොතරම් සුවයක් ගෙන දේ.

පේ‍්‍රමසර ඈපාසිංහ
බුදුසරණ

හොදයි දැන් අපි ජිනපඤ්ජරය පිරිත් සූත්‍රය කියවල බලමු.

ජයාසන ගතා වීරා,
ජෙත්වා මාරං සවාහිණිං,
චතුසච්චාමත රසං, යේ පිවිංසු නරාසහා
තණ්හංකරාදයො බුද්ධා,
අට්ඨවීසති නායකා,
සබ්බේපතිටිඨිතා මය්හං මත්‍ථකේ මේ මුනිස්සරා

තේරුම- ජය අසුන් අරා වැඩහිඳ සේනා සහිත මරසෙන් පරදවා සිවුසස් අමා රසය පානය කොට වදාළ ලෝක නායක මුනීශ්වර වූ තණ්හංකරාදි යම් අටවිසි බුදුවරු වෙත්ද, උන්වහන්සේලා මාගේ මස්තකයෙහි (හිස) වැඩ වසන සේක.

සිරේ පතිට්ඨිතා බුද්ධා,
ධම්මෝ ච
මම ලොචනේ,
සංඝෝ පතිට්ඨිතෝ මය්හං (තුය්හං)
උරේ සබ්බ ගුණාකරෝ

මාගේ සිරසෙහි බුදුවරු වැඩ වෙසෙති. දෑසෙහි ධර්මය පිහිටියේ ය. ලයෙහි සියලු ගුණයට ආකරයක් වූ මහ සඟරුවන වෙසෙයි.

හදයේ අනුරුද්ධෝ ච,
සාරිපුත්තෝ ච දක්ඛිණේ
කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං
මොග්ගල්ලානොසි වාමකේ

මාගේ හදවතේ අනුරුද්ධ තෙරුණුවෝ ද දකුණුපස සැරියුත් තෙරුණුවෝ ද පසුභාගයෙහි කොණ්ඩඤ්ඤ තෙරුණුවෝ ද වම්පස මුගලන් තෙරුණුවෝ ද වෙති.

දක්ඛිණේ සවණෙ මය්හං
ආහුං ආනන්ද රාහුලා
කස්සපෝ ච මහානාමො,
උභෙසුං වාමසෝතකේ

මාගේ දකුණු කණෙහි ආනන්ද රාහුල තෙරවරු ද වාම ශ්‍රෝතසයෙහි කාශ්‍යප මහානාම තෙරුන් වහන්සේලා වසන සේක.

කෙසන්තේ පිට්ඨිභාගස්මිං,
සුරියෝවිය පභංකරෝ
නිසින්නෝ සිරිසම්පන්නෝ
සෝහිතො මුනි පුංගවො

මාගේ කේශාන්තයේ හා පසුභාගයෙහි සමෘද්ධි සම්පන්නව හිරුමෙන් බබළන සෝභිත නම් මුනි උතුමාණෝ පිහිටිය හ.

කුමාර කස්සපෝ නාම මහේසි චිත්‍රවාදකෝ
සො මය්හං වදනේ නිච්චං,
පතිට්ඨාසි ගුණාකරෝ

විචිත්‍ර කථිකයන් අතුරෙන් අගතැන්පත් ගුණයන්ට ආකර වූ කුමාර කාශ්‍යප නම් මහා සෘෂින් වහන්සේ මාගේ මුහුනෙහි නිතර පිහිටි සේක.

පුණේණෝ අංගුලිමාලෝච,
උපාලී නන්ද සීවලී
ථේරා පඤ්ච ඉමේ ජාතා
ලලා‍ෙටි තිලකා මම

පුණ්ණ අංගුලිමාල උපාලි නන්ද, සීවලි යන පස්තෙරුන් වහන්සේලා මාගේ නලලෙහි තිලකයක් මෙන් වසන සේක.

සෙසාසීති මහාථේරා විජිතා ජිනසාවකා
ජලන්තා සීලතේජේන අංග මංගේසු සණ්ඨිතා

කෙලෙස් සතුරන් පරදවා ජයලද, සිල් තෙදින් බබලන බුදු සව් සෙසු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මාගේ අඟපසගෙහි පිහිටියාහු ය.

රතනං පුරතෝ ආසී
දක්ඛිණේ
මෙත්තසුත්තකං
ධජග්ගං පච්ඡතෝ ආසි,
වාමේ අංගුලිමාලකං

මාගේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය. දකුණේ මෙත්ත සූත්‍රය ද පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය.

ඛන්ධ මෝර පරිත්තංච
ආටානාටිය සුත්තකං
ආකාසච්ඡදනං ආසී
සේසා පාකාර සඤ්ඤිතා

කඳ පිරිත, මෝර පිරිත ආටානාටිය සූත්‍රය මට අහසෙහි සෙවනක් මෙන්ද සෙසු සියලු පිරිත් මා අවට ප්‍රාකාර මෙන්ද පිහිටියාහු ය’

ජිනානා බල සංයුත්තේ
ධම්ම පාකාර ලඞකතේ
වසතෝ මේ චතුකිච්චේන
සදා සම්බුද්ධ පඤ්ජරේ
වාත පිත්තාදි සඤ්ජාතා
බාහිරජ්ක්‍ධත්තු පද්දවා
අසේසා විලයං යන්තු අනන්ත ගුණ තේජසා

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අණ බෙලෙන් යුතු ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර වූ සර්වඥ නමැති ජිනපඤජරයෙහි (බුදුමැදුරෙ) හැම කල්හි සිවු ඉරියව්වෙන් වෙසෙන මට වා පිත් ආදියෙන් හට ගන්නා වූද ආධ්‍යාත්මක බාහිරවූ ද සියලු උවදුරු අනන්ත ගුණ තෙදින් සර්ව ප්‍රකාරයෙන් දූරිභූත වේවා.

ජිනපඤ්ජර මජ්ක්‍ධට්ඨං,
විහරන්තං මහීතලෝ
සදා පාලෙන්තු මං සබ්බේ
තේ මහාපුරිසා’සභා

ජිනපඤ්ජ මධ්‍යගතව පොළෝ තලයෙහි වාසය කරණ මා ඒ සියලු පුරුෂෝත්තමයන් වහන්සේලා හැම කල්හිම ආරක්ෂා කෙරෙත්වා

ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ
– ජිනානුභාවේන ජිතුපපද්දවො
බුද්ධානුභාවේන හතාරි සංඝෝ –
ධම්මානුභාවේන හතාරි සංඝෝ
සංඝසානුභාවේන හතාරි සංඝෝ –
චරාමි සද්ධම්මනුභාව පාලිතෝ

මෙසේ ඒකාන්තයෙන් කරණ ලද ආරක්ෂා ඇතිව ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව සදහම් බෙලෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙමි.

සද්ධම්ම පාකාර පරික්ඛිතෝස්ම්
අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
එත්‍ථන්තරේ අට්ඨ නාථා භවන්ති
උද්ධං විතානං ව ජිනා ඨිතා මේ

මම සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් වට කරන ලද්දේ වෙමි. ආර්යයන් වහන්සේලා අට නම අට දිශාවන්හි වෙති. මේ අතරෙහි අටබුදුවරු වෙති. මට උඩුවියනක් සේ සියලු බුදුවරු වෙසෙති.

හින්‍දන්තෝ මාරසෙනං
මම සිරසි ඨීතෝ-
බොධිමාරුය්හ සත්ථා,
මොග්ගල්ලානො සි වාමේ වසති භූජතටේ – දක්ඛිණේ සාරිපුත්තෝ
ධම්මෝ මජේඣී උරස්මිං විහරති භවතෝ – මොක්ඛතෝ මෝර යොනිං
සම්පත්තෝ බොධිසත්තෝ චරණ යුගගතෝ – භාණු ලොකේක නාථො

හිරුමෙන් ලෝවැසියාට අසහාය සරණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝ රුක්මුල විදුරසුන් අරා වැඩහිඳ, දස මරසෙන් පරදවමින් (බිඳිමින්) මාගේ සිරසෙහි සිටි සේක. මහ මුගලන් තෙරුන් වහන්සේ වම් පසෙහි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ දකුණු පසෙහිද, වසති. භවයෙන් මිදීම හේතුකොට ගෙන ධර්මය ලය මැද පවතී. මෝරයෝනියට පැමිණියා වූ බෝසතාණන් වහන්සේ පා යුවලට ගිය සේක.

සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාව පවරේණ පයාතුනාසං
ධම්මානුභාව පවරේණ පයාතුනාසං
සංඝානුභාව පවරේණ පයාතුනාසං

සියලු අවමඟුල්, උවදුරු, නපුරු නිමිති, රෝග පීඩා ග්‍රහදෝෂ නින්දා, ගර්හා, භය, නපුරු සිහින යන මේ සියල්ල බුද්ධ, ධම්ම, සංඝ යන රත්ත්‍රයේ ආනුභාවයෙන් දුරුවෙත්වා.

මෙම ජිනපංජරය අනුන්ට සෙත්පතා කියවන විට තද කලු පද වෙනුවට මෙසේ යොදා ගන්න.

මය්හං වෙනුවට ‘තුය්හං’ යි ද
මේ වෙනුවට ‘තේ’ යි ද
මම වෙනුවට ‘තව‘ යිද
මං වෙනුවට ‘තං’ යි ද
චරාමි වෙනුවට ‘චරාසි’ යි ද යෙදේ.

මෙන්න මේ ලින්ක් එකෙන් මේ පිරිත ශ්‍රවණය කරන්න පුලුවන්. පිරිතේ තේරුම් වලින්ම මේ පිරිත කොච්චර වටිනවද කියල ඔයාලට තේරෙන්න ඇති. මේ පිරිත් රත්නය නිතර කියවල ඔබේ ජීවිතයට ආරක්ෂාව සලසාගන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

සත්වයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය ගෞතම ශාක්‍යසිංහ ශාසනය තුල මේසේ පලකල වගයි.

අන්‍යාගමිකයන් ඒ ඒ ආගම් ඇදහීමේ ඵලය කුමක්ද?
සාරධර්ම බිඳ වැටුණු සමාජයක සිංහල අලුත් අවුරුද්ද ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.